කොළඹ රාජකීයයෙන් බිහිවුණු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්

කොළඹ රාජකීය විදුහල මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයන් රැසක් දායාද කළ පාසලක්. 1975-2020 කාල සමය තුළ ටෙස්ට් ක්‍රිකට් වරම් ලබාගත් ක්‍රීඩකයන් නවදෙනෙකු ද, එක්දින සහ 20/20 තරග වරම් ලබාගත් ක්‍රීඩකයන් සිව්දෙනෙකු ද රාජකීය විදුහලෙන් බිහි වුණා. එම ක්‍රීඩකයන් අතරින් කිහිපදෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දී දස්කම් දැක්වීමට සමත් වුණ. ඒ අතරින් රංජන් මඩුගල්ල, අසන්තා ද මෙල්, සහ කුසල් පෙරේරා වැනි ක්‍රීඩකයන් අමතක කරන්නට බැහැ. 70 දශකයේ මැද භාගයේ දී ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1975 සහ 1979 ලෝක කුසලාන තරගාවලි සඳහා සහ වුණා. එම යුගයේ සිටම රාජකීයයෙන් බිහිවුණු ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම නියෝජනය කළා.  

70 දශකය 

1979 වසරේ එංගලන්තයේ දී පැවති දෙවන පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණා. එම කණ්ඩායම නියෝජනය කිරීම සඳහා රාජකීය විදුහලෙන් බිහිවුණු ක්‍රීඩකයන් දෙදෙනෙකුට අවස්ථාව ලැබුණා.

සුදත් පැස්කුවල් 

1979 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා-නවසීලන්ත තරගයේ දී සුදත් පැස්කුවල් එක්දින වරම් දිනාගත්තා. එවිට ඔහුගේ වයස අවුරුදු 17 දින 237ක් ලෙසින් සටහන් වුණා. එදා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලබාගත් ලාබාලතම ක්‍රීඩකයා ලෙසින් ඔහු තැබූ වාර්තාව අදටත් නොනැසී පවතිනවා. එලෙස රාජකීය විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි පළමු ක්‍රීඩකයා බවට පත්වුණු සුදත් එම තරගාවලියේ දී ලකුණු 24ක් ලබාගත්තේ තරග 2කට මුහුණදෙමින්. එහිදී ඉන්දියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු ඔහුගේ එක්දින දිවියේ හොඳම ඉනිම ලෙසින් සටහන් වුණා. සුදත් පැස්කුවල් යොවුන් අවධියේ දී ජාතික කණ්ඩායමට එක් වුණත් ඔහුගේ ජාත්‍යන්තර තරග දිවිය තරග 2කට පමණක් සීමා වීම අවාසනාවක්.

රංජන් මඩුගල්ල 

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වුණු රංජන් මඩුගල්ල මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. ඉන්පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණු ඔහු 1979 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ඉන්දු-ලංකා තරගයේ දී එක්දින වරම් ලබාගත්තා. ඉන් වසර 3කට පසුව ටෙස්ට් වරම් ලබාගත් මෙම ක්‍රීඩකයා මංගල් ටෙස්ට් ඉනිමේ දීම ලකුණු 65ක් ලබාගැනීමට සමත් වුණා. රංජන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ දී ඔහු ලබාගෙන තිබෙන්නේ එකම ශතකයක් පමණ යි. ඒ 1985 වසරේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 103යි. ඒ අනුව රංජන් ටෙස්ට් ඉනිම් 39ක දී ශතකයක් සහ අර්ධ ශතක 7ක් සමගින් ලකුණු 1029ක් ලබාගන්නා විට එක්දින ඉනිම් 56ක දී අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 950ක් ලබාගත්තා. 1988 වසරේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වුණු මෙම දක්ෂ ක්‍රීඩකයා රාජකීයයෙන් බිහිවුණු එකම ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ලෙසින් වාර්තා අතරට එක්ව සිටිනවා. 

