Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මත්ද්‍රව්‍ය ජාවාරම නිසා රටක පාපන්දු ක්‍රීඩාව විනාශ වුණු හැටි

දකුණු ඇමරිකානු මහද්වීපයට අයත් කොළොම්බියාව දැනට සියවසකට ආසන්න කාලයක සිට ජාත්‍යන්තර පාපන්දු තරග සඳහා සහභාගි වනවා. වර්තමානය වන විට අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල මුල් කණ්ඩායම් 10 අතර රැඳී සිටින කොළොම්බියා කණ්ඩායම පසුගිය වසර කිහිපයේ දී ලෝක පාපන්දු පිටිය තුළ පෙරළිකාර දස්කම් දැක්වීමට සමත් වුණා. එම නිසා ඔවුන් මීට වසර 6කට පමණ පෙර පාපන්දු ලෝක ශ්‍රේණිගතකිරීම්වල මුල් කණ්ඩායම් ත්‍රිත්වය අතර රැඳී සිටියා. 

පසුගිය දශකය තුළ කොළොම්බියාවේ පාපන්දු ක්‍රීඩාවට හොඳ කලක් උදා වුණත් මීට දශක 4කට පමණ පෙර ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩාවට අභාග්‍යසම්පන්න කාල සමයක් උදා වී තිබුණා. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොළොබියාවේ පාපන්දු ක්‍රීඩා සමාජවල බලය අල්ලා ගැනීම නිසා යි. 

කොළොම්බියාවේ පාපන්දු ඉතිහාසය පිළිබඳව කෙටියෙන් 

කොළොම්බියාවට පාපන්දු ක්‍රීඩාව හඳුන්වා දුන්නේ 19 වැනි සියවසේ අග භාගයේ දී යි. මුල්ම වරට කොළොම්බියාව තුළ පාපන්දු තරගයක් 1888 වසරේ දී පවත්වනු ලැබුවා. ක්‍රමයෙන් ප්‍රචලිත වුණු පාපන්දු ක්‍රීඩාව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඇරඹුණේ 1924 වසරේ කොළොම්බියානු පාපන්දු සම්මේලනය ආරම්භ වීමත් සමග යි. එසේම 1924 වසරේ දී එරට පළමු පෙළ පාපන්දු තරගාවලිය ද ආරම්භ වුණා. ඉන් වසර 2කට පසුව කොළොම්බියානු පාපන්දු කණ්ඩායම සිය පළමු ජාත්‍යන්තර පාපන්දු තරගය සඳහා සහභාගි වුණා. ඒ කොස්ටරිකා කණ්ඩායමට එරෙහිව යි. එම තරගයෙන් කොළොම්බියාව ගෝල 4-0ක පහසු ජයක් වාර්තා කළා. 

කොළොම්බියා පාපන්දු සම්මේලනයේ නිල ලාංඡනය (clean.com)

කොළොම්බියාව 1936 වසරේ දී ලෝක පාපන්දු සම්මේලනයේ සාමාජිකයෙකු බවට පත් වුණා. එසේම 1940 වසරේ දී ඔවුන් දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලයේ සාමාජිකත්වය ලබාගත්තා. නමුත් දකුණු ඇමරිකානු කලාපයෙන් බිහිවුණු බ්‍රසීලය, ආජන්ටිනාව, සහ උරුගුවේ යන රටවල් පාපන්දු පිටිය තුළ දක්නට ලැබුණු ප්‍රබලම කණ්ඩායම් වුණා. එම නිසා 60 දශකය වන තුරු කොළොම්බියාවට පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. කොළොම්බියානු පාපන්දු ලෝලීන් දශක කිහිපයක් බලා සිටි එම අවස්ථාව උදා වුණේ 1962 පාපන්දු ලෝක කුසලානයට  සුදුසුකම් ලැබීම සඳහා පැවති තරගාවලියේ දී යි. එම තරගාවලිය යටතේ පේරු රාජ්‍යය සමග පැවති තරග වට ද්විත්වය අවසානයේ දී ගෝල 2-1ක් ලෙස ඉදිරියෙන් සිටි කොළොම්බියාව පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගත්තා. 

