Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 පාපන්දු ලෝක කුසලානයෙන් මතු වූ නවක තරු

මසක පමණ කාලයක් කටාර් රාජ්‍යයේදී සැණකෙළි ස්වරූපයෙන් පැවති 22 වන පාපන්දු ලෝක කුසලානය පසුගිය දෙසැම්බර් 18 වැනි දා නිමාව දුටුවා. ඒ වසර 36 කට පසු ව තෙවන වතාවටත් ආජන්ටිනාව පාපන්දු ලෝක ශූරයන් බවට පත් කරමින්. තරගාවලිය පුරා අනපේක්ෂිත සිදුවීම් රාශියක් වාර්තා වුණා. පාපන්දු ක්‍රීඩාවේ අනාගත තරු බවට පත් වීමට තමන් සූදානම් බවට ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම ඉඟි පළ කළා.

මේ ඉන් කිහිප දෙනකු පිළිබඳ සැකසුණු ලිපියක්.

1. එන්සෝ ෆර්නැන්ඩස් (ආජන්ටිනාව)

2022 පාපන්දු ලෝක කුසලානයට සහභාගී වූ ආජන්ටිනාව තරගාවලිය ආරම්භ වීමට ප්‍රථමයෙන් විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ මැද පෙළ ක්‍රීඩක ජියොනි ලොසෙල්සෝ ආබාධයට ලක් වීම යි. මේ හේතුවෙන් මැද පෙළ සිදුවූ අඩුපාඩු නිසා සෞදි අරාබිය සමඟ පැවති පළමු තරගයෙන් ම ආජන්ටිනාව අනපේක්ෂිත පරාජයක් ලබා ගත්තා.

එන්සෝ පාපන්දු ලෝක කුසලානයේ දී ආජන්ටිනාව වෙනුවෙන් විශාල වගකීමක් දැරුවා – www.football.london.com

ඒ වෙනුවට ඔවුන්ට ලැබුණ වටිනා ක්‍රීඩකයා වූයේ එන්සෝ ෆර්නැන්ඩස්. වර්තමානයේ දී පෘතුගාලයේ බෙන්ෆිකා ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කරන ඔහු තවමත් ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ තරග 10 ක් පමණ යි. මෙවර ලෝක කුසලානයේ දී ආජන්ටිනාව ට නැතුව ම බැරි ක්‍රීඩකයෙක් වූ එන්සො ෆර්නැන්ඩස් තරගාවලියේ දී ගෝලයක් සහ ගෝල ලබා දීමට සහාය වීමක් ද වාර්තා කළා.

මැද පෙළ ක්‍රීඩා කරමින් ආරක්ෂිත ව ක්‍රීඩා කිරීමට මෙන් ම පන්දු පාලනයට ද ඔහු එක සේ දස්කම් දක්වනවා. තවමත් 21 වන වියේ පසුවන නිසා ෆර්නැන්ඩස්ට ප්‍රබල ක්‍රීඩා සමාජ ගණනාවකින් ම ඇරියුම් ලැබෙමින් පවතිනවා. මේ වන විට රියාල් මැඩ්රීඩ්, ලිවර්පූල් සහ පැරිස් සෙන්ට් ජර්මෙයින් යන පාපන්දු ක්‍රීඩා සමාජ එන්සො ෆර්නැන්ඩස් දෙස තම අවධානය යොමු කර ඇති බවට සඳහන්.

කෙසේ වෙතත් ඔහුගේ දස්කම් නිසා යුරෝ මිලියන 120 ක මුදලක් එන්සො වෙනුවෙන් අවශ්‍ය බවට බෙන්ෆිකා කණ්ඩායම නිවේදනය කළා. එළඹෙන ජූනි මාසයේ දී එන්සෝ ප්‍රබල ක්‍රීඩා සමාජයක් හා ගිවිසුම්ගත වීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. 2022 පාපන්දු ලෝක කුසලානයේ දී දැක්වූ දක්ෂතා නිසා ම එන්සෝ ෆර්නැන්ඩස් තරගාවලියේ දක්ෂත ම නවක ක්‍රීඩකයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

2. හූලියන් අල්වාරෙස් (ආජන්ටිනාව)

ලෝක කුසලානය ජයග්‍රහණය කළ ආජන්ටිනා කණ්ඩායමේ ලියොනල් මෙසීට පසුව දෙවැනියට වැඩි ම ගෝල ලාභියා බවට පත් වීමට අල්වාරෙස් සමත් වුණා. 22 හැවිරිදි හූලියන් අල්වාරෙස් ආජන්ටිනාවේ රිවර් ප්ලේට් ක්‍රීඩා සමාජයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය ඔහු පසුගිය ජූනි මාසයේ දී මිලදී ගැනීමට කටයුතු කළා.

