Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු සතියේ තොරතුරු

ලෝකයේ ජනප්‍රියම ලීග් පාපන්දු තරගාවලියක් වන එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය අගෝස්තු 9 වැනි සිකුරාදා ආරම්භ වුණා. කණ්ඩායම් 20ක සහභාගිත්වය ඇතිව පැවැත්වෙන මෙම තරගාවලිය ලබන වසරේ මැයි 17 වැනි දා දක්වා පැවැත්වෙනවා. ඉතාමත් දීර්ඝ තරගාවලියක් වන මෙහි ශූරතාවය අවසන් තරගවාර 2 දීම දිනාගත්තේ ප්‍රබල මැංචෙස්ටර් සිටි කණ්ඩායම යි. එම නිසාම මෙවරත් කුසලානය ජයග්‍රහණය කිරීමේ අරමුණෙන් තරග වදින මැංචෙස්ටර් සිටි කණ්ඩායම පළමු සතිය අවසන් වන විට ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටියේ සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින්.

තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් 

පසුගිය තරග වාරය සඳහා එක්වුණු කණ්ඩායම් 17ක් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩාකරන විට අලුතින් කණ්ඩායම් 3ක් මෙවර තරගාවලිය සඳහා ඇතුළත් වුණා. 

මැංචෙස්ටර් සිටි                                          ලිවර්පූල් 

ටොටන්හැම් හොට්ස්පර්                             චෙල්සි 

මැන්චෙස්ටර් යුනයිටඩ්                                 ආසනල් 

එවර්ටන්                                                    ලෙස්ටර්ෂයර් සිටි 

බර්න්ලි                                                      සදම්ප්ටන් 

බ්‍රයිටන් සහ  හෝව් ඇල්බියන්                       ක්‍රිස්ටන් පැලස් 

නිව්කාසල් යුනයිටඩ්                                     වැට්ෆෝර්ඩ් 

වෙස්ට් හැම් යුනයිටඩ්                                    වොල්වර්හැම්ප්ටන් වොන්ඩර්ස් 

බෝන්මුත්

යන කණ්ඩායම් 17 පසුගිය තරගවාරයේ මෙන්ම මෙවරත් තරගාවලිය සඳහා එක්වුණා. නමුත් ගියවර තරගාවලියේ අවසන් ස්ථාන තුන ලබාගත් කාඩිෆ්, ෆුල්හැම්, සහ හඩස්ෆීල්ඩ් ටවුන් යන කණ්ඩායම් වෙනුවට මෙවර නොරිච් සිටි, ඇස්ටන් විලා, සහ ෂෙෆීල්ඩ් යුනයිටඩ් යන කණ්ඩායම් එක්ව තිබෙනවා. එහිදී ෂෙෆීල්ඩ් යුනයිටඩ් කණ්ඩායම වසර 12කට පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

පළමු සතියේ තරග ප්‍රතිඵල 

තරගාවලියේ පළමු සතිය යටතේ පැවති තරගවල දී මැංචෙස්ටර් සිටි, මැංචෙස්ටර් යුනයිටඩ්, ලිවර්පූල්, බර්න්ලි, බ්‍රයිටන්, සහ ටොටන්හැම් යන කණ්ඩායම් විශාල ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා. 

මැංචෙස්ටර් සිටි සහ වෙස්ට් හැම් යුනයිටඩ් 

පසුගිය වසර 2 දීම ශූරතාවය දිනාගත් ප්‍රබල මැංචෙස්ටර් සිටි කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගත්තේ වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායම 5-0ක් ලෙස පරාජය කරමින්. එහිදී ගේබ්‍රියල් ජේසුස් 25 වැනි විනාඩියේ දී ලබාගත් ගෝලය නිසා පළමු භාගය අවසන් වන විට සිටි කණ්ඩායම 1-0ක් ලෙස පෙරමුණේ පසුවුණා. ඉන් අනතුරුව ආරම්භ වුණු දෙවන භාගයේ දී සුපුරුදු දස්කම් අතරට පැමිණි සිටි කණ්ඩායමේ සුපිරි තරුව රහීම් ස්ටර්ලින් 51, 75, සහ 91 විනාඩිවල දී ගෝල ලබාගත්තේ  තරගාවලියේ පළමු ත්‍රිත්ව ගෝලය වාර්තා කරමින්. ස්ටර්ලිං ලබාගත් එම ගෝල 3ට අමතරව ඇගියුරෝ 86 වැනි විනාඩියේ දී දඬුවම්පහරක් මඟින් ගෝලයක් වාර්තා කළා. සිටි ක්‍රීඩකයන් දක්ෂ ක්‍රීඩා කරමින් ලබාගත් ගෝල නිසා අවසානයේ දී ඔවුන් 5-0ක ජයක් ලැබුවේ පළමු සතියේ විශාලම ජයග්‍රහණය වාර්තා කරමින්.

