Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තහනම් උත්තේජක නිසා ඔලිම්පික් පදක්කම් අහිමි වුණු සුපිරි තරු 3ක්

ඕනෑම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නේ විශාල පරිශ්‍රමයක් දැරීමෙන් පසුව යි. එලෙස ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය රටට ඔලිම්පික්  පදක්කමක් දිනා ගැනීම සඳහා විශාල වෙහෙසක් දරන බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ අයුරින් සමහර ක්‍රීඩක  ක්‍රීඩිකාවන් මහන්සි වී පදක්කම් දිනා ගැනීමට උත්සාහ කරද්දී තවත් සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් වංචාවෙන් පදක්කම් දිනා ගැනීමට මාන බලනවා. ඔවුන් එහි දී නීතිවිරෝධී ව තරග ජයග්‍රහණය කිරීම සඳහා භාවිත කරන්නේ විවිධ තහනම් උත්තේජක වර්ග යි. ඔලිම්පික් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී එම වරද සිදුකර අසුවුණු ප්‍රසිද්ධ ක්‍රීඩක ක්‍රිඩිකාවන් රැසක් හමුවනවා. මේ කියන්නට යන්නේ තහනම් උත්තේජක නිසා ඔලිම්පික් පදක්කම් අහිමි කරගත් සුපිරි තරු 3ක් පිළිබඳව යි.

1) මේරියන් ජෝන්ස්- අමෙරිකාව 

1997 වසරේ ග්‍රීසියේ ඇතන්ස් නුවර පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මේරියන් ජෝන්ස් නමැති අමෙරිකානු ක්‍රීඩිකාව යි. එසේ ම එම තරගාවලිය යටතේ පැවති මීටර් 100 සහාය දිවීමේ ඉසව්වෙන් ද මේරියන් ජෝන්ස් ඇතුළු අමෙරිකානු සහාය දිවීමේ කණ්ඩායමට රන් පදක්කම හිමි වුණා. ඉන් නොනැවතුණු මෙම ක්‍රීඩිකාව 1999 වසරේ ස්පාඤ්ඤයේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කාන්තා මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කළා. එනිසා 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී ඇය විශාල පෙරළියක් සිදු කරනු ඇති බවට පෙර සිටම අනාවැකි පළ වුණා.

2000 සිඩ්නි ඔලිම්පික් උළෙලට ප්‍රබල අමෙරිකානු මලල ක්‍රීඩා කණ්ඩායමක් ඉදිරිපත් වුණා. එම කණ්ඩායමට ඇතුළත් ව සිටි මේරියන් ජෝන්ස් මීටර් 100 සහ 200 ඉසව්වලින් රන් පදක්කම් දිනා ගැනීම සඳහා ඉදිරියෙන් ම සිටි ක්‍රීඩිකාව බව බොහෝ දෙනකුගේ මතය වුණා. එදා බොහෝ දෙනකු බලාපොරොත්තු වුණු අයුරින් ම මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජෝන්ස් සමත් වුණා. එහි දී ඇයගේ තරග නිමි කාලය තත්පර 10.75ක් ලෙසින් සටහන් වුණා. ඉන් නොනැවතුණු ජෝන්ස් තත්පර 21.84ක කාලයකින් මීටර් 200 ඉසව්ව නිමකර එහි රන් පදක්කමත් දිනා ගත්තා.

මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමෙන් පසුව
ජෝන්ස් මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමෙන් පසුව – getty images

ඒ අයුරින් ලොව වේගවත් ම කාන්තාව ලෙසින් අභිෂේක ලැබූ මේරියන් ජෝන්ස් මීටර් 400 සහාය දිවීමේ තරග ඉසව්ව සඳහා ද සහභාගි වුණා. එම තරග ඉසව්ව විනාඩි 3:22.62ක කාලයකින් නිම කළ අමෙරිකානු කණ්ඩායමට රන් පදක්කම හිමි වුණා. ඊට අමතර ව ඇයට දුර පැනීම සහ මීටර් 100 සහාය යන තරග ඉසව් ද්විත්වයෙන් ලෝකඩ පදක්කම් හිමි වුණා. ඒ අනුව මේරියන් ජෝන්ස් නම් අමෙරිකානු ක්‍රීඩිකාව 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත්තා. එනිසා සිඩ්නි ඔලිම්පික් උළෙල නිමා වෙද්දී ඇය සුපිරි තරුවක් බවට පත්ව සිටියා. 

