Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවට දේශීය ක්‍රීඩා නාලිකාවක් අවශ්‍ය ද?

මීට දශක දෙකකට පමණ පෙර රැකියාව නිමවා නිවසට ගිය මිනිසුන් ක්‍රිකට් තරගයක් රූපවාහිනිය ඔස්සේ නැරඹීමෙන් කාන්සිය මඟහරවා ගැනීමට පුරුදුව සිටියා. එසේත් නැත්තම් සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා වැනි ධාවන ශූරයන් දැක්වූ සුපිරි දස්කම් රූපවාහිනිය ඔස්සේ නැරඹීමෙන් උද්දාමයට පත්වුණා. එක්තරා යුගයක අපේ රටේ ජනතාව සහ ක්‍රීඩාව එකට සම්බන්ධ කිරීමට රූපවාහිනියට හැකියාව ලැබී තිබුණත් වර්තමානය වන විට එම යදම බිඳී ගොස් තිබෙනවා. අද වන විට අප රටේ ක්‍රීඩා ලෝලීන්ට දේශීය නාලිකාවක් ඔස්සේ ක්‍රීඩා තරග නැරඹීමට තිබුණු වරම අහිමිව ගොස් තිබෙනවා. 

ලංකාවේ රූපවාහිනි නාලිකා

1979 වසරේ ජූනි 5 වැනිදා ආරම්භ කළ ස්වාධීන රූපවාහිනි සේවය ලංකාවේ පළමු නිල රූපවාහිනි නාලිකාව බවට පත් වුණා. ඉන් පසුව 1982 වසරේ පෙබරවාරි 14 වැනිදා ජාතික රූපවාහිනිය නම් නාලිකාව ආරම්භ කරනු ලැබුවා. එම නාලිකාවන් දෙක ආරම්භ කර දශකයක් ගතවන තුරුම වෙනත් කිසිදු නාලිකාවක් අප රට තුළ ආරම්භ වුණේ නැහැ. නමුත් 90 දශකයේ දී TNL, සිරස, ස්වර්ණවාහිනී වැනි පෞද්ගලික නාලිකා ආරම්භ වුණේ රූපවාහිනි නාලිකා අතර තරගකාරීත්වය වැඩි කරමින්. එම තරගය තවත් වැඩිකරමින් දෙරණ, හිරු, සියත වැනි නාලිකා පසුකලෙක ආරම්භ වුණා. 

ජාතික රූපවාහිනියේ ලාංඡනය (Youtube)

80 දශකයේ දී ක්‍රීඩාව සහ රූපවාහිනිය  

1982 වසරේ දී ආරම්භ වුණු ජාතික රූපවාහිනිය මුල සිටම ලොව පුරා ක්‍රියාත්මක වුණු ප්‍රධාන ක්‍රීඩා තරගාවලිවල විකාශයන්  ප්‍රේක්ෂකයන් අතරට ගෙන ආවා. එහි දී ජාතික රූපවාහිනිය බොහෝ විට පටිගත කළ ක්‍රීඩා වැඩසටහන් ජනතාවට ඉදිරිපත් කළේ එම යුගයේ දී ඒවා සජීවීව විකාශය කිරීමට තරම් ඉහළ තාක්ෂණයක් ඔවුන් සතුව නොතිබුණු නිසා යි. නමුත් 80 දශකයේ දී ඉතාමත්ම වැදගත් ක්‍රිකට් තරග රූපවාහිනිය මඟින් සජීවීව විකාශය කළ අවස්ථාවන් ද තිබුණා. 1985 වසරේ ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් ජයග්‍රහණය ලබාගත් තරගයේ අවසන් හෝරා කිහිපය, 1988 ආසියානු කුසලාන අවසන් තරගය එලෙස සජීවී විකාශ ලබාදුන් විශේෂ අවස්ථා සඳහා උදාහරණයන් වනවා. එසේම ක්‍රිකට් සහ පාපන්දු ලෝක කුසලාන තරගාවලි, ඔලිම්පික් තරගාවලි වැනි ප්‍රධාන ක්‍රීඩා තරගාවලි රැසක විකාශයන් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ද ජාතික රූපවාහිනිය යි. එලෙස විකාශයන් ඉදිරිපත් කළ බොහෝ අවස්ථාවල දී පටිගත කළ වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබුවත් එය ක්‍රීඩාවට හිතැති ප්‍රේක්ෂකයන්ට වටිනා අත්දැකීමක් වුණා. 

