Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2011 ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රතිවාදීන්ට හිසරදයක් වූ ආරම්භක පිතිකරු යුගලය

1975 වසරේ ඇරඹි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයන් විශේෂ උනන්දුවක් දක්වන තරගාවලියක්. එම නිසා ම එම තරගාවලිය තුළ  සිදුවන විශේෂ සිදුවීම් මෙන්ම එහිදී දස්කම් දක්වන විශේෂ ක්‍රීඩකයන් පිළිබඳව ක්‍රිකට් රසිකයන්ගේ අවධානය යොමුවෙනවා. එලෙස එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගත් ප්‍රබල ආරම්භක පිතිකරු යුගලයන් ලෙස ග්‍රිනිජ්-හේන්ස්, බූන්-මාෂ්, සහ ගිල්ක්‍රිස්ට්-හේඩ්න් වැනි ආරම්භක පිතිකරු යුගලයන් හඳුන්වන්න පුළුවන්. මේ ආරම්භක පිතිකරු යුගලයන් පිළිවෙලින් 1979, 1987, සහ 2003/ 2007 ලෝක කුසලාන තරගාවලි හි දී සුපිරි දස්කම් දක්වමින් සිය රටට ලෝක කුසලානය දිනාදුන්න ද අපි අද කතා කරන ආරම්භක පිතිකරු යුගලය 2011 ලෝක කුසලාන තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වුව ද, ඔවුන් දෙපළට ලෝක කුසලානය සිය රටට ලබාදීමට නොහැකි වුණා. නමුත් ලෝක කුසලාන ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවයේ හිමිකරුවන් වන මොවුන් දෙපළ ශ්‍රී ලංකාවෙන් බිහි වූ හොඳම ආරම්භක පිතිකරු යුගලයක් වන තිලකරත්න දිල්ෂාන් සහ උපුල් තරංග යි. එසේ නම්, ඔවුන් දෙදෙනා 2011 ලෝක කුසලාන තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳ ව අපි කතා කරමු.

පළමු වටයේ තරගවල දී දිල්ෂාන්-තරංග යුගලය ලෝක වාර්තාවක් පිහිටුවයි

තරගාවලියේ A කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට එහි දී ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, නවසීලන්තය, සිම්බාබ්වේ, කෙන්යාව, සහ කැනඩාව යන කණ්ඩායම් සමග තරග කිරීමට සිදුවුව ද, තරංග-දිල්ෂාන් යුගලය දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකා පිලට අපහසුවකින් තොරව කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගැනීමට හැකි වුණා.

කැනඩාවට එරෙහිව සාර්ථක ආරම්භයක්

තරගාවලියේ ශ්‍රී ලංකා පිල මුහුණදුන් මුල්ම තරගය වූ මෙම තරගයේ දී තරංග-දිල්ෂාන් යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 71කින් ලකුණු 63ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා. ශ්‍රී ලංකා පිලට හොඳ ආරම්භයක් ලබා ගැනීමට සහාය වූ එම සබඳතාවය ගොඩනැගීමේ දී දිල්ෂාන් පන්දු 41කින් ලකුණු 39ක් ලබා ගන්නා විට, තරංග ලබාගත්තේ පන්දු 31කින් ලකුණු 19ක් පමණයි. එලෙස පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ සාර්ථක සබඳතාවය තරංග දැවී යාමත් සමග අවසන් වුව ද, එම සබඳතාවය තුළින් ගොඩනැඟුණු සාර්ථක අඩිතාලම ඔස්සේ ඉදිරියට ගිය ශ්‍රී ලංකා පිල අවසානයේ දී නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 332ක් ලබා ගත්තා. පිතිකරුවන්ගේ වගකීම සාර්ථක ව අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද ඔවුන්ගේ වගකීම මැනවින් ඉටුකළ නිසා අවසානයේ දී මෙම තරගයෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 210ක දැවැන්ත ජයක් හිමිවුණා.

පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා පිල පරාජය වුවත්, දිල්ෂාන්-තරංග යුගලය සුපුරුදු දස්කම් දක්වයි

මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තානුවන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 277ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා. එම නිසා ම ලකුණු 278ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් හඹා යාමට ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අවශ්‍ය වූ මොහොතේ දී දිල්ෂාන් පන්දු 44කින් ලකුණු 34ක්, සහ තරංග පන්දු 43කින් ලකුණු ලකුණු 33ක් රැස් කරමින් පන්දු 86ක් තුළ අගනා ලකුණු 76ක සබඳතාවයක් ගොඩනැඟුවා. නමුත්, තරංග ලකුණු 33කට දැවී යාමත් සමග කඩා වැටුණු  ශ්‍රී ලංකා ඉනිම 96/4 දක්වා පසුබැසීමකට ලක්වුව ද, අවසානයේ දී නියමිත පන්දුවාර 50 තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් 266/9 දක්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවූයේ ශ්‍රී ලංකා පිලට ගෞරවාන්විත පරාජයක් උරුමකර දෙමිනුයි.

ලකුණු 41ක් ලබා සිටි දිල්ෂාන් දැවී ගිය අවස්ථාව (gettyimages)

දිල්ෂාන් සහ තරංග යුගලය කෙන්යාවට බැටදෙයි

තරගාවලිය තුළ ශ්‍රී ලංකා පිල මුහුණදුන් තුන්වන තරගය වූ මෙම තරගයේ දී ලසිත් මාළිංග කඩුලු ත්‍රිත්වයක් සමග ලකුණු 38කට කඩුලු 6ක් දවා ගනිමින් සිදුකළ සුපිරි පන්දු යැවීම නිසා කෙන්යානු ඉනිම පන්දුවාර 43.4ක දී ලකුණු 142කට සීමා වුණා. ඉන් අනතුරුව ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දිල්ෂාන් පන්දු 30කින් ලකුණු 44ක්, සහ තරංග පන්දු 20කින් ලකුණු 24ක් ලබා ගනිමින් පන්දු 50ක් තුළ වේගවත් ලකුණු 72ක සබඳතාවයක් ගොඩනැඟුවා. නමුත් දිල්ෂාන් ලකුණු 44කට දැවී යාමෙන් පසු එම සබඳතාවය බිඳවැටුණ ද, ශ්‍රී ලංකා පිල පන්දුවාර 18.4ක දී කඩුලු 1ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කළා.

තරංග දවා ගැනීමට අසාර්ථක ඉල්ලීමක යෙදෙන කෙන්යානු කඩුලු රකින්නා (gettyimages)

ඕස්ට්‍රේලියාවට එරෙහිව දිල්ෂාන් සහ තරංග යුගලයට සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි විය

ශ්‍රී ලංකා පිලට ඉතාමත් ම වැදගත් තරගයක් වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක යුගලය හොඳ ආරම්භයක් ලබාගනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අපේක්ෂා කළ ද, දිල්ෂාන් ලකුණු 4කට ෂෝන් ටේට්ගේ පන්දුවක් හමුවේ දැවී යාම නිසා පන්දු 10ක් තුළ ගොඩනැඟූ ලකුණු 6ක සබඳතාවය නිමා වුණා.

දිල්ෂාන් ටේට්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අවස්ථාව (gettyimages)