ජෝන්ස්ට පදක්කම් අහිමි වීමෙන් පසුව සිය රසිකයන් අමතමින්
ජෝන්ස්ට පදක්කම් අහිමි වීමෙන් පසුව සිය රසිකයන් අමතමින් – getty images

එලෙස අමෙරිකාවට විශාල කීර්තියක් අත්කර දුන් මේරියන් ජෝන්ස් THG නම් තහනම් උත්තේජක වර්ගය භාවිත කළ බව පසු කලෙක දී ඔප්පු වුණා. එහි දී ඇය තහනම් උත්තේජක පිළිබඳ ව පරීක්ෂාවල දී සාවද්‍ය කරුණු පැවසූ බවට ද ඔප්පු වුණා. එනිසා 2007 වසරේ දී ඇය තහනම් උත්තේජක පිළිබඳ චෝදනාවලට වරදකාරිය වුණා. එනිසා ඇයට 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී දිනාගත් සියලු ම පදක්කම් අහිමි වුණා. ඒ අනුව ඔලිම්පික් තරග ඉතිහාසයේ තහනම් උත්තේජක ලබාගැනීමේ වරදට හසුව වැඩි ම පදක්කම් ප්‍රමාණයක් අහිමි කරගත් ක්‍රීඩිකාව ලෙසින් මේරියන් ජෝන්ස් ඉතිහාසගත වුණා. 

2) බෙන් ජොන්සන්- කැනඩාව 

80 දශකයේ දී ලෝක මලල ක්‍රීඩා පිටියේ සිටි දක්ෂ ක්‍රීඩකයකු වුණු බෙන් ජොන්සන් කැනඩාව නියෝජනය කළා. 1984 වසරේ දී මුල් ම වරට ඔලිම්පික් පිටියට පිවිසි මෙම ක්‍රීඩකයා මීටර් 100 සහ මීටර් 100 සහාය යන තරග ඉසව්වලින් ලෝකඩ පදක්කම් දිනා ගත්තා. ඉන් වසර 3කට පසු ව රෝමයේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ජොන්සන් සහභාගි වුණා. ඒ වන විට මීටර් 100 ඉසව්වේ ලෝක වාර්තා ලාභියා ලෙසින් වැජඹුණේ කැල්වින් ස්මිත් නම් අමෙරිකානුවා යි. තත්පර 9.93ක කාලයකින් මීටර් 100 ඉසව්ව නිම කරමින් ඔහු එම වාර්තාව තබා තිබුණේ 1983 වසරේ දීයි. එදා රෝමයේ පැවති මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ දී සුපිරි ධාවනයක යෙදුණු බෙන් ජොන්සන් මීටර් 100 ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටවූවා. එහි දී ඔහුගේ තරග නිමි කාලය තත්පර 9.83ක් ලෙසින් සටහන් වුණා.

එලෙස මීටර් 100 ඉසව්වේ ලෝක ශූරයා ලෙසින් වැජඹුණු බෙන් ජොන්සන් 1988 සෝල් ඔලිම්පික් උළෙලට සහභාගි වුණේ රන් පදක්කමක් ලබා ගැනීමේ පරමාර්ථය ඇතිව යි. අමෙරිකාවේ කාල් ලුවිස් සහ කැල්වින් ස්මිත් මෙන් ම බ්‍රිතාන්‍යයේ ලිනෆෝඩ් ක්‍රිස්ටි එදා ජොන්සන්ගේ ප්‍රබල ම ප්‍රතිවාදීන් බවට පත් ව සිටියා. 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් ලාභියා වුණු කාල් ලුවිස් ඒ අතුරින් ජොන්සන්ගේ ප්‍රබල ම ප්‍රතිවාදියා බවට පත් ව සිටියා. සෝල් ඔලිම්පික් උළෙලේ මීටර් 100 තරගයේ දී සියලු ම ප්‍රතිවාදීන් අභිබවා ගිය කැනඩාවේ බෙන් ජොන්සන් ලෝක වාර්තාවක් ද සමඟින් ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තා. එහි දී ජොන්සන් 9.79ක් තරම් වාර්තාගත කාලයකින් මීටර් 100 ඉසව්ව නිමා කර තිබුණා.

ජොන්සන් ඔලිම්පික් මීටර් 100 ඉසව්ව ජයගත් මොහොත
ජොන්සන් ඔලිම්පික් මීටර් 100 ඉසව්ව ජයගත් මොහොත – getty images

 