 1985 ඉන්දු-ලංකා ටෙස්ට් තරගය රූපවාහිනියෙන් විකාශය වුණු අයුරු (Youtube)

90 දශකයේ දී ක්‍රීඩා විකාශ කටයුතු සඳහා තරගයක් නිර්මාණය වෙයි 

90 දශකයේ මැද භාගය පමණ වන විට MTV Sports සහ ETV යන නාලිකා නැරඹීමේ අවස්ථාව ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ලැබුණා. එම නාලිකාවල විදෙස් රටවල පැවති ක්‍රීඩා තරග පවා විකාශය වුණා. එසේම එම යුගයේ ආරම්භ වුණු TNL නම් පෞද්ගලික නාලිකාවේ පවා ඇතැම් ක්‍රිකට් තරගාවලි විකාශය වුණා. 90 දශකයේ මැද භාගය වන විට මෙරට ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩා තරග නැරඹිය හැකි නව නාලිකා කිහිපයක්ම ආරම්භ වී තිබුණා. නමුත් එම අවධිය වන විටත් දේශීය ක්‍රීඩා තරග රැසක් විකාශය වුණේ ජාතික රූපවාහිනිය ඔස්සේ යි. එම යුගය වන විට ඔවුන් සතුව ඉහළ තාක්ෂණයක් තිබුණු නිසා තරග සජීවීව ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබී තිබුණා. 

අප රට තුළ සාර්ථක වුණු ක්‍රීඩා නාලිකා 

ETV සහ MTV Sports යන නාලිකා 90 දශකයේ මැද භාගයේ ලාංකිකයන් අතර ජනප්‍රිය වී තිබුණත්, 1999 වසරේ දී ආරම්භ වුණු රූපවාහිනි EYE නාලිකාව ශ්‍රී ලංකාව තුළ වඩාත්ම සාර්ථක වුණු ක්‍රීඩා නාලිකාව බවට පත්වුණා. එසේම 2011 වසරේ දී ආරම්භ වුණු CSN නාලිකාවත් ක්‍රීඩා සඳහාම වෙන්ව තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුණු ක්‍රීඩාව සඳහාම වෙන් වුණු නාලිකා අතුරින් අදටත් බොහෝ දෙනෙකු කතා කරන්නේ රූපවාහිනි EYE සහ CSN යන නාලිකා පිළිබඳව යි.

ක්‍රීඩා නාලිකාවක් මඟින් ක්‍රීඩාවට ලබාදෙන ජවය 

යම් රටක ක්‍රීඩාව සඳහාම වෙන් වුණු දේශීය නාලිකාවක් තිබෙන විට සෑම ක්‍රීඩාවකටම අදාළ ලෝක මට්ටමේ තරගාවලි විකාශය කිරීමේ හැකියාව තිබෙනවා. ඉන් ක්‍රීඩාවේ නියැලී සිටින අයටත්, ක්‍රීඩාවට අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයටත් ප්‍රයෝජනයක් ලැබෙනවා. එසේම එම දේශීය ක්‍රීඩා නාලිකාව තුළින් විවිධ ක්‍රීඩාවලට අදාළ දේශීය තරග විකාශය කිරීමට අවස්ථාව ලැබෙනවා. එමඟින් දේශීය ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටම දක්වා යාමට අවශ්‍ය පන්නරය ලැබෙනවා. රටක ක්‍රීඩාව දියුණු කිරීම සඳහා විශාල වැඩ කොටසක් කිරීමේ හැකියාව දේශීය ක්‍රීඩා නාලිකාවක් සතුව පවතිනවා.

ශ්‍රී ලංකාව ලබාගන්නා සෑම ක්‍රීඩා ජයග්‍රහණයක් ගැනම ජනතාව දැනුවත් ද?

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා රැසක් ක්‍රියාත්මක වනවා. නමුත් ඒ අතුරින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන තිබෙන්නේ ක්‍රීඩා කිහිපයක් පමණ යි. බොහෝ විට මාධ්‍යයන් තුළින් ජනතාව දැනුවත් වන්නේ ජනප්‍රිය ක්‍රීඩාවන් ලබාගන්නා ජයග්‍රහණයන් පිළිබඳව පමණ යි. විශේෂයෙන්ම චෙස් වැනි ක්‍රීඩා තුළින් පසුගිය කාලයේ දී ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයන් රැසක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. නමුත් ඔවුන් ලබාගත් ජයග්‍රහණයන් පිළිබඳව දැනුවත් වන්නේ එම ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශවයන් පමණ යි. එසේම ලංකාව තුළ ජනප්‍රිය නැති ක්‍රීඩා බොහෝමයකට එවැනි ඉරණමක් අත්වී තිබෙනවා. 