මැංචෙස්ටර් සිටි-වෙස්ට් හැම් තරගයේ අවස්ථාවක් (gettyimages) 

මැංචෙස්ටර් යුනයිටඩ් සහ චෙල්සි 

මෙවර එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු සතියේ පැවති තරගවලින් කාගේත් අවධානය දිනාගත් තරගයක් බවට පත්වුණේ මෙම තරගය යි. පසුගිය වසරවල චෙල්සි කණ්ඩායමේ සුපිරි තරුව වුණු බෙල්ජියම් ක්‍රීඩක ඊඩ්න් හසාර්ඩ් චෙල්සි කණ්ඩායමෙන් ඉවත්ව රියල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජයට යාමේ අවාසිය මෙම තරගයේ දී චෙල්සි කණ්ඩායමට තදින්ම දැනුනා. එම නිසාම ඔවුන්ට මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ඉදිරියේ 4-0 ලෙසින් දරුණු පරාජයයක් ලැබීමට සිදුවුණා. ජයග්‍රාහී යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් මාකස් රෂ්ෆෝඩ් 18 සහ 67 විනාඩිවල ගෝල ලබාගන්නා විට මාෂල් සහ ජේම්ස් පිළිවෙලින් 65 සහ 81 විනාඩිවල ගෝල ලබාගත්තා. මෙම තරගය පුරාවටම දක්ෂ අයුරින් ක්‍රීඩාකළ පෝල් පෝග්බා ගෝල 2ක් ලබාගැනීමට සහය විය.

රෂ්ෆෝඩ් සුපිරි දස්කම් දක්වමින් (gettyimages) 

ලිවර්පූල් සහ නෝවිච් සිටි 

පසුගිය තරගවාරයේ අනු ශූරතාවය දිනාගත්තේ ප්‍රබල ලිවර්පූල් කණ්ඩායම යි. මෙවර තරගාවලියේ ආරම්භක තරගයේ දී ඔවුන්ට තරග වැදීමට සිදුවුණේ වසර තුනකින් තරගාවලිය සඳහා එක්වන නෝවිච් සිටි කණ්ඩායම

සමග යි. තරගයේ පළමු භාගයේ 7 වැනි විනාඩියේ දී නෝවිච් සිටි ක්‍රීඩකයෙකු වුණු හැන්ලි වැරදීමකින් සිය දැල වෙතට ගෝලය එල්ල කරමින් ලිවර්පූර් කණ්ඩායමට පළමු ගෝලය ලබාදුන්නා. ඉන් පසුව ක්‍රියාත්මක වුණු ලිවර්පූල් කණ්ඩායමේ සුපිරි තරුව මොහොමඩ් සලා 19 වැනි විනාඩිය වන විට ලකුණු තත්ත්වය 2-0ක් බවට පත්කළා. එලෙස පළමු විනාඩි 20 තුළ ගෝල 2ක් ලබාගත් ලිවර්පූල් කණ්ඩායම පළමු භාගය නිමාවන විට ගෝල 4-0ක් ලෙසින් පෙරමුණේ පසුවුණේ වෑන් ඩයික් සහ ඔරිගි ලබාගත් ගෝල නිසා යි. ඉන් අනතුරුව ආරම්භ වුණු දෙවන භාගයේ දී ලිවර්පූර් ක්‍රීඩකයින් ගෝල ලබා නොගත්තත් 64 වැනි විනාඩියේ දී ටීමු විසින් නෝවිච් කණ්ඩායම වෙනුවෙන් ලබාගත් ගෝලය නිසා තරගය නිමාවන විට ලකුණු තත්ත්වය සටහන් වුණේ 4-1ක් ලෙසින්.

මොහොමඩ් සලා ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages) 

බර්න්ලි සහ සදම්ප්ටන් 

තරගාවලිය සදහා එක්ව සිටින කණ්ඩායම් අතුරින් එතරම් ප්‍රබල කණ්ඩායම් දෙකක් නොවන බර්න්ලි සහ සදම්ප්ටන් පසුගිය තරගවාරයේ එතරම් දස්කම් දැක්වීමට සමත්වුණේ නැහැ. එම නිසාම ප්‍රේක්ෂක අවධානයට ලක්නොවුණු මෙම තරගය බර්න්ලි කණ්ඩායම පහසුවෙන්ම ජයග්‍රහණය කළා. එහිදී බර්න්ලි ක්‍රීඩක ඇෂ්ලි බාන්ස් 63 සහ 70 විනාඩිවල දී ගෝල වාර්තා කරන විට ගඩ්මුන්ඩ්සන් 75 වැනි විනාඩියේ දී ගෝලයක් වාර්තා කළේ 3-0ක ජයක් සිය කණ්ඩායමට ලබාදෙමින්.