රංජන් මංගල ටෙස්ට් තරගයේ දී (gettyimages)

ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව තරග තීරකවරයෙකු ලෙස සේවයට එක් වුණු රංජන් අද වන විට වැඩිම එක්දින සහ ටෙස්ට් තරග ප්‍රමාණයක තරග තීරකවරයා ලෙසින් කටයුතු කරමින් අප රටට විශාල ගෞරවයක් අත්කර දී තිබෙනවා. ඒ අනුව 1993-2020 කාල සමය තුළ ඔහු ටෙස්ට් තරග 187ක සහ එක්දින තරග 341ක තරග තීරකවරයා ලෙසින් කටයුතු කළා. එසේම ඔහු 20/20 තරග 94ක තරග තීරකවරයා ලෙසින් කටයුතු කර තිබෙනවා. 1999 ලෝක කුසලාන තරගාවලියේ දී මුල්ම වරට ලෝක කුසලාන අවසන් තරගයක තරග තීරකවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදාකරගත් මොහු 2003, 2015, සහ 2019 එක්දින ලෝක කුසලාන අවසන් තරගවල තරග තීරකවරයා ලෙසින් කටයුතු කළා. එසේම 2007, 2010, 2016 වසරවල පැවති 20/20 ලෝක කුසලාන අවසන් තරගවල ද තරග තීරකවරයා ලෙසින් කටයුතු කළා. එහි දී ඔහුට ඉතිරි අවසන් තරගවල තරග තීරකවරයා ලෙසින් කටයුතු කිරීමේ අවස්ථාව අහිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත් නිසා යි. 

රංජන් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ අවස්ථාවක් (gettyimages)

80 දශකය 

අසන්තා ද මෙල්, රොහාන් ජයසේකර, ජයන්ත අමරසිංහ, සහ රොෂාන් ජුරම්පති 80 දශකයේ දී රාජකීය විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියා. නමුත් ඔවුන් අතරින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණේ අසන්තා ද මෙල් පමණ යි.

අසන්තා ද මෙල් 

කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි අසන්තා පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. 1982 වසරේ දී පැවති ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලියේ දී එක්දින වරම් දිනාගත් මොහු මංගල එක්දින තරගයේ දීම ලකුණු 34කට කඩුලු 4ක් දවාගත්තා. එය එම අවධියේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු විසින් සිදුකළ හොඳම එක්දින පන්දු යැවීම ලෙසින් ද සටහන් වුණා. ඉන් දින කිහිපයකට පසුව පැවති ශ්‍රී ලංකා-එංගලන්ත මංගල ටෙස්ට් තරගයේ දී පන්දු දස්කම් දැක්වූ අසන්තා ලකුණු 70කට කඩුලු 4ක් දවාගත්තේ සිය රට වෙනුවෙන් මංගල ටෙස්ට් කඩුල්ල දවාගත් පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වෙමින්. 1982 වසරේ දී පැවති ඉන්දු-ලංකා ටෙස්ට් තරගය ද අසන්තාට සුවිශේෂී එකක් වුණා. එහිදී ඔහු ලකුණු 68කට දවාගත් කඩුලු 5 ලාංකීය වේගපන්දු යවන්නෙකු ටෙස්ට් ඉනිමක දී ලබාගත් පළමු කඩුලු 5 ලෙසින් වාර්තා අතරට එක් වුණා. 

අසන්තා ටෙස්ට් තරගයක දී පන්දු යවමින් (gettyimages)

අසන්තා ද මෙල්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අමතක නොවන තරගාවලිය බවට පත්වුණේ 1983 එක්දින ලෝක කුසලාන තරගාවලිය යි. එහිදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව 32/5 සහ පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව 39/5 ලෙසින් සිදුකළ විශිෂ්ට පන්දු යැවීම් නිසා ඔහු තරගාවලිය තුළ කඩුලු 17ක් බිඳ දමනු ලැබුවා. එහිදී නවසීලන්ත පිතිකරු ජෙෆ් හොවාත්ගේ කඩුල්ල ලකුණු සටහන්කරු අතින් සිදුවුණු වැරදීමක් නිසා රුමේෂ් රත්නායකගේ නම ඉදිරියේ සටහන් වී තිබුණා. එසේ නොවුණා නම් එදා ඔහුට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්වුණු ඉන්දියාවේ රොජර් බිනීගේ කඩුලු ප්‍රමාණය සම කිරීමට අවස්ථාව තිබුණා. එසේම එදා ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක දී කඩුලු 5ක් දවාගත් මුල්ම පන්දු යවන්නා බවට ද පත්වුණා.

1983 ලෝක කුසලාන තරගාවලියේ දී ඩේවිඩ් ගවර්ව දවාගත් අවස්ථාව (gettyimages)

සිය ජාත්‍යන්තර තරග දිවිය තුළ දී අඛණ්ඩව දස්කම් දැක්වූ අසන්තා එක්දින සහ ටෙස්ට් කඩුලු 50 සම්පූර්ණ කළ මුල්ම ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසින් වාර්තා අතරට එකතු වුණා. ඔහු සිය තරග දිවිය නිමා කරන විට ටෙස්ට් කඩුලු 59ක් සහ එක්දින කඩුලු 57ක් දවාගෙන තිබුණා. පාකිස්ථානයට එරෙහිව ලකුණු 109කට දවාගත් කඩුලු 6 ඔහුගේ ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. 

