Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොපැතූ ප්‍රතිඵල ලැබූ ලෝක කුසලාන ක්‍රිකට් තරග

ක්‍රිකට් ක්‍රීඩාව හැඳින්වෙන්නේ ඉතා අවිනිශ්චිත ක්‍රීඩාවක් හැටියට යි. සමහර අවස්ථාවල දී ක්‍රිකට් ලොව ලිලිපුට්ටන් එහි පතාක යෝධයින් දණගස්වා තිබෙන්නේ ඔවුන් ලජ්ජාවට පත් කරමින්.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන වංශකතාව පෙරලා බැලීමේ දී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට ඒ ඒ සමයන්හි දී එතරම් ප්‍රබල නොවූ රටවල්, ලෝක කුසලානය හිමිකර ගනීවියැ යි මත පළ වී තිබූ කණ්ඩායම් සම්පූර්ණයෙන් පරාජයට පත් කළ අවස්ථා කිහිපයක්ම දක්නට ලැබෙනවා. මින් සමහරක් ඒ වන විට ටෙස්ට් වරම් පවා ලබා නොතිබූ ඒවා වීම සුවිශේෂී යි. ඉන් වඩාත්ම කතාබහට ලක් වූ කිහිපයක් පහත පරිදි වෙනවා.

ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් (1983) – අවසන් තරගය

කපිල් දේව් 1983 ලෝක කුසලානය සමග- Dave Cannon/Allsport

1983 තෙවන එක්දින ලෝක කුසලානය ආරම්භ වන විටත් ලොව ප්‍රබලතම එක්දින කණ්ඩායම් ලෙස සැලකුණේ බටහිර ඉන්දීය කොදෙව් පිළ යි. එවකට ඉන්දීය පිළ ප්‍රබල කණ්ඩායමක් ලෙස කිසිවෙකු විසින් හඳුන්වනු නොලැබූ අතර ඔවුන් ලෝක කුසලානය ජය ගනීවියැ යි කිසිවෙකුත් සිතුවේ නැහැ.

1983 ලෝක කුසලාන තරගාවලිය ඉන්දීය පිළට වාසනාවන්ත එකක් වුණා. ඔවුන් පිළිමළුන් පිටුදැකීමේ වටයටවත් පිවිසෙනු ඇතැයි කිසිවෙකුත් විශ්වාස නොකළ අතර, අවසන අවසන් තරගයට ඔවුන් තේරී පත් වූයේ සමහරක් විචාරකයින්ගේ දෙබැම රැළිගන්වමිනුයි. ලෝඩ්ස්හි පැවති අවසන් තරගයේ ඔවුන්ගේ පිළිමළුන් වූයේ බටහිර ඉන්දීය කොදෙව් පිළ යි. ඔවුන් පිට පිට තෙවන වතාවටත් ශූරතාව දිනාගන්නා බවට බොහෝ දෙනා පැකිළීමකින් තොරවම පවසා සිටියා.

බොහෝ දෙනා සිතූ පරිදිම පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිළ ලකුණු 183කට සීමා වෙනවා. කොදෙව් වේගපන්දුවට අපහසුවෙන් මුහුණ දුන් ඔවුන්ගේ සියළුම කඩුළු දැවී ගියේ ඕවර 55කුත් පන්දු 4ක දී යි.

පිළිතුරු ඉණිම ඇරඹූ කොදෙව්වන් පහසුවෙන් එම ඉළක්කය හඹා යන සෙයක් දිස් වුව ද, හදිසියේම නායක කපිල් දේව් ඇතුළු ඉන්දීය පන්දු බලඇණිය හොඳින් ක්‍රියාත්මක වීම නිසා කොදෙව් කඩුළු එකිනෙක ඇද වැටෙන්නට පටන්ගන්නවා. අවසානයේ කොදෙව් ඉණිම ලකුණු 140කට නිමාවෙන්නේ ලෝක කුසලානයක පහස ඉන්දියානුවන්ට මුල්ම වරට ලබා දෙමිනුයි.