මාකස් කල්ගේ විරල දස්කම 

1962 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය චීලී දේශයේ දී පැවැත්වුණා. එම තරගාවලිය සඳහා සහභාගි වුණු කොළොම්බියා කණ්ඩායම මූලික වටයේ දී තරග කළේ උරුගුවේ, යුගෝස්ලෝවියාව, සහ සෝවියට් රුසියාව යන කණ්ඩායම්වලට එරෙහිව යි. එහි දී යුගෝස්ලාවියාව හමුවේ 5-0 ලෙසින් ද උරුගුවේ හමුවේ 2-1 ලෙසින් ද පරාජය වුණු කොළොම්බියා කණ්ඩායම සෝවියට් රුසියාවට එරෙහිව පැවති තරගය 4-4 ලෙසින් අවසන් කළා. එම තරගයේ දී කොළොම්බියාවේ මාකස් කල් නම් ක්‍රීඩකයා පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ වාර්තා වුණු එකම ඔලිම්පික් ගෝලය (කෝණ පහර කෙළින්ම දැල තුළට එල්ල කර ලබාගන්නා ගෝලය) වාර්තා කළා. එදා ලෝක පාපන්දු පිටිය තුළ සිටි දක්ෂතම දැල් රකින්නෙකු වුණු ලෙව් යාෂින් හමුවේ කල් එම ගෝලය වාර්තා කිරීම කැපී පෙණුනු සිදුවීමක් වුණා.

කල් විසින් ඔලිම්පික් ගෝලය වාර්තා කළ අවස්ථාව (The Guardian)

කොළොම්බියානු පාපන්දුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හසුවීම 

70 දශකය පමණ වන විට මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කොළොම්බියාවේ ප්‍රධාන ධනෝපායන මාර්ගය ද දේශපාලනය හසුරවන බලවේගය බවට ද පත්ව තිබුණා. කොළොම්බියාව තුළ විශාල බලයක් පතුරවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොළොම්බියානු පාපන්දු ක්‍රීඩා සමාජත් ඔවුන්ගේ අණසකට නතු කරගත්තා. 

එම අවධිය වන විට කොළොම්බියානු මත්ද්‍රව්‍ය ව්‍යාපාරය තුළ බලවත්ම පුද්ගලයා බවට පත්ව සිටියේ පැබ්ලෝ එස්කොබාර් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා යි. ඔහුට අයත්ව තිබුණු මෙඩෙල්ලින් මත්ද්‍රව්‍ය සමාගම විසින් බොගෝටා නගරයේ තිබුණු ප්‍රධානතම පාපන්දු ක්‍රීඩා සමාජ 2ක අයිතිය ලබාගත්තා. ඒ මිලොනාරියස් සහ ඇත්ලැටිකෝ නැෂනල් යන පාපන්දු ක්‍රීඩා සමාජ දිවිත්වය යි. එලෙස එස්කොබාර් විසින් ප්‍රබලතම පාපන්දු සමාජ 2ක අයිතිය ලබාගන්නා විට කාලි නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වුණු මිගෙල් ඔරෙජුවාලාගේ මත්ද්‍රව්‍ය කල්ලිය විසින් ඇමෙරිකානම් පාපන්දු සමාජයේ අයිතිය ලබාගත්තා. ඉන් අනතුරුව කොළොම්බියාවේ පාපන්දු ක්‍රීඩාව පාලනය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඕනෑ එපාකම් මත යි. 

