Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිහින ටෙනිස් පොත වසා දැමීමට සැරසෙන සෙරීනා විලියම්ස්

ලොව පවතින එක් එක් ක්‍රීඩා අතරින් වඩාත් ම ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙසට ටෙනිස් ක්‍රීඩාව පහසුවෙන් ම හඳුන්වා දිය හැකි යි. කේවල, යුගළ, මිශ්‍ර යුගළ සහ කණ්ඩායම් වශයෙන් ආකාර 4ක් ටෙනිස් ක්‍රීඩාවේ දකින්නට ලැබෙනවා. මේ අතරින් වඩාත් ම ජනප්‍රිය වන්නේ කේවල ටෙනිස් තරගාවලි බව කීම වරදක් නෙවෙයි.

වසරකට ලොව පුරා සිය ගණනක් වූ ටෙනිස් තරගාවලි ක්‍රියාත්මක වනවා. මේවාට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ විශේෂ දක්ෂතා දක්වමින් ටෙනිස් පිටිය කලක් පුරාවට දිග්විජය කළ අතළොස්සක් වූ අය අතරට සෙරීනා විලියම්ස් නම පහසුවෙන් ම ඇතුළත් කළ හැකි යි. මේ වන විට 40 හැවිරිදි වියේ පසුවන ඇය තමන් ටෙනිස් ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමට තීරණය කළ බව පසුගිය දා ප්‍රකාශ කළා. වසර 30 කට ආසන්න වූ තම වෘත්තීයමය ටෙනිස් දිවිය නිමා කරමින් ඉදිරියේ දී ව්‍යාපාර කටයුතු හා තමන්ගේ දරුවන්ගේ කටයුතුවලට වඩා වැඩි වෙලාවක් වෙන් කිරීමට සූදානමින් පසුවන බව ද ඇය එහි දී සඳහන් කළා.

සෙරීනා විලියම්ස්
සෙරීනා විලියම්ස් – www.beinsports.com

 

පියාගේ පුහුණුවෙන් ඉදිරියට ඇදුණු සෙරීනා

අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් හී දි 1981 සැප්තැම්බර් මස 26 වැනි දා උපත ලැබූ ඇය කුඩා කාලයේ පටන් ම ටෙනිස් පන්දුව සහ පිත්ත සමඟින් කල් ගත කළා. ටෙනිස් පුහුණුකරුවකු වූ ඇයගේ පියා වන රිචඩ් විලියම්ස් කුඩා කල සිට ම සෙරීනාගේ පුහුණුකරු බවට පත් ව සිටියා. ඇය මෙන් ම ඇයගේ වැඩිමහල් සොහොයුරිය වූ වීනස් විලියම්ස් ද තම පියා සමඟ ටෙනිස් පුහුණුවීම්වල නිරත වුණා. 

ඇය උපත ලබා කෙටි කාලයකට පසු ව සිය පවුලත් සමඟ ඇයට කැලිෆෝනියා ප්‍රාන්තයට පැමිණීමට සිදු වුණා. සෙරීනාගේ පියා කුඩා දියණිය රික් මැකී ගේ ටෙනිස් ඇකඩමියකට යැවීමට කටයුතු කළත් සෑම විටෙක ම පාහේ ඇය කුඩා දරුවෙක් ලෙසින් සැලකීමට රිචඩ් විලියම්ස් කැමති වූයේ නෑ. කුඩා කාලයේ පටන් ම සෙරීනා දැක්වූ අසාමාන්‍ය දක්ෂතාවලට ටෙනිස් ඇකඩමියේ අන් සුදු ජාතික මවුපියන් අකමැති ව සිටි බවත් සඳහන්. මේ නිසා ඇයට වර්ගවාදී හා වර්ණභේදවාදී ගැටලුවලටත් මුහුණ දීමට සිදු වුණා. මේ කරුණු සලකා බැලූ රිචඩ් ඇය ඇකඩමියෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළා. 