කෙන්යාව හා බටහිර ඉන්දීය කොදෙව් – 1996

Associated Press

ආසියාවේ පැවති 1996 තරගාවලියේ ශූරයින් වූයේ ශ්‍රී ලංකාව යි. එය බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවේ. එහෙත් එම තරගාවලියේ වඩාත් පෙරළිකාරම තරගය ලෙස සැලකෙන්නේ කෙන්යාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර මුල් වටයේ පැවති තරගය යි.

ඉන්දියාවේ පූනේහී දී පැවති මේ තරගයෙන් පහසු ජයක් ලබාගෙන ප්‍රසාද ලකුණක් පවා ලබන්නට කොදෙව්වන් සැලසුම් ඇන්දා. එම බලාපොරොත්තුව ඉටුවන බැව් පෙන්වමින් මුලින් පන්දුවට පහරදුන් කෙන්යා කණ්ඩායම ලකුණු 166කට සීමා කරන්නට ඔවුන් සමත් වෙනවා. කෙසේ නමුත් මේ පහසු ඉලක්කය හඹායන්නට පිටියට බට කොදෙව්වන්ට ඉතා හොඳින් පන්දු යවන්නට කෙන්යා ක්‍රීඩකයින් සමත් වෙනවා. මේ නොපැතූ ප්‍රහාරය හමුවේ කොදෙව්වන් අන්දමන්ද වන අතර, අවසානයේ ලකුණු 93කට සියළු දෙනා දැවී යන්නේ ලකුණු 73ක විශිෂ්ට ජයක් කෙන්යා කණ්ඩායමට උරුම කර දෙමිනුයි. කෙසේ නමුත් කොදෙව්වන් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා ගමන් කරන්නට සමත් වෙනවා.

කෙන්යාව හා ශ්‍රී ලංකාව – 2003

ESPNcricinfo Ltd

2003 වසරේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ අප්‍රිකා මහාද්වීපයේ යි. මෙහි මූලික වටයේ කෙන්යාව තරග වැදුණු තරග කිහිපයම කෙන්යාවේ දී පැවැත්වුණා. එහිදී සමහරක් කණ්ඩායම් ආරක්ෂක ගැටළු නිසා එහි යාමට අකමැති වීම හේතුවෙන් ඒ තරගවල ප්‍රසාද ලකුණු නිතරගයෙන් කෙන්යාවට හිමිවුණා. මේ හේතුවෙන් ඊළඟ වටයට පිවිසෙන්නට නම් කෙන්යාවට පරාජය කිරීමට සිදුවූයේ ටෙස්ට් තත්ත්වය ඇති, ප්‍රබලයැ යි සැළකෙන එක් රටක් පමණ යි.

කෙන්යාවට ශ්‍රී ලංකාව හමුවූයේ නයිරෝබිහි ජිම්කනා ක්‍රීඩාපිටියේ දී යි. එහිදී මුලින්ම පන්දුවට පහර දුන් කෙන්යාව සිය පන්දු ඕවර 50 තුළ කඩුළු 9කට ලකුණු 210ක් ලබාගන්නවා. මෙය ප්‍රබල ශ්‍රී ලංකා පිතිකරු බලඇණියට ඉතා පහසු ඉලක්කයක් සේ පෙනී ගිය ද කෙන්යා ක්‍රීඩකයින් ඉතා උනන්දුවෙන් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කඩුළු එකිනෙක ඩැහැගන්නවා. මෙහිදී ශ්‍රී ලංකා නායක සනත් ජයසූරියගේ තීරණාත්මක කඩුල්ල මාටින් සුජී විසින් දවාගැනීමත් සමග තරගය කෙන්යාව දෙසට හැරවෙන්නේ ප්‍රේක්ෂක ඔල්වරසන් මැද යි. අවසන ශ්‍රී ලංකාවේ සියළු දෙනා ලකුණු 157කට දැවී යන්නේ කෙන්යානුවන්ට නොපැතූ ලකුණු 53ක ජයක් උරුම කර දෙමින්. මේ අනුව ඔවුන් දෙවන වටයට සුදුසුකම් ලැබූ අතර ශ්‍රී ලංකාව ද අනෙකුත් තරගවල හොඳින් ක්‍රීඩා කිරීම නිසා ඊට සුදුසුකම් ලබනවා. ශ්‍රී ලංකාව එක් පසෙකින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබද්දී කෙන්යාවත් එනෙක් පසින් එම වටයට පිවිසෙන්නේ ටෙස්ට් තත්ත්වය නොමැති රටක් එලෙස ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට පිවිසි මුල්ම අවස්තාව සනිටුහන් කරමිනුයි.

