Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආනන්දයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දායාද කළ පාසල් අතුරින් කොළඹ ආනන්ද විද්‍යාලයට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. 1975-2020 කාල සමය තුළ ටෙස්ට් ක්‍රිකට් වරම් ලබාගත් ක්‍රීඩකයන් 18ක් ද, එක්දින සහ 20/20 තරග වරම් ලබාගත් ක්‍රීඩකයන් 6ක් ද ආනන්ද විද්‍යාලයෙන් බිහි වී තිබෙනවා. එසේම ආනන්ද විද්‍යාලයෙන් බිහි වුණු ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා රැසකට උරුමකම් කියනවා. මෙම ලිපිය තුළින් තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ආනන්ද විදුහලෙන් බිහි වුණු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳව යි.

70 දශකය 

70 දශකයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි දෙකකට සහභාගි වුණා. එම තරගාවලි සඳහා සහභාගි වුණු සුනිල් වෙත්තමුණි සහ අජිත් ද සිල්වා යන ක්‍රීඩකයන් දෙදෙනා ආනන්ද විදුහලෙන් සිප් සතර හදාරා තිබුණා. 

සුනිල් වෙත්තමුණි 

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමිවන්නේ සුනිල් වෙත්තමුණි නම් පිතිකරුවාට යි. 1975 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගයේ දී ඔහු එම දස්කම දැක්වීමට සමත් වුණා. එදා ලකුණු 53ක් ලබා සිටි සුනිල්ට අවාසනාවන්ත අයුරින් පිටියෙන් ඉවත් වීමට සිදු වුණේ ජෙෆ් තොම්සන්ගේ පන්දුවක් සිරුරේ ගැටීම නිසා යි. 1979 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ඉන්දු-ලංකා තරගය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එය ශ්‍රී ලංකාව ලබාගත් පළමු එක්දින තරග ජයග්‍රහණය යි. එම තරගයේ දී ලකුණු 67ක් ලබාගත් සුනිල් වෙත්තමුණි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 3කට පමණක් සහභාගි වුණු සුනිල් වෙත්තමුණි එහි දී ලකුණු 136ක් ලබාගත්තා. පසුකලෙක ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කළ මොහු 1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම යළි සිය රටට පැමිණි ගුවන් යානයේ නියමුවා ලෙසින් කටයුතු කළා.

සුනිල් වෙත්තමුණි 1975 ලෝක කුසලානයේ දී (gettyimages)

අජිත් ද සිල්වා 

අජිත් ද සිල්වාගේ මුල්ම පාසල වුණේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය යි. ඉන් අනතුරුව ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. 1975-1982 කාල සමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මෙම දඟපන්දු යවන්නා එක්දින තරග 6කටත්, ටෙස්ට් තරග 4කටත් සහභාගි වුණා. එහි දී ඔහු එක්දින කඩුලු 9ක් සහ ටෙස්ට් කඩුලු 7ක් දවාගැනීමට සමත් වුණා. පන්දුව හොඳින් දඟ කැවිය හැකි පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධව සිටි අජිත්ගෙන් අපේක්ෂිත දස්කම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දී මතු වුණේ නැහැ. 1982 වසරේ, තහනම් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගි වුණු මෙම පන්දු යවන්නා අකාලයේ සිය ක්‍රිකට් දිවිය විනාශ කරගත්තා. ඔහු වැනි දක්ෂ දඟපන්දු යවන්නෙකුගේ සේවය නොසිතූ මොහොතක අහිමි වීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට විශාල පාඩුවක් වුණා.

අජිත් ද සිල්වා මංගල ටෙස්ට් තරගයේ දී (gettyimages)

80 දශකය 

80 දශකයේ දී ආනන්ද විදුහලෙන් ක්‍රිකට් තරු ත්‍රිත්වයක් බිහි වුණා. අර්ජුණ රණතුංග, සිදත් වෙත්තමුණි, සහ බ්‍රෙන්ඩන් කුරුප්පු එම ක්‍රීඩකයන් ත්‍රිත්වය යි. 

