නාලන්දාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දායාද කළ පාසල් අතුරින් කොළඹ නාලන්දා විද්‍යාලයට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. 1975-2020 කාල සමය තුළ ටෙස්ට් ක්‍රිකට් වරම් ලබාගත් ක්‍රීඩකයන් 14ක් ද, එක්දින සහ 20/20 තරග වරම් ලබාගත් ක්‍රීඩකයන් 5ක් ද නාලන්දා විද්‍යාලයෙන් බිහි වී තිබෙනවා. එසේම නාලන්දා විද්‍යාලයෙන් බිහි වුණු ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා රැසකට උරුමකම් කියනවා. මෙම ලිපිය තුළින් තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ නාලන්දා විදුහලෙන් බිහි වුණු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳව යි.

70 දශකය 

70 දශකයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි දෙකකට සහභාගි වුණා. එම තරගාවලිවල දී ශ්‍රී ලංකාව නියෝජනය කළ බන්ධුල වර්ණපුර, අනුර රණසිංහ, ලලිත් කළුපෙරුම, සහ සුනිල් ජයසිංහ යන ක්‍රීඩකයන් සිව්දෙනා නාලන්දා විදුහලෙන් සිප් සතර හදාරා තිබුණා. 

බන්ධුල වර්ණපුර 

ශ්‍රී ලංකාවේ මුල්ම ටෙස්ට් නායකයා වීමේ ගෞරවය හිමි වුණේ බන්ධුල වර්ණපුරට යි. එසේම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම පන්දුවට මුහුණ දී මුල්ම ලකුණ ලබාගැනීමේ ගෞරවයත් හිමිකරගත්තේ බන්ධුල වර්ණපුර නම් පිතිකරුවා යි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අසමත් වුණත්, වර්ණපුර ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාදීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කළා. 1981 වසරේ පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා නිල නොවන එක්දින තරගයක දී වර්ණපුරගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ලකුණු 106 නිසා ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්  හිමි වුණා. එම ජයග්‍රහණය අප රටට ටෙස්ට් වරම් හිමිවීම සඳහා තීරණාත්මක සාධකයක් වුණා. එසේම ශ්‍රී ලංකා කණ්ඩායමට මුල්ම වරට එක්දින තරග ජයග්‍රහණයක් හිමිකරදුන් නායකයා බවට පත්වුණේත් බන්ධුල වර්ණපුර යි. ඒ 1979 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව පැවති තරගයේ දීයි. එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අමිල මෙහෙවරක් කළ බන්ධුල වර්ණපුරට වැඩි කලක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීමට නොහැකි වුණේ 1982 තහනම් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගි වුණු නිසා යි. එම නිසා 1975-1982 කාල සමය තුළ ටෙස්ට් තරග 4කට සහ එක්දින තරග 12කට සහභාගි වුණා. ඔහු සිය ජාත්‍යන්තර දිවියේ දී ලබාගෙන තිබුණේ එක් අර්ධ ශතකයක් පමණ යි. ඒ 1982 වසරේ දී පාකිස්ථානයට එරෙහිව ලබාගත් ලකුණු 77 යි. එසේම වර්ණපුර එක්දින තරගවල දී සිය පන්දුව ක්‍රියාත්මක කරමින් කඩුලු 8ක් දවාගෙන තිබෙන බව ද මෙහි දී සඳහන් කළ යුතුයි. 

බන්ධුල වර්ණපුර මංගල ටෙස්ට් තරගයේ දී (gettyimages)

අනුර රණසිංහ 

වර්ණපුර හැරුණු කොට 70 දශකයේ දී නාලන්දාවෙන් බිහිවුණු විශිෂ්ටතම ක්‍රිකට් තරුව වන්නේ අනුර රණසිංහ යි. නමුත් ඔහුට තේරීම් කමිටුවෙන් සිදුවුණු අසාධාරණකම් නිසා ඇතිවුණු කලකිරීම හේතුවෙන් 1982 තහනම් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගි වුණා. එම නිසා ඔහුගේ ජාත්‍යන්තර තරග දිවිය ටෙස්ට් තරග 2කට සහ එක්දින තරග 9කට සීමා වුණා. එහි දී ඉන්දියාවට එරෙහිව 1982 චෙපොක් ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු 77 ඔහුගේ ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ලෙසින් සටහන් වුණා. ඔහුගේ හොඳම එක්දින ඉනිම ලෙසින් සටහන් වුණේ 1982 වසරේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 51 යි. එය ලංකා පිතිකරුවෙකු මව්බිමේ දී ලබාගත් මුල්ම එක්දින අර්ධ ශතකය ලෙසින් ද සටහන් වුණා. පාසල් සමයේ දී කැපී පෙනෙන පන්දු යවන්නෙකු වුණු අනුර රණසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ලබාගත්තේ කඩුලු 3ක් පමණක් බව මෙහි දී වැඩිදුරටත් සඳහන් කළ යුතු යි.

