Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වට්මෝර් මුලින්ම වැඩ පෙන්නූ හැටි

1995 වසරේ මාර්තු මාසයේ දී නවසීලන්තය ඔවුන්ගේ රට තුළ දීම ටෙස්ට් තරගාවලියකින් පරාජය කළ ශ්‍රී ලංකා පිල, වසර ගණනාවක් පිපාසයෙන් සිටි මුල්ම විදෙස් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය එලෙස ලබාගත්තේ ලංකා ක්‍රිකට්වලට එය අවශ්‍යම වූ යුගයක යි. එසේ ලබාගත් එම ජයග්‍රහණයත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව පිබිදීමක් දුටු අතර එම පිබිදීම දෙගුණ තෙගුණ වූයේ 1995 වසරේ අප්‍රේල් මාසයේ දී ඩේව් වට්මෝර් ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස පත්වීමත් සමග යි. එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වුණු ඩේව් වට්මෝර්ට පැවරුණු මුල්ම සංචාරය වූයේ අභියෝගාත්මක පාකිස්ථානු සංචාරය යි.                                       

පාකිස්ථානය එම යුගයේ දී

එම අවදියේ එක්දින පිටියේ ලෝක ශූරයන් ලෙස වැජඹුණු පාකිස්ථානු කණ්ඩායම සතුව සෑමවිටම දක්ෂ කණ්ඩායමක් සිටි යා. එනිසා විශේෂයෙන්ම ඔවුන්ගේ බිමේ දී එක්දින තරගවල දී  ඔවුන්ව පරාජය කිරීම ලේසි පහසු වුණේ නැහැ. එක්දින තරගවල දී දස්කම් දැක්වූ පාකිස්ථානු කණ්ඩායම සමග ඔවුන්ගේ බිමේ දී ප්‍රතිවාදීන් මුහුණදුන් ප්‍රබලම අභියෝගය වුණේ පාකිස්ථානු බිමේ දී ටෙස්ට් තරගාවලියක් ජයගැනීම යි. එදා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට යන විට ඔවුන් වසර 15ක් ඔවුන්ගේ බිමේ දී ටෙස්ට් තරගාවලියක් පරාජය වී තිබුණේ නැහැ. පාකිස්ථානු කණ්ඩායම අවසන් වරට එහි ටෙස්ට් තරගාවලියක් පරාජය වී තිබුණේ 1980 වසරේ එහි සංචාරය කර තිබුණු ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් පිල හමුවේ යි. ඊට අමතරව පාකිස්ථානය 1980-1995 කාලය තුළ මව්බිමේ දී පරාජය වී තිබුණේ ටෙස්ට් තරග 3ක් පමණක් යි. එම තරග 3ම ඔවුන් කොදෙව්වන් හමුවේ පරාජය වී තිබීම ද විශේෂත්වයක් වුණා.

ශ්‍රී ලංකා – පාකිස්ථානු ටෙස්ට් තරගාවලිය

තරග 3කින් සමන්විත වුණු මෙම ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්ථානු කණ්ඩායමට නායකත්වය දුන් රමීස් රාජා පාකිස්ථානු පිලට නායකත්වය දුන් මුල්ම අවස්ථාව එය වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ සටනට පිවිසි අතර තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පේෂාවර් නුවර පැවැත්වුණා. ඉතිරි තරග 2ක පිළිවෙලින් ෆයිසලාබාද් සහ සියල්කොට්වල දී  පැවැත්වුණා.

පේෂාවර්හී දී පාකිස්ථානුවන් ජයපැන් බොයි

පේෂාවර්හි දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී කාසියේ වාසිය දිනූ පාකිස්ථානු නායක රමීස් රාජා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. එම තීරණයට සාධාරණය ඉටුකළ ඔවුන්ගේ පිලේ පිතිකරුවන් 5දෙනෙකුම එහිදී අර්ධ ශතක ලබාගත්තේ දින 2කට ආසන්න කාලයක් පන්දුවට පහර දී 459/9 වැනි දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබාගනිමින්. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පාකිස්ථානු ඉනිම ශක්තිමත් කරමින් ඉන්සාමාම් ලකුණු 95ක්, රමීස් රාජා 78ක්, ෂොයිබ් මොහොමඩ් 57ක්, මොයින් ඛාන් 51ක් හා, ආරම්භක පිතිකරු අන්වර් ලකුණු 50ක් ලබාගනිද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ වාස් 99/5ක් හා මුරලි 134/4ක් ලෙස කඩුලු ලබාගත්තා.