සෙරීනා විලියම්ස් සහ ඇයගේ පියා රිචඩ් විලියම්ස්
සෙරීනා විලියම්ස් සහ ඇයගේ පියා රිචඩ් විලියම්ස් – www.skysports.com

1995 වර්ෂය වන විට සෙරීනා විලියම්ස් ටෙනිස් ක්‍රීඩිකාවක් ලෙසින් සෑහෙන මට්ටමින් දස්කම් දක්වමින් සිටියා. මේ නිසා ඇය වෘත්තිය මට්ටමේ තරග සඳහා සහභාගී කළ යුතු බව ඇයගේ පියා තේරුම් ගනිමින් සිටියා. කැලිෆෝනියා හි ඕක්ලන්ඩ්වල පැවති Bank of the west classic ටෙනිස් තරගාවලියට ඇය 1995 දී මුලින් ම වයිල්ඩ් කාඩ් ක්‍රමයට සහභාගී කරවීමට ඇයගේ පියා උත්සාහ කළත් ඇයට එවක වයස අවුරුදු 14ක් වූ නිසා එම තරගාවලිය මඟ හැරී ගියා.

වෘත්තියමය ක්‍රීඩාවෙන් ඉදිරියට ම

1995 වර්ෂයේදීම Bell Challenge නම් ටෙනිස් තරගාවලියට වයිල් කාඩ් ක්‍රමයෙන් ඇතුළත් වූ සෙරීනා විලියම්ස් එම තරගාවලිය ක්‍රීඩා කළා. ඇය පළමු සුදුසුකම් ලැබීමේ වටයේදී ම පරාජයට පත් වුණා. නැවත 1996 වර්ෂයේ දී එක් තරගාවලියක් වත් ක්‍රීඩා නොකළ ඇය ඉන්පසු සහභාගී වුණ තරගාවලි තුනක ම සුදුසුකම් ලැබීමේ වටයෙන් ම පරාජයට පත් වුණා.

ඇය 1997 දී ශ්‍රේණිගත කිරීම් හි 304 වන ස්ථානයේ රැඳී සිටිමින් තම මුල් ම වෘත්තියමය ටෙනිස් ජයග්‍රහණය වාර්තා කළා. එහිදී සෙරීනා, චිකාගෝ හි පැවැත්වූ Ameritech කුසලානයේ දී මේරි පියර්ස් සහ මොනිකා සෙලෙස් පරාජයට පත් කළා. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7 සහ 4 වන ස්ථානවල පසුවීම නිසා මෙම ජයග්‍රහණ ද්විත්වය වෙත ලෝකයේ ම අවධානය යොමු වුණා. ලෝක ශ්‍රේණිගත කිරීම් හි 99 වන ස්ථානය දක්වා ඉහළට පැමිණෙමින් සෙරීනා විලියම්ස් 1997 වසර අවසන් කළා. 

සෙරීනා විලියම්ස් මුල් අවදියේ
සෙරීනා විලියම්ස් මුල් අවදියේ – www.kinesophy.com

 

1998 වර්ෂයේ දී ටෙනිස් පිටියේ තවත් දස්කම් දැක්වීමට ඇයට හැකියාව ලැබුණා. 1998 දී පැවති Medibank Championship තරගාවලියේ දී ඇය අතින් ලොව අංක 3 ක්‍රීඩිකාව පවා පරාජයට පත් වුණා. ඒ වසරේ දී ප්‍රථම වතාවට ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියකට ඇය එක් වූ අතර ඒ ඕස්ට්‍රේලියානු විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය යි. එවර ඇය දෙවන වටයේ දී තම සොහොයුරිය වූ වීනස් විලියම්ස් හමුවේ පරාජයට පත් වුණා. 

සොහොයුරිය වූ වීනස් විලියම්ස් හමුවේ පරාජයට

තම සොහොයුරිය වූ වීනස් විලියම්ස් සමඟින් ම එක්ව යුගළ තරග සඳහා තම සහභාගීත්වය සනිටුහන් කළ ඇය 1998 දී අමෙරිකා Indoor Championship තරගාවලිය ජයග්‍රහණය කරමින් තම පළමු යුගළ ශූරතාව දිනා ගන්නට සමත් වුණා. ඉන් අනතුරු ව ටෙනිස් දිවියේ සෙරීනා විලියම්ස් යන නාමය යටතේ සටහන් වූ ජයග්‍රහණ ගණන අති මහත්.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් දිනා ගෙන සිටින සෙරීනා විලියම්ස් තමන් ටෙනිස් පිටියෙන් ඉවත් වීමට සූදානම් බව පසුගිය දා පැවසුවා – OHN WALTON/ZUMA PRESS