අර්ජුණ රණතුංග

ශ්‍රී ලංකාවට 1996 ලෝක කුසලානය දිනා දුන් නායකයා වන අර්ජුණ රණතුංග ආනන්ද විදුහලෙන් බිහි වුණු දක්ෂතම ක්‍රීඩකයෙක්. 1982 ශ්‍රී ලංකා-එංගලන්ත මංගල ටෙස්ට් තරගයේ දී ලකුණු 54ක් ලබාගත් අර්ජුණ ලංකාව වෙනුවෙන් ටෙස්ට් අර්ධ ශතකයක් ලබාගත් පළමු පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණා. එසේම සිය රට වෙනුවෙන් පළමු සහ සියවන ටෙස්ට් තරගය සඳහා සහභාගි වුණු අර්ජුණ ඉතාමත් විරල ගණයේ වාර්තාවක් තැබුවා. 1982-2000 කාල සමය තුළ ටෙස්ට් තරග 93කට සහභාගි වුණු අර්ජුණ රණතුංග අර්ධ ශතක 38ක් සහ ශතක 4ක් සමගින් ලකුණු 5105ක් ලබාගත්තා. එසේම ටෙස්ට් තරග 56කට නායකත්වය ලබාදුන් මෙම සුපිරි තරුව ඉන් තරග 12ක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවා. 1982-1999 කාල සමය තුළ එක්දින තරග 269කට ක්‍රීඩා කළ අර්ජුණ අර්ධ ශතක 49ක් සහ ශතක 4ක් සමගින් ලකුණු 7456ක් ලබාගත්තා. එසේම එක්දින තරග 193කදී සිය කණ්ඩායම මෙහෙය වූ අර්ජුණ නම් නායකයා ඉන් තරග 89කදී සිය කණ්ඩායමට ජයග්‍රහණය උරුමකර දුන්නා. සිය ක්‍රිකට් දිවිය තුළ දී පිත්තට අමතරව පන්දුවෙන් ද හපන්කම් පෑ අර්ජුණ එක්දින කඩුලු 79ක් සහ ටෙස්ට් කඩුලු 16ක් දවාගත්තා.

අර්ජුණ 1996 ලෝක කුසලානය සමගින් (gettyimages)

සිදත් වෙත්තමුණි 

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ශතකය ලබාගැනීමේ ගෞරවය හිමිවන්නේ සිදත් වෙත්තමුණි නම් සුපිරි පිතිකරුවාට යි. 1982 ෆයිසලාබාද් ටෙස්ට් තරගයේ දී පාකිස්ථානය හමුවේ ලකුණු 157ක් ලබාගනිමින් සිදත් එම දස්කම දැක්වීමට සමත් වුණා. එසේම 1984 ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී ලකුණු 190ක් ලබාගත් මෙම පිතිකරුවා ලෝඩ්ස් පිටියේ දී ටෙස්ට් ශතකයක් ලබාගත් පළමු ලාංකීය පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණා. 1983 වසරේ දී නවසීලන්තයට එරෙහිව පැවති ක්‍රයිස්චර්ච් ටෙස්ට් තරගය සිදත්ට අමතක නොවන එකක් වුණා. එදා අනිත් අන්තයේ සියලුම පිතිකරුවන් දැවීයන තෙක් එක් අන්තයක් රැකගෙන (Carrying the bat)  නොදැවී ලකුණු 63ක් ලබාගත් සිදත් එවැනි දස්කමක් දැක්වූ මුල්ම ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වුණා. 1982-1987 කාල සමය තුළ ටෙස්ට් තරග 23කට ක්‍රීඩා කළ සිදත් අර්ධ ශතක 6ක් සහ ශතක 2ක් සමගින් ලකුණු 1221ක් ලබාගත්තා. එසේම 1982-1987 කාල සමය තුළ එක්දින තරග 35කට ක්‍රීඩා කළ මෙම ක්‍රීඩකයා අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 786ක් ලබාගත්තා.

සිදත් ලෝඩ්ස් පිටියේ දී දස්කම් දක්වමින් (gettyimages)

බ්‍රෙන්ඩන් කුරුප්පු 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගැනීමේ ගෞරවය හිමිවන්නේ මෙම පිතිකරුවාට යි. ඔහු සහභාගි වුණු මංගල ටෙස්ට් තරගයේ දී එම දස්කම දැක්වීම සුවිශේෂී සිදුවීමක් වුණා. එම තරගයේ දී කඩුලු රකින්නා ලෙසින් කටයුතු කළ බ්‍රෙන්ඩන් දින 5ම පා ආවරණ පැළඳගෙන සිටිමින් ඉතාමත් විරල ගණයේ වාර්තාවක් තැබුවා. 1987-1991 කාල සමය තුළ ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කළ බ්‍රෙන්ඩන් සහ ශතක 1ක් සමගින් ලකුණු 320ක් ලබාගත්තා. එසේම 1983-1990 කාල සමය තුළ එක්දින තරග 54කට ක්‍රීඩා කළ මෙම පිතිකරුවා අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 1022ක් ලබාගත්තා.