අනුර 1975 ලෝක කුසලානයේ දී පන්දු යවමින් (gettyimages)

ඊට අමතරව 70 දශකයේ දී නාලන්දාවෙන් බිහිවුණු අනිකුත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා වුණේ ලලිත් කළුපෙරුම සහ සුනිල් ජයසිංහ යි. කළුපෙරුම ටෙස්ට් තරග 2කදී සහ එක්දින තරග 4ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන විට සුනිල් ජයසිංහ එක්දින තරග 2ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. එදා ලලිත් කළුපෙරුම ගලී සහ ස්ලිප් වැනි කලාපවල දක්ෂ පන්දු රකින්නෙකු ලෙස නමක් දිනා සිටියත් ඔහුගේ සේවය රටට අහිමිව ගියේ 1982 තහනම් දකුණු අප්‍රිකානු සංචාරයට එක්වීම නිසා යි.

80 දශකය 

නාලන්දා විදුහලෙන් වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වුණේ 90 දශකයේ දී යි. එම දශකය තුළ නාලන්දා විදුහලෙන් බිහි වුණු ක්‍රීඩකයන් 7 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියා.

රොෂාන් මහානාම 

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂතම පන්දු රකින්නෙකු වන රොෂාන් මහානාම ආරම්භක පිතිකරුවෙකු ලෙස ද සාර්ථක වුණා. 80 දශකයේ මැද භාගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසීමෙන් පසුව වසර 13ක් පමණ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මහානාම සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ලකුණු 225ක් ලබාගත්තේ ඉන්දියාවට එරෙහිව ආර් ප්‍රේමදාස පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී යි. එම තරගයේ දී මහානාම සහ ජයසූරිය එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 576ක සබඳතාවය ටෙස්ට් තරගයක දී දෙවන කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම සබඳතාවය ලෙසින් අදටත් වාර්තා පොත්වල ලියවී තිබෙනවා. රොෂාන් මහානාම 1996 විල්ස් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ද වුණා. එම තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ඔහු ආබාධයකට ලක්ව සිටිය දී ලබාගත් ලකුණු 58 අමතක නොවන ඉනිමක් වුණා.  1986-1998 කාල සමය තුළ ටෙස්ට් තරග 52කට සහභාගි වුණු රොෂාන් මහානාම අර්ධ ශතක 11ක් සහ ශතක 4ක් සමගින් ලකුණු 2576ක් ලබාගත්තා. එසේම 1986-1999 කාල සමය තුළ එක්දින තරග 213කට ක්‍රීඩා කළ මහානාම අර්ධ ශතක 35ක් සහ ශතක 4ක් සමගින් ලකුණු 5162ක් ලබාගත්තා. මහානාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ක්‍රිකට් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළා. එහි දී ඔහු ටෙස්ට් තරග 61ක, එක්දින තරග 222ක සහ 20/20 තරග 35ක තරග තීරකවරයා ලෙසින් කටයුතු කර තිබෙනවා.

මහානාම 1996 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ දී (gettyimages)