අයර්ලන්තය හා පාකිස්ථානය – 2007

EMPICS Sport

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවති 2007 වසරේ ලෝක කුසලානයේ මූලික වටයේ උඩු යටිකුරු වූ තරග කිහිපයක්ම පැවතුණා. ඉන් වඩාත්ම කතාබහට ලක් වූයේ ජැමෙයිකාවේ සබීනා පාක්හි පැවති අයර්ලන්තය හා පාකිස්ථානය අතර තරගය යි. පාකිස්ථානය මින් පහසු ජයක් ලබා දෙවන වටයට පිවිසේයැ යි සියළුදෙනා පාහේ බලාපොරොත්තු වුණා. කෙසේ නමුත් සිදුවූයේ අනෙකක්.

මුලින් පන්දුවට පහර දුන් පාකිස්ථානය ලකුණු 132කට සීමා කරන්නට අයර්ලන්ත පන්දු යවන්නන් සමත් වෙනවා. අයර්ලන්තය පන්දුවට පහරදෙන්නට පැමිණි විට පාකිස්ථානය හොඳ අභියෝගයක් එල්ල කළ ද, අවසානයේ කඩුළු 7ක් දැවී තිබිය දී ජය කණුව පසු කරන්නට අයර්ලන්තය සමත් වෙන්නේ පාකිස්ථානය තරගාවලියෙන් ඉවතට විසි කරමින්. මේ තරගය අවසානයේ තරගා පාවාදීමක් ගැන ද කතාබහ ඇති වූ අතර, පසුදා උදෑසන පාකිස්ථාන පුහුණුකරු බොබ් වුල්මර් අභිරහස් ලෙස මියගොස් සිටිය දී හමුවුණා.

අයර්ලන්තය හා එංගලන්තය – 2011

කෙවින් ඕ බ්‍රයන්-en.as.com

2011 වසරේ ආසියාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම උඩුයටිකුරු වූ තරගය ලෙස සැලකෙන්නේ අයර්ලන්තය හා එංගලන්තය අතර බැංගලෝර්හි දී පැවති මූලික වටයේ තරගය යි. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දු ඕවර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 327ක් ලබාගන්නවා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ අයර්ලන්තය විටෙක දී ලකුණු 111කට කඩුළු 5ක් ලෙස පසුබා සිටිය ද, එක් වරම කෙවින් ඕ බ්‍රයන් ක්‍රියාත්මක වෙනවා. ඉතා වේගවත් ලකුණු 113ක් ලැබූ ඔහු අවසානයේ අයර්ලන්තය ජය ටැඹ කරා මෙහෙයවන්නේ කඩුළු 3ක ජයක් ඔවුනට අත් කර දෙමිනුයි. ජයග්‍රහණයට ඔන්න මෙන්න තිබිය දී ඔහු දුවද්දී දැවී ගිය අතර, ඒ වන විට පන්දු 63කින් ලකුණු 113ක් ලබා තිබුණේ 6 පහර 6කුත් සමග යි. කෙසේ නමුත් ඊළඟ ක්‍රීඩක දෙපළ වැඩි අපහසුවකින් තොරව අයර්ලන්තයට තරග ජය ලබා දෙනවා.

කවරයේ පින්තූරය- Getty Images

Related Articles