බ්‍රෙන්ඩන් කුරුප්පු (gettyimages)

ඉහත ක්‍රීඩකයන් ත්‍රිත්වයට අමතරව මිත්‍ර වෙත්තමුණි සහ ධම්මික රණතුංග 80 දශකයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ආනන්දීයයන් යුගලය යි. මිත්‍ර වෙත්තමුණි 1983 ක්‍රයිස්චර්ච් ටෙස්ට් තරගයේ දී සිය සොයුරු සිදත් සමගින් ඉනිම ආරම්භ කරමින් දුර්ලභ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාවක කොටස්කරුවෙකු වුණා.

90 දශකය 

ආනන්ද විදුහලෙන් වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වුණේ 90 දශකයේ දී යි. එම දශකය තුළ ආනන්ද විදුහලෙන් බිහි වුණු ක්‍රීඩකයන් 9 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියා.

මාවන් අතපත්තු 

මාවන් අතපත්තුගේ මුල්ම පාසල වුණේ ගාල්ල මහින්ද විද්‍යාලය යි. ඉන් අනතුරුව ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. මාවන් අතපත්තු මුල් යුගයේ දී ප්‍රසිද්ධ වුණේ ඉනිම් 6ක් තුළ ලබාගත් බිංදු 5 නිසා යි. නමුත් පසුකලෙක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටි තාක්ෂණයෙන් අනූන පිතිකරුවෙකු බවට පත් වුණු අතපත්තු ටෙස්ට් ද්විත්ව ශතක 6ක හිමිකරුවෙක්. එසේම ලෝඩ්ස් පිටියේ දී එක්දින ශතකයක් ලබාගත් මුල්ම පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණු මොහු එම තරගයේ දී නොදැවී ලකුණු 132ක් ලබාගත්තා. 1990-2007 කාල සමය තුළ ටෙස්ට් තරග 90කට ක්‍රීඩා කළ මාවන් අර්ධ ශතක 17ක් සහ ශතක 16ක් සමගින් ලකුණු 5502ක් ලබාගත්තා. එසේම 1990-2007 කාල සමය තුළ එක්දින තරග 268කට ක්‍රීඩා කළ මෙම ක්‍රීඩකයා අර්ධ ශතක 59ක් සහ ශතක 11ක් සමගින් ලකුණු 8259ක් ලබාගත්තා. ඊට අමතරව ටෙස්ට් තරග 18ක දී සිය කණ්ඩායම මෙහෙයවූ මාවන් ඉන් තරග 8ක දී සිය කණ්ඩායමට ජයග්‍රහණය උරුමකර දුන්නා. එසේම එක්දින තරග 63කට නායකත්වය දුන් මෙම ක්‍රීඩකයා ඉන් තරග 35ක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවා.

මාවන් ලෝඩ්ස් පිටියේ දී ලකුණු 132ක් ලබාගැනීමෙන් පසුව (gettyimages)

අවිශ්ක ගුණවර්ධන

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින ඉනිමක දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ලාංකික පිතිකරුවා වන්නේ මොහු යි. 2000 වසරේ පැවති ශූරයන්ගේ කුසලානයේ දී ලකුණු 132ක් ලබාගනිමින් අවිශ්ක එම දස්කම දැක්වීමට සමත් වුණා. 1999-2005 කාල සමය තුළ ටෙස්ට් තරග 6කට සහභාගි වුණු  අවිශ්කට ලබාගැනීමට හැකි වුණේ ලකුණු 181ක් පමණ යි. එසේම 1998-2006 කාල සමය තුළ දී එක්දින  තරග 61කට ක්‍රීඩා කළ මොහු අර්ධ ශතක 12ක් සහ ශතක 1ක් සමගින් ලකුණු 1708ක් ලබාගත්තා.

