Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිමුත් බිඳ දැමූ වසර 20ක් පැරණි ලෝක කුසලාන වාර්තාව

Carrying the bat යනුවෙන් හඳුන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවන යම් සිදුවීමක්. ටෙස්ට් ක්‍රිකට් තරගවල මෙම සිදුවීම අවස්ථාවන් 56ක දී සිදුව තිබුණත්, එක්දින තරගවල දී එම සිදුවීම සිදුව ඇත්තේ අවස්ථාවන් 12ක දී පමණ යි. එසේ කියද්දී ඔබට ක්ෂණයකින් හිතෙන දෙයක් තමයි මොකද්ද මේ Carrying the bat කියන්නෙ කියල? ඇත්තටම Carrying the bat කියල කියන්නෙ යම්කිසි කණ්ඩායමක සියලුම පිතිකරුවන් දැවීගිය අවස්ථාවක ආරම්භක පිතිකරුවා නොදැවී කඩුල්ලේ රැඳී සිටීම යි. එහෙම නම් මෙම ලිපිය වෙන්වන්නේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉහත සිදුවීම වුණු අවස්ථාවන් පිළිබඳව ඔබට කීමට යි.

මුලින්ම එම දස්කම දැක්වූයේ සිම්බාබ්වේ පිතිකරු ග්‍රාන්ට් ෆ්ලවර් විසිනුයි

1994/95 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ 4 වැනි තරගය එංගලන්තය සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණේ සිඩ්නි ක්‍රිකට් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49.3ක දී සියලුම පිතිකරුවන් දැවී ලකුණු 205ක් ලබාගන්නා විට ආරම්භක පිතිකරු ග්‍රාන්ට් ෆ්ලවර් නොදැවී ලකුණු 84ක් ලබා සිටියා.

ග්‍රාන්ට් ෆ්ලවර් (gettyimages)

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ එම දස්කම දැක්වූ පිතිකරුවන්

1999 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කොදෙව් කණ්ඩායම හමුවූණු තරගය දෙපිලටම තීරණාත්මක තරගයක් වුණේ, එම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නියමිතව තිබීම යි. එදා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දිවා තරගයක් ලෙස පැවති එම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානුවන් මුලින්ම පන්දුවට පහරදීමට කොදෙව්වන්ට ආරාධනා කළා. තරගයේ මුල සිටම සිය අණසක පැතිර වූ ග්ලේන් මැග්‍රාත් ලකුණු 20ක් තුළ කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලබාගනිමින් දුන් සාර්ථක ආරම්භය ඔස්සේ ගිය ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ කොදෙව් ඉනිම පන්දුවාර 46.4ක් තුළ ලකුණු 110කට සීමා කළා. එහිදී කොදෙව් පිලේ සියලුම පිතිකරුවන් දැවීයන විට ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටි ආරම්භක පිතිකරු රිඩ්ලි ජේකබ්ස් පන්දු 142ක දී නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 49ක්. එදා රිඩ්ලි ජේකබ්ස් එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ඉහත සුවිශේෂී දස්කම දැක්වූ මුල්ම පිතිකරුවා බවට පත්වුණා.

රිඩ්ලි ජේකබ්ස් (gettyimages)

රිඩ්ලි ජේකබ්ස් ඉහත දස්කම දැක්වීමෙන් වසර 20කට පසුව 2019 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඉහත සුවිශේෂී දස්කම දැක්වූවා. එහිදී පන්දුවාර 29.2ක් තුළ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 136කට සීමාවුණු අවස්ථාවේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පන්දු 84කින් නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 52ක්. දිමුත් ක්‍රීඩාකර එම ඉනිම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තාගත ඉනිමක් බවට පත්වුණේ Carrying the bat යන සුවිශේෂී දස්කම දක්වමින් පිතිකරුවෙකු ලෝක කුසලාන තරගයක ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය එය වීම නිසා යි.

දිමුත් කරුණාරත්න (gettyimages)

ඉහත සුවිශේෂී දස්කම දැක්වූ වෙනත් ශ්‍රී ලංකා පිතිකරුවන්

2017 වසරේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර අබුඩාබිහි පැවති එක්දින තරගයක දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලැබුණේ ලකුණු 220ක ඉලක්කයක්. එදා එම ඉලක්කය හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 7ම ලකුණු 93ක් තුළ දැවීගියා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටියත් ආරම්භක පිතිකරු උපුල් තරංග සුපිරි ඉනිමක් දියත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් 187කට දැවීයන තුරුම නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ලකුණු 112ක් ලබාගනිමින්. උපුල් තරංග එලෙස නොදැවී  ලබාගත් ලකුණු 112 වාර්තා වුණේ හතරේ පහර 14ක් සමගින් පන්දු 144ක දී යි.

තරංගගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉහත දස්කම දැක්වූ වෙනත් පිතිකරුවන්

ඉහත පිතිකරුවන් 4 දෙනාට අමතරව ඉහත දස්කම දැක්වූ තවත් පිතිකරුවන් 8 දෙනෙකු අපට එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දී හමුවනවා.

සයිඩ් අන්වර් (පාකිස්ථානය)

1995 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහි දී පැවති එක්දින තරගයක දී පකිස්ථානය හඹා ගිය ඉලක්කය ලකුණු 220ක්. නමුත් එදා පාකිස්ථාන කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 49.5ක දී දැවීගොස් තරගයේ ලකුණු සම වන අවස්ථාව වනවිටත් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු සයිඩ් අන්වර් පන්දු 131ක දී නොදැවී ලබාගෙන සිටි ලකුණු ප්‍රමාණය 103ක්.

සයිඩ් අන්වර් (gettyimages)

නික් නයිට් (එංගලන්තය)

1996 වසරේ පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව ට්‍රෙන්ට් බ්‍රිජ්හි දී පැවති එක්දින තරගයක දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 50ක් තුළ ලකුණු 246කට දැවී යන විට ආරම්භක පිතිකරු නික් නයිට් පන්දු 145ක් තුළ නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 125ක්.

නික් නයිට් (gettyimages)

ඩේමියන් මාටින් (ඕස්ට්‍රේලියාව)

2000 වසරේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඊඩ්න් පාක් පිටියේ දී පැවති එක්දින තරගයක දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 46.2ක් තුළ ලකුණු 191කට දැවීයන විට ආරම්භක පිතිකරු ඩේමියන් මාටින්  පන්දු 135ක් තුළ නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 116ක්.

ඩේමියන් මාටින් (gettyimages)

හර්ෂල් ගිබ්ස් (දකුණු අප්‍රිකාව)

2000 වසරේ සාජාහි දි පැවති එක්දින තරගයක දී පාකිස්ථාන කණ්ඩායම විසින් දකුණු අප්‍රිකානුවන්ට ලබාදුන් ඉලක්කය ලකුණු 169ක්. එහිදී එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 26.5ක දී ලකුණු 101කට දැවීයන විට ආරම්භක පිතිකරු ගිබ්ස් පන්දු 79කින් නොදැවී ලබා සිටි ලකුණු ප්‍රමාණය 59ක්.

හර්ෂල් ගිබ්ස් (gettyimages)

ඇලෙක් ස්ටුවර්ට් (එංගලන්තය)

2000 වසරේ දීම ට්‍රෙන්ට් බිජ්හි දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයක දී එංගලන්තයට ලැබුණු ඉලක්කය ලකුණු 196ක්. ඉන්පසුව එම ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 49.5ක දී ලකුණු 192කට දැවීයද්දී ආරම්භක පිතිකරු ඇලෙක් ස්ටුවර්ට් පන්දු 147කින් නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 100ක්.

ඇලෙක් ස්ටුවර්ට් තරගය පරාජය වීමෙන් පසුව (gettyimages)

ජාවෙඩ් ඔමාර්  (බංගලාදේශය)

2001 වසරේ සිම්බාබ්වේ කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර හරාරේ නුවර දී පැවති එක්දින තරගයක මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු ප්‍රමාණය 230ක්. ඉන්පසුව ලකුණු 231ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 103ක් තුළ දැවීයන විට ආරම්භක පිතිකරු ජාවෙඩ් ඔමාර් පන්දු 86කින් නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 33ක්.

ජාවෙඩ් ඔමාර් (gettyimages)

අසාර් අලී (පාකිස්ථානය)

2012 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේ පැවති තරගයක දී ලකුණු 244ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 45ක් තුළ ලකුණු 199කට දැවීගියා. එහිදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු අසාර් අලී පන්දු 126කින් නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 81ක්.

අසාර් අලී (gettyimages)

ටොම් ලේතම් (නවසීලන්තය)

2016 වසරේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ධර්මශාලාහි දී පැවති එක්දින තරගයක දී මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 43.5ක් තුළ ලකුණු 190කට දැවීයන විට ආරම්භක පිතිකරු ටොම් ලේතම් පන්දු 98ක් තුළ නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 79ක්.

ටොම් ලේතම් (gettyimages)

කවරයේ ඡායාරූපය-  දිමුත්ගේ අගනා ඉනිමේ අවස්ථාවක් (scroll.in)

Related Articles