Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෘතුගාලයෙන් බිහි වුණු මුල්ම සුපිරි පාපන්දු තරුව

පෘතුගාලය සහ පාපන්දු යන වචන දෙක ඇසුණු සැනින් ඔබගේ මතකයට එන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නම් පාපන්දු ක්‍රීඩකයා යි. වර්තමානයේ පෘතුගාල පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව රොනාල්ඩෝ වුණත්, මෙම ලිපියේ කතා නායකයා වන ඉයුසෙබියෝ ද සිල්වා ෆෙරෙයිරා මුල්ම යුගයේ පෘතුගාලයෙන් බිහි වුණු සුපිරිම පාපන්දු තරුව ලෙසින් සැලකෙනවා. 

ඉයුසෙබියෝ කුඩා කාලයේ දී ගත කළේ දුෂ්කර ජීවිතයක් 

1942 ජනවාරි 5 වැනිදා අප්‍රිකානු මහද්වීපයට අයත් වුණු මොසැම්බික් රාජ්‍යයේ දී ඉයුසෙබියෝ උපත ලැබුවා. 

ඉතාමත් දුගී පවුලක දරුවෙකු වුණු ඉයුසෙබියෝ කුඩා කාලයේ දී කටුක දිවියක් ගත කළේ වයස අවුරුදු 8 දී සිය පියා මිය යාම නිසා යි. ඉන්පසුව, ඔහුගේ සහෝදර සහෝදරියන් 8 දෙනා ජීවත් කරවීම සඳහා මවට සහාය වුණු ඉයුසෙබියෝ පාපන්දු ක්‍රීඩාවට විශාල කැමැත්තක් දැක්වුවා. නමුත්, දුගී බව නිසා පාවහන් යුවලක් මිල දී ගැනීමට වත්කමක් නොතිබුණු ඉයුසෙබියෝ දිගු කලක් යන තුරුම පාපන්දු ක්‍රීඩා කළේ පාවහන් නොමැතිව යි. එලෙස දුෂ්කර අයුරින් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටි ඉයුසෙබියෝට දිනක් කසල ගොඩක තිබී පරණ පාවහන් යුවළක් හමුවුණා. ඉන්පසුව, එම පාවහන් පැළඳ ඔහු නගරයේ වීදිවල ක්‍රීඩා කළා. පසුකලෙක ඔහු වෘත්තීය ක්‍රීඩකයෙකු ලෙස අත්සන් තැබූ දිනයේ ඔහුට අලුත්ම පාවහන් යුවලක් හමුවුණත් ඔහුගේ පාපන්දු දිවියේ දුෂ්කර අවධියේ දී පිහිට වුණු පාවහන් යුවල ඔහු කිසිදිනෙක අමතක කළේ නැහැ.

ඉයුසෙබියෝ තරුණ වියේ දී (gettyimages)

ඉයුසෙබියෝ නාමය ලොව පුරා ප්‍රසිද්ධ වුණු ආකාරය 

එම අවදියේ දී මොසැම්බික් රාජ්‍යය පෘතුගාලයේ යටත් විජිතයක් ලෙසින් පැවතුණා. එම නිසා ඉයුසෙබියෝට 1960 වසරෙ අග භාගයේ දී පෘතුගාලයට යෑමේ අවස්ථාවක් උදා වුණා. ඉන් අනතුරුව පෘතුගාලයේ අංක එකේ ක්‍රීඩා සමාජයට එක්වීමේ අවස්ථාව ඉයුසෙබියෝට හිමි වුණේ ඔහු සතුව තිබුණු සහජ හැකියාව නිසා යි. එලෙස බෙන්ෆිකා ක්‍රීඩා සමාජයට එක්වීමෙන් මාස කිහිපයකට පසුව පේලේ නියෝජනය කළ සැන්ටොස් ක්‍රීඩා සමාජය සමග තරගයක් පැවැත්වුණා. එම තරගයේ දී ප්‍රබල තරග රටාවක නිරත වුණු සැන්ටොස් ක්‍රීඩා සමාජය 4-0ක් ලෙස ඉදිරියෙන් සිටියේ බෙන්ෆිකා කණ්ඩායම අසරණ තත්ත්වයකට පත් කරමින්. එම අවස්ථාවේ දී බෙන්ෆිකා ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය කිරීමට අපහසු තත්ත්වයක් උදා වී තිබුණු නිසා පුහුණුකරු ගට්මන් විසින් ඉයුසෙබියෝව පිටියට එවනු ලැබුවේ ආදේශක ක්‍රීඩකයෙකු ලෙසින්. ඔහු පිටියට පැමිණි විගසම සැන්ටොස් ක්‍රීඩකයන් තවත් ගෝලයක් වාර්තා කළේ 5-0 ලෙස තරගයේ පෙරමුණ ගනිමින්. නමුත්, එම අවස්ථාවේ දී කිසිවෙකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වුණු ඉයුසෙබියෝ විනාඩි 17ක් තුළ ත්‍රිත්ව ගෝලයක් වාර්තා කළේ සියල්ලන්ම පුදුම කරවමින්. එදා තරගය බෙන්ෆිකා කණ්ඩායම 6-3 ලෙසින් පරාජයට පත් වුණත් ඉයුසෙබියෝ නාමය යුරෝපය පුරාම ප්‍රසිද්ධ වුණා.

