Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් බිමේ දස්කම් දැක්වූ ඉතියෝපියානු මලල ක්‍රීඩකයන්

අප්‍රිකා මහද්වීපයට අයත් වන ඉතියෝපියා රාජ්‍යය ඔලිම්පික් ඉතිහාසය තුළ පදක්කම් 54ක් දිනාගැනීමට සමත්ව තිබෙනවා. එහි දී රන් 22ක්, රිදී 11ක්, සහ ලෝකඩ 21ක් ලෙසින් පදක්කම් දිනාගත් ඉතියෝපියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සියළුම පදක්කම් මලල ක්‍රීඩා ඉසව්වලින් ලබාගත්තා. 

ඉතියෝපියානු නාමය ඔලිම්පික් තරග බිම තුළ බැබළවීමට දායකත්වයක් දැක්වූ සුපිරි මලල ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සිටිනවා. මීටර් 5000, මීටර් 10000, සහ මැරතන් යන ඉසව්වලින් පදක්කම් ලබාගත් එම ක්‍රීඩකයන් ලෝක වාර්තා සහ ඔලිම්පික් වාර්තා පවා පිහිටුවීමට සමත් වුණා. එම ක්‍රීඩකයන් කිහිපදෙනා අතුරින් මුලින්ම ඔලිම්පික් තරග බිමට අවතීර්ණ වුණේ අබිබේ බිකිලා නම් සුපිරි ධාවකයා යි. 

අබිබේ බිකිලා 

අප්‍රිකාවෙන් බිහිවුණු මුල්ම කළු ජාතික ඔලිම්පික් රන් පදක්කම් ලාභියා බවට පත්වුණු අබිබේ බිකිලා මුල්ම වරට ඔලිම්පික් තරග බිමට පිවිසුණේ 1960 වසරේ රෝමයේ පැවති ඔලිම්පික් තරගාවලියේ දී යි. නමුත් මුලින්ම තරගාවලිය සඳහා නම් කළ ඉතියෝපියානු කණ්ඩායමට බිකිලාගේ නම ඇතුළත්ව තිබුණේ නැහැ. එදා මැරතන් ඉසව්ව සඳහා තරග වැදීමට නියමිතව සිටියේ වමි බිරාටු නම් ක්‍රීඩකයා යි. ඉතියෝපියානු ක්‍රීඩා කණ්ඩායම ඉතාලියට පැමිණීමෙන් පසුව බිරාටු ආබාධයකට ලක්වීම හේතුවෙන් බිකිලාව ආදේශකයෙකු ලෙස ඉතාලියට කැඳවනු ලැබුවා. 

එලෙස හදිසියේම ඔලිම්පික් ගම්මානයට පැමිණි බිකිලාට තරගයට ඉදිරිපත් වීම සඳහා සුදුසු පාවහන් යුගලක් තිබුණේ නැහැ. ඒ මැරතන් තරගය සඳහා සහභාගි වුණු සියලු ක්‍රීඩකයන්ට අඩිඩාස් සමාගම මඟින් පාවහන් ලැබී තිබුණත් බිකිලාගේ පාදවල මිනුම්වලට ගැළපෙන පාවහන් එහි දක්නට නොලැබීම යි. එම නිසා බිකිලාට පාවහන් රහිතව තරගය සඳහා සහභාගිවීමට සිදු වුණා. 

1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලේ දී මැරතන් රන් පදක්කම දිනාගත් ප්‍රංශයේ ඇලන් මිමුන් පමණක් නොව එහි රිදී පදක්කම දිනාගත් යුගෝස්ලෝවියාවේ ෆ්රැන්ජෝ මිහාලික් ද රෝම ඔලිම්පික් තරගාවලියේ මැරතන් ඉසව්ව සඳහා සහභාගී වුණා. එම නිසා බිකිලාට ප්‍රේක්ෂක අවධානය හිමි වුණේ නැහැ. නමුත් තරගය පුරාවට ප්‍රේක්ෂක අවධානය දිනාගත් මෙම ධාවකයා පැය 2 මිනිත්තු 15 තත්පර 16කින් තරගය නිමා කළේ ලෝක වාර්තාවක් පිහිටුවමින්. එහි දී ඔහු අතින් බිඳවැටුණේ සෝවියට් රුසියානු ක්‍රීඩක පොපොව් 1958 වසරේ දී තබා තිබුණු වාර්තාව යි.

