Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවට හිතැති ඕස්ට්‍රේලියානු ක්‍රීඩක – ඩැව් වට්මෝර්

වට්මෝර්ගේ ළමා හා පාසල්  කාලය

1954 වසරේ මාර්තු 16 වන දින ක්ලිෆර්ඩ් වට්මෝර් හා මාජොරී වට්මෝර් යුවළට පවුලේ තෙවන දරුවා ලෙස ගැහැණු දරුවන් දෙදෙනෙකුට පසු ව පිරිමි දරුවෙකු උපත ලැබුවා. එසේ උපත ලද එම පුත්‍රයාට ඩැව්නෙල් ෆ්රෙඩ්‍රික් වට්මෝර් ලෙස නම් තැබූ අතර, යම්දිනෙක මේ ඩැව්නෙල් වට්මෝර් නාමය ලෝක පූජිත එකක් වනු ඇතැ යි එදා එම මව්පිය යුවළ නොසිතන්නට ඇති. එම අවධියේ කොළඹ වැල්ලවත්තේ විසූ වට්මෝර් යුවළ සිය කුඩා පුත්‍රයා ව ප්‍රාථමික අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විදුහලට ඇතුළත් කළ ද, කුඩා ඩැව්ට වැඩි කලක් එහි අකුරු කිරීමට නොහැකි වූයේ වට්මෝර් පවුල 1962 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම නිසා යි.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අගනගරය වූ මෙල්බර්න් නුවරට නුදුරින් පිහිටි මෙන්ටෝන් ගම්මානය වට්මෝර් පවුලේ නව වාසස්ථානය වූ අතර, කුඩා ඩැව්ගේ නව පාසල වූයේ මෙන්ටෝන් ප්‍රාථමික විදුහල යි. මෙම මෙන්ටෝන් විදුහල යනු පසු කලෙක ලොව බිහි වූ සුපිරි ම පාදග පන්දු යවන්නෙකු වූ ශේන් වෝන්ගේ පාසල යි. මෙන්ටෝන් ප්‍රාථමික විදුහලෙන් පසු මෙන්ටෝන් උසස් විදුහලට අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් ඇතුළත් වූ ඩැව්, පාසල් සමයේ ඉතාමත් දක්ෂ පළමු ස්ලිප් ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. එම නිසා ම ඔහුට මෙල්බර්න්හි හයෙට් ක්‍රීඩා සමාජයට ඇරයුම් ලැබුණු අතර, පසු ව ඔහු ප්‍රාහ්රන් ක්‍රීඩා සමාජයට එක් වෙනවා. යොවුන් වියේ දී ඩැව් ලබාගත් මෙම පන්නරය, පසු කලෙක ඔහුට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වීමට උපකාරී වුණා.

ප්‍රාහ්රන් ක්‍රීඩා සමාජයට වට්මෝර් ක්‍රීඩා කරන අවධියේ ඡායාරූපයක්. (prahran cricket club website)

ඩැව් වික්ටෝරියා පිලට එක්වෙයි

1975/ 1976 තරගවාරයේ පළමු පෙළ තරගවලට එක් වූ වට්මෝර් මුල්ම වරට ෂෙෆීල්ඩ් කුසලාන තරගවල දී වික්ටෝරියා පිල නියෝජනය කරන ලද්දේ 1976/ 1977 තරගවාරයේ දී. එම තරගවාරයේ තරග 8ක් තුළ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 385ක් රැස් කළ වට්මෝර්ට රැකගැනීමට හැකි වූයේ ද උඩපන්දු 8ක් පමණයි. ඩැව්ට එතරම් දස්කම් දැක්වීමට නොහැකි වුවත්, එම තරගවාරයේ වික්ටෝරියා පිල අනුශූරතාවය දිනාගත් අතර, එය ඩැව් ප්‍රමුඛ වික්ටෝරියා පිලට මහත් අස්වැසිල්ලක් වුණා. පළමු තරගවාරයේ අසාර්ථක වුව ද, අනතුරුව එළඹි 1977/ 1978 තරගවාරයේ ඉහළ දස්කම් දැක්වූ ඩැව්, තරග 9ක් තුළ ශතක 2ක් හා අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 535ක් රැස් කළ අතර, උඩපන්දු 14ක් රැක ගනිමින් තරගවාරයේ වැඩි ම උඩපන්දු රැකගත් පිටියේ පන්දු රකින්නා වුණා. ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරගත් දක්ෂතා තුළින් 1978/ 1979 තරගවාරයේ දී ඩැව් වට්මෝර් නම් ක්‍රීඩකයා විශිෂ්ට දක්ෂතා දැක්වූ අතර, තරගවාරයේ ඔහු තරග 9ක් තුළ අර්ධ ශතක 4ක් හා ශතක 2ක් සමග ලකුණු 650ක් ලබාගත්තා. ඉන් නොනැවතුණු ඔහු, උඩපන්දු 13ක් රැකගනිමින් නැවතත් තරගවාරයේ  වැඩි ම පිටියේ උඩපන්දු ලබාගත් ක්‍රීඩකයා බවට පත් වුණා. මෙම තරගවාරයේ දී වික්ටෝරියා පිල වසර 6කින් පසු ෂෙෆීල්ඩ් පලිහ ලබාගත් අතර, නිත්‍ය නායක ග්‍රැහැම් යැලොප් නොමැති අවස්ථාවල ඩැව් වට්මෝර්ට වැඩ බලන නායකයා ලෙස කටයුතු කරන්නට ද සිදුවුණා. එහෙයින් එම තරගවාරයේ වික්ටෝරියා පිල ලබාගත් ජයග්‍රහණය ඩැව්ගේ වටිනාකම තවත් වැඩි කළා.