පැබ්ලෝ එස්කොබාර් (aetv.com)

පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි වෙයි 

1970 වසරේ දී මයිසාල් බෝරෙරෝ කොළොම්බියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා. ක්‍රීඩාවට විශාල ඇල්මක් දැක්වූ ඔහු 1986 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සඳහා ලංසුවක් ඉදිරිපත් කළා. එදා බොරෙරෝ ඉදිරිපත් කළ ලංසුව ජයග්‍රහණය කළ නිසා 1986 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය කොළොම්බියාවට හිමි වුණේ 1974 වසරේ ජූනි මාසයේ දී යි. එම යුගය වන විට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණේ කණ්ඩායම් 16ක් පමණ යි. ඒ අනුව කොළොම්බියාව බොගෝටා, කාලි, මෙඩෙල්ලින් ඇතුළු නගර 5ක් තුළ තරගාවලිය පැවැත්වීම සඳහා සැලසුම් කළා. 1974 වසරේ අගෝස්තු මාසය වන විට බොරෙරෝගේ ජනාධිපති ධූර කාලය අවසන් වුණා. ඉන් පසුව බලයට පැමිණි ජනාධිපතිවරයා ඉදිකරමින් තිබුණු ක්‍රීඩාංගණවල වැඩ කටයුතු ඉදිරියට රැගෙන ගියා.

මයිසාල් බොරෙරෝ (kienyke.com)

කොළොම්බියාව නොසන්සුන් වෙයි 

කොළොම්බියා රජය පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීම සඳහා සූදානම් වෙමින් සිටින අතරතුර කොළොම්බියාව තුළ දේශපාලන නොසන්සුන්තාවයක් ඇති වුණා. කොළොම්බියාව තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණු අවස්ථාවේ  M-19 සහ FARC වැනි ගරිල්ලා කණ්ඩායම් රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළා. එසේම පැබ්ලෝ එස්කොබාර්, මිගෙල් ඔරෙජුවාලා වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද කොළොම්බියාව තුළ  ප්‍රචණ්ඩත්වය වැපිරීම සඳහා සහාය ලබාදුන්නා. එම නිසා ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු හොඳින් කරගෙන යාමට හැකි වුණා. එලෙස කොළොම්බියාව තුළ සිදුවුණු අරගල නිසා ඔවුන්ගේ ආර්ථිකය අඩපණ වුණා. 

පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වයෙන් ඉවත් වෙයි 

1982 වසර වන විටත් කොළොම්බියාව පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය සඳහා අවශ්‍ය ක්‍රීඩාංගණ ඉදිකරමින් සිටියා. ඒ වන විට ඔවුන්ගේ ආර්ථිකය අඩපණ වී තිබුණු නිසා ලෝක කුසලානය පැවැත්වීම සඳහා සිදුකළ ඉදිකිරීම්වලට ආයෝජනය කිරීමට තරම් මුදල් තිබුණේ නැහැ. එවැනි වටපිටාවක කොළොම්බියා රජය තවත් විශාල ගැටළුවකට මුහුණ දුන්නා. ඒ 1982 වසරේ සිට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු රටවල් ප්‍රමාණය 24 දක්වා වැඩි කිරීම යි. එම නිසා කොළොම්බියාවට 1986 පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමට සිදුවුණේ රටවල් 24ක සහභාගිත්වය ඇතිව යි. තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතව තිබුණු රටවල් ප්‍රමාණය වැඩි වීම නිසා කොළොම්බියාවට තරගාවලිය සංවිධානය කිරීමට අපහසු වාතාවරණයක් නිර්මාණය වුණා. එසේම කොළොම්බියාව තුළ පැවති නොසන්සුන්කාරී තත්ත්වය නිසා ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමට අපහසු වටපිටාවක් පැවතුණා. රට තුළ එවැනි අස්ථාවර තත්ත්වයක් තිබිය දී පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට නොහැකි නිසා කොළොම්බියාව පාපන්දු ලෝක කුසලාන තරගාවලි සත්කාරකත්වයෙන් ඉවත් වුණා. ඉන් පසුව මෙක්සිකෝවට ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමි වුණා. ඒ අනුව පාපන්දු ලෝක කුසලානයට දෙවරක් සත්කාරකත්වය ලබා දුන් මුල්ම රට බවට පත්වීමේ අවස්ථාව ඔවුන්ට හිමි වුණා. 

