Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ බිහිවුණු අසිරිමත්ම පිතිකරුවා

1908 වසරේ අගෝස්තු 27 වැනිදා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයත් බෝරල් නම් ගමේ දී ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් උපත ලැබුවා. කුඩා කාලයේ සිටම ක්‍රිකට්, ටෙනිස්, සහ පාපන්දු වැනි ක්‍රීඩාවලට බ්‍රැඩ්මන් දැක්වූයේ අසීමිත ආශාවක්. එම නිසාම ඔහු ගොල්ෆ් පන්දුවක් නිවස අසල තිබුණු වතුර ටැංකියට එල්ල කරමින් එය තමා වෙතට ඇඳි එන විට එයට විකට් පොල්ලකින් පහරදීමට පුරුදුව සිටියා. එදා ඒ අයුරින් ක්‍රීඩාවේ යෙදුණු කුඩා බ්‍රැඩ්මන් පසුකලෙක ක්‍රිකට් පිටියේ දක්නට ලැබුණු අසිරිමත්ම පිතිකරුවා බවට පත්වුණේ විශාල කැපකිරීම් රැසක ප්‍රතිඵලයක් වශයෙන්.

බ්‍රැඩ්මන්ගේ ක්‍රිකට් දිවියට පන්නරය දුන් මැකාට්නිගේ ඉනිම 

1920/21 අළුබඳුන තරගාවලිය යටතේ සිඩ්නි පිටියේ දී පැවැත්වුණු ටෙස්ට් තරගය නැරඹීමට බ්‍රැඩ්මන් සිය පියා සමග ගියේ ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ ආශාව නිසාම යි. එම තරගයේ දී එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 204 වෙනුවට පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 89කට දැවීගියා. එම අවස්ථාවේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ චාල්ස් මැකාට්නි පන්දු 227කින් හතරේ පහර 20ක් සමගින් ලකුණු 170ක් ලබාගත්තා. එදා මැකාට්නි ක්‍රීඩාකළ සුපිරි ඉනිම බ්‍රැඩ්මන්ගේ සිතට තදින්ම කාවැදුණු නිසා ඔහු සිය පියාට කීවේ යම් දිනක ඔහුත් මැකාට්නි මෙන් සිඩ්නි පිටියේ දී ශතකයක් ලබාගන්නා බව යි. 

චාල්ස් මැකාට්නි (gettyimages) 

දුම් පයිප්පයක් නිසා බ්‍රැඩ්මන් ලබාගත් ද්විත්ව ශතකය 

1925 වසර වන විට බ්‍රැඩ්මන් බෝරල් නාගරික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්ව සිටියා. එම වසරේ නත්තල් දිනය උදාවීමට දවස් කිහිපයකට පෙර වින්ගෙලෝ කණ්ඩායම සමග පැවති ක්‍රිකට් තරගය සඳහා බ්‍රැඩ්මන් සහභාගි වුණා. 1924 වසරේ ටොම් මැක් කුසලානය දිනාගත් වින්ගෙලෝ කණ්ඩායමේ සිටි ප්‍රබලම ක්‍රීඩකයා වුණේ පසුකලෙක ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ බිල් ඕ රයිලි යි. මෙම තරගය ආරම්භ වී සුළු මොහොතකින් බ්‍රැඩ්මන් සිය සුපුරුදු රිද්මයට පැමිණි නිසා වින්ගෙලෝ නායක සෙල්බි ජෙෆරි ඔහු සතුව සිටි ප්‍රබලම පන්දු යවන්නා වුණු රයිලිට පන්දුව භාරදෙනු ලැබුවා. සාමාන්‍යයෙන් ස්ලිප්හි පන්දු රැකීමේ යෙදුණු නායක ජෙෆරි ඉතාමත් සැහැල්ලුවෙන් දුම් පානය කරමින් ක්‍රීඩාකිරීම සුලභ දසුනක් වුණා. ඒ අනුව රයිලි පන්දු යැවීම ආරම්භ කිරීමත් සමගම ජෙෆරි සිය දුම් පයිප්පය දල්වාගන්නට යද්දීම විදුලි වේගයෙන් ඔහු වෙත පැමිණි උඩපන්දුව ඔහු අතින් ගිලිහී යාම නිසා බ්‍රැඩ්මන්ට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට හැකිවුණා. ඉන් අනතුරුව බ්‍රැඩ්මන් නිසොල්මනේ පන්දුවට පහරදෙමින් සිටින අතරතුර ජෙෆරිට ලබාදුන් තවත් උඩපන්දුවක් ඔහු වෙතින් ගිලිහීගියේ දුම් පයිප්පයේ දුම නිසා පන්දුව දර්ශනය නොවීම හේතුවෙන්. එලෙස බ්‍රැඩ්මන් ලබාදුන් උඩපන්දු 2ම ජෙෆරි අතින් ගිලිහීයාම නිසා බ්‍රැඩ්මන්ට දිනය නිමාවන විට නොදැවී ලකුණු 234ක් ලබාගැනීමට හැකිවුණා.