 

ජයග්‍රහණ ගොන්නක්

කේවල අංශයෙන් ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් ජයග්‍රහණය කරද්දී ඇයගේ වයස සටහන් වූයේ අවුරුදු 17ක් ලෙසට යි. ඇය අතින් එවකට සුපිරි ම ටෙනිස් ක්‍රීඩිකාව වූ මාර්ටිනා හිංග්ස් පරාජයට පත් වුණා. 1999 දී අමෙරිකා විවෘත තරගාවලියෙන් තම ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ රැල්ල ආරම්භ කළ විලියම්ස් නැවත 2002, 2008, 2012, 2013 සහ 2014 යන වසර වලදී ද ශූරතාව දිනා ගත්තා. 

time-serena-williams-paola-kudacki-2
ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව ලෙසින් ටෙනිස් පිටිය මන්මත් කළ සෙරීනා විලියම්ස් නුදුරු අනාගතයේ පටන් පිටියේ දක්නට නොලැබෙනු ඇති – Paola Kudacki for TIME

ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන වන ඕස්ට්‍රේලියා විවෘත තරගාවලිය 2003, 2005, 2007, 2009, 2010, 2015 සහ 2017 වශයෙන් 7 වතාවක් ද, ප්‍රංශ විවෘත තරගාවලිය 2002, 2013 සහ 2015 වශයෙන් තුන් වතාවක් ද ඇය ජයග්‍රහණය කළා. 

ඕනෑම ටෙනිස් ක්‍රීඩකයකුගේ හෝ ක්‍රීඩිකාවකගේ සිහින ජයග්‍රහණය වන ලොව පැරණිත ම විම්බල්ඩන් ටෙනිස් ශූරතාව 2002, 2003, 2009, 2010, 2012, 2015 සහ 2016 දී වශයෙන් 7 වතාවක් ජයග්‍රහණය කිරීමට සෙරීනා විලියම්ස් සමත් වුණා. ඇය තමන්ගේ වෘත්තියමය ටෙනිස් ක්‍රීඩාව තුළ ජයග්‍රහණය කළ සමස්ත ශූරතා සංඛ්‍යාව 73ක්. එය ඉතිහාසයේ ක්‍රීඩිකාවක් ජයග්‍රහණය කළ ශූරතා අතරේ 5 වන ස්ථානයේ රැඳී පවතිනවා.

ඇය විම්බල්ඩන් ශූරතාවය දිනා
සෙරීනා විලියම්ස් විම්බල්ඩන් ශූරතාවය දිනා ගත් මොහොතක් – www.forbs.com

 

මීට අමතර ව තම සොහොයුරිය සමඟින් එක් ව යුගළ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග ක්‍රීඩා කරමින් ශූරතා ජයග්‍රහණ 14ක් ඇය තමන්ගේ නම ඉදිරියේ සටහන් කර ගත්තා. එයට විම්බල්ඩන් ජයග්‍රහණ 6ක් ඇතුළත් වීම ද විශේෂත්වයක්. ඔවුන් දෙපළ යුගළ තමන් සහභාගී වූ අවසන් මහා තරග එකක් වත් පරාජයට පත් වී තිබුණේ නෑ.

ඔලිම්පික් පිටියේ විශේෂ දස්කම්

2000 වසරේ සිඩ්නි ඔලිම්පික් ඔලිම්පික් තරග සඳහා එක්වන සෙරීනා වීනස් යුගළය එහි රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එතැනින් නොනවතින මේ යුගළය 2008 බෙයිජිං ඔලිම්පික් තරඟාවලියේදීත් කාන්තා යුගළ රන් පදක්කම ජයග්‍රහණය කළා.

2012 වර්ෂයේ ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය සඳහා ද තමන්ගේ සහභාගීත්වය සටහන් කරනා විලියම්ස් සහෝදරියන් තෙවන වතාවටත් ටෙනිස් කාන්තා යුගළ රන් පදක්කම තමන් සතු කර ගත්තා. ඒ ආකාරයෙන් කාන්තා යුගළ අංශයෙන් ඔලිම්පික් රන් පදක්කම් 3ක් ජයග්‍රහණය කිරීමට සෙරීනා විලියම්ස්ට හැකියාව ලැබුණා.