1986 වසරේ දී මෙක්සිකෝවේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාවක් (gettyimages)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාපන්දු ක්‍රීඩාව විනාශ කරයි 

කොළොම්බියාවේ පාපන්දු ක්‍රීඩා සමාජවල අයිතිය ලබාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාපන්දු ක්‍රීඩා සමාජ වෙනුවෙන් ඔට්ටු ඇල්ලීම සිදු කරනු ලැබුවා. එම නිසා එරට පැවති දේශීය පාපන්දු තරගවල දී මුදලට තරග පාවාදීම් බහුලවම සිදු වුණා. එවැනි පාවාදීම්වලට විරුද්ධ වුණු පාපන්දු ක්‍රීඩකයන් පැහැරගෙන යාම සහ මරා දැමීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නියෝග ලබාදුන්නා. 1989 වසරේ දී කොළොම්බියාවේ පැවති දේශීය පාපන්දු තරගයක දී ඔරෙජුවාලාගේ ඇමෙරිකා පාපන්දු ක්‍රීඩා සමාජය සහ එස්කොබාර්ගේ එක් පාපන්දු ක්‍රීඩා සමාජයක් අතර තරගයක් පැවැත්වුණා. අල්වාරෝ ඔර්ටෙගා එම තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙසින් කටයුතු කළා. එදා ඔර්ටෙගා විනිසුරුවරයා විසින් ලබාදුන් තීරණයක් නිසා තරගයේ ප්‍රතිඵලයෙහි බලාපොරොත්තු නොවුණු වෙනසක් සිදු වුණා. එමඟින් තරගය සඳහා ඔට්ටු ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විශාල මුදලක් අහිමි වුණා. ඉන් උරණ වුණු ජාවාරම්කරුවන් ඔර්ටෙගා විනිසුරුවරයාව වෙඩි තබා මරා දමනු ලැබුවා. 80 දශකය තුළ කොළොම්බියාව තුළ සිදු වුණු එවැනි සිදුවීම් නිසා එරට පාපන්දු ක්‍රීඩාව ගැටළු මැදින් ඉදිරියට ගියා.

අල්වාරෝ ඔර්ටෙගා (vanguardia)

වසර 28කට පසුව පාපන්දු ලෝක කුසලාන වරම් ලබයි 

එස්කොබාර් සහ ඔරෙජුවාලා වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එරට පාපන්දු ක්‍රීඩාවට විවිධ ආකාරයේ බලපෑම් කළත් ඔවුන් ක්‍රීඩාව පවත්වාගෙන යාම සඳහා මහා පරිමාණයෙන් මුදල් යොදවනු ලැබුවා. එම නිසා එරට සිටි දක්ෂ ක්‍රීඩකයන් වෙනත් රටවල ක්‍රීඩා සමාජ සඳහා එක් වීම නැවතුණා. එහි ප්‍රතිඵලයක් ලෙස එස්කොබාර්ගේ ඇත්ලටිකෝ නැෂනල් කණ්ඩායම 1989 වසරේ දී දකුණු ඇමරිකානු පාපන්දු ක්‍රීඩා සමාජ අතර පවත්වන කෝපා ලිබර්ටඩෝර්ස් තරගාවලියේ ශූරතාවය හිමිකරගත්තා. එසේම කොළොම්බියාව 1990 වසරේ දී ඉතාලියේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියට පවා සුදුසුකම් ලබාගත්තා. එවර තරගාවලියේ දී දෙවන වටයට සුදුසුකම් ලබාගත් කොළොම්බියාව පළමු තරග වටයේ දී ප්‍රබල බටහිර ජර්මානු කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කළා. එම තරගාවලියේ ශූරතාවය දිනාගත් බටහිර ජර්මානු කණ්ඩාමට තරගාවලිය තුළ දී ජයග්‍රහණය කිරීමට නොහැකි වුණේ එම තරගය පමණ යි. 

