ක්‍රොයේෂියා පාපන්දු ඉතිහාසය​

මේ දිනවල පාපන්දු ලෝකයේ ක්‍රොයේෂියාව ගැන විශාල කතාබහක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම ඊට හේතුව යි. ක්‍රොයේෂියාව කුඩා රටක් නිසා පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයට ඔවුන් පැමිණීම පුදුමයක් බවටත් මේ අතර කතාබහට ලක් වන කාරණයක්.

නමුත් ක්‍රොයේෂියාවේ පාපන්දු ක්‍රීඩාව කුඩා නැහැ. ඒවගේම ඊට බොහොම දිගු ඉතිහාසයක් තිබෙනවා. 1993 දි ඔවුනගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථානය 125 වුණා තමයි. නමුත් එසේ වුණේ ඔවුන් ඒ වෙද්දි ලෝක පාපන්දු ෆෙඩරේශනයට ආපසු සම්බන්ධ වී වැඩි කලක් ගත වී නොතිබුණු නිසා සහ වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා නොකර තිබූ නිසායි. ඔවුන් මීළඟ වසරවල තරගවලට සහභාගි වෙද්දී ඔවුනගේ ස්ථානය ඉහළ ගියා.

ක්‍රොයේෂියාවට පාපන්දු ගෙන ආවෙ ඉංග්‍රීසීන් විසින්. 19 වන ශතවර්ෂය අවසාන සමයෙදී රියෙකා (Rijeka) නගරයේ කම්හලක් ආරම්භ කිරීමට පැමිණි ඉංග්‍රීසීන් පිරිසක් එහිදී පාපන්දු ක්‍රීඩා කරන්න පටන් ගත්තා. නමුත් ඔවුන් මීට ස්වදේශිකයන් සම්බන්ධ කරගත්තේ නැහැ. නමුත් ඉන් ස්වල්ප කලකට පසු ෂුපන්යා නම් නගරයේ කර්මාන්ත ඇරඹීමට පැමිණි ඉංග්‍රීසින් පිරිසක් විසින් ක්‍රොයේෂියානුවන්ට පාපන්දු ක්‍රීඩාව හඳුන්වා දුන්නා.

ක්‍රොයේෂියාවේ පිහිටීම සහ සිතියම (Nations Online Project)

20 සියවස මුල් දශකයේ දි ක්‍රොයේෂියාවේ පාපන්දු ක්‍රීඩා සමාජ බිහි වූ අතර පාපන්දු නීති ද ක්‍රොඇට් බසට පරිවර්තනය වුණා. ක්‍රොඇට් පාපන්දු සංගමයක් පිහිටුවීමට යෝජනා පළ වුණත් එය එක්වරම සිදු වූයේ නැහැ. ක්‍රොයේෂියානු ප්‍රදේශ මේ වෙද්දි ඔස්ට්‍රියා-හන්ගේරියානු අධිරාජය යටතේ පැවතුණ අතර නිදහස් ක්‍රොයේෂියාවක් පැවතියේ නැහැ.

කෙසේ නමුත් 1912 ජූනි 13 වනදා ක්‍රොයේෂියානු පාපන්දු ෆෙඩරේශනය ස්ථාපිත කෙරුණා.

පළමු ලෝක යුද්ධයෙන් පසුව ක්‍රොයේෂියාව අභිනවයෙන් බිහි වූ සර්බ්, ක්‍රොඇට් සහ ස්ලොවීන්වරුන්ගේ රාජධානියේ කොටසක් බවට පත් වුණා. 1929 සිට යුගෝස්ලාවියාව නමින් හැඳින්වූයේ මෙම රාජධානිය යි. ක්‍රොයේෂියානු ක්‍රීඩකයන් මෙම කණ්ඩායමේ වැදගත් කොටසක් වුණා. කෙතරම් වැදගත් වුණා ද කිවහොත්, යුගෝස්ලාවියාවේ (සර්බ්, ක්‍රොඇට්, සහ ස්ලොවීන්වරුන්ගේ රාජධානියේ) පාපන්දු ෆෙඩරේශනය මුලින්ම පිහිටුවේද සග්‍රෙබ් නගරයේ දී යි. එහි නම පවා ක්‍රොඇට් බසින් යොදනු ලැබ තිබුණා. 1929 දි එවකට එරට නායකයා වූ පළමු ඇලෙක්සැන්ඩර් රජු ඒකාධිපති බලතල පවරා ගත්තාට පසුව මෙම මූලස්ථානය බෙල්ග්‍රේඩ් වෙත ගෙනෙනු ලැබුණා.

