Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දැනට භාවිතා නොකරන අපේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන

ශ්‍රී ලංකාව තුළ මුල්ම වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වුණේ 1982 වසරේ දී යි. එදා සිට අද දක්වා මෙරට ක්‍රීඩාංගනයන් 10ක දී ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පවත්වා තිබෙනවා. නමුත් වර්තමානය වන විට ඉන් ක්‍රීඩාංගන 3ක තරග පැවැත්වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයන් 3ක් අතහැර දමා තිබුණත් එම ක්‍රීඩාංගන ආශ්‍රිතව සුවිශේෂී ක්‍රිකට් වාර්තා බිහි වුණා. 

අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනය 

1983 වසරේ අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මුල්ම වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර යි. පී සරා ඕවල් පිටියට පසුව අප රට තුළ ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වුණු ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසින් ඉතිහාසගත වුණේ අස්ගිරිය යි. 1983 වසරේ සිට 2007 වසර දක්වා අස්ගිරිය පිටියේ දී ටෙස්ට් තරග 21ක් සහ එක්දින තරග 6ක් පවත්වා තිබෙනවා. එම තරගවල දී සිදුවුණු සුවිශේෂී සිදුවීම් පහත දැක්වෙනවා.

කෙන්යානුවන්ට එරෙහිව තැබූ සුපිරි වාර්තාව 

1996 විල්ස් ලෝක කුසලාන තරගාවලියේ 29 වැනි තරගය ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පැවැත්වුණේ අස්ගිරිය ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් කෙන්යානු නායක මොරිස් ඔඩුම්බේ ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 398ක් ලබාගත්තේ එම අවධියේ එක්දින තරගයක දී කණ්ඩායමක් ලබාගත් වැඩීම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්. එදා ශ්‍රී ලංකා කණ්ඩායම බිඳ දැමුවේ 1992 වසරේ එංගලන්ත කණ්ඩායම විසින් පාකිස්ථානය හමුවේ දිනාගෙන තිබුණු ලකුණු 363ක වාර්තාව යි. එසේම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ යම් කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණා. එහි දී ශ්‍රී ලංකාව අතින් බිඳ වැටුණේ 1987 ලෝක කුසලාන තරගාවලියේ දී කොදෙව් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව හමුවේ ලබාගෙන තිබුණු ලකුණු 360ක වාර්තාව යි.

අරවින්දගේ වාර්තාගත ඉනිම 

1996 විල්ස් ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා-කෙන්යා තරගයේ දී සුපිරි පිතිහරඹයක යෙදුණු අරවින්ද ද සිල්වා පන්දු 115ක දී වේගවත් ලකුණු 145ක් වාර්තා කළේ හතරේ පහර 14ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින්. එදා අරවින්ද ලබාගත් ශතකය ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලෝක කුසලාන ඉනිමක දී ලබාගත් මුල්ම ශතකය ලෙසින් ඉතිහාසගත වුණා. එසේම එදා අරවින්දගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 145 එම අවධියේ දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින තරගයක දී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. ඔහුට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 1994 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 140ක් ලබාගත් සනත් ජයසූරියට යි. ඊට අමතරව පන්දු 29කින් අර්ධ ශතකය ලබාගත් අර්ජුණ රණතුංග එම අවධියේ ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළා. එහි දී අර්ජුණ අතින් බිඳ වැටුණේ 1975 ලෝක කුසලානයේ දී  එංගලන්ත පිතිකරු ක්‍රිස් ඕල්ඩ් ඉන්දියාව හමුවේ පන්දු 30කින් ලකුණු 51ක් ලබාගෙන තබා තිබුණු වාර්තාව යි.

අරවින්ද ද සිල්වා (gettyimages)

ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව වාර්තා කළ මුල්ම ටෙස්ට් ජයග්‍රහණය

1999 වසරේ පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ මහනුවර අස්ගිරිය ක්‍රීඩා පිටියේ දී යි. එය සනත් ජයසූරිය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නායකත්වය ලබා දුන් මුල්ම තරගය ලෙසින් ඉතිහාසගත වුණා. තරග ආරම්භයේ සිටම ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව දක්ෂ තරග රටාවක නිරත වුණු ශ්‍රී ලංකා කණ්ඩායම කිසිම අවස්ථාවක ඔවුන්ට බුරුලක් ලබාදුන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ටෙස්ට් තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කළේ කැංගරුවන්ට එරෙහිව ලබාගත් මංගල ටෙස්ට් තරග ජයග්‍රහණය වාර්තා කරමින්. පහත දැක්වෙන්නේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම- 188 (පොන්ටිං- 96, මුරලිදරන්- 63/4, සොයිසා- 38/3, වාස්- 43/3)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 234 (අරවින්ද- 78, මහේල- 46, වෝන්- 52/5, මිලර්- 62/4)