ලෝක ශූර ආජන්ටිනාව වෙනුවෙන් ගෝල 4 ක් ලැබූ අල්වාරෙස් – www.bitterandblue.com

ඔහුට මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය තුළ තවමත් වැඩි අවස්ථාවක් හිමි ව නෑ. 2022 ලෝක කුසලානයේ දී හූලියන් අල්වාරෙස් දැක්වූ දක්ෂතා හේතුවෙන් මේ වන විට ඔහුගේ නම ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා. ඔහු ලෝක කුසලාන තරගාවලිය පුරාවට රැස්කළ ගෝල සංඛ්‍යාව 4ක්. එයට අවසන් පූර්ව වටයේ දී ක්‍රොඒෂියාව එරෙහි ව ලැබූ ගෝල ද්විත්වයක් ද ඇතුළත්.

තවමත් ආජන්ටිනාව වෙනුවෙන් තරග 19 ක් පමණක් ක්‍රීඩා කර ඇති ඔහු මේ වන විටත් ලබා තිබෙන ගෝල සංඛ්‍යාව 7 ක්. ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් ලෙසින් අවශ්‍ය විටෙක අවශ්‍ය ප්‍රහාරය සිදු කිරීමට ඔහුට මනා හැකියාවක් තිබෙනවා. මැන්චෙස්ටර් සිටි කණ්ඩායම සමඟින් එළඹෙන වසර කිහිපයේ දී අල්වාරෙස් පෙරළිකාර ගමනක් යනු ඇතැයි විශ්වාස කළ හැකි යි.

3. කෝඩි ගැක්පෝ (නෙදර්ලන්තය)

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් බවට නෙදර්ලන්තය හඳුන්වා දිය හැකි යි. නෙදර්ලන්තයේ 23 හැවිරිදි ක්‍රීඩක කෝඩි ගැක්පෝ මූලික වටයේ සිට ම තරුවක් බවට පත් වුණා. ඔහු වර්තමානයේ දී නෙදර්ලන්තයේ පීඑස්වී ක්‍රීඩා සමාජයේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කරනවා.

ගැක්පෝ මූලික වටයේ සෑම තරගයක දී ම ගෝල රැස් කළා – www.goal.com

අඩි 6 අඟල් 4 ක උසකින් සමන්විත නිසා ඔහු බොහෝ අවස්ථාවල ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයන්ට එල්ල කරන්නේ විශාල තර්ජනයක්. මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ පැවති තරග සියල්ලේ දී ම ගෝල ලබා ගැනීමට ද ගැක්පෝ සමත් වුණා. සෙනගාලයට එරෙහි ව ඔහු ලබා ගත් ගෝලය තමන්ගේ උස නිවැරැදි ව පාලනය කිරීම පිළිබඳ හොඳ ම උදාහරණයක්.

2021/22 තරග වාරයේ දී නෙදර්ලන්ත පාපන්දු ක්‍රීඩා සමාජ අතරේ දක්ෂත ම ක්‍රීඩකයා සම්මානය ද කෝඩි ගැක්පෝ දිනා ගත්තා. මෙවර ලෝක කුසලානයේ දී තමන්ගේ වටිනාකම තවදුරටත් පෙන්වීමට ඔහු සමත් වුණා. මේ නිසා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෙන් හිස්වූ තැන පිරවීම වෙනුවෙන් කෝඩි ගැක්පෝ මිලදී ගැනීමට එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය සූදානමින් පසු වනවා.