බ්‍රැඩ්මන් නිව් සවුත්වේල්ස් කණ්ඩායමට එක්වෙයි 

1926 වසරේ අගභාගයේ දී බ්‍රැඩ්මන්ට සිඩ්නි නගරය ආසන්නයේ පිහිටි ශාන්ත ජෝර්ජ් ක්‍රීඩා සමාජයට එක්වීමට අවස්ථාවක් ලැබුණා. එම කණ්ඩායම වෙනුවෙන් බ්‍රැඩ්මන් දැක්වූ දස්කම් නිසාම ඔහුට 1927/28 තරගවාරයේ දී නිව් සවුත්වේල්ස් කණ්ඩායමට එක්වීමට අවස්ථාව ලැබුණා. එහිදී ඔහුට දකුණු ඕස්ට්‍රේලියාවට එරෙහිව මුල්ම පළමුපෙළ තරගයට සහභාගි වීමට හැකිවුණේ ආචි ජැක්සන් නම් තරුණ පිතිකරුවා ආබාධයකට ලක්ව සිටි නිසා යි. එදා ජැක්සන්ගේ අඩුව පුරවමින් තරගයට එක්වුණු බ්‍රැඩ්මන් අගනා ලකුණු 118ක් ලබාගත්තේය.  

බ්‍රැඩ්මන් මංගල ටෙස්ට් තරගයේ දී අසාර්ථක වෙයි 

නිව් සවුත්වේල්ස් කණ්ඩායම නියෝජනය කරමින් බ්‍රැඩ්මන් දිගින් දිගටම දැක්වූ දස්කම් නිසා ඔහු 1928 අළුබඳුන තරගාවලිය යටතේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනාගන්නවා. එම තරගයේ අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි බ්‍රැඩ්මන් පළමු ඉනිමේ දී ලකුණු 18ක් ලබාගන්නා විට දෙවන ඉනිමේ දී ලබාගත්තේ ලකුණු 1ක් පමණ යි. එදා බ්‍රැඩ්මන් මෙන්ම අසාර්ථක වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම තරගයෙන් ලකුණු 675ක දැවැන්ත පරාජයක් උරුම කරගත්තේ කණ්ඩායමක් ටෙස්ට් තරගයක් පරාජය වුණු වැඩිම ලකුණු පරතරය වාර්තා කරගනිමින්.

බ්‍රැඩ්මන්ගේ මංගල ටෙස්ට් තරගයේ අවස්ථාවක් (gettyimages) 

බ්‍රැඩ්මන් පළමුපෙළ තරගයක දී ලකුණු 452ක් ලබාගනියි 

1930 වසරේ ජනවාරි මාසයේ දී නිව් සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ත කණ්ඩායම් අතර ෂෙෆීල්ඩ් පළිහ සඳහා පැවති තරගයක දී හතරේ පහර 49ක් සමග ලකුණු 452ක් ලබාගැනීමට බ්‍රැඩ්මන් සමත්වුණා. එදා බ්‍රැඩ්මන් අතින් බිඳවැටුණේ වික්ටෝරියා ක්‍රීඩක බිල් පොන්ස්ෆෝර්ඩ් 1927 වසරේ ක්වීන්ස්ලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 437ක වාර්තාව යි. එලෙස බ්‍රැඩ්මන් තැබූ පළමුපෙළ වාර්තාව 1959 වසරේ දී පාකිස්ථානු පිතිකරු හනීෆ් මොහොමඩ් ලකුණු 499ක් ලබාගනිමින් බිඳදැමුවත් එහි වර්තමාන උරුමකරු වන්නේ 1994 වසරේ දී ලකුණු 501ක් ලබාගත් කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා යි.