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම- 140 (පොන්ටිං- 51, වාස්- 15/3, මුරලිදරන්- 65/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 95/4 (අරවින්ද- 31*, මිලර්- 48/3)

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගයේ අවස්ථාවක් (gettyimages)

ජයසූරිය සහ මාවන්ගේ ත්‍රිත්ව ශතක සබඳතාවය

2000 වසරේදී පැවති ශ්‍රී ලංකා-පාකිස්ථානු ටෙස්ට් තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ අස්ගිරිය පිටියේ දී යි. තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබාදුන් ජයසූරිය සහ අතපත්තු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 335ක සබඳතාවයක් ගොඩනැගුවා. එහි දී අතපත්තු නොදැවී ලකුණු 207 ලබාගන්නා අතරතුර ජයසූරිය ලකුණු 188ක් වාර්තා කිරීමට සමත් වුණා. එලෙස ජයසූරිය සහ අතපත්තු වාර්තා කළ සබඳතාවය අදටත් ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් ටෙස්ට් තරගයක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සබඳතාවය ලෙසින් සටහන් වනවා.

ජයසූරිය සහ මාවන් පන්දුවට පහරදෙමින් (gettyimages)

මුරලිට වාසනාවන්ත පිටියක් වුණු අස්ගිරිය 

2002 වසරේ දී අස්ගිරිය පිටියේ පැවති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 94කින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එහි දී සුපිරි පන්දු යැවීමක නිරත වුණු මුත්තයියා මුරලිදරන් ලකුණු 51කට කඩුලු 9ක් ලබාගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරමින්. එසේම එදා මුරලිදරන් විසින් ලකුණු 51කට කඩුලු 9ක් ලබාගනිමින් සිදු කළ පන්දු යැවීම 21 වැනි සියවසේ දී යම් පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. මුත්තයියා මුරලිදරන් 2007 වසරේ දී එංගලන්ත පිතිකරු පෝල් කොලින්වුඩ්ව දවාගනිමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණේ අස්ගිරිය පිටියේ දී යි.

මුරලි ලෝක වාර්තාව බිඳ දැමූ අවස්ථාව (gettyimages)

ජයසූරියගේ අවසන් ටෙස්ට් ඉනිම 

සනත් ජයසූරිය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළේ අස්ගිරිය පිටියේ දී යි. එහි දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජයසූරිය පන්දු 106කින් ලකුණු 78ක් ලබාගත්තා. එම ඉනිමේ දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ ජයසූරිය විසින් ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දු වාරයකට හතරේ පහර 6ක් එල්ල කිරීම යි. එය ශ්‍රී

ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ යම් පිතිකරුවෙකු පන්දු වාරයක දී ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

ජයසූරියගේ ඉනිමේ අවස්ථාවක් 

අස්ගිරිය පිටියේ අමිහිරි මතක 

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ඉනිමක අඩුම ලකුණු ප්‍රමාණයකට දැවීගියේ අස්ගිරිය පිටියේ දී යි. ඒ 1994 වසරේ දී පාකිස්ථානු කණ්ඩායම හමුවේ ලකුණු 71කට දැවී යමින්. එසේම 2006 වසරේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය හමුවේ ලකුණු 73කට දැවීගියේත් මෙම පිටියේ දී යි. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97කට දැවීගියේ 1984 වසරේ දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී යි. එදා ශ්‍රී ලංකාව ලද අනපේක්ෂිත පරාජය නිසා ක්‍රිකට් රසිකයන් අප කණ්ඩායමට ගල් මුල් ප්‍රහාර පවා එල්ල කළ බව මෙහි දී සිහිපත් කළ යුතු යි.

ශ්‍රී ලංකාව ලකුණු 73කට දැවීගිය ඉනිමේ අවස්ථාවක් (gettyimages)

CCC ක්‍රිකට් ක්‍රීඩාංගනය 

මෙම ක්‍රීඩාංගනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වුණේ 1984 වසරේ සිට 1987 වසර දක්වා යි. එම කාල සමය තුළ CCC පිටියේ දී පැවැත්වුණේ ටෙස්ට් තරග 3ක් පමණ යි. පහත දැක්වෙන්නේ මෙම පිටිය ආශ්‍රිතව බිහි වුණු ක්‍රිකට් වාර්තා යි.