ඩැව් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලට එක්වෙයි

1978/ 1979 කාල වකවානුව තුළ කෙරී පැකර්ගේ ලෝක ශූරතා තරගාවලිය දෙවන අදියර ක්‍රියාත්මක වූ අතර, එම තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයන් ද සහභාගි වුණා. ඔවුන්ට ඕස්ට්‍රේලියානු පිලට ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළා. අනතුරුව 1979 වසරේ මාර්තු මස පකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නවක මුහුණු කීපයක් ජාතික පිලට එක් කිරීමට තේරීම් කමිටුව තීරණය කළ අතර, එහි දී 1978/ 1979 ෂෙෆීල්ඩ් තරගවාරයේ උසස් දස්කම් දැක්වූ ඩැව් වට්මෝර්ට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 304 වන ක්‍රීඩකයා වීමට හැකි වුණා. එය ඩැව් වට්මෝර්ගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී මොහොතක් වූ අතර, එම සුවිශේෂී බව තවත් වැඩි වූයේ, තමාට හුරුපුරුදු මෙල්බර්න් පිටියේ තම ප්‍රාන්ත පිල වූ වික්ටෝරියා නායක ග්‍රැහැම් යැලොප් යටතේ එම තරගය ක්‍රීඩා කිරීමට තරුණ ඩැව් වට්මෝර්ට අවස්ථාව හිමිවීමත් එක්ක යි.

ඩැව් වට්මෝර් 1979 වසරේ දී. (Gettyimages)

ඩැව්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය

මෙල්බර්න් පිටියේ දී පකිස්තානයට එරෙහිව ඩැව් ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයේ පකිස්තානු පිල හමුවේ ඕස්ට්‍රේලියාව පරාජය වූ අතර, ඔවුන්ගේ මුල් ඉනිමේ පිතිකරුවෙකු  ලබාගත් වැඩි ම ලකුණු ප්‍රමාණය වූයේ ඩැව් ලබාගත් ලකුණු 43 යි. ඩැව් මුල් ඉනිමේ දැක්වූ දස්කම් හේතුවෙන් පකිස්තානය හමුවේ ලකුණු 382ක් හඹාගිය අවස්ථාවේ ඩැව්ට ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසීමට සිදු වූ අතර, එහි දී ඩැව්, සෆ්රාස් නවාස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 15කට දැවී ගිය ද, ඇලන් බෝඩර් හා කිම් හියුස් සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 177ක සබඳතාවය නිසා ඕස්ට්‍රේලියානු පිල 305/3ක් ලෙස ප්‍රබල තත්ත්වයකට පත් වුණා.

