Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත ප්‍රිමියර් ලීග් වාර්තා අලුත් කළ ආජන්ටිනා පාපන්දු තරුව

පාපන්දු ලොව ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්ව ඇති නිසා විවිධ රටවල් පාපන්දු ලීග් තරගාවලි සංවිධානය කරනවා. එලෙස පැවැත්වෙන පාපන්දු තරගාවලි අතුරින් එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියට  ප්‍රමුඛ ස්ථානයක් හිමිවනවා. එංගලන්ත පාපන්දු තරුවලට අමතරව විදෙස් පාපන්දු තරු ද සහභාගි වන මෙම තරගාවලිය මාස 10ක පමණ කාලයක් පුරා පැවැත්වෙනවා. මෙම තරගාවලි ඉතිහාසය තුළ වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් විදෙස් ක්‍රීඩකයා ලෙස වැජඹෙමින් සිටියේ තියරි හෙන්රි නම් ප්‍රංශ පාපන්දු තරුව යි. නමුත්, ඔහු තබා තිබුණු වාර්තාව මෙවර තරග වාරයේ 22 වැනි සතියේ දී බිඳ දැමීමට සමත් වුණේ සර්ජියෝ ඇගියුරෝ නම් ආජන්ටිනා පාපන්දු ක්‍රීඩකයා යි. එසේ නම් මේ ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කරන්නේ එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල ලබාගත් විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පිළිබඳව යි.

සර්ජියෝ ඇගියුරෝ (ආජන්ටිනාව/ මැංචෙස්ටර් සිටි)- ගෝල 180

2011/2012 තරග වාරයේ දී මුල්මවරට එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය සඳහා එක් වුණු සර්ජියෝ ඇගියුරෝ අඛණ්ඩව නියෝජනය කළේ මැංචෙස්ටර් සිටි කණ්ඩායම යි. එම කාල සමය තුළ තරග 257කට සහභාගි වුණු මෙම සුපිරි තරුව ගෝල 180ක් ලබාගැනීමට සමත් වුණේ තරගාවලි ඉතිහාසය තුළ වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් විදෙස් ක්‍රීඩකයා බවට පත් වෙමින්. එලෙස එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු බිමේ අඛණ්ඩව දස්කම් දැක්වූ ඇගියුරෝ, තරගාවලි ඉතිහාසය තුළ වැඩිම ත්‍රිත්ව ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා බවට ද වාර්තා අතරට එක්ව සිටිනවා. එසේම 2014/2015 තරග වාරයේ ගෝල 26ක් ලබාගත් ඇගියුරෝ, එවර තරග වාරයේ වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා බවට පත් වුණා. එහි දී ඔහු නිව් කාසල් යුනයිටඩ් කණ්ඩායමට එරෙහිව ගෝල 5ක් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

සර්ජියෝ ඇගියුරෝ (gettyimages)

තියරි හෙන්රි (ප්‍රංශය/ආසනල්)- ගෝල 175

1999/2000 තරග වාරයේ සිට 2006/2007 තරග වාරය දක්වා අඛණ්ඩව ආසනල් කණ්ඩායම නියෝජනය කළ තියරි හෙන්රි ගෝල 175ක් වාර්තා කළේ තරග 258කට මුහුණදෙමින්. එක් යුගයක එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු පිටියේ සිටි සුපිරිම තරුවක් වුණු හෙන්රි, අවස්ථා 4ක දී තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත්ව තිබීම සුවිශේෂී සිදුවීමක් වනවා. එහි දී ඔහු 2003/2004 තරග වාරයේ සිට 2005/2006 තරග වාරය දක්වා පිට පිටම පැවති තරගාවලි 3ක දී වැඩිම ගෝල ලාභියා බවට පත් වුණේ එංගලන්ත ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ එවැනි දස්කමක් කළ දෙවැනි ක්‍රීඩකයා වෙමින්. එසේම අවස්ථා 2ක දී එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් හෙන්රි, එම දස්කම මුලින්ම කළ ක්‍රීඩකයා ලෙසත් ඉතිහාසගත වුණා.  එදා තියරි හෙන්රි දැක්වූ සුපිරි දස්කම් නිසාම 2003/2004 තරග වාරයේ ශූරතාවය දිනාගත් ආසනල් කණ්ඩායම ඉන්පසුව, කිසිදු අවස්ථාවක එංගලන්ත ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනාගැනීමට අපොහොසත් වුණු බවත් අවසන් වශයෙන් සිහිපත් කළ යුතු යි.