අසංක ගුරුසිංහ 

1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සිටි ප්‍රබලම ක්‍රීඩකයෙකු වුණු ගුරුසිංහ තරගාවලිය පුරාම ලකුණු අතර සිටියේ තරග 6ක් තුළ ලකුණු 307ක් ලබාගනිමින්. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී හයේ පහර 6ක් එල්ල කළ ගුරුසිංහ එක්දින තරගයක දී එවැනි දස්කමක් දැක්වූ මුල්ම ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණා. එසේම අවසන් තරගයේ දී ගුරුසිංහගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ලකුණු 65 ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරා යාමට විශාල සවියක් වුණා. ගුරුසිංහගේ ටෙස්ට් දිවිය තුළ සිදුවුණු අමතක නොවන සිදුවීම වන්නේ 1991 හැමිල්ටන් ටෙස්ට් තරගයේ දී ඉනිම් දෙකේ දීම ශතක ලබා ගැනීම යි. නවසීලන්ත බිමේ දී එවැනි දස්කමක් කළ එකම ලාංකීය පිතිකරුවා වන්නේ ගුරුසිංහ යි. 1985-1996 කාල සමය තුළ ටෙස්ට් තරග 41කට සහභාගි වුණු ගුරුසිංහ අර්ධ ශතක 8ක් සහ ශතක 7ක් සමගින් ලකුණු 2452ක් ලබාගත්තා. එසේම 1985-1996 කාල සමය තුළ එක්දින තරග 147කට ක්‍රීඩා කළ ගුරුසිංහ අර්ධ ශතක 22ක් සහ ශතක 2ක් සමගින් ලකුණු 3902ක් ලබාගත්තා. එසේම පන්දුවෙන් ද දස්කම් දැක්වූ ගුරුසිංහ ටෙස්ට් කඩුලු 20ක් සහ එක්දින කඩුලු 26ක් ලබාගත්තා.

අසංක ගුරුසිංහ පන්දුවට පහරදෙමින් (gettyimages)

ඉහත ක්‍රීඩකයන් දෙදෙනාට අමතරව යොහාන් ගුණසේකර, රොෂාන් ගුණරත්න, සනත් කළුපෙරුම, කීර්ති රණසිංහ, සහ ගාමිණී වික්‍රමසිංහ, 80 දශකයේ දී නාලන්දා විදුහලෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වුණා. එම ක්‍රීඩකයන් අතුරින් කිසිදු ක්‍රීඩකයෙකුට දිගු කලක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුණේ නැහැ.

90 දශකය 

90 දශකයේ දී නාලන්දා විදුහලෙන් ක්‍රිකට් තරු යුගලයක් බිහි වුණා. මහේල ජයවර්ධන සහ කුමාර ධර්මසේන එම ක්‍රීඩකයන් යුගලය යි.

මහේල ජයවර්ධන

නාලන්දාවෙන් ක්‍රිකට් පිටියට පිවිසි සුපිරිම තරුව බවට පත්වුණේ මහේල ජයවර්ධන යි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක දී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේ මහේල විසින් 2006 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ලකුණු 374 යි. එසේම එය දකුණත් පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමක දී වාර්තා කළ ඉහළම ලකුණු pප්‍රමාණය ලෙසින් ද සටහන් වනවා. එම තරගයේ දී මහේල සහ සංගක්කාර එක්ව තෙවන කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 624ක සබඳතාවය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවන් යුගලයක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සබඳතාවය ලෙසින් සටහන් වනවා. 2014 වසරේ දී 20/20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ද වුණා. එසේම 20/20 තරග ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ශතකය ලබාගත්තේ ද මෙම සුපිරි පිතිකරුවා යි. උඩපන්දු 218ක් ලබාගෙන එක්දින තරගවල දී වැඩිම උඩපන්දු ප්‍රමාණයක් ලබාගත් පන්දු රකින්නා බවට පත්ව සිටින මහේල ටෙස්ට් තරගවල දීත් උඩපන්දු 205ක් රැකගැනීමට සමත් වුණේ රාහුල් ද්‍රාවිඩ්ට පමණක් දෙවැනි වෙමින්. එසේම නායකයෙකු ලෙස ද සැලකිය යුතු දස්කම් දැක්වූ මහේල 2007 එක්දින සහ 2012 T20 යන ලෝක කුසලාන තරගාවලිවල දී ශ්‍රී ලංකාවට අනුශූරතාවය හිමිකර දුන්නා. එසේම ටෙස්ට් සහ එක්දින තරග රටාවන් තුළ දී ලකුණු 10000 සීමාව ඉක්මවා ගිය මෙම සුපිරි පිතිකරුවාගේ ක්‍රිකට් දිවියේ දත්තයන් පහත දැක්වෙනවා.

ටෙස්ට් තරගවල දී 

තරග- 149, ඉනිම්- 252, ලකුණු- 11814, අර්ධ ශතක- 50, ශතක- 34, වැඩිම ලකුණු- 374, කඩුලු- 6, උඩ පන්දු- 205, නායකයෙකු ලෙස ටෙස්ට් තරග 38කින් 18ක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවා.