සෙරීනා විලියම්ස් සහ වීනස් විලියම්ස් 2012 ලන්ඩන් ඔලිම්පික් කාන්තා යුගල රන් පදක්කම දිනා
2012 ලන්ඩන් ඔලිම්පික් කාන්තා යුගළ රන් පදක්කම දිනා ගත් සෙරීනා විලියම්ස් සහ වීනස් විලියම්ස් – www.zimbio.com

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී අවසන් පූර්ව වටයේ දී බෙලරුසියාවේ වික්ටෝරියා අසාරෙන්කා පරාජයට පත් කරමින් තම මුල් ම ඔලිම්පික් කේවල අවසන් තරගයට පිවිසීමට සෙරීනා විලියම්ස්ට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව අවසන් මහා තරගයේ දී රුසියාවේ මාරියා ශරාපෝවාව හමුවන ඇය එම තරගය 6-0 සහ 6-1 ක් ලෙසින් ඉතා ම පහසුවෙන් ජයග්‍රහණය කළා.

එය සෙරීනා විලියම්ස් ටෙනිස් කේවල අංශයෙන් ජයග්‍රහණය කළ මුල් ම මෙන් ම එක ම ඔලිම්පික් රන් පදක්කම වනවා. ඇය තම ක්‍රීඩා දිවිය තුළ ජයග්‍රහණය කළ ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව 4ක්.

සෙරීනා විලියම්ස් සැප්තැම්බර් මස TIME සඟරාවේ කවරය සරසමින් – Paola Kudacki for TIME

ක්‍රීඩා දිවියේ අවසන් භාගයට

2016 දී ඇලෙක්සින් ඔහානියන් සමඟින් විවාහ දිවියට එළඹෙන සෙරීනා විලියම්ස් 2017 දී තමන් ගැබිණි භාවයට පත්ව ඇතැයි ප්‍රකාශ කළා. ඇය එම වසරේ ඕස්ට්‍රේලියා විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානය ජයග්‍රහණය කරන විට සති අටක ගැබිණියක් වීම ද විශේෂත්වයක්. ඉන් අනතුරු ව ටෙනිස් ක්‍රීඩාවට තාවකාලික විරාමයක් ලබා දුන් සෙරීනා විලියම්ස් 2017 දී දියණියක් බිහි කරමින් මවු පදවියට පිවිසුණා.

දියණියට උපත ලබා දීමේ දී විවිධ සංකූලතාවලට මුහුණ දීමට සිදු වීම නිසා නැවත කාලයක් යනතුරු ඇය පුහුණුවීම් ආරම්භ කළේ නෑ. ඉන් අනතුරු ව නැවත පුහුණුවීම් ආරම්භ කොට ටෙනිස් පිටියට පිවිසීමට ඇය සමත් වුණත් පෙර පරිදි දස්කම් දැක්වීමට සෙරීනා අපොහොසත් වුණා. විශේෂයෙන් ම මේ වන විට ඇයගේ වයස අවුරුදු 41ක්ද වීම ද ගැටලුවක්.

දියණිය හා සැමියා සමග
දියණිය හා සැමියා සමග – www.elle.com

තමන් තවත් දරුවෙක් බලාපොරොත්තු වන බවත් පවුලේ කටයුතු සහ ව්‍යාපාරවලට වැඩි වේලාවක් වෙන් කිරීමේ අරමුණත් තම සිතේ තිබෙන නිසා ටෙනිස් ක්‍රීඩාවට සමු දීමේ කාලය එළඹ ඇති බවට සෙරීනා පසුගිය දා නිවේදනය කළා. මේ නිසා වසර ගණනාවක් පුරා ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව ලෙසින් ටෙනිස් පිටිය මන්මත් කළ සෙරීනා විලියම්ස්, නුදුරු අනාගතයේ පටන් පිටියේ දක්නට නොලැබෙනු ඇති. නමුත් තම ක්‍රීඩා දිවියේ දී ඇය අත්කර ගත් ජයග්‍රහණ මෙන් ම ඇය තැබූ මතක සටහන් කිසි දිනෙක නොමියෙනු ඇති. 

කවරයේ ඡායාරූපය - www.marca.com
මූලාශ්‍ර:

www.wtatennis.com

www.serenawilliams.com

www.biography.com

www.olympics.com

www.infoplease.com

Related Articles