රෝම ඔලිම්පික් උළෙලේ තරගය නිමා කරමින් (gettyimages)

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙල ආසන්න වන විට මෙම සුපිරි ධාවකයා ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. නමුත් අධිෂ්ඨානශීලී ක්‍රීඩකයෙකු වුණු බිකිලා ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සහභාගි වුණා. එම කාල සමය වන විට මැරතන් ඉසව්වේ ලෝක වාර්තාව හිමිව තිබුණේ බැසිල් හීට්ලි නම් බ්‍රිතාන්‍යය ක්‍රීඩකයාට යි. එදා බිකිලා ටෝකියෝ ඔලිම්පික් මැරතන් ඉසව්වට සහභාගි වුණේ අහිමිව ගිය මැරතන් ලෝක වාර්තාව යළි හිමිකර ගැනීමේ අරමුණ ඇතිව යි. එම ඉසව්ව සඳහා බිකිලා සහ හීට්ලි යන ක්‍රීඩකයන් දෙදෙනාම තරග වැදුණු  නිසා රන් පදක්කම වෙනුවෙන් තියුණු සටනක් පැවතුණා. තරග ආරම්භයේ සිට සාර්ථක ධාවනයක නිරත වුණු බිකිලා තරගය පුරාවටම සුපුරුදු රිද්මය පවත්වාගත්තා. එම නිසා ඔහු පැය 2 මිනිත්තු 12 තත්පර 11ක කාලයකින් තරගය අවසන් කළේ අහිමිව ගිය ලෝක වාර්තාව නැවතත් තම නම ඉදිරියේ සටහන් කරගනිමින්. 

බිකිලා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම ලබාගනිමින් (gettyimages) 

මිරුට්ස් යිෆ්ටර් 

1972 වසරේ දී ඔලිම්පික් වරම් ලබාගත් මෙම ක්‍රීඩකයා එහිදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වුණා. ඒ මීටර් 10000 ඉසව්ව සඳහා තරග වදිමින්. එලෙස පළමු ඔලිම්පික් තරගාවලියෙන්ම පදක්කමක් ලබාගත් මෙම දක්ෂ ක්‍රීඩකයාට 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලිය අහිමිව ගියා. ඒ ඉතියෝපියාව එවර ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම නිසා යි. වසර 8ක නිහැඬියාවකින් පසුව 1980 මොස්කව් ඔලිම්පික් උළෙලට සහභාගි වුණු යිෆ්ටර් මීටර් 5000 සහ 10000 යන ඉසව් ද්විත්වය සඳහා සහභාගි වුණා. එහිදී තියුණු සටනකින් පසුව මීටර් 5000 සහ 10000 ඉසව්වල රන් පදක්කම් දිනාගත් මෙම සුපිරි ක්‍රීඩකයා එකම ඔලිම්පික් තරගාවලියක දී රන් පදක්කම් ද්විත්වයක් දිනාගත් මුල්ම ඉතියෝපියානුවා ලෙසින් ඉතිහාසගත වුණා. එසේම මීටර් 5000 සහ 10000 ඉසව්වල රන් පදක්කම් එකම ඔලිම්පික් තරගාවලියක දී දිනාගත් මුල්ම අප්‍රිකානුවා බවට පත්වුණා. 

යිෆ්ටර් 1980 මොස්කව් ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages) 

හේලි ගෙබ්‍රසිලාසි 

90 දශකයේ මුල් භාගයේ දී ඉතියෝපියාවෙන් බිහිවුණු දක්ෂතම දිගු දුර ධාවකයෙකු වුණු හේලි ගෙබ්‍රසෙලාසි මුලින්ම සිය දක්ෂතා ප්‍රදර්ශනය කළේ 1993 වසරේ ජර්මනියේ දී පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවවලියේ දී යි. එහිදී මීටර් 10000 ඉසව්වේ රන් පදක්කම දිනාගත් හේලි ඉන් වසර දෙකකට පසුව නැවතත් එම ඉසව්වේ ලෝක ශූරයා බවට පත්වුණා. එලෙස මීටර් 10000 ඉසව්වේ ලෝක ශූරයා ලෙස වැජඹුණු ගෙබ්‍රසිලාසි 1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වුණේ මීටර් 10000 ඉසව්වේ රන් පදක්කම ලබාගැනීමේ අරමුණ ඇතිව යි. එදා කෙන්යානු ක්‍රීඩක පෝල් ටර්ගැට් සහ ගෙබ්‍රසිලාසි අතර රන් පදක්කම සඳහා පැවතුණු තියුණු සටනින් ගෙබ්‍රසිලාසි ජයග්‍රහණය කළේ නව ඔලිම්පික් වාර්තාවක් ද පිහිටුවමින්. එහි දී ඔහු ප්‍රතිවාදී ක්‍රීඩකයාට වඩා තත්පරයකටත් මඳක් අඩු කාලයකින් තරගය නිමා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

ගෙබ්‍රසිලාසි 1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages) 