පේලේ සහ ඉයුසෙබියෝ (The Telegraph)

ඉයුසෙබියෝ යුරෝපයේ හොඳම ක්‍රීඩකයා බවට පත් වෙයි 

1962 වසරේ දී යුරෝපා පාපන්දු සමාජ අතර පැවැත්වුණු පාපන්දු තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම සහ බෙන්ෆිකා කණ්ඩායම යි. එම තරගයේ 50 වැනි විනාඩිය අවසන් වන විට තරගයේ ලකුණු තත්ත්වය සටහන් වුණේ 3-3ක් ලෙස යි. එලෙස තරගය දෙපිලටම විවෘත වුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ඉයුසෙබියෝ ගෝල 2ක් වාර්තා කළේ බෙන්ෆිකා ක්‍රීඩා සමාජයට ශූරතාවය හිමිකර දෙමින්. එම තරගාවලිය තුළ ඉයුසෙබියෝ දැක්වූ සුපිරි දස්කම් නිසාම ඔහුට වසරේ යුරෝපීය පාපන්දු ක්‍රීඩකයා සම්මානයේ අනු ශූරතාවය හිමි වුණා. ඉන් අනතුරුව පැවති යුරෝපා පාපන්දු ක්‍රීඩා සමාජ තරගවල දී සුපිරි දස්කම් දැක්වූ ඉයුසෙබියෝට අමතක නොවන වසරක් වුණේ 1965 වසර යි. එම වසරේ දී යුරෝපා පාපන්දු ක්‍රීඩා සමාජ අතර පැවැත්වුණු පාපන්දු තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත්වුණු ඉයුසෙබියෝ බෙන්ෆිකා ක්‍රීඩා සමාජයට එහි අනු ශූරතාවය දිනාගැනීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන්නා. එලෙස තරගාවලිය පුරාවට ගෝල 9ක් ලබාගනිමින් ඉයුසෙබියෝ දැක්වූ සුපිරි දස්කම් නිසාම ඔහුට වසරේ යුරෝපීය පාපන්දු ක්‍රීඩකයා සම්මානයත් හිමි වුණා.

ඉයුසෙබියෝ වසරේ යුරෝපා පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගත් අවස්ථාව (twitter)

1966 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වීරයා වුණේ ඔහු යි

පෘතුගාලය මුල්ම වරට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවේ 1966 වසරේ දී යි. එවර තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ පෘතුගාලය තරගාවලියේ තෙවන ස්ථානය දිනාගත්තේ ඉයුසෙබියෝගේ සුපිරි දස්කම් නිසා යි. 

තීරණාත්මක තරග 2ක දී ලබාගත් ගෝල 6

1966 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ දී පෘතුගාලයට ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සමග තරග වැදීමට සිදුවුණා. ඒ වන විට පිට පිටම දෙවරක් පාපන්දු ලෝක ශූරතාවය හිමි කරගෙන තිබුණු බ්‍රසීල කණ්ඩායමට එරෙහිව පැවති තරගය පෘතුගාලයට වැදගත් එකක් වුණා. එහි දී ප්‍රබල බ්‍රසීල කණ්ඩායම ගෝල 3-1ක් ලෙසින් පරාජය කිරීමට ඉයුසෙබියෝගෙන් ඉහළ දායකත්වයක් ලැබුණේ ගෝල 2ක් ලබා ගනිමින්. එදා මූලික වටයේ තරග 3ම ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි පෘතුගාලයට එම වටයේ දී තරග කිරීමට සිදුවුණේ උතුරු කොරියාව සමග යි. එම තරගයේ 25 වැනි විනාඩිය වන විට උතුරු කොරියානු ක්‍රීඩකයන් 3-0 ලෙස තරගයේ පෙරමුණ ගත්තත් ඉන් නොසැලුණු ඉයුසෙබියෝ විනාඩි 32ක් තුළ ගෝල 4ක් ලබාගත්තේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින්. 