4. ජොස්කෝ ග්වාඩියෝල් (ක්‍රොඒෂියාව)

2018 පාපන්දු ලෝක කුසලානයේ දී පෙරළිකාර දස්කම් දක්වමින් එහි අනුශූරතාව දිනා ගැනීමට ක්‍රොඒෂියාව සමත් වුණා. ඒ ආකාරයෙන් ම 2022 පාපන්දු ලෝක කුසලානයේ දී ද ඔවුන් පෙරළිකාර දස්කම් දැක්වූවා. මෙවර ලෝක කුසලානයේ දී ක්‍රොඒෂියාව වෙනුවෙන් 20 හැවිරිදි ආරක්ෂක ක්‍රීඩක ජොස්කෝ ග්වාඩියෝල් දැක්වූයේ සුපිරි දක්ෂතාවක්.

ග්වාඩියෝල් ක්‍රොඒෂියාව තෙවන ස්ථානය කරා රැගෙන ඒමට විශාල දායකත්වයක් ලබා දුන්නා – www.espn.com

ඔහු සෙන්ටර් බැක් ස්ථානයේ ක්‍රීඩා කරනවා. මෙවර ලෝක කුසලානයේ දී සමස්ත ක්‍රොඒෂියා පසු පෙළ මෙහෙයවීමේ වගකීම ග්වාඩියෝල් තම කර මතට ගත්තා. තවමත් ක්‍රොඒෂියාව වෙනුවෙන් තරග 19 පමණක් ක්‍රීඩා කොට තිබුණ ද ඔහු ඒවායේ ක්‍රීඩා කළේ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු ගේ ස්වරූපයෙන්.

තෙවන ස්ථානය වෙනුවෙන් පැවති මොරොක්කෝ තරගයේ දී ක්‍රොඒෂියා පළමු ගෝලය ද ග්වාඩියෝල් වාර්තා කළා. වර්තමානයේ දී ජර්මනියේ ආර්.බී. ලිප්සිග් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන ඔහු වෙනුවෙන් මේ වන විටත් යුරෝ මිලියන 100 ක පමණ මුදලක් තීරණය වී තිබෙනවා. ග්වාඩියෝල් ද එළඹෙන ජූනි මාසයේදී වැඩි මිලකට ප්‍රබල ක්‍රීඩා සමාජයක් මිලදී ගනු ඇතැයි අනුමාන කළ හැකි යි.

5. මොහොමඩ් කුඩුස් (ඝානාව)

2022 පාපන්දු ලෝක කුසලානයට පැමිණි රටවල් අතරේ අඩු ම ශ්‍රේණිගත කිරීම හිමි ව තිබුණේ ඝානාවට යි. ශ්‍රේණිගත කිරීම් යනු හුදෙක් ඉලක්කමක් බව පෙන්වූ ඝානාව ලෝක කුසලානයේ දී හොඳ දස්කම් දැක්වූවා. මූලික වටයෙන් ම ඔවුන් ඉවත් වූවත් ගෞරවාන්විත තරගාවලියක් නිමා කිරීමට ඝානාව සමත් වුණා.

මොහොමඩ් කුඩුස් 2022 පාපන්දු ලෝක කුසලානයේ ක්‍රීඩා කරමින් – www.goal.com

22 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් කුඩුස් මෙවර ඝානාව වෙනුවෙන් ක්‍රීඩා කළ නවත ම තරුව යි. නෙදර්ලන්තයේ අයෑක්ස් ක්‍රීඩා සමාජයේ මැද පෙළ ක්‍රීඩකයෙක් ලෙසින් ඔහු ක්‍රීඩා කරනවා. වේගවත් ධාවනය, පන්දු පාලනය යන සියල්ල ම මැනවින් සිදු කිරීමට මොහොමඩ් කුඩුස්ට හැකි යි. ලෝක කුසලානයේ දී ඔහු ඒ බව මනාව පෙන්නුම් කළා.

පෘතුගාලය සමඟ පැවති තරගයේ දී ඝානා පළමු ගෝලය වෙනුවෙන් සාර්ථක පන්දු පිරිනැමීම මෙන් ම දකුණු කොරියාවට එරෙහි ව ගෝල දෙකක් රැස් කිරීමට ද මොහොමඩ් කුඩුස් සමත් වුණා. ඔහු දැක්වූ දක්ෂතා නිසා ම තියුණු තරගයකින් පසු ව ගෝල 3-2 කින් ඝානාව, දකුණු කොරියාව පරාජයට පත් කළා.