2000 වසරට පෙර පිට පිටම පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලි 4ක දී මීටර් 10000 ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ හේලි ගෙබ්‍රසිලාසි නම් ඉතියෝපියානු ධාවකයා යි. එම නිසා 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී මීටර් 10000 රන් පදක්කම දිනාගැනීම සඳහා පෙරමුණෙන්ම සිටි ක්‍රීඩකයා වුණේ ඔහු යි. එදා ගිබ්‍රසිලාසි සහ ටර්ගැට් නැවත වරක් අවසන් තරගයේ දී හමුවුණා. ඊට වසර 4කට පෙර පැවති තියුණු අවසන් තරගය නැවතත් ප්‍රේක්ෂකයන්ට සිහිපත් කළ එම සුපිරි ධාවකයන් යුගලය කරට කර ධාවනයක යෙදුණා. එහිදී සියලු දෙනාම බලාපොරොත්තු වුණු පරිදි මිනිත්තු 27:18:20කින් තරගය නිමා කළ ගෙබ්‍රසිලාසි රන් පදක්කම දිනාගන්නා විට මිනිත්තු 27:18:29කින් තරගය නිමා කළ ටර්ගැට් රිදී පදක්කම දිනාගත්තා. ඒ අනුව ෆින්ලන්ත ක්‍රීඩක ලසේ විරේන්ට පසුව පිට පිටම පැවති ඔලිම්පික් තරගාවලි 2ක දී මීටර් 10000 ඉසව්ව ජයගත් ක්‍රීඩකයා ලෙසින් මොහු වාර්තා අතරට එක් වුණා. 

ගෙබ්‍රසිලාසි සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම දිනාගනිමින් (gettyimages)

 කෙනෙනිසා බෙකෙලේ 

ඉතියෝපියාව වෙනුවෙන් වැඩිම ඔලිම්පික් පදක්කම් ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා බවට පත්වුණු කෙනෙනිසා බෙකෙලේ මීටර් 10000 ඉසව්වේ ලෝක වාර්තාව වසර 15කට වැඩි කාලයක් සිය නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් වුණා. එය යම් ක්‍රීඩකයෙකු මීටර් 10000 ඉසව්වේ ලෝක වාර්තාව හිමිකරගෙන සිටි වැඩිම කාල සීමාව ලෙස සටහන් වුණා. 2004 ඇතන්ස් ඔලිම්පික් තරගාවලියේ දී මුල්ම වරට  ඔලිම්පික් තරග බිමට පිවිසි මෙම ක්‍රීඩකයා මීටර් 10000 ඉසව්වෙන් ඔලිම්පික් වාර්තාවක් සමඟ රන් පදක්කම දිනාගන්නා විට මීටර් 5000 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත්තා. එහිදී ඔහු මීටර් 10000 ඉසව්වෙන් පිටපිටම ඔලිම්පික් රන් පදක්කම් 2ක් දිනා සිටි ගෙබ්‍රසිලාසිව පරාජයට පත්කරනු ලැබුවා. එසේම ඔහු වසර 8ක් පුරාවට රැකගෙන සිටි ඔලිම්පික් වාර්තාව ද බිඳ දැමුවා. 

බෙකෙලේ ඇතන්ස් ඔලිම්පික් තරගාවලියේ මීටර් 10000 රන් පදක්කම සමගින් (gettyimages) 

ඉන් වසර 4කට පසුව චීනයේ බීජිං නුවර පැවති ඔලිම්පික් තරගාවලියේ දී බෙකෙලේ නැවතත් දස්කම් දක්වනු ලැබුවා. 2004 වසරේ දී ගිලිහී ගිය මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම් දිනාගත් බෙකෙලේ මීටර් 10000 තරග ඉසව්ව සඳහා සහභාගි වුණේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. තරගයේ මුල් මීටර් 9000 දී ඉතාමත් ඉවසිලිවන්තව ධාවනයේ යෙදුණු මෙම ක්‍රීඩකයා අවසන් මීටර් 1000 තුළ වේගයෙන් ඉදිරියට පැමිණෙමින් නැවත වරක් මීටර් 10000 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තා. එහිදී ඔහු තම ඔලිම්පික් වාර්තාව නැවතත් අලුත් කරනු ලැබුවා. එදා බෙකෙලේ විසින් පිහිටවනු ලැබූ ඔලිම්පික් වාර්තාව අදටත් නොනැසී පවතිනවා. 

කවරයේ ඡායාරූපය- බෙකෙලේ සහ ගෙබ්‍රසිලාසි 2004 ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages) 

මූලාශ්‍රයයන්- Ethiopian Athletics History

Related Articles