ඉයුසෙබියෝ උතුරු කොරියාවට එරෙහිව තරග වදිමින් (gettyimages)

ඉයුසෙබියෝ තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත් වෙයි

අර්ධ අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අවසන් පූර්ව තරගයට පිවිසි පෘතුගාලයට එහි දී තරග කිරීමට සිදුවුණේ සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව යි. එදා එංගලන්තය හමුවේ ඔවුන් 2-1ක පරාජයක් හිමි කරගන්නා විට පෘතුගාලය වෙනුවෙන් වාර්තා වුණු එකම ගෝලය ලබාගත්තේ ඉයුසෙබියෝ විසින්. ඉන්පසුව, තෙවැනි ස්ථානය තේරිම සඳහා පැවති තරගයේ දී සෝවියට් රුසියාව පරාජය කරමින් 2-1ක ජයක් ලැබීමට පෘතුගාලය සමත් වුණා. එහි දී පෘතුගාලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ ඉයුසෙබියෝ නම් එම සුපිරි ක්‍රීඩකයා යි. සමස්ත තරගාවලිය පුරාවටම කැපී පෙනෙන දස්කම් දැක්වූ ඉයුසෙබියෝ ගෝල 9ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත් වුණා. ඊට අමතරව තරගාවලියේ තෙවන වටිනා ක්‍රීඩකයා බවට පත් වීමටත් ඔහුට වාසනාව හිමි වුණා. එසේම තරගාවලිය පුරාවට දඬුවම් පහර මඟින් ගෝල 4ක් ලබාගත් ඉයුසෙබියෝ, එවැනි දස්කමක් පළමු ක්‍රීඩකයා බවටත් පත් වුණා. ඉයුසෙබියෝගෙන් පසුව එවැනි දස්කමක් දැක්වීමට කිසිදු පෘතුගාල ක්‍රීඩකයෙකු සමත් නොවීමෙන් ඔහුගේ විශිෂ්ටත්වය මැනවින් ඔප්පු වනවා.

ඉයුසෙබියෝ ලෝක කුසලාන තරගාවලිය අතරතුර (gettyimages)

ඉයුසෙබියෝගේ පාපන්දු දිවිය ගැන කෙටියෙන් 

පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් 1961-1973 කාලය තුළ තරග 64ක් ක්‍රීඩා කළ ඉයුසෙබියෝ එහි දී ගෝල 41ක් වාර්තා කළා. එසේම 1961-1975 කාල සමය තුළ පෘතුගාලයේ බෙන්ෆිකා ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා කළ ඉයුසෙබියෝ එහි දී ගෝල 317ක් වාර්තා කළේ තරග 301කට පමණක් සහභාගි වෙමින්. 1966 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත් වුණු ඉයුසෙබියෝ 1965,1966 සහ 1968 වසරවල දී යුරෝපා පාපන්දු ක්‍රීඩා සමාජ තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත් වුණා.

ඉයුසෙබියෝ බෙන්ෆිකා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් (gettyimages)

පෘතුගාලය වෙනුවෙන් ඉයුසෙබියෝ පෙන්වූ දස්කම් අසමසම යි. ඔහුගෙන් පසුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලුයිස් ෆිගෝ, පුයෙල්ටා, ඩෙකෝ වැනි සුපිරි තරු පෘතුගාලය නියෝජනය කළත් ඉයුසෙබියෝ පාපන්දු ලෝක කුසලාන තරගවල දී තැබූ වාර්තා අසලට පැමිණීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. එම නිසාම පෘතුගාලයෙන් බිහි වුණු සුපිරි පාපන්දු තරුව ලෙසින් ඉයුසෙබියෝගේ නාමය සැමදාමත් පෘතුගාල පාපන්දු ඉතිහාසය තුළ රන් අකුරින් ලියැ වී පවතිනු ඇති.

කවරයේ ඡායාරූපය- ඉයුසෙබියෝ (Telegraph)

Related Articles