නමුත් මෙම අවස්ථාවේ පකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක ස්ෆ්රාස් නවාස් ඉතාමත් විරල ගණයේ පන්දු යැවීමක නිරත වෙමින් ඉතිරි ඕස්ට්‍රේලියානු කඩුලු 7 ම ලකුණු 5ක් තුළ දවාගැනීම නිසා ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 310කට සීමා වුණා. සෆ්රාස් නවාස් ලකුණු 86කට කඩුලු 9ක් දවාගනිමින්, ටෙස්ට් ඉනිමක කඩුලු 9ක් දවාගත් මුල්ම පකිස්තානු පන්දු යවන්නා බවට පත් වුණා. එම තරගයට පසු ව පර්ත් පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී වසීම් බාරිගේ උඩපන්දුව ලබාගනිමින් සිය ටෙස්ට් දිවියේ මුල්ම උඩපන්දුව ලබාගත් වට්මෝර්, අනතුරුව 1979 වසරේ ම පැවති ඕස්ට්‍රේලියා පිලේ ඉන්දීය සංචාරයට එක් වුණා. එම තරගාවලිය යටතේ කාන්පූර් හි දී පැවති දෙවන ටෙස්ට් තරගයේ දී උඩපන්දු 6ක් රැකගත් ඩැව්, දෙවන ඉනිමේ දී ලකුණු 33ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු පිලේ වැඩි ම ලකුණු ලාභියා වුණා. ඉන් අනතුරුව දිල්ලි හි පැවති ටෙස්ට් තරගයේ දී ලකුණු 77ක් හා ලකුණු 54ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු පිල පරාජයෙන් ගලවාගත් ඩැව්, ඉතිරි ටෙස්ට් තරග 2ක තුළ දස්කම් දැක්වීමට අපොහොසත් වූ අතර, ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිමේ දී කපිල් දේව්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියා. එලෙස ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කළ වට්මෝර් එහි දී අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 293ක් රැස් කළ අතර, ඊට අමතර ව උඩපන්දු 13ක් ද රැකගැනීමට සමත් වුණා. 1979/ 1980 බෙන්සන් සහ හෙජස් එක්දින තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කළ වට්මෝර්, එහි දී කොදෙව්වන් හමුවේ ලකුණු 2ක් පමණක් ලැබූ අතර එය වට්මෝර් ක්‍රීඩා කළ එක ම එක්දින ජාත්‍යන්තර තරගය යි.

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ ලකුණු 86කට කඩුලු 9ක් දවාගත් සෆ්රාස් නවාස් (cricketcountry.com)

ඩැව් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වෙයි

1988 වසරේ ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය තුළ දී ශ්‍රී ලංකා පිල, වික්ටෝරියා පිල සමග පළමු පෙළ තරගයක් ක්‍රීඩා කළ අතර, එහි දී, වික්ටෝරියා පිලේ ආරම්භක පිතිකරු  ලෙස කටයුතු කළේ ඩැව් වට්මෝර්. එහි දී වට්මෝර් මුල් ඉනිමේ ග්‍රැහැම් ලැබ්‍රෝයිගේ පන්දුවක් හමුවේ ලකුණු 5කට දැවී ගිය අතර, මෙම ඉනිමේ ලැබ්‍රෝයි ලකුණු 71කට කඩුලු 7ක් දවාගැනීම කැපී පෙනුණු සිදුවීමක් වුණා. අනතුරුව දෙවන ඉනිමේ වට්මෝර් චම්පක රාමනායකගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියා. මෙම තරගයේ පළමු හා දෙවන ඉනිමේ දී පිළිවෙලින් රාමනායක හා ගුරුසිංහගේ උඩපන්දු රැකගැනීමට ඩැව් සමත් වූ අතර, අවසානයේ දී මෙම තරගය ජය පරාජයෙන් තොර ව අවසන් වුණා. මෙහි දී  ඩැව්ට ඔහු උපන් රට සමග මෙලෙස තරගයක් ක්‍රීඩා කිරීමට ලැබීම ඔහුගේ ක්‍රිකට් දිවියේ ඉතාමත් වටිනා අවස්ථාවක් වූ අතර, මෙම ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස ඩැව්ට කටයුතු කිරීමට යම්දිනෙක අවස්ථාවක් ලැබේයැ යි ඔහු මෙම තරගය ක්‍රීඩා කරන විට සිහිනෙන්වත් නොසිතන්නට ඇති.

ඩැව් ලංකාවේ පුහුණුකරු වී පැමිණ ලෝක කුසලානය දිනාගත් අන්දම අපි මීළඟ ලිපියෙන් කතා කරමු

 

කවරයේ ඡායාරූපය:

ඩැව් වට්මෝර් හා නවසීලන්ත කඩුලු රකින්නෙකු වූ ටෝනි බ්ලේන් තරගයක් අතරතුර (Daily telegraph)

මූලාශ්‍රය: Cricinfo

Related Articles