අසන්තාගේ ක්‍රිකට් දිවියේ අවසන් තරගාවලිය බවට පත්වුණේ 1987 ලෝක කුසලාන තරගාවලිය යි. එම තරගාවලිය යටතේ පැවති කොදෙව් තරගයේ දී ඔහුගේ පන්දුවාර 10 තුළ ලකුණු 97ක් උදුරාගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත් වුණා. එය එසමයේ ලාංකීය පන්දු යවන්නෙකු එක්දින තරගයක දී ලබාදුන් වැඩිම ලකුණු ප්‍රමාණය යි.

රොහාන් ජයසේකර 

1982 වසරේ කඩුලු රකින්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වුණු රොහාන් ජයසේකරට දිගු කලක් කණ්ඩායම තුළ රැඳී සිටීමට හැකියාවක් ලැබුණේ නැහැ. එම නිසා ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 2කට සීමා වුණා. පසු කලෙක කැනඩාව බලා සංක්‍රමණය වුණු මෙම ක්‍රීඩකයා ICC  කුසලාන තරගාවලිවල දී කැනඩා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබාගත්තා.

ජයන්ත අමරසිංහ 

1983 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර නිල නොවන ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලිය යටතේ පැවති තරග 2ක තුළ කඩුලු 16ක් ලබාගැනීමට සමත් වුණු අමරසිංහ එක් ඉනිමක දී ලකුණු 82කට කඩුලු 7ක් ලබාගත්තා. ඔහු එදා දැක්වූ දස්කම් නිසා 1984 ශ්‍රී ලංකා-නවසීලන්ත තරගාවලියේ දී ටෙස්ට් වරම් දිනාගත්තා. 

මංගල ටෙස්ට් තරගයේ දී අවසන් පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි මොහු අනිත් අන්තයේ සිටි විනෝදන් ජෝන් සමග අවසන් කඩුල්ල සඳහා ලකුණු 64ක සබඳතාවයක් ගොඩනැගුවා. එහි දී අමරසිංහ ලකුණු 34ක් ලබාගැනීමට සමත් වුණා. එය එසමයේ ලාංකීය පිතිකරුවන් යුගලයක් ටෙස්ට් ඉනිමක් අවසන් කඩුල්ල සඳහා ගොඩනගා තිබුණු ඉහළම සබඳතාවය ලෙසින් සටහන් වුණා. නමුත් ඔහුට  ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ දිගු කාලයක් රැඳී සිටීමට හැකිවුණේ නැහැ. ඒ මෙම ක්‍රීඩකයා සහභාගි වුණු ටෙස්ට් තරග 2ක තුළ දී කඩුලු 3ක් පමණක් බිඳ දැමීම නිසා යි.

රොෂාන් ජුරන්පති 

රොෂාන් ජුරන්පති 80 දශකයේ මැද භාගයේ දී යොවුන් ක්‍රීඩකයෙකු ලෙස පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දක්වනු ලැබුවා. එම නිසා 1985 ඉන්දීය සංචාරය යටතේ පැවති අස්ගිරිය ටෙස්ට් තරගයේ දී ඔහුට  ටෙස්ට් වරම් හිමිවුණා. නමුත් එම තරගයේ දී ජුරන්පතිට දස්කම් අතරට පැමිණීමට හැකිවුණේ නැහැ. ඉන් මාස 15කට පසුව ඉන්දියාවට එරෙහිව නාග්පූර්හි පැවති ටෙස්ට් තරගයේ දී ජුරන්පතිව නැවතත් කණ්ඩායමට කැඳවනු ලැබුවා. නමුත් එම තරගයේ දී ඔහු ඉනිම් 2දීම ලකුණු නොලබා දැවී ගියා. නැවත වරක් දස්කම් අතරට නොපැමිණීමට අසමත් වීම නිසා ජුරන්පතිට නැවතත් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුණේ නැහැ.

90 දශකය 

90 දශකය තුළ කිසිදු රාජකීයයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව නොලැබීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ අනුව 1985 වසරේ දී ජුරන්පති ජාතික කණ්ඩායමට එක් වී වසර 17ක් යන තුරු කිසිදු රාජකීය ක්‍රීඩකයෙකු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබාගත්තේ නැහැ. 