තියරි හෙන්රි (gettyimages)

රොබින් වෑන් පර්සි (නෙදර්ලන්තය/ ආසනල්/ මැංචෙස්ටර් යුනයිටඩ්)- ගෝල 144

2004/2005 තරග වාරයේ සිට 2014/2015 තරග වාරය දක්වා ආසනල් කණ්ඩායම සහ මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කළ රොබින් වෑන් පර්සි, තරග 280කට සහභාගි වෙමින් ගෝල 144ක් ලබාගැනීමට සමත් වුණා. එහි දී 2011/2012 සහ 2012/2013 තරග වාරවල දී සිය උපරිම දස්කම් අතරට පිවිසි වෑන් පර්සි තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි සම්මානය දිනාගැනීමට සමත් වුණා. එසේම ඔහු 2012/2013 තරග වාරයේ දැක්වූ දස්කම් නිසාම මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට එවර තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට හැකි වුණා.

රොබින් වෑන් පර්සි (gettyimages)

ජිමී හැස්ල්බේන් (නෙදර්ලන්තය/ චෙල්සි/ මිඩ්ල්ස්බර්ග්)- ගෝල 127

1997/1998 තරග වාරයේ සිට 2006/2007 තරග වාරය දක්වා එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ හැස්ල්බේන් වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළේ චෙල්සි සහ මිඩ්ල්ස්බර්ග් කණ්ඩායම් වෙනුවෙන්. ඊට අමතරව ඔහුගේ තරග දිවිය තුළ දී ලීඩ්ස් යුනයිටඩ් සහ චාල්ටන් ඇත්ලටික් කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීමටත් අවස්ථාව ලැබුණා. එලෙස දිගු කලක් එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු බිමේ රැඳී සිටි හැස්ල්බේන් තරග 288ක් තුළ ගෝල 127ක් ලබාගැනීමට සමත් වුණා. එහි දී 1998/1999 සහ 2000/2001 යන තරග වාර 2 දී ම වැඩිම ගෝල ලාභියා ලෙස වාර්තා අතරට එක් වුණේ හැස්ල්බේන් නම් පාපන්දු ක්‍රීඩකයා යි. 

ජිමී හැස්ල්බේන් (gettyimages)

රොබී කීන් (අයර්ලන්තය/ටොටෙන්හැම් හොට්ස්පර්)- ගෝල 126

1999/2000 තරග වාරයේ සිට 2011/2012 තරග වාරය දක්වා එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු බිමේ රැඳී සිටි කීන්, වැඩි තරග ප්‍රමාණයක දී නියෝජනය කළේ ටොටෙන්හැම් හොට්ස්පර් කණ්ඩායම යි. එම කණ්ඩායමට අමතරව කවෙන්ට්‍රි සිටි, ලීඩ්ස් යුනයිටඩ්, ලිවර්පූල් සහ ඇස්ටන් විලා යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා කිරීමට මෙම ක්‍රීඩකයා වරම් ලබාගත්තා. එලෙස කණ්ඩායම් කිහිපයක් වෙනුවෙන් තරග 349ක් ක්‍රීඩා කළ රොබී කීන්, එහි දී ගෝල 126ක් ලබාගැනීමට සමත් වුණා.

රොබී කීන් (gettyimages)

නිකොලස් අනෙල්කා (ප්‍රංශය/චෙල්සි/මැංචෙස්ටර් සිටි)- ගෝල 125

1996/1997 තරග වාරයේ සිට 2013/2014 තරග වාරය දක්වා එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ අනෙල්කා වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළේ චෙල්සි සහ මැංචෙස්ටර් සිටි කණ්ඩායම් වෙනුවෙන්. ඊට අමතරව ඔහුගේ තරග දිවිය තුළ දී ආසනල්, ලිවර්පූල් සහ බෝල්ටන් වොන්ඩර්ස් යන කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීමටත් අවස්ථාව ලැබුණා. එලෙස දිගු කලක් එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු බිමේ රැඳී සිටි අනෙල්කා තරග 364ක් තුළ ගෝල 125ක් ලබාගැනීමට සමත් වුණා. එහි දී 2008/2009 තරග වාරයේ වැඩිම ගෝල ලාභියා ලෙස සම්මාන ලැබීම අනෙල්කාගේ පාපන්දු දිවියේ අමතක නොවන සිදුවීමක් වුණා. 

නිකොලස් අනෙල්කා (gettyimages)

කවරයේ ඡායාරූපය- සර්ජියෝ ඇගියුරෝ (gettyimages)

Related Articles