එක්දින තරගවල දී 

තරග- 448, ඉනිම්- 418, ලකුණු- 12650, අර්ධ ශතක- 77, ශතක- 19, වැඩිම ලකුණු- 144, කඩුලු- 8, උඩ පන්දු- 218, නායකයෙකු ලෙස ටෙස්ට් තරග 130කින් 72ක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවා.

20/20 තරගවල දී 

තරග- 55 ඉනිම්- 55, ලකුණු- 1493 අර්ධ ශතක- 9 ශතක- 1, වැඩිම ලකුණු- 100, උඩ පන්දු- 17, නායකයෙකු ලෙස ටෙස්ට් තරග 19කින් 13ක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවා.

මහේල ජයවර්ධන 2011 ලෝක කුසලාන අවසන් තරගයේ දී ශතකයක් ලබාගනිමින් (gettyimages)

කුමාර ධර්මසේන 

1996 විල්ස් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වුණු කුමාර ධර්මසේන වසර 10කට අධික කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. එම කාල සමය තුළ පන්දුවෙන් දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයා ටෙස්ට් කඩුලු 69ක් සහ එක්දින කඩුලු 138ක් දවාගත්තා. එසේම අවශ්‍ය අවස්ථාවන්වල දී පිත්තෙන් ද දස්කම් දැක්වූ මොහු ටෙස්ට් ලකුණු 868ක් සහ එක්දින ලකුණු 1222ක් ලබාගෙන තිබෙනවා. වසර 11ක ජාත්‍යන්තර තරග දිවිය අවසානයේ දී ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස රාජකාරි ඇරඹූ ධර්මසේන අද වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරග 169ක දී විනිසුරුවරයෙකු ලෙසින් කටයුතු කර තිබෙනවා.

ධර්මසේන 1994 වසරේ දී පන්දු යවන අවස්ථාවක් (gettyimages)

ඉහත සඳහන් කළ ක්‍රීඩකයන් යුගලයට අමතරව 90 දශකයේ දී නාලන්දයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අනිත් ක්‍රීඩකයා වුණේ චාමර දුනුසිංහ යි. ශ්‍රී ලංකාව මුල්ම විදෙස් ටෙස්ට් ජයග්‍රහණය ලබාගත් 1995 නේපියර් ටෙස්ට් තරගය දුනුසිංහගේ මංගල ටෙස්ට් තරගය යි. එම තරගයේ දෙවන ඉනිමේ දී දුනුසිංහ අගනා ලකුණු 91ක් ලබාගත්තේ සිය කණ්ඩායමට ලකුණු අවශ්‍ය ම අවස්ථාවක යි. නමුත් එම තරගයෙන් පසුව දුනුසිංහට දස්කම් අතරට පැමිණීමට හැකිවුණේ නැහැ. එම නිසා ඔහුගේ ක්‍රිකට් දිවිය ටෙස්ට් ටෙස්ට් තරග 5කට සහ එක්දින තරගයකට සීමා වුණා.

2000-2009 යුගය 

මෙම කාල සීමාවේ දී ශාන්ත කලවිටිගොඩ, ඉෂාර අමරසිංහ, සහ ගිහාන් රූපසිංහ යන ක්‍රීඩකයන් ආනන්ද විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසුණා. ඔවුන් අතුරින් කිසිදු ක්‍රීඩකයෙකුට වැඩි කලක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටීමට හැකිවුණේ නැහැ. 

2010 වසරේ සිට වර්තමානය දක්වා 

2010 වසරෙන් පසුව නාලන්දාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයන් යුගලය වුණේ දිල්ෂාන් මුණවීර සහ අශාන් ප්‍රියන්ජන යි. 2012 වසරේ දී 20/20 තරග වරම් ලබාගත් මුණවීර අද වන විට එක්දින තරග 2කදී සහ 20/20 තරග 13ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. එසේම 2013 වසරේ දී එක්දින වරම් ලබාගත් අශාන් ප්‍රියංජන ද වන විට එක්දින තරග 23කදී සහ 20/20 තරග 3ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. එහි දී ප්‍රියංජන මංගල එක්දින තරගයේ දී ලබාගත් ලකුණු 74 ශ්‍රී ලංකා පිතිකරුවෙකු සිය මංගල එක්දින තරගයේ දී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් අදටත් වාර්තා අතර ලියවී තිබෙනවා.

කවරයේ ඡායාරූපය- මහේල ජයවර්ධන 2005 වසරේ දී (gettyimages)

Related Articles