අවිශ්ක එක්දින තරගයක දී පන්දුවට පහරදෙමින් (gettyimages)

තිලාන් සමරවීර 

මංගල ටෙස්ට් ඉනිමේ දී ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 103ක් ලබාගත් තිලාන් අවසන් වරට එවැනි දස්කමක් දැක්වූ ලාංකීය පිතිකරුවා යි. 2009 පාකිස්ථානු සංචාරයේ දී පිට පිටම පැවති තරග 2ක දී ද්විත්ව ශතක ලබාගැනීම තිලාන්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන සිදුවීමක් වුණා. 2001-2013 කාල සමය තුළ ටෙස්ට් තරග 81කට සහභාගි වුණු තිලාන් අර්ධ ශතක 30ක් සහ ශතක 14ක් සමගින් ලකුණු 5462ක් ලබාගත්තා. එසේම 1998-2011 කාල සමය තුළ එක්දින තරග 53කට ක්‍රීඩා කළ මොහු ශතක 2ක් සමගින් ලකුණු 862ක් ලබාගත්තා. සිය ක්‍රිකට් දිවිය තුළ දී පිත්තට අමතරව පන්දුවෙන් ද හපන්කම් පෑ තිලාන් එක්දින කඩුලු 11ක් සහ ටෙස්ට් කඩුලු 15ක් දවාගැනීමට සමත් වුණා.

තිලාන් ටෙස්ට් තරගයක දී පන්දුවට පහරදෙමින් (gettyimages)

ඉහත ක්‍රීඩකයන් ත්‍රිත්වයට අමතරව චන්දික හතුරුසිංහ, චරිත් සේනානායක, නිශාන්ත රණතුංග, හේමන්ත වික්‍රමරත්න, දුලිප් සමරවීර, සහ සංජීව රණතුංග, 90 දශකයේ දී ආනන්ද විදුහලෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වුණා. එම ක්‍රීඩකයන් අතුරින් හතුරුසිංහ, සංජීව, සහ දුලිප් සැලකිය යුතු තරග ගණනක් ක්‍රීඩා කළත් සෙසු ක්‍රීඩකයන්ට එම අවස්ථාව හිමිවුණේ නැහැ.

2000-2009 යුගය 

මෙම කාල සීමාවේ දී දිනුක් හෙට්ටිආරච්චි, අකලංක ගනේගම, තිළිණ කණ්ඩම්බි, මහේල උඩවත්ත, සහ මුතුමුදලිගේ පුෂ්පකුමාර යන ක්‍රීඩකයන් ආනන්ද විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසුණා. නමුත් ඔවුන් අතුරින් සැලකිය යුතු දස්කම් දැක්වීමට සමත් වුණේ එක්දින තරග 33ක් ක්‍රීඩා කළ තිළිණ කණ්ඩම්බි පමණ යි. එසේම කණ්ඩම්බි 20/20 තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් ද කටයුතු කළා.

2010 වසරේ සිට වර්තමානය දක්වා 

2010 වසරේ සිට මේ දක්වා ක්‍රීඩකයන් තිදෙනෙකු ආනන්ද විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක් වුණා. ඔවුන් අතුරින් දිනේෂ් චන්දිමාල් සුවිශේෂී ක්‍රීඩකයෙකු බවට පත් වුණා.

දිනේෂ් චන්දිමාල් 

දිනේෂ් චන්දිමාල්ගේ මුල්ම පාසල වුණේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය යි. ඉන්පසුව ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. චන්දිමාල් 2010 වසරේ සිට මේ දක්වා ටෙස්ට් තරග 57කට සහභාගි වී අර්ධ ශතක 18ක් සහ ශතක 11ක් සමගින් ලකුණු 3877ක් ලබාගෙන තිබෙනවා. එසේම එක්දින තරග 146ක් සඳහා සහභාගි වුණු මොහු අර්ධ ශතක 22ක් සහ ශතක 4ක් සමගින් ලකුණු 3599ක් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව 20/20 තරග 54කට සහභාගි වුණු මෙම පිතිකරුවා අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 800ක් ලබාගත්තා. ජාත්‍යන්තර ක්‍රිකට් තරග 55කදී සිය කණ්ඩායම මෙහෙයවා ඇති චන්දිමාල් ඉන් තරග 23ක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණා.

චන්දිමාල් මංගල ටෙස්ට් ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

චන්දිමාල්ට අමතරව එම යුගයේ දී ආනන්දයෙන් ක්‍රිකට් පිටියට පිවිසුණේ සචිත්‍ර සේනානායක සහ උදාර ජයසුන්දර යන ක්‍රීඩකයන් දෙදෙනා යි. ඔවුන් දෙදෙනා අතුරින් සචිත්‍ර වසර 4ක් පමණ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ රැඳී සිටියත් උදාරගේ තරග දිවිය ටෙස්ට් තරග 2කට පමණක් සීමා වුණා.

කවරයේ ඡායාරූපය- අර්ජුණ රණතුංග (gettyimages)

Related Articles