ඈෂ්ලි බාන්ස් දස්කම් දක්වමින් (gettyimages) 

වැට්ෆෝර්ඩ් සහ බ්‍රයිටන් 

පසුගිය තරගවාරයේ දී බ්‍රයිටන් කණ්ඩායම 17 වැනි ස්ථානය දිනාගන්නා විට වැට්ෆෝර්ඩ් කණ්ඩායම 11 වැනි ස්ථානය දිනාගත්තා. නමුත් මෙම තරගයේ දී සත්කාරක වැට්ෆෝර්ඩ් කණ්ඩායම 3-0ක් ලෙස පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට බ්‍රයිටන් කණ්ඩායමට හැකිවුණා. 

ටොටන්හැම් හොට්ස්පර් සහ ඇස්ටන් විලා 

පසුගිය තරගවාරයේ තෙවන ස්ථානය දිනාගත්තේ ටොටන්හැම් කණ්ඩායම යි. සුපිරි ක්‍රීඩක හැරී කේන් නායකත්වය දරන ටොටන්හැම් කණ්ඩායමට පළමු තරගයේ දී හමුවුණේ වසර 3කට පසුව තරගාවලිය සඳහා එක්වුණු ඇස්ටන් විලා කණ්ඩායම යි. නමුත් මෙම තරගය ආරම්භ වී විනාඩි 9කින් ඇස්ටන් විලා ක්‍රීඩක ජෝන් බැගින් ගෝලයක් වාර්තා කරේ තරගයේ පෙරමුණ ගනිමින්. ඉන් පසුව ටොටන්හැම් ක්‍රීඩකයන් ගෝල ලබාගැනීමට උත්සාහ කළත් 72 වැනි විනාඩිය අවසන් වන තුරුම තරගයේ ඉදිරියෙන් සිටියේ ඇස්ටන් විලා කණ්ඩායම යි. නමුත් විනාඩි 72ක් පුරාවට නිහඬව සිටි ටොටන්හැම් කණ්ඩායම වෙනුවෙන් ඩම්බෙලේ 73 වැනි විනාඩියේ දී ගෝලයක් ලබාගැනීමෙන් පසුව ක්‍රියාත්මක වුණු  හැරී කේන් 86 සහ 90 විනාඩිවල දී ගෝල ලබාගත්තේ 3-1ක ජයක් කරා සිය කණ්ඩායම මෙහෙයවමින්. 

හැරී කේන් ජයග්‍රාහී ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages) 

එම තරග 6ට අමතරව පළමු සතියේ දී තවත් තරග 4ක් පැවැත්වුණා. එහිදී ආසනල් කණ්ඩායම පමණක් ජයග්‍රහණයක් ලබන විට ඉතිරි තරග 3ම ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.

ආසනල් සහ නිව් කාසල් යුනයිටඩ් – 1-0 (ආසනල් ජයග්‍රහණය කළා)

බෝන්මුත් සහ ෂෙෆීල්ඩ් යුනයිටඩ් – 1-1

ලෙස්ටර්ෂයර් සිටි සහ වොල්වර්හැම්ප්ටන් වොන්ඩර්ස් – 0-0

ක්‍රිස්ටල් පැලස් සහ එවර්ටන් – 0-0 

පළමු සතිය අවසන් වන විට තරගාවලියේ පෙරමුණේ සිටින කණ්ඩායම් 5

1) මැංචෙස්ටර් සිටි 

2) මැංචෙස්ටර් යුනයිටඩ් 

3) ලිවර්පූල් 

4) බ්‍රයිටන් සහ හෝව් ඇල්බියන් 

5) බර්න්ලි 

පළමු සතිය අවසන් වන විට වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයන් 

1) රහීම් ස්ටර්ලින් (මැංචෙස්ටර් සිටි ) – 3

2) හැරී කේන් (ටොටන්හැම් හොට්ස්පර් ) – 2

3) මාක්ස් රෂ්ෆර්ඩ් (මැංචෙස්ටර් යුනයිටඩ් ) -2 

4) ඈෂ්ලි බාන්ස් (බර්න්ලි ) – 2

කවරයේ ඡායාරූපය - පළමු සතියේ සුපිරි තරුව රහීම් ස්ටර්ලින් (gettyimages) 

Related Articles