H කාණ්ඩයේ අවසන් ස්ථානයට පත් වීමට ඝානාවට සිදු වුවද නවක ක්‍රීඩක කුඩුස් දැක්වූ දක්ෂතා එරට වැසියන් අමන්දානන්දයට පත් කිරීමට සමත් වුණා.

6. ඇලෙක්සිස් මැක් ඇලිස්ටර් (ආජන්ටිනාව)

ආජන්ටිනාවට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තවත් තීරණාත්මක වැඩ කොටසක් ඇලෙක්සිස් මැක් ඇලිස්ටර් ඉටු කළා. තරගාවලිය ආරම්භ වීමට ප්‍රථමයෙන් කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ඔහුට හිමි නොවූව ද ලෝක කුසලානයේ දැක්වූ දක්ෂතා නිසා මැක් ඇලිස්ටර් ආජන්ටිනාවේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත් වුණා.

මැක් ඇලිස්ටර් ද ආජන්ටිනාවට ලෝක කුසලානය දිනා දීමට දායක වුණා – www.flipboard.com

එංගලන්තයේ බ්‍රයිටන් ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කරන 24 හැවිරිදි මැක් ඇලිස්ටර් ආජන්ටිනාව වෙනුවෙන් තවමත් ක්‍රීඩා කොට ඇත්තේ තරග 14 ක් පමණ යි. මැදපෙළ ක්‍රීඩකයෙක් වන ඔහු සාර්ථක පන්දු පිරිනැමීමට සහ දිගු පහරවල් එල්ල කිරීමට හැකි ක්‍රීඩකයෙක්. එළඹෙන වසරේ දී එංගලන්තයේ ආසනල් ක්‍රීඩා සමාජය මැක් ඇලිස්ටර් මිලදී ගැනීමේ සූදානමින් පසු වනවා.

පෝලන්තයට එරෙහි ව ගෝලයක් ලබා ගැනීම මෙන් ම ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ආජන්ටිනා දෙවන ගෝලය වෙනුවෙන් ඈන්හෙල් ඩි මරියාට සාර්ථක පන්දු පිරිනැමීමක් ද මැක් ඇලිස්ටර් සිදු කළා. මේ දක්ෂතා නිසා ම පෝලන්ත තරගයේ දී තමන්ට ලැබුණ තරගයේ වීරයා සම්මානය ඇලෙක්සිස් මැක් ඇලිස්ටර්ට ලබා දීමට ලියොනල් මෙසී කටයුතු කිරීම ද විශේෂත්වයක්. ඉදිරි වසර කිහිපයේ දී ඔහු පාපන්දු පිටියට වඩා සුවිශේෂී මතක එක් කළ හැකි ක්‍රීඩකයෙක් වන බව ප්‍රකාශ කිරීම වඩා නිවැරැදි යි.

7. ගොන්සාලෝ රාමෝස් (පෘතුගාලය)

2022 පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට පැමිණි කණ්ඩායම් අතරේ වඩාත් ප්‍රබල සංචිතයක් පෘතුගාලයට හිමි වුණා. කෙසේ නමුත් මොරොක්කෝව හමුවේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ලැබූ පරාජය නිසා පෘතුගාලය ලෝක කුසලානයෙන් ඉවත් වුණා. ඔවුන්ට ලෝක කුසලානයේ දී ලැබුණ ධනාත්මක ප්‍රතිඵලයක් වන්නේ ඉදිරි පෙළ ක්‍රීඩක ගොන්සාලෝ රාමෝස්.