ලෝක පාපන්දු ෆෙඩරේශන සාමාජිකත්වය​

1941 දී කෙටි කලකට ක්‍රොයේෂියානු පාපන්දු ෆෙඩරේශනයට ලෝක පාපන්දු ෆෙඩරේශනයේ සාමාජිකත්වය ලැබුණා. නමුත් මෙය සිදු වූ පසුබිම දේශපාලනික ගැටලු සහගත වූ එකක්.

1929 පටන් සර්බ් පාලනයට එරෙහිව උග්‍ර කතෝලික​, උග්‍ර ක්‍රොඇට් ජාතිවාදී, සහ උග්‍ර ෆැසිස්ට් සංවිධානයක් බිහි වුණා. එය උස්ටාෂේ සංවිධානය යි. 1940 දී නට්සි ජර්මනිය විසින් යුගෝස්ලාවියාව අල්ලාගත් පසු ජර්මන් සහ ඉතාලි රූකඩ රාජ්‍යයක් ලෙස නිදහස් ක්‍රොයේෂියාව නිර්මාණය කළා. මෙය පාලනය කළේ උස්ටාෂේ සංවිධානය විසින්. අතිශයින් කුරිරු සහ ප්‍රජාපීඩක සංවිධානයක් වූ මෙහි පාලනය සර්බ් ජනතාව තුළ ඇති කළේ පිළිකුලක්. කෙසේ නමුත් මේ සමයේ එම රාජ්‍යය ඇතැම් රටවල් විසින් පිළිගනු ලැබුණ අතර ක්‍රොයේෂියාවට FIFA සාමාජිකත්වය ලබාගත හැකි වුණා.

නමුත් 1944 අවසානයේදී එම සාමාජිකත්වය අහෝසි වුණා. කොමියුනිස්ට්වාදීන් යුගෝස්ලාවියාව අල්ලා ගනිද්දී උස්ටාෂේ පාලනය කඩා වැටුණා.

ටිටෝගේ යුගෝස්ලාවියාව​

දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුගෝස්ලාවියාවේ පාලකයා වූයේ ද ක්‍රොඇට් ජාතිකයකු වූ ජොසිප් බ්‍රොස් හෙවත් ටිටෝ. ඔහු එරට සමූහාණ්ඩු හයකින් යුත් සමාජවාදී ෆෙඩරේශනයක් ලෙස ප්‍රතිසංවිධානය කළා. නෛතික වශයෙන් මෙම සමූහාණ්ඩු හය සමාන බලතලවලින් යුතු වුණා. එම සමූහාණ්ඩු හය නම් සර්බියාව​, ක්‍රොයේෂියාව​, බොස්නියා හර්සගොවිනාව, මැසඩෝනියාව​, ස්ලොවීනියාව සහ මොන්ටිනෙග්‍රෝව යි. මේ අතර සර්බියාව තුළ කොසොවෝ සහ වොයිවොදිනා නම් ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශ දෙකක් වුණා.

ටිටෝ ජාතිකවාදයට නැගීමට ඉඩ තැබුවේ නැහැ. ඔහු යටතේ යුගෝස්ලාවියාවේ විවිධ ජාතිකවාදී පිරිස් මර්ධනය කෙරුණා.