චමින්ද වාස් (gettyimages)

ඉන්සාමාම් (gettyimages)

පාකිස්ථානු කණ්ඩායමේ පළමු ඉනිම අවසන් වීමෙන් අනතුරුව සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල සතුව සිටි විශ්වාසනීයම පිතිකරු අරවින්ද නොමැති වීම ශ්‍රී ලංකාට බලවත් පාඩුවක් වුණා. අරවින්ද ඒ වන විට එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත පිල සමග එක්ව සිටි නිසා ඔහුට මෙම පළමු ටෙස්ට් තරගය සදහා සහභාගී වීමට නොහැකි වුණා. එදා අරවින්ද නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානු පිලේ සිටි මාරාන්තික වමත් වේගපන්දු යවන්නා වුණු වසීම් අක්‍රම් 55/5 ලෙස පන්දුවෙන් දැක්වූ දස්කම් ඉදිරියේ අන්ත අසරණ වුණේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 186 දී නිමාකරගනිමින්. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 6ම ලකුණු 54ක් තුළ බිදවැටෙන විට ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙමින් එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් හෂාන් අවසානයේ දී නොදැවී ලකුණු 44ක් ලබාගත්තේ අර්ධ ශතකය සම්පූර්ණ කරගැනීමට සහායට පිතිකරුවෙකු නොසිටීම හේතුවෙන්.  

වසීම් අක්‍රම් (gettyimages)

පළමු ඉනිමේ දී පාකිස්ථානු පිලට වඩා ලකුණු 273ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල තෙවන දිනය නිමාවන විට 86/2 ලෙසින් පසුවුණේ කලකට පසු කණ්ඩායමට කැඳවූ චන්දික හතුරුසිංහ නොදැවී ලබාගත් ලකුණු 53 නිසා යි. තරමක් සැනසිලිදායක ආකාරයට තෙවන දිනය නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වන දින උදෑසනම හතුරුසිංහ හා සංජීව රණතුංග අහිමි වූ නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 89/4ක් බවට පත්වුණා. එම අවස්ථාවේ පිටියේ එක්වූ අර්ජුන හා හෂාන් ලකුණු 125ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 214/4ක් බවට පත්කළේ ශ්‍රී ලංකා කණ්ඩායම වැටී තිබුණු අගාධයෙන් ගොඩගනිමින්. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස ස්ථාවර තත්ත්වයකට පත්වුණත් එම අවස්ථාවේ දී කිසිවෙකු නොසිතූ අයුරින් එක්වරම අමීර් සොහෙල් හා සක්ලේන් ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 6ම ලකුණු 19ක් තුළ දවාගත් නිසා පාකිස්ථානයට ඉනිමක හා ලකුණු 40ක ජයක් උරුම වුණා. නමුත් අර්ජුන නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් ලබාගත් ලකුණු 76 සැබවින්ම සටන්කාමී ඉනිමක් බවට පත්වුණා.

අර්ජුන රණතුංග (gettyimages)

