Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Falling Hook/Sweep පහර හඳුන්වා දුන් රොහාන් කන්හායි

සංගීතයට ලැදි, විනෝදකාමී ප්‍රේක්ෂකයින්ගෙන් පිරි කොදෙව් දුපත් තුලින් අග්‍රගණ්‍ය​ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් බිහිවී ඇත. කොදෙව් දුපත් තුලින් බිහිවූ දක්ෂතම පිතිකරුවා කවුදැයි යමෙක් ඇසුවොත් එයට W ක්‍රීඩකයින් තිදෙනා (ෆ්‍රෑන්ක් වොරල්, ක්ලයිඩ් වොල්කොට්, එවර්ටන් වීක්ස්) ගාෆිල්ඩ් සෝබර්ස්, ඇල්වින් කලිචරන්, විවියන් රිචර්ඩ්ස්, බ්‍රයන් ලාරා වැන්නන් ගේ නම් නිසැකවම මතකයට නැගෙනු ඇත. නමුත් කොදෙව් ටෙස්ට් වංශකතාවේ 60 දශකය වර්ණවත් කල රොහාන් කන්හායි පිළිබඳව ලිපි ඇත්තේ ද නැති තරම්. මේ ලිපිය ක්‍රිකට් ක්‍රීඩාවට අනුකරණය කිරීමට ඉතාමත්ම අපහසු පිතිකරණ පහරක නිර්මාපකයා වූ රොහාන් කන්හායි පිළිබඳවයි.

රොහාන් භෝලාලාල් කන්හායි ඉන්දීය සම්භවයක් ඇති ගයානා හිදී උපත ලද ක්‍රීඩකයෙක්. කොදෙව් දුපත් සමුහයේ ගයානාව (බ්‍රිතාන්‍යය ගයානා) නියෝජනය කරමින් ටෙස්ට් වරම් ලැබූ දෙවන ඉන්දීය සම්භවයක් සහිත ක්‍රීඩකයා වන්නේ ද කන්හායි (ප්‍රථමයා සොනී රාම්දීන්). පළමුපෙළ තරඟ තුල දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන එවකට තේරීම් කමිටුව විසින් 1957 වසරේ කොදෙව්වන්ගේ එංගලන්ත සංචාරය සඳහා රොහාන් කන්හායි කැඳවී ය. කන්හායි බොහෝ දෙනෙක් පිතිකරුවෙක් ලෙස හැඳිනගත්ත ද ඔහුගේ ගේ මංගල ටෙස්ට් තරඟයේ දී ඔහු ක්‍රීඩා කලේ කඩුලු රකින්නෙක් ලෙසයි. 1958 වසරේ පොර්ට් ඔෆ් ස්පේන් හි දී ප්‍රථම අර්ධ ශතකය වාර්තා කරන කන්හායි ට ශතකය අහිමි වන්නේ ලකුණු 4 කිනි. කෙසේ වෙතත් ඔහුගේ මංගල ටෙස්ට් තරඟයේ සිට ටෙස්ට් තරඟ 13 කට පසුව 1958 වසරේ දී ම අග භාගයේ දී කොදෙව්වන්ගේ ඉන්දියානු සංචාරය අතරතුර කන්හායි කල්කටා නුවර දී ලකුණු 256ක් රැස්කිරීමට සමත් වන අතර ඉන්දියාවේ දී පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු ගණන වුයේ ද එම ඉනිමයි.  එම වාර්තාව 2001 වසරේ දී ඉන්දීය මැදපෙළ පිතිකරු VVS ලක්ෂ්මන් ඔස්ට්‍රේලියාවට එරෙහිව කල්කටාවේදී ලකුණු 281ක් රැස්කරමින් බිඳ දැමිය. එමෙන්ම 2005 වසර වන තෙක් ඉන්දියාවේ දී විදෙස් පිතිකරුවෙක් රැස්කළ වැඩිම පෞද්ගලික ඉනිම වුයේ ද කන්හායිගේ මේ ඉනිම යි.

