Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දසුන් සහ ෂෙහාන් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වාර්තාවක් අලුත් කරයි

මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය පසුගිය සඳුදා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 67ක පරාජයක් උරුම වුණත් දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කළා. ලකුණු 306ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 28කට දැවීගිය අවස්ථාවේ පිටියේ එක්වුණු දසුන් සහ ෂෙහාන් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 177ක වාර්තාගත සබඳතාවයක් ගොඩනැගුවා. එලෙස ඔවුන් දෙදෙනා ගොඩනැගූ සබඳතාවය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු හොඳම සබඳතාවය වුණා. එසේම එය එක්දින ජාත්‍යන්තර තරගවල දී 6 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු හොඳම සබඳතාවයන් 4 අතරට ද අයත් වනවා.

වසර 11ක් පැරණි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වාර්තාවක් බිඳ වැටෙයි 

දසුන් සහ ෂෙහාන් අතින් බිඳවැටුණේ චාමර සිල්වා සහ චාමර කපුගෙදර 2008 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබුණු ලකුණු 159ක සබඳතාවය යි. ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු එක්දින තරගයක දී 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සබඳතාවයන් 5 මෙසේ දැක්විය හැකියි.

ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක – ලකුණු 177  (2019 වසරේ දී)

2019 වසරේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති එක්දින තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දී යි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම ලබාගත් ලකුණු 305ට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 28ක් තුළ දැවීගියා. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය පන්දු 184කින් ලකුණු 177ක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරමින්. එහිදී ෂෙහාන් පන්දු 109කින් ලකුණු 96ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් දසුන් පන්දු 80කින් ලකුණු 68ක් ලබාගත්තා.

දසුන් සහ ෂෙහාන්ගේ සබඳතාවයේ අවස්ථාවක් (gettyimages)

චාමර සිල්වා සහ චාමර කපුගෙදර  – ලකුණු 159 (2008 වසරේ දී)

2008 වසරේ දී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ පෝර්ට් ඔෆ් ස්පේන් නුවර ක්වීන්ස් පාක් ඕවල් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 49ක් තුළ දැවීගියේ ඩ්වේන් බ්‍රාවෝගේ මනරම් පන්දු යැවීම නිසා යි. ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටෙමින් තිබුණු අවස්ථාවේ පිටියේ එක්වුණු චාමර සිල්වා සහ චාමර කපුගෙදර පන්දු 189කින් ලකුණු 159ක් එකතු කළේ ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනගමින්. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වුණු කපුගෙදර පන්දු 117කින් ලකුණු 95ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් සිල්වා පන්දු 96කින් ලකුණු 67ක් ලබාගත්තා.

කපුගෙදර සහ සිල්වා පන්දුවට පහරදෙමින් (gettyimages)

මාවන් අතපත්තු  සහ රසල් ආනල්ඩ් – ලකුණු 133  (2005 වසරේ දී)

2005 වසරේ දී පැවති ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ 7 වැනි තරගය වදෝදරා නුවර රිලයන්ස් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 85ක් තුළ දැවීගියේ රුද්‍රා ප්‍රතාප් සිංගේ දක්ෂ පන්දු යැවීම නිසා යි. මුල් කඩුලු 5ම ඉක්මනින් දැවීගියත් ඉන් නොසැලුණු අතපත්තු සහ ආනල්ඩ් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 127කින් ලකුණු 133ක් එකතු කළේ ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරමින්. එහිදී ආනල්ඩ් පන්දු 69කින් ලකුණු 68ක් ලබාගන්නා විට අතපත්තු පන්දු 68කින් ලකුණු 59ක් ලබාගත්තේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින්.

අතපත්තු පන්දුවට පහරදෙමින් (gettyimages)

අර්ජුණ රණතුංග සහ රුවන් කල්පගේ  – ලකුණු 132 (1994 වසරේ දී)

1994 වසරේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු එක්දින තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ හයිද්‍රාබාද් නුවර ලාල් බහදූර් ශාස්ත්‍රි ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මනෝජ් ප්‍රභාකර්ගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ අසරණ වුණු නිසාම ඔවුන්ගේ මුල් කඩුලු 5ම ලකුණු 65ක් තුළ දැවීගියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක්වුණු අර්ජුණ රණතුංග සහ රුවන් කල්පගේ ලකුණු 132ක මනරම් සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ඉනිමට යළි ජීවය දෙමින්. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ අර්ජුණ පන්දු 115කින් ලකුණු 98ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් කල්පගේ පන්දු 104කින් ලකුණු 51ක් ලබාගත්තා.