ලෝක කුසලානයේ පළමු ගෝල ත්‍රිත්වය වාර්තා කළ ගොන්සාලෝ රාමෝස් – www.skysports.com

21 හැවිරිදි රාමෝස් මෙවර තරග වාරයේ දී බෙන්ෆිකා සමගින් සුපිරි දස්කම් දක්වමින් සිටිනවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙනුවට අවසන් 16 දෙනාගේ වටයේ දී තරගය ආරම්භ කළ රාමෝස් ගෝල ත්‍රිත්වයක් වාර්තා කළා. 2022 පාපන්දු ලෝක කුසලානය තුළ ක්‍රීඩකයෙක් ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ පළමු අවස්ථාව ද මෙය වුණා. මේ නිසා ඔහු වෙත පාපන්දු පිටියේ දී යොමු වූයේ විශේෂ අවධානයක්.

පෘතුගාලය වෙනුවෙන් තවමත් තරග 5ක් පමණක් ක්‍රීඩා කොට ඇති ගොන්සාලෝ රාමෝස් එහිදී ගෝල 4 ක් ලබා තිබෙනවා. සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විශ්‍රාම යද්දී ඒ වෙනුවට පෘතුගාලය වෙනුවෙන් නිර්මාණය වන තවත් ගෝල මැෂිමක් වන්නේ ගොන්සාලෝ රාමෝස් බවට දැන් අනාවැකි පළ වනවා.

2023 දී නව පාපන්දු තරගවාරය ආරම්භ වීමට ප්‍රථමයෙන් ගොන්සාලෝ රාමෝස්ට යුරෝපයේ ප්‍රබල ක්‍රීඩා සමාජයක කොන්ත්‍රාත්තුවක් ලැබීමට ද විශාල ඉඩකඩක් නිර්මාණය වී තිබෙනවා.

8. ජූඩ් බෙලින්හැම් (එංගලන්තය)

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට වඩාත් ඉඩකඩ තිබුණ ද එංගලන්තයට නැවත වතාවක් තම බලාපොරොත්තු අතහැර ගැනීමට සිදු වුණා. ඒ අර්ධ අවසන් පූර්ව වටය ප්‍රංශය හමුවේ පරාජයට පත් වීමෙන් අනතුරුව යි. කෙසේ වෙතත් එංගලන්තය මූලික වටයේ දී සහ අවසන් 16 දෙනාගේ වටයේ දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා.

බෙලින්හැම් 2022 පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩා කරමින් – www.eurosports.com

ආක්‍රමණශීලී මැද පෙළ ක්‍රීඩකයෙක් වන 19 හැවිරිදි ජූඩ් බෙලින්හැම් 2022 ලෝක කුසලානයේ එංගලන්තය ලබා ගත් පළමු ගෝලයේ ම හිමිකරු බවට පත් වුණා. පන්දු පාලනය, නිවැරදි පන්දු පිරිනැමීම් සහ ගෝල ලබා ගැනීමට ඇති හැකියාව අතින් ද බෙලින්හැම් ඉදිරියෙන් පසු වනවා. වයස 19 ක ක්‍රීඩකයකුට එහා ගිය දස්කම් දැක්වීමට බෙලින්හැම්ට හැකියාව තිබෙනවා.

අවසන් 16 දෙනාගේ වටයේදී සෙනගාලයට එරෙහි ව එංගලන්තය ලබා ගත් පළමු ගෝලය වෙනුවෙන් සාර්ථක පන්දු පිරිනැමීම සිදු කිරීමට ද ජූඩ් බෙලින්හැම් කටයුතු කළා. වර්තමානයේ දී ජර්මනියේ බොරුසියා ඩොර්ට්මුන්ඩ් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම්ගත ව සිටිනා ජූඩ් බෙලින්හැම් නුදුරේ දී ම වෙනත් ක්‍රීඩා සමාජයක් හා එක් වන බවටත් ආරංචි පැතිර යනවා.

ජූඩ් බෙලින්හැම් සම්බන්ධයෙන් ලෝක කුසලානයට පෙර සිට ම රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජය තම අවධානය යොමු කරගෙන සිටියා.

කවරයේ ඡායාරූපය - 2022 පාපන්දු ලෝක කුසලානයේ දක්ෂතම නවක ක්‍රීඩකයා සම්මානය දිනා ගත් එන්සෝ ෆර්නැන්ඩස් - www.fourfourtwo.com
මූලාශ්‍ර:
www.fifa.com
www.allfootball.com
www.onefootball.com

Related Articles