ඒ අයුරින් සෝල් ඔලිම්පික් උළෙලේ දී වේගවත් ම මිනිසා ලෙසින් අභිෂේක ලැබූ බෙන් ජොන්සන්ට පසුව තහනම් උත්තේජක ලබාගැනීම පිළිබඳ චෝදනා එල්ල වුණා. එහි දී අනාවරණය වුණේ මෙම ක්‍රීඩකයා  ස්ටැනොසෝලල් නම් තහනම් උත්තේජක වර්ගය භාවිත කර ඇති බවයි. එනිසා ඔහුට 1985-1988 කාලය තුළ දිනා ගත් සියලුම පදක්කම් සහ වාර්තා අහිමි වුණා. එපමණක් නොව ඔහුට තරග තහනමක් ද පැනවූවා. 1991 වසරේ දී එම තරග තහනම අවසන් වීමෙන් පසු ජොන්සන් යළි ජාත්‍යන්තර තරග බිමට පිවිසියා. ඒ අනුව 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලට ද සහභාගි වුණු ජොන්සන්ට මීටර් 100 අවසන් තරගයට පිවිසීමට නොහැකි වීම කනගාටුදායක සිදුවීමක් වුණා. 

ජොන්සන් තහනම් උත්තේජක චෝදනාවට වරදකරු වීමෙන් පසුව
ජොන්සන් තහනම් උත්තේජක චෝදනාවට වරදකරු වීමෙන් පසු – getty images

 

3) නෙස්ටා කාටර්- ජැමයිකාව 

2008 බීජිං ඔලිම්පික් උළෙල ආරම්භ වන විට කෙටි දුර ධාවන ඉසව්වල ආධිපත්‍යය පැවතුණේ අමෙරිකානු කෙටි දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුව යි. එලෙස අමෙරිකානුවන් සතු ව තිබුණු මලල ක්‍රීඩා ආධිපත්‍යය බිඳ දැමූ ජැමයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙටි දුර ධාවන ඉසව් 6න් 4ක ම රන් පදක්කම් දිනා ගත්තා. පිරිමි මීටර් 100 සහාය ඉසව්ව තත්පර 37.10ක කාලයකින් නිමා කළ ජැමයිකානුවන් ලෝක වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනා ගත්තා. එහි දී ඔවුන් අතින් බිඳ වැටුණේ 1992 වසරේ දී අමෙරිකානුවන් මීටර් 100 සහාය ඉසව්ව තත්පර 37.40කින් නිමා කර තබා තිබුණු ලෝක වාර්තාව යි. එදා ජැමයිකාව වෙනුවෙන් ලෝක වාර්තාව බිහි කළ කණ්ඩායම නියෝජනය කළේ උසේන් බෝල්ට්, අසාෆා පවෙල්, නෙස්ටා කාටර් සහ මයිකල් ෆ්රේටර් යන ක්‍රීඩකයන් සිවු දෙනා යි. 

ජයග්‍රාහී ජැමයිකානු සහාය දිවීමේ කණ්ඩායම
ජයග්‍රාහී ජැමයිකානු සහාය දිවීමේ කණ්ඩායම – getty images

 

ඒ අයුරින් ජැමයිකානුවන් ලබාගත් වටිනා ඔලිම්පික් රන් පදක්කම 2017 ජනවාරි 25 වැනිදා ඔවුන්ට අහිමි වුණා. එයට හේතුව වුණේ ජැමයිකානු සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ නෙස්ටා කාටර් තහනම් උත්තේජක චෝදනාවකට වරදකරුවා වීම යි. එහි දී කාටර් මෙතිල්හෙක්සැනිමීන් නම් තහනම් උත්තේජක වර්ගය භාවිත කර තිබුණා. එලෙස කාටර් සිදු කළ වරද හේතුවෙන් ජැමයිකාවට අහිමි වුණු රන් පදක්කම නිසා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නේ උසේන් බෝල්ට් නම් සුපිරි මලල ක්‍රීඩකයා යි. එම රන් පදක්කම අහිමි වීම නිසා බෝල්ට් දිනා ගත් සමස්ත ඔලිම්පික් රන් පදක්කම් ප්‍රමාණය 8 දක්වා පහළ බැස්සා. එනිසා ඔලිම්පික් ඉතිහාසයේ වැඩි ම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩකයා ලෙසින් පිහිටුවා තිබුණු සම වාර්තාව ඔහුට අහිමි වුණා. ඒ අනුව රන් පදක්කම් 9 බැගින් ලබාගෙන සිටින අමෙරිකාවේ කාල් ලුවිස් සහ ෆින්ලන්තයේ පාවෝ නුර්මි ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ වැඩි ම රන් පදක්කම් ප්‍රමාණයක් ලබාගත් මලල ක්‍රීඩකයන් දෙදෙනා බවට පත් ව සිටිනවා. 

නෙස්ටා කාටර්
නෙස්ටා කාටර් – getty images

කවරයේ ඡායාරූපය- මේරියන් ජෝන්ස් ඔලිම්පික් පදක්කම් අහිමිවීමෙන් පසු - getty images

මූලාශ්‍ර-

olympic.com

Related Articles