ලකුණු 452 ලබාගැනීම වෙනුවෙන් බ්‍රැඩ්මන්ට ලැබුණු කුසලානය සමග (gettyimages) 

බ්‍රැඩ්මන්ට අමතක නොවන 1930 අළුබඳුන තරගාවලිය

1930 වසරේ එංගලන්ත බිමේ පැවති අළුබඳුන තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවුණේ බ්‍රැඩ්මන්ගේ සුපිරි පිතිහරඹය නිසා යි. එම තරගාවලිය තුළ ඉනිම් 7ක දී ලකුණු 974ක් ලබාගත් බ්‍රැඩ්මන් එහිදී රඳවාගත් පිතිකරණ සාමාන්‍ය 139.14ක් වුණා. එලෙස සිය පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ බ්‍රැඩ්මන් හෙඩිංලි පිටියේ දී ලකුණු 334ක් ලබාගත්තේ එම අවදියේ ටෙස්ට් ඉනිමක පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්. එම සුපිරි ඉනිමට අමතරව ලෝඩ්ස් පිටියේ දී ලකුණු 254ක් ලබාගත් බ්‍රැඩ්මන් ඕවල් පිටියේ දී ලකුණු 232ක් ලබාගත්තා. බ්‍රැඩ්මන් එම තරගාවලිය තුළ ලබාගත් ලකුණු 974 ටෙස්ට් තරගාවලියක් තුළ පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් තවමත් වාර්තා අතර රැඳී පවතිනවා.

බ්‍රැඩ්මන් 334 ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages) 

බ්‍රැඩ්මන් සාර්ථක නායකයෙකු වුණා 

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මුල්ම වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළේ 1936/37 අළුබඳුන තරගාවලියේ දී යි. එම තරගාවලියේ පළමු තරග 2ම ඕස්ට්‍රේලියාව පරාජය වුණත් අවසන් තරග 3ම ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවුණේ තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කරමින්. එදා සිට වසර 12ක් ටෙස්ට් තරග 24ක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවා ඇති බ්‍රැඩ්මන් ඉන් තරග 15ක් ජයග්‍රහණය කරන විට පරාජය වී ඇත්තේ 3ක් පමණ යි.

බ්‍රැඩ්මන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පිටියට පිවිසෙන අවස්ථාවක් (gettyimages) 

බ්‍රැඩ්මන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ තැබූ වාර්තා 

ටෙස්ට් ක්‍රිකට් පිටියේ බ්‍රැඩ්මන් තැබූ වාර්තා බොහොමයක් අදටත් නොබිඳී පවතින්නේ එම වාර්තා බොහොමයක් අසමසම නිසා යි. 

එක් රටකට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් ලබාගත් පිතිකරුවා ඔහුයි 

එක් රටකට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් හිමිකරගත් පිතිකරුවා වන්නේ එංගලන්තයට එරෙහිව ඉනිම් 63ක් තුළ ලකුණු 5028ක් ලබාගත් බ්‍රැඩ්මන් නම් සුපිරි පිතිකරුවා යි. ඔහුගේ එම වාර්තාව අසලටවත් ඒමට කිසිදු පිතිකරුවෙකු මේ දක්වා සමත් වී නැහැ.

1) ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඕස්ට්‍රේලියාව) – එංගලන්තයට එරෙහිව ඉනිම් 63කදී ලකුණු 5028

2) ජැක් හොබ්ස් (එංගලන්තය) – ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිම් 71ක දී ලකුණු 3636

3) සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව) – ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිම් 74ක දී ලකුණු 3630 

එක් රටකට එරෙහිව වැඩිම ටෙස්ට් ශතක ප්‍රමාණයක් වාර්තා වුණේ ඔහුගේ පිත්තෙන් 

1928-1948 කාල සමය තුළ බ්‍රැඩ්මන් එංගලන්තයට එරෙහිව වාර්තා කළ ටෙස්ට් ශතක 19 වාර්තාව අසලටවත් ළගාවීමට කිසිදු පිතිකරුවෙකුට හැකිවුණේ නැහැ.

1) ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඕස්ට්‍රේලියාව) – එංගලන්තයට එරෙහිව ටෙස්ට් ශතක 19 යි 

2) සුනිල් ගවස්කාර් (ඉන්දියාව) – බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් ශතක 13 යි 

3) ජැක් හොබ්ස් (එංගලන්තය) – ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ශතක 12 යි 

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු රඳවාගත් ඉහළම පිතිකරණ සාමාන්‍යය වාර්තා කළේත් බ්‍රැඩ්මන් 

ටෙස්ට් ඉනිම් 80ක් ක්‍රීඩා කරමින් ලකුණු 6996ක් ලබාගත් බ්‍රැඩ්මන් එහිදී 99.94ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගැනීමට සමත්වුණා. ඔහු ක්‍රීඩා කළ අවසන් ඉනිමේ දී තවත් ලකුණු 4ක් ලබාගත්තා නම් ඔහුගේ පිතිකරණ සාමාන්‍යය අගය 100ක් වීමට ඉඩ තිබුණා. නමුත් ඔහු එරික් හොලීස්ගේ පන්දුවක් හමුවේ අවසන් ටෙස්ට් ඉනිමේ දී ලකුණු නොලබා දැවීගියා. එම ඉනිම ගැන පසුකලෙක අදහස් දැක්වීමේ දී බ්‍රැඩ්මන් කියාසිටියේ එම අවස්ථාවේ දී දෑස් කදුලින් පිරී තිබුණු නිසා පන්දුව හරියාකාරව නුදුටු බවයි. 

බ්‍රැඩ්මන් අවසන් ටෙස්ට් ඉනිමේ දී දැවීගිය ආකාරය  (scoopnest.com) 

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයක් ලබාගත් පිතිකරුවා ඔහුයි 

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුල්මවරට ත්‍රිත්ව ශතක 2ක් ලබාගත් පිතිකරුවා බවට පත්වුණු බ්‍රැඩ්මන් සිය ටෙස්ට් දිවිය තුළ ද්විත්ව ශතකත් 12ක් ලබාගත්තා. එලෙස ලබාගත් ද්විත්ව ශතක අතුරින් අමතක නොවන ශතකය වුණේ ලකුණු 299ක් ලබාගෙන නොදැවී සිටි ද්විත්ව ශතකය යි. එදා බ්‍රැඩ්මන් තැබූ වාර්තාවට ආසන්න වුණු සංගක්කාර ටෙස්ට් ද්විත්ව ශතක 12ක් ලබාගත්තත් ඔහුට එය බිඳහෙලීමට හැකිවුණේ නැහැ. එහිදී බ්‍රැඩ්මන් ලබාගත් ද්විත්ව ශතක 12 මෙසේ දැක්විය හැකියි. 

1) 254 – එංගලන්තයට එරෙහිව 1930 දී 

2) 334 – එංගලන්තයට එරෙහිව 1930 දී 

3) 232- එංගලන්තයට එරෙහිව 1930 දී 

4) 223 -කොදෙව්වන්ට එරෙහිව 1931 දී 

5) 226 – දකුණු අප්‍රිකාවට එරෙහිව 1931 දී 

6) 299* – දකුණු අප්‍රිකාවට එරෙහිව 1932 දී 

7) 304 – එංගලන්තයට එරෙහිව 1934 දී 

8) 244- එංගලන්තයට එරෙහිව 1934 දී 

9) 270- එංගලන්තයට එරෙහිව 1937 දී 

10) 212 – එංගලන්තයට එරෙහිව 1937දී 

11) 234 – එංගලන්තයට එරෙහිව 1946 දී 

12) 201 – ඉන්දියාවට එරෙහිව 1947දී 

බ්‍රැඩ්මන් ලකුණු 232ක් ලබාගත් අවස්ථාව (gettyimages) 

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර දක්නට ලැබුණු විශිෂ්ඨතම පිතිකරුවා ලෙසින් හඳුන්වන්නේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් නම් එම සුපිරි පිතිකරුවා යි. එදා ඔහු ක්‍රිකට් පිටිය තුළ තැබූ වාර්තා අසමසම නිසාම ඔහුගේ නම් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ හැමදාමත් රන් අකුරින් ලියැවී පවතිනු ඇති. 

කවරයේ ඡායාරූපය - ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (cricket.au.com) 

Related Articles