කොළොම්බියා-බටහිර ජර්මානු තරගයේ අවස්ථාවක් (gettyimages)

අන්ද්‍රේස් එස්කොබාර්ට අත් වුණු අවාසනාවන්ත ඉරණම 

1993 වසරේ දෙසැම්බර් මාසයේ දී  පැබ්ලෝ එස්කොබාර් වෙඩි පහරකින් මරණයට පත්වුණා. එම අවධිය වන විට කොළොම්බියානු පාපන්දු කණ්ඩායම ඉතාමත් ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව සිටියා. ඔවුන් 1994 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පෙරළියක් කරනු ඇති බවට අනාවැකි පළ වුණා. එවැනි වටපිටාවක ඇමරිකාවේ දී ආරම්භ වුණු 1994 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය දෙස කොළොම්බියානු ජනතාව වඩාත් උනන්දුවෙන් බලා සිටියා. නමුත් කොළොම්බියානු පාපන්දු කණ්ඩායමට තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමි වුණේ නැහැ. ඒ ඇමරිකාවට එරෙහිව පැවති තීරණාත්මක තරගයේ දී අන්ද්‍රේස් එස්කොබාර් නම් කොළොම්බියානු ආරක්ෂක පෙළ ක්‍රීඩකයා අත්වැරැදීමකින් තම දැල තුළට පන්දුව යොමු කිරීම නිසා යි. එම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව සිය රටට පැමිණි අන්ද්‍රේස් එස්කොබාර්, මෙඩෙල්ලින් නගරයේ සුපිරි වෙළඳ සංකීර්ණයක සිටිය දී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකින් මරණයට පත්වුණා. එදා එස්කොබාර් නම් ක්‍රීඩකයාගේ මරණය පිළිබඳව පුවත ඇසීමත් සමගම ලොව පුරා සිටි පාපන්දු ලෝලීන් කම්පාවට පත්වුණා.

ඇමරිකාව සමග තරගයේ දී එස්කොබාර්ට සිදුවුණු අත්වැරදීම (gettyimages)

90 දශකයෙන් පසුව කොළොම්බියානු පාපන්දුව තුළ තිබුණු ප්‍රශ්න ක්‍රමයෙන් අඩු වුණු නිසාම ඔවුන් 2013 වසරේ ජූලි මාසය වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල තෙවන ස්ථානයට දක්වා පැමිණියා. එසේම 2014 වසරේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා. එම තරගාවලියේ දී වැඩිම ගෝල ලාභියාට හිමි රන් සපත්තුව ගෝල 6ක් ලබාගත් කොළොම්බියාවේ ජේම්ස් රොද්‍රිගස්ට හිමි වුණා. එසේම තරගාවලියේ විනයගරුකම කණ්ඩායමට හිමි සම්මානයත් කොළොම්බියාවට හිමි වුණා. ඒ අනුව වර්තමානය වන විට කොළොම්බියාව ජාත්‍යන්තර පාපන්දු පිටිය තුළ සාර්ථක ගමනක් යමින් සිටිනවා. 1986 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය අහිමිවීමෙන් පසුව ඔවුන්ට තවමත් පාපන්දු ලෝක කුසලානයක් පැවැත්වීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඉදිරියේ දී කොළොම්බියාව තුළ එම තරගාවලිය පැවැත්වීම සඳහා එරට පාපන්දු සම්මේලනය උපරිම උත්සාහයක් දරනු ඇති. එම උත්සාහය සාර්ථක වුණොත් කොළොම්බියානු වැසියන් දශක 4කට වැඩි කාලයක් තිස්සේ දකින සිහිනය ඉටු වේවි.

කවරයේ ඡායාරූපය- කොළොම්බියා කණ්ඩායම 1990 පාපන්දු ලෝක කුසලානයේ දී (gettyimages)

මූලාශ්‍රයයන්- Colombian soccer and the drug lords

Related Articles