චෙස් ක්‍රීඩාවෙන් ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබාදුන් හර්ෂණ තිලකරත්න (Daily Mirror)

පසුගිය කාලයේ අකාර්යක්ෂම වුණු ක්‍රිකට් තරග විකාශය 

ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුවිශේෂී ජයග්‍රහණය රැසක් ලබාගෙන තිබෙනවා. ක්‍රිකට් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජනප්‍රියම ක්‍රීඩාව බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. නමුත් පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව සහභාගි වුණු ඇතැම් තරග සංචාරයන් ආවරණය කිරීම සඳහා කිසිදු රූපවාහිනි නාලිකාවක් ඉදිරිපත් නොවීම කණගාටුදායක තත්ත්වයක් වුණා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නාලිකාව ලෙස ජනතාව අතර නමක් දිනාගෙන සිටි රූපවාහිනි  EYE නාලිකාව ද එම තරගවල විකාශ අයිතිය ලබා නොගැනීම නිසා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් වුණා. 

දේශීය ක්‍රීඩා නාලිකා සියල්ල අහිමි වීම 

2016 වසරේ දී CSN නාලිකාවේ විකාශ කටයුතු නතරවීමත් සමග ක්‍රීඩා තරග විකාශ කටයුතු සිදුකිරීම සඳහා වෙන් වී තිබුණේ රූපවාහිනි EYE නාලිකාව යි. ඔවුන් 2020 වසරේ අප්‍රේල් මාසය දක්වාම හැකි අයුරින් ක්‍රීඩා විකාශ කටයුතු සිදුකරනු ලැබුවා. නමුත් පසුගිය අප්‍රේල් 21 වැනිදා සිට රූපවාහිනී EYE නාලිකාව අධ්‍යාපනික වැඩසටහන් විකාශය වෙනුවෙන් යොදවනු ලැබුවා. ඒ අනුව වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ කිසිදු දේශීය ක්‍රීඩා නාලිකාවක් ක්‍රියාත්මක වන්නේ නැහැ. 

ලංකාවට ක්‍රීඩා නාලිකාවක අවශ්‍යතාවය 

අද වන විට ලංකාවේ සිටින බොහෝ දෙනෙකු සැටලයිට් තාක්ෂණය හරහා විදෙස් ක්‍රීඩා නාලිකා නරඹනු ලබනවා. එම නිසාම සැලකිය යුතු  පිරිසකට දේශීය ක්‍රීඩා නාලිකාවක අවශ්‍යතාවය තදින්ම නොදැනෙන්නට පුළුවන්. නමුත් ඈත ගම් දනව්වල සිටින ක්‍රීඩාවට ලැදි අයට ක්‍රීඩා තරග නැරඹීම සඳහා නාලිකාවක් අවශ්‍ය යි. එසේම අපේ රට තුළ ක්‍රියාත්මක වන විවිධ ක්‍රීඩාවන්වලට අදාළ ජාතික මට්ටමේ තරග දේශීය ක්‍රීඩා නාලිකාවකින් ආවරණය කිරීමට හැකි නම් එය ක්‍රීඩාවේ දියුණුවට රුකුලක් වනවා. විශේෂයෙන්ම අනාගතයේ දී ක්‍රීඩාවට පිවිසීමට සිටින ළමා පරපුරට ඉන් යම්කිසි  පන්නරයක් ලැබෙනවා. එසේම දේශීය ක්‍රීඩා නාලිකාවකින් ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෑම ක්‍රීඩාවකින්ම ලබාගන්නා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ලැබෙනවා. එහෙයින් අප රටේ ක්‍රීඩාව දියුණුවීමට නම් ඉදිරියේ දී දේශීය ක්‍රීඩා නාලිකාවක් ආරම්භ විය යුතු බව අප මතකයේ තබාගත යුතු යි.

කවරයේ ඡායාරූපය- (The Cricket Monthly)

Related Articles