ටිටෝ (Der Spiegel)

පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් විශාල වෙනස්කම් ටිටෝගේ මුල් පාලන කාලය තුළදීම සිදු වුණා. මේ අනුව ෆැසිස්ට් පාලනය සමයේ පැවති ක්‍රීඩා සමාජ විසිරුවා හැර නව ක්‍රීඩා සමාජ නිර්මාණය කෙරුණා. “බෙල්ග්‍රේඩ් රෙඩ් ස්ටාර්” සහ ක්‍රොයේෂියාවේ සග්‍රෙබ් හි “දිනාමෝ සග්‍රෙබ්” ඉන් ප්‍රමුඛ වූ සමාජ දෙකයි.

1980 දී ටිටෝ මරණයට පත් වූ අතර ඔහුගෙන් පසු බලයට පත් වූවන්ට රටේ ඒකාබද්ධතාව පවත්වාගැනීම පහසු වූයේ නැහැ. රටෙහි ආර්ථිකය අයහපත් වන විට දේශපාලකයන්ට පහසුවෙන්ම යොදාගත හැකි වූ සටන් පාඨය වූයේ ජාතිවාදය යි.

1990 වසර වනවිට තත්ත්වය ඉතා භයානක අතට හැරෙමින් තිබුණා. යුගෝස්ලාව් පාපන්දු ක්ෂේත්‍රයේ අවාසනාවට මෙන් මෙකල ඔවුන් ඉතිහාසයේ හොඳම කණ්ඩායමකින් සමන්විත වුණා. නමුත් ඔවුනගේ රට සී සී කඩ වෙද්දී එම කණ්ඩායම ද සී සී කඩ වුණා.

1998 ලෝක කුසලානය​

යුගෝස්ලාවියාවෙ බිඳ වැටීමෙන් පසුව ක්‍රොයේෂියාව නැවත සිය පාපන්දු කණ්ඩායම ප්‍රතිසංවිධානය කළා. මෙය දේශප්‍රේමය පිළිබඳවත් විශාල වැදගත්කමින් යුක්ත කරුණක් වුණා. බොහෝ විට සර්බියාවට වඩා තමන් දක්ෂ බව පෙන්වන්නට මෙය ද අවස්ථාවක් කරගන්නට ඔවුනට අවශ්‍ය වුණා.

මේ අවස්ථාවෙ ඔවුනට දක්ෂයින් රැසක් සිටි බව ප්‍රකට කරුණක්. විශේෂයෙන් 1987 දි අවුරුදු 21 න් පහල ලෝක කුසලානය ජය ගැනීමට උරදුන් ඩවෝර් ෂුකර් එයින් ප්‍රධා නයි. ඊට අමතරව කණ්ඩායම් නායක ස්වොනිමීර් බොබාන් සහ රොබර්ට් ප්‍රොසිනෙච්කි මේ අතර කැපී පෙනුණා.

මේ අය මෙහෙයවීමට සුදුසු පුහුණුකරුවකු සොයා ගැනීම එතරම් අසීරු වූයේ නැහැ. වසර 26 ක පළපුරුද්දෙන් යුතු, කිහිප විටෙකම දිනාමෝ සග්‍රෙබ් පිල ද පුහුණු කළ මිරොස්ලාව් බ්ලැසොවිච් ඊට කදිමට ගැලපුණා. බ්ලැසොවිච් ක්‍රොඇට් දේශප්‍රේමියකු වූයෙන් ඔහු සිය කණ්ඩායම එකට එක් කොට ජයග්‍රහණය කරා මෙහෙයවීමට තවත් සුදුස්සකු වුණා.

බ්ලැසොවිච් (ciroblazovich.com)

ක්‍රොයේෂියාව 1996 යුරෝපා කුසලානයට සුදුසුකම් ලද අතර එහිදී ජර්මනියට අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජය වුණා. මෙය ඉතා තරගකාරී ස්වභාවයෙන් කෙරුණ තරගයක් වූ අතර ජර්මනිය දක්ෂතාව සහ ශරීර ශක්‍තිය මත ජයග්‍රහණය කළා.