සිම්බාබ්වේ පිලට එරෙහිව තරංග සහ දිල්ෂාන් පිහිට වූ ලෝක කුසලාන වාර්තාව

මූලික වටයේ දී ශ්‍රී ලංකා පිල මුහුණදුන් 5 වන තරගය වූ මෙම තරගය, ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් ම අලුත් කළ තරගයක්. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලය වූ තරංග සහ දිල්ෂාන් පන්දු 268ක් තුළ ලකුණු 282ක සබඳතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟුවේ ලෝක කුසලාන ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළම සබඳතාවය ඔවුන්ගේ නම් ඉදිරියේ සටහන් කර ගනිමිනුයි. එදා එලෙස දිල්ෂාන් සහ තරංග අතින් බිඳවැටුණේ 1999 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානු ආරම්භක පිතිකරු යුගලය වූ සයිඩ් අන්වර් සහ වජතුල්ලා වස්ති පිහිටුවා තිබූ ලකුණු 194ක සබඳතාවයේ වාර්තාව යි. ඊට අමතර ව ලෝක කුසලාන තරගයක ආරම්භක පිතිකරුවන් දෙපළ ම ශතක ලැබූ මුල්ම අවස්ථාව මෙය වූ අතර, එහි දී ලකුණු 282ක සබඳතාවය ගොඩනැඟීමේ දී දිල්ෂාන් පන්දු 128කින් ලකුණු 139ක්, සහ තරංග පන්දු 141කින් ලකුණු 133ක් රැස් කළා.

ලකුණු 144ක් රැස් කළ දිල්ෂාන්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)
ලකුණු 133ක් රැස් කළ තරංග පන්දුවට පහරදෙමින් (gettyimages)

කිවියන්ට එරෙහිව ආරම්භය අසාර්ථක වෙයි

නවසීලන්තයට එරෙහිව අසාර්ථක වූ දිල්ෂාන් සහ තරංගගේ ආරම්භය පන්දු 18ක දී නිමා වූ අතර, ඒ වන විට ඔවුන් දෙදෙනා රැස් කර තිබුණේ ලකුණු 13ක් පමණයි.

අර්ධ අවසන් පූර්ව තරගයේ දී දිල්ෂාන් සහ තරංග එංගලන්ත පිල අසරණ කරයි

ශ්‍රී ලංකා පිලට තීරණාත්මක තරගයක් වූ මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත පිල, නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලබා ගත්තා. ඉන් අනතුරුව එම ඉලක්කය හඹායාමට පිටියට පිවිසි දිල්ෂාන් සහ තරංග යුගලය එංගලන්ත පන්දු යවන්නන් අන්ත අසරණ කරමින් පන්දු 237ක දී නොබිඳුණු ලකුණු 231ක සබඳතාවයක් ගොඩනඟමින් ශ්‍රී ලංකා පිලට විශිෂ්ට ජයග්‍රහණයක් උරුමකර දුන් අතර, එහි දී දිල්ෂාන් පන්දු 115කින් ලකුණු 108ක් සහ තරංග පන්දු 122කින් ලකුණු 102ක් ලබා ගත්තා.

දිල්ෂාන් අර්ධ අවසන් පූර්ව තරගයේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)
තරංග  අර්ධ අවසන් පූර්ව තරගයේ දී  (gettyimages)

තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී තරංග සහ දිල්ෂාන්ගෙන් වේගවත් ආරම්භයක්

කිවියන්ට එරෙහිව ලකුණු 218ක ඉලක්කයක් හඹා ගිය මෙම අවසන් පූර්ව තරගයේ දී පළමු කඩුල්ල වෙනුවෙන් දිල්ෂාන් සහ තරංග පන්දු 44කින් ගොඩනැඟූ ලකුණු 40ක සබඳතාවය නිමා වූයේ පන්දු 31කින් ලකුණු 30ක් ලබා සිටි තරංග දැවී යාමත් සමග යි. එදා කිවියන්ට එරෙහිව ඔවුන් දෙදෙනා ගොඩනැඟූ එම සබඳතාවය ශ්‍රී ලංකා පිලට ලකුණු 218ක ඉලක්කයක් හඹා යාමට විශාල පන්නරයක් ලබාදුන් බව කිසිවිටෙකත් අමතක කරන්න බැහැ.