2000-2009 යුගය 

2000-2009 කාල සමය තුළ රාජකීයයන් දෙදෙනෙකු ජාතික කණ්ඩායම නියෝජනය කළා. ඉන් ප්‍රදීප් ජයප්‍රකාශ්දරන් ක්‍රීඩා කළේ එක් එක්දින තරගයක් පමණ යි. නමුත් ජෙහාන් මුබාරක් වසර 13ක කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කළා.

ජෙහාන් මුබාරක් 

2000 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වුණු මුබාරක් 2002 වසරේ දී ටෙස්ට් සහ එක්දින වරම් දිනාගත්තා. නමුත් අඛණ්ඩව දස්කම් අතර සිටීමට අසමත් වුණු මෙම ක්‍රීඩකයා වසර 13ක් ඇතුළත ටෙස්ට් තරග 13කට සහ එක්දින තරග 40කට සහභාගි වුණා. එහි දී අර්ධ ශතක 4ක් සමගින් එක්දින ලකුණු 704ක් ලබාගත් මෙම ක්‍රීඩකයා සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ ලබාගත්තේ ලකුණු 385ක් පමණ යි. එසේම 2007-2009 කාල සමය තුළ ශ්‍රී ලංකා 20/20 ජාතික කණ්ඩායම නියෝජනය මුබාරක් එහි දී ලකුණු 238ක් ලබාගත්තේ තරග 16කට සහභාගි වෙමින්. 

මුබාරක්ගේ 20/20 දිවිය තුළ දක්නට ලැබුණු අමතක නොවන ඉනිම වුණේ 2007 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී කෙන්යාවට එරෙහිව පන්දු 13ක දී නොදැවී ලබාගත් ලකුණු 46යි. එසේම මොහු  2009 වසරේ දී ලෝක කුසලාන අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.

ජෙහාන් මුබාරක් එක්දින තරගයක දී පන්දුවට පහරදෙමින් (gettyimages)

2010 වසරේ සිට වර්තමානය දක්වා 

2010 වසරේ සිට වර්තමානය දක්වා රාජකීයයන් පස්දෙනෙකු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබාගත්තා. ඔවුන් අතරින් කැපී පෙණුනු ක්‍රීඩකයා බවට පත්වුණේ කුසල් පෙරේරා යි.

කුසල් පෙරේරා 

කොට්ටාව ධර්මපාල විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ කුසල් පසුව රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. ඉන් අනතුරුව දැක්වූ දස්කම් නිසා 2013 වසරේ සිට ජාතික කණ්ඩායම නියෝජනය කරන මෙම ක්‍රීඩකයා ටෙස්ට් තරග 18ක්, එක්දින තරග 101ක්, සහ 20/20 තරග 7ක් ක්‍රීඩාකර තිබෙනවා. 2014 වසරේ පැවති 20/20 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙකු බවට පත්වුණු කුසල් එක්දින ලෝක කුසලාන තරගාවලි 2ක දී ජාතික කණ්ඩායම නියෝජනය කළා. ශ්‍රී ලංකාවෙන් බිහිවුනු ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන සනත් ජයසූරියගේ පිතිකරණ රටාවට සමාන ශෛලයකින් පන්දුවට පහරදෙන මෙම පිතිකරුවා ලාංකීය ක්‍රිකට් ලෝලීන්ගේ ආකර්ෂණය නොඅඩුව දිනාගෙන සිටිනවා. 2015 වසරේ දී පාකිස්ථානයට එරෙහිව පැවති එක්දින තරගයක දී පන්දු 17කින් අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් ලාංකීය පිතිකරුවෙකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට සමත් වුණා. ඒ 1996 වසරේ දී සනත් ජයසූරිය පිහිටුවා තිබුණු වාර්තාව යි.

වේගවත්ම එක්දින අර්ධ ශතක වාර්තාව සම කළ අවස්ථාව (gettyimages)