අර්ජුණ රණතුංග (gettyimages)

තිලකරත්න දිල්ෂාන්  සහ රසල් ආනල්ඩ් – ලකුණු 131 (2005 වසරේ දී)

2005 වසරේ දී පැවති ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ 5 වැනි තරගය අහමදාබාද් නුවර සර්දාර් පටෙල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී ලකුණු 286ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 155කට දැවීගියා. ඉන්දීය කණ්ඩායම දෙසට තරගය නැඹුරු වෙමින් පැවතුණු එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු දිල්ෂාන් සහ ආනල්ඩ් පන්දු 107කින් නොබිඳුණු ලකුණු 131ක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කරමින්. එහිදී දිල්ෂාන් පන්දු 67කින් නොදැවී ලකුණු 81ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් ආනල්ඩ් පන්දු 47කින් නොදැවී ලකුණු 49ක් ලබාගත්තා. 

දිල්ෂාන් ජයග්‍රාහී ලකුණ වාර්තා කරමින් (gettyimages)

එක්දින තරගවල දී 6 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම සබඳතා

එක්දින තරගවල දී 6 වැනි කඩුල්ල සඳහා වාර්තා වුණු ඉහළම සබඳතාවයන් හතර අතරට දසුන් සහ ෂෙහාන් ගොඩනැගූ ලකුණු 177ක සබඳතාවයත් අයත් වනවා. එලෙස එක්දින තරගයක දී වාර්තා වුණු ඉහළම සබඳතාවයන් හතර මෙසේ දැක්විය හැකියි.

1) නවසීලන්ත පිතිකරුවන් දෙදෙනෙකු වුණු ලුක් රොංකි සහ ග්‍රාන්ට් එලියට් 2015 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එක්දින තරගයක දී පන්දු 180කින් නොබිඳුණු ලකුණු 267ක සබඳතාවයක් ගොඩනැගුවා. එහිදී රොංකි පන්දු 99කින් නොදැවී ලකුණු 170ක් ලබාගන්නා විට එලියට් පන්දු 96කින් නොදැවී ලකුණු 104ක් ලබාගත්තා.

2) 2007 වසරේ ආසියානු කණ්ඩායම සහ අප්‍රිකානු කණ්ඩායම අතර පැවති තෙවැනි එක්දින තරගයේ දී ආසියානු කණ්ඩායමේ මහේල ජයවර්ධන සහ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 178කින් ලකුණු 218ක සබඳතාවයක් ගොඩනැගුවා. එහිදී දෝනි පන්දු 97කින් නොදැවී ලකුණු 139ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් මහේල පන්දු 106කින් ලකුණු 107ක් ලබාගත්තා.

3) සිම්බාබ්වේ පිතිකරුවන් දෙදෙනෙකු වුණු ටටෙන්ඩා ටයිබු සහ ස්ටුවර්ට් මට්සිකෙන්යෙරී 2009 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක්දින තරගයක දී පන්දු 186කින් ලකුණු 188ක අගනා සබඳතාවයක් ගොඩනැගුවා. එහිදී ටයිබු පන්දු 112කින් නොදැවී ලකුණු 103ක් ලබාගන්නා විට මට්සිකෙන්යෙරී පන්දු 87කින් ලකුණු 86ක් ලබාගත්තා.

4) ශ්‍රී ලංකාවේ ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක 2019 වසරේ දී පාකිස්ථානයට එරෙහිව පැවති එක්දින තරගයක දී පන්දු 184කින් ලකුණු 177ක අගනා සබඳතාවයක් ගොඩනගනු ලැබුවා. එහිදී ෂෙහාන් පන්දු 109කින් ලකුණු 96ක් ලබාගන්නා විට ශානක පන්දු 80කින් ලකුණු 68ක් ලබාගත්තා.

6) මහේල සහ දෝනි පන්දුවට පහරදෙමින් 

කවරයේ ඡායාරූපය - ෂෙහාන් සහ දසුන් සබඳතාවය අතරතුර (gettyimages)

Related Articles