මීට පිළිතුරු දීමට ක්‍රොයේෂියාවට ගත වූයේ වසර දෙකක් පමණයි. ඒ, 1998 ලෝක කුසලානය යි.

H කාණ්ඩය යටතේ තරග වැදුණ ක්‍රොයේෂියාව සිය පළමු තරගයේ දී 3-1ක් ලෙස ජැමේකාව ද දෙවන තරගයේදී 1-0ක් ලෙස ජපානය ද පරාජය කොට ඊළඟ වටයට සුදුසුකම් ලැබුවා. ආර්ජන්ටිනාව සමග වූ තරගය ඔවුන් 1-0ක් ලෙස පරාජය වුණා.

දහසය දෙනාගේ වටයේ දී ක්‍රොයේෂියාවට මුහුණ දීමට සිදු වූයේ රුමේනියා පිල යි. එහිදී ඔවුන් 1-0ක් ලෙස ජයගත්තේ පළමු අර්ධය අවසනදී ඩවෝර් ෂුකර් විසින් ලබාගත් දඬුවම් පහරකින්.

අර්ධ අවසන් පූර්ව තරගයේ දී ක්‍රොයේෂියාවට ජර්මනිය මුණ ගැසුණා. ලියොන් නගරයේ පැවති මෙම තරගයේදී ක්‍රොයේෂියාව පරාජය වීමට සූදානම් වූයේ නැහැ. පළමු අර්ධයේ දී ජර්මන් ක්‍රීඩකයකුට රතු කාඩ්පතක් ලැබීමත් සමග ක්‍රොයේෂියාවට වාසියක් සැලසුණ අතර තරගය නිම වූයේ ක්‍රොයේෂියාව 3-0ක් ලෙස ජය ගනිමින්.

ඩවෝර් ෂුකර් (These Football Times)

අවසන් පූර්ව තරගයේදී ක්‍රොයේෂියාව 2-1ක් ලෙස පරාජය වූයේ සත්කාරක ප්‍රංශයට යි. මෙහි විශේෂත්වය වූයේ ප්‍රංශය වෙනුවෙන් ගෝල දෙකම ලබා ගත්තේ ආරක්ෂක ක්‍රීඩකයකු වූ ලිලියන් තුරම් විසින් වීම යි. තුරම් ජාත්‍යන්තර තරග 142ක දී ලබා ගෙන ඇත්තේ ද මෙම ගෝල දෙක පමණක් වීම එහි විශේෂත්වය යි.

තුන්වන ස්ථානය සඳහා වූ තරගයේ දී ක්‍රොයේෂියාව 2-1ක් ලෙස නෙදර්ලන්තය පරාජය කළා. සිය පළමු ලෝක කුසලානය සඳහා තරග කරමින් ඔවුන් ලබාගත් මෙම ස්ථානය සුවිශේෂී වූ බව කිව යුතුයි. මේ අතර ඩවෝර් ෂුකර් ලෝක කුසලානයේ දී වැඩිම ගෝල සංඛ්‍යාව ලබාගෙන රන් සපත්තුව සම්මානය දිනා ගත්තා.

ක්‍රොයේෂියාව 2002, 2006, 2014 සහ 2018 දී ලෝක කුසලානයට සුදුසුකම් ලද අතර මෙවර​, එනම් 2018 දී, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. ඔවුනගේ එම ගමන්මඟ ගැන අපි පසුවට කතා කරමු.

Cover Image: 2018 ලෝක කුසලානයෙදී ක්‍රොයේෂියාව (Reuters)

මූලාශ්‍රයයන්

1. A Thrilling World Cup Debut for Croatia – FIFA TV

2. Croatian Football Federation (HNS) – History

3. The lost brilliance of Yugoslavia at Italia ’90: “The team was far better than the country” (FourFourTwo)

4. Yugoslavia in the 1990s: The wonder-team that never was

Related Articles

Exit mobile version