2019 වසරේ ඩර්බන් පිටියේ දී පැවති ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගයේ දී කුසල් ඓතිහාසික ඉනිමක් ක්‍රීඩා කළා. එහි දී අවසන් පිතිකරුවා සමග නොබිඳුණු ලකුණු 78ක සබඳතාවයක් ගොඩනැගූ කුසල් නොදැවී ලකුණු 153ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එදා කුසල් ක්‍රීඩාකළ ඉනිම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ දක්නට ලැබුණු විශිෂ්ටතම ඉනිමක් වුණා. එලෙස දිගු කලක් තිස්සේ ලෝක ක්‍රිකට් පිටිය තුළ දස්කම් දක්වන කුසල් වර්තමානය වන විට ටෙස්ට් ශතක 2ක් සහ එක්දින ශතක 5ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එසේම එක්දින අර්ධ ශතක 14ක්, 20/20 අර්ධ ශතක 12ක් සහ එක්දින අර්ධ ශතක 4ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් වී තිබෙනවා. පසුගිය කාල සමය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී  ලකුණු 5000කට වඩා ලබාගත් මෙම ක්‍රීඩකයා වර්තමානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සාර්ථක පිතිකරුවන් කිහිපදෙනා අතරින් ඉදිරියෙන්ම සිටිනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කළ සුපිරි ඉනිමේ අවස්ථාව (gettyimages)

කිත්රුවන් විතානගේ 

2013 වසරේ දී ජාතික කණ්ඩායමට එක් වුණු මෙම ක්‍රීඩකයා යොවුන් අවදියේ දී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. ඔහු ක්‍රීඩාකළ මුල්ම ටෙස්ට් ඉනිම් 3දී බංග්ලාදේශයට එරෙහිව ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 174ක් ලබාගැනීමට සමත් වුණත් ඉන් පසුව අපේක්ෂිත දස්කම් අතරට පැමිණීමට හැකිවුණේ නැහැ. එම නිසා කිත්රුවන්ගේ ටෙස්ට් දිවිය තරග 10කට සීමා වුණා. එසේම මෙම ක්‍රීඩකයාට එක්දින සහ 20/20 තරගවල දීද අපේක්ෂිත දස්කම් දැක්වීමට නොහැකි වුණු නිසා සහභාගි වීමට ලැබුණේ එක්දින තරග 6කට සහ 20/20 3තරග කට පමණ යි. 

කිත්රුවන් බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලකුණු 103ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

රමිත් රඹුක්වැල්ල 

2013 වසරේ දී 20/20 තරග වරම් හිමිකරගත් රමිත් සිය පළමු 20/20 තරගයේ දී ලකුණු 19කට කඩුලු 1ක් ලබාගනිමින් සාර්ථක පන්දු යැවීමක නිරත වුණා. නමුත් එම අවදියේ දී ශ්‍රී ලංකා 20/20 කණ්ඩායමට ඇතුළත් වීම සඳහා තිබුණු තරගකාරී බව නිසා රමිත්ට කණ්ඩායමේ ස්ථානයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් 2016 වසරේ දී රමිත්ට යළි 20/20 තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණත් එහි දී ඔහු සාර්ථක වුණේ නැහැ. එම නිසා මෙම ක්‍රීඩකයාට නැවතත් ජාතික කණ්ඩායම ක්‍රීඩා කිරීමට වරම් ලැබුණේ නැහැ.

රමිත් රඹුක්වැල්ල (gettyimages)

ලසිත් ඇඹුල්දෙණිය  

2019 වසරේ සිට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන මෙම ක්‍රීඩකයා දකුණු අප්‍රිකාවට එරෙහිව සහභාගි වුණු මංගල ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී ලකුණු 66කට කඩුලු 5ක් දවාගන්මින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. වර්තමානය වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ යොවුන් දඟ පන්දු යවන්නෙකු වන ලසිත් ටෙස්ට් තරග 7ක් තුළ කඩුලු 30ක් බිඳ දමා තිබෙනවා. 

ඇඹුල්දෙණිය මංගල ටෙස්ට් තරගයේ දී (gettyimages)

භානුක රාජපක්ෂ

කුසල් පෙරේරා සහ කිත්රුවන් විතානගේ යන ක්‍රීඩකයන් දෙදෙනාගේ සමකාලීනයෙකු වුණු භානුක යොවුන් වියේ දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එම නිසා ඔහු ඉක්මනින්ම ජාතික කණ්ඩායමට එක් වනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළත් 2019 වසර වන තුරු එම පැතුම ඉටු වුණේ නැහැ. අවසානයේ දී සිය බලාපොරොත්තුව ඉටුකරගත් භානුක 2019 පාකිස්ථානු සංචාරයේ දී 20/20 වරම් හිමිකරගත්තා. දැනට 20/20 තරග 7කට සහභාගි වී ඇති මෙම පිතිකරුවා ලකුණු 140ක් ලබාගෙන තිබෙනවා. පාකිස්ථානයට එරෙහිව ලබාගත් ලකුණු 77 ඔහුගේ 20/20 දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. 

භානුක රාජපක්ෂ (gettyimages)

Related Articles