ලකුණු 73ක් ලබාගත් දිල්ෂාන්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)
තරංගගෙන් අලංකාර පහරක් (gettyimages)

දිල්ෂාන් සහ තරංග අසාර්ථක වීම අවසන් තරගයේ දී ශ්‍රී ලංකා පිල පරාජය වීමට ද හේතුවක් විය

ඉන්දියාවට එරෙහිව පැවති අවසන් තරගයේ දී ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් අවශ්‍ය වුව ද, ඉන්දීය පන්දු යවන්නන් ඉදිරියේ ඉතා අසීරුවෙන් පන්දුවට පහරදුන් තරංග පන්දු 20ක් තුළ ලකුණු 2ක් ලබා සිටිය දී දැවී ගියේ පන්දු 37ක් තුළ ගොඩනැඟුණු ලකුණු 17ක සබඳතාවය නිමා කරමිනුයි.

ලකුණු 33ක් ලබා සිටි දිල්ෂාන් අවසන් තරගයේ දී දැවී ගිය අවස්ථාව (gettyimages)

තරගාවලිය තුළ දිල්ෂාන් සහ තරංග සබඳතාවයේ දත්ත විශ්ලේෂණය

තරග- 9

නොදැවීම්- 1

ලකුණු- 790

තරගයක ආරම්භක සබඳතාවයේ සාමාන්‍ය- 98.75

මුහුණදුන් පන්දු ප්‍රමාණය- 821

මොවුන් දෙදෙනා රඳවාගත් ප්‍රහාරාත්මක වේගය- 96.22

ගොඩනැඟූ අර්ධ ශතක සබඳතා ප්‍රමාණය- 3

ගොඩනැඟූ ලකුණු 200ට වැඩි සබඳතා ප්‍රමාණය- 2

හොඳම සබඳතාවය- 282 සිම්බාබ්වේට එරෙහිව

දිල්ෂාන් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා විය

2011 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙපළ ම පිතිකරණ සාමාන්‍ය 50 ඉක්මවූ අතර, දිල්ෂාන් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා වුණා.

තිලකරත්න දිල්ෂාන්

ඉනිම- 9

නොදැවීම්- 1

ලකුණු- 500

පිතිකරණ සාමාන්‍ය- 62.50

ප්‍රහාරාත්මක වේගය- 90.74

අර්ධ ශතක- 2

ශතක- 2

හොඳම ඉනිම- 144 සිම්බාබ්වේට එරෙහිව

උපුල් තරංග

ඉනිම- 9

නොදැවීම්- 2

ලකුණු- 395

පිතිකරණ සාමාන්‍ය- 56.43

ප්‍රහාරාත්මක වේගය- 83.69

අර්ධ ශතක- 1

ශතක- 2

හොඳම ඉනිම- 133 සිම්බාබ්වේට එරෙහිව

විශේෂ කරුණු

  • ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවයේ වාර්තාව තවමත් සටහන් වී ඇත්තේ මොවුන් දෙදෙනාගේ නම් ඉදිරියෙනුයි.
  • ලෝක කුසලාන ඉතිහාසයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ද්විත්ව ශතක සබඳතාවයන් 3න් 2ක් ම මොවුන් දෙදෙනාට හිමි අතර, ඉතිරි සබඳතාවය 2015 ලෝක කුසලාන තරගාවලියේ දී කොදෙව්වන්ට එරෙහිව ලකුණු 247ක සබඳතාවයක් ගොඩනැඟූ දකුණු අප්‍රිකාවේ අම්ලාට සහ රොස්සොව්ට හිමිව තිබෙනවා.
  • එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක පිතිකරු යුගලයක් නොදැවී ශතක ලබාගත් මුල්ම අවස්ථාව ලෙස දිල්ෂාන් සහ තරංග එංගලන්තයට එරෙහිව නොදැවී ශතක ලබාගත් අවස්ථාව ඉතිහාසයට එක් වුණා.

කවරයේ ඡායාරූපය: දිල්ෂාන් සහ තරංග එංගලන්තයට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දී (gettyimages)

Related Articles