ෆයිසලාබාද් ගැටුමෙන් සිංහයන්ට තියුණු ජයක්

මෙම තරගයේ දී කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි අරවින්ද නැවතත් ශ්‍රී ලංකා පිලට එක්වීම ශ්‍රී ලංකා පිලට ශක්තියක් වුණා. ෆයිසලාබාද් පිටිය අරවින්දට සුවිශේෂී පිටියක් වුණේ 1985 වසරේ ඉම්රාන් ඛාන්ගේ පන්දුවක් හමුවේ 6 පහරකින් ඔහුගේ මංගල ටෙස්ට් ශතකය මෙහිදී ලබාගැනීම නිසා යි. මෙවරත් කාසියේ වාසිය පාකිස්ථානයට හිමිවූ අතර ඔවුන් මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ඇරයුම් කළා. එහිදී නැවතත් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් පාකිස්ථානු වේගපන්දු යවන්නන් ඉදිරියේ අසාර්ථක වීම නිසා ඔවුන්ගේ මුල් කඩුලු 4ම බිඳවැටුණේ ලකුණු 34ක් තුළ යි. නමුත් එම අසීරු අවස්ථාවේ දී පිටියේ එක්වුණු හතුරුසිංහ හා හෂාන් ලකුණු 83ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩනැගුව ද හතුරුසිංහ ලකුණු 47කට දැවීගියා. ඉන්පසු පිටියට පිවිසි ධර්මසේන ලකුණු නොලබා දුවද්දී දැවීයාම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 117/6ක් බවට පත්වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් ඉක්මනින්ම දැවීගියත් එම අසීරු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු හෂාන් අවසන් පිතිකරුවන් සමග සටන් කරමින් විශිෂ්ඨ ලකුණු 115ක් ලබාගත්තේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 223ක් කරා ඔසවා තබමින්. එහිදී හෂාන් ලබාගත් ශතකය නිසා ශ්‍රී ලංකා පිලට තවදුරටත් මෙම තරගාවලිය තුළ රැඳී සිටීමට හැකිවුණු නිසාම ඔහුගේ එම ශතකය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන ඉනිමක් බවට පත්වුණා.

හෂාන් තිලකරත්න (gettyimages)

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම නිමාවීමෙන් අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ පාකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් අන්වර් ලබාගත් ලකුණු 54, රමීස් රාජාගේ ලකුණු 75, ඉන්සාමාම්ගේ ලකුණු 50ට අමතරව සැදෑ රක්ෂක ලෙස පිටියට පිවිසි සක්ලේන් ලබාගත් ලකුණු 34 නිසා ඔවුන් එක් අවස්ථාවක 214/3 ලෙස ප්‍රබල තත්ත්වයක පසු වුණා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු මුරලිදරන් ලකුණු 68කට කඩුලු 5ක් දවාගෙන  පාකිස්ථානු ඉනිම ලකුණු 333කට සීමා කළ ද ඔවුන් මුල් ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 110ක් ඉදිරියෙන් පසුවීම ඔවුන්ට විශාල වාසියක් වුණා.

මුත්තයියා මුරලිදරන් (gettyimages)                   

පාකිස්ථානු කණ්ඩායමට වඩා ලකුණු 110ක් පිටුපසින් සිට දෙවනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එදා අරවින්ද සහ හතුරුසිංහ ගොඩනැගූ ලකුණු 176ක විශිෂ්ඨ සබඳතාව නිසා ශ්‍රී ලංකා ඉනිම වරෙක 200/2 තරම් ප්‍රබල තත්ත්වයක පැවතුණා. නමුත් හතුරුසිංහ ලකුණු 83කට දැවීයාමත් සමගම ශ්‍රී ලංකා ඉනිම 240/6ක් බවට එක්වරම පත්වුණේ ලකුණු 105ක් ලබාසිටි අරවින්දගේත් නික්ම යාමත් සමගින්. එලෙස එක්වරම ඉනිම බිඳවැටුණත් එදා ශ්‍රී ලංකා කණ්ඩායම නියම සිංහයන් සේ සටන් වැදුණු නිසාම ධර්මසේන හා වාස් 8 වන කඩුල්ලට ලකුණු 67ක සටන්කාමී සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම 361ක් දක්වා ගෙනගියා. එහිදී ධර්මසේන ලකුණු 49ක් හා වාස් ලකුණු 40ක් ලබාගනිමින් පාකිස්ථානු කණ්ඩායමට ලකුණු 252ක ඉලක්කයක් ලබාදුන්නා. එලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා පාකිස්ථානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අකීබ් ජාවෙඩ් 84/5ක් ලෙසින් කඩුලු ලබාගැනීමත් මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි.

අරවින්ද ද සිල්වා (gettyimages)

අනතුරුව ලකුණු 252ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පාකිස්ථානුවන් එදා වාස් 45/4 සහ ධර්මසේන 43/3 ලෙස පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා සියලු පිතිකරුවන් දැවී ලකුණු 209ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 42ක තියුණු ජයක් උරුමකර දෙමින්.

කවරයේ ඡායාරූපය-චමින්ද වාස් (gettyimages)

දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමත් සමග 1-1 ලෙස සමවුණු ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලය සහ එක්දින තරගාවලියේ ප්‍රතිඵලය දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

Related Articles