කෝසල කුරුප්පුආරච්චිගේ මනරම් පන්දු යැවීම 

1986 වසරේ CCC පිටියේ පැවති ශ්‍රී ලංකා-පාකිස්ථාන් ටෙස්ට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු දෙවන ටෙස්ට් ජයග්‍රහණය යි. එදා සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ කෝසල කුරුප්පුආරච්චි පාකිස්ථානු පළමු ඉනිමේ දී ලකුණු 44කට කඩුලු 5ක් දවාගත්තා. එය ලාංකීය පන්දු යවන්නෙකු මංගල ටෙස්ට් ඉනිමේ දී කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාව යි. පහත දැක්වෙන්නේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

පාකිස්ථානු පළමු ඉනිම- 132 (සලීම් මලික්- 4, කෝසල කුරුප්පුආරච්චි- 44/5, අසන්තා ද මෙල්- 39/3)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 273 (අර්ජුණ රණතුංග- 77, වසීම් අක්‍රම්- 55/4)

පාකිස්ථානු දෙවන ඉනිම- 172 (කාසිම් උමාර්- 52, රවී රත්නායක- 37/5, අසන්තා ද මෙල්- 79/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 32/2 (අසංක ගුරුසිංහ- 9*, ඉම්රාන් ඛාන්- 18/2)

බ්‍රෙන්ඩන්ගේ මැරතන් ඉනිම 

1987 වසරේ මෙම පිටියේ පැවති ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගයේ දී බ්‍රෙන්ඩන් කුරුප්පු නොදැවී ලකුණු 201ක් ලබාගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගත් පිතිකරුවා ලෙස වාර්තා අතරට එකතු වෙමින්. එසේම එය බ්‍රෙන්ඩන්ගේ මංගල ටෙස්ට් තරගය බවට ද පත්වීම සුවිශේෂී සිදුවීමක් වුණා. එම තරගයේ දී බ්‍රෙන්ඩන් ශ්‍රී ලංකා කඩුලු රකින්නා ලෙස ද කටයුතු කළ නිසා දින පහේ දීම පා ආවරණ පැළඳ සිටිමින් විරල ගණයේ වාර්තාවක් තැබුවා.

බ්‍රෙන්ඩන් කුරුප්පු (gettyimages)

ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගනය

1984-1993 කාල සමය තුළ මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී ටෙස්ට් තරග 4ක් සහ එක්දින තරග 6ක් පැවැත්වුණා. මෙම ක්‍රිකට් පිටියේ මුල් යුගයේ දී හඳුන්වනු ලැබුවේ ද සොයිසා ක්‍රීඩාංගනය නමින්. 

කර්නයින්ගේ සුපිරි පන්දු යැවීම 

මෙම පිටියේ දී මුල්ම වරට එක්දින තරගයක් පැවැත්වුණේ 1984 වසරේ දී යි. ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර යි. එදා ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 116ක් පමණ යි. එහි දී සිය මංගල එක්දින තරගය සඳහා සහභාගි වුණු උවයිස් කර්නයින් ලකුණු 26කට කඩුලු 5ක් දවාගත්තා. එදා ඔහු ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළේ එක්දින තරග ඉතිහාසය තුළ මංගල එක්දින තරගයේ දී කඩුලු 5ක් දවාගත් මුල්ම පන්දු යවන්නා බවට පත්වෙමින්.

ජයසූරිය හමුවේ එංගලන්තය මට්ටු වුණු හැටි 

1993 වසරේ දී මොරටුව පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලුදෙනාම දැවී ලබාගත්තේ ලකුණු 180ක් පමණ යි. එහි දී එංගලන්ත ඉනිම සුණු විසුණු කළ සනත් ජයසූරිය ලකුණු 29කට කඩුලු 6ක් දවාගත්තේ එක්දින තරගයක දී කඩුලු 6ක් දවාගත් මුල්ම ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වෙමින්.

කවරයේ ඡායාරූපය- මුරලිදරන් විසින් වෝන්ගේ ලෝක වාර්තාව බිඳ දැමීමෙන් පසුව (gettyimages)

Related Articles