රොහාන් කන්හායි කඩුලු රකින්නෙක් ලෙස – credit – Getty Images

60 දශකය වන විට ලොව පුරා ක්‍රිකට් විශ්ලේෂකයින් අතර සෝබර්ස් සහ කන්හායි අතරින් හොඳම පිතිකරු කවුරුන්දැයි තර්ක කරන්නට තරම් කන්හායිගේ පිතිකරණය විශිෂ්ට විය. මේ ක්‍රීඩකයින් අතරින් සෝබර්ස් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සුපිරි දස්කම් දැක්වුවත් කන්හායි පිත්තෙන් සෑම අවස්ථාවක දී ම සෝබර්ස් ඉක්මවා යෑමට සමත් විය. ඊට හේතුව වුයේ කන්හායි අසීරු තණතීරු මත ඕනෑම අධිවේග පන්දු යවන්නෙකුට මුහුණදෙමින් පහසුවෙන් ලකුණු රැස්කිරීමට හපන්කම් දැක්වීමත් පිතිකරණයේ දී ඔහුගේ පාද චලනයන් සහ කල් යල් බලා පහර එල්ල කිරීමේ දක්ෂතාවයත් නිස යි.  වර්තමාන ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ ගණනය කිරීම්වලට අනුව 60 දශකයේ දී මෙම පිතිකරුවන් දෙදෙනා ලෝ ප්‍රකට පිතිකරුවන් අහිභවා නිතරම ප්‍රථම ස්ථාන 4-5 තුල රැඳී සිටියහ.

ප්‍රකට කොදෙව් ක්‍රීඩකයෙක්, නීතිඥවරයෙක් මෙන්ම, ට්‍රිනිඩෑඩ් හි පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇමති ධුරයක් ද හෙබවූ වූ ලැරී කන්ස්ටන්ටයින් (ඔහු මෙරටට පැමිණි අවස්ථාවක දී කෙටි කාලයක් සඳහා මෙරට ක්‍රීඩකයින් පුහුණු කිරීමට එකඟ වූ අතර මෙරට ප්‍රථම විදේශික ක්‍රිකට් පුහුණුකරු ලෙසද ඔහු සැලකේ.) කන්හායිගේ පිතිකරණය පිළිබඳව පැවසුවේ ඔහුගේ සමකාලීන​ සහ ජ්‍යෙෂ්ට පිතිකරුවන් පවා කන්හායිගේ සමහර ක්‍රිකට් පහර එල්ල කිරීම් දැක නොමැති බවයි. එතරම් අලංකාර පිතිකරණ රටාවක් හිමිව තිබු කන්හායි, එකල බොහෝ නවක ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රියතම පිතිකරුවා විය.

ලැරී කන්ස්ටන්ටයින් – credit – National Portrait Gallery

ඉතිහාසඥවරයෙක්, මාධ්‍යවේදියෙක් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙක් වන අප්‍රිකානු සම්භවයක් ඇති ට්‍රිනිඩැඩ් ජාතික සිරිල් ලයනල් රොබර්ට් ජේම්ස් වරක් කන්හායි පිළිබඳ දීර්ඝ විස්තර කිරීමක දී මෙලෙස පවසුවේ ය.

“රොහාන් කන්හායි යනු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් හි උච්චතම අවධිය යි ” (I take Kanhai as the high peak of West Indian cricketing development)

“Falling Hook/Sweep” පහර

කන්හායිගේ වසර 16ක ටෙස්ට් දිවිය තුල ඔහු විසින් නිර්මාණය කල “falling hook” පහර වර්තමානයේ 20යි 20 තරඟ රටාවේ දී පවා අනුකරණය කිරීමට ඉතාමත්ම අපහසු පහරකි. ඔහු මෙම පහර නිතරම භාවිතා නොකලත් එම පහර එල්ල කරන සෑම මොහොතකම ප්‍රේක්ෂකයින්ගේ අමානන්දයට හේතු විය. මෙම පහර එල්ල කිරීමේන් පසු ඔහු තණතීරුව මත දිගාවීමට සිදුවන අතර එම පහර නිවැරදිව එල්ල වුයේ නම් පන්දුව හතරේ සීමාවෙන් එපිටට පහසුවෙන් යොමු කළ හැකි බව කියැවේ. මෙම පහර ඉන්දියාවේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් වන රම්නාත් පාර්කර් සහ තිරුමලයි ශ්‍රිනිවාසන් ද අනුකරණය කර ඇති නමුත් කන්හායි තරම් දක්ෂ ලෙස එම පහර එල්ල නොකළහ.

රොහාන් කන්හායි ගේ “falling hook” පහර – credit – cricketworld.com

“රොහාන්” නාමය

ඉන්දීය හිටපු පිතිකරු සහ වර්තමාන ක්‍රිකට් විස්තර විචාරකවරයෙක් ලෙස කටයුතු කරන සුනිල් ගවස්කාර් ඔහු විසින් රචිත “අයිඩල්ස් (Idols)” නම් කෘතියේ රොහාන් කන්හායි ඔහුගේ ප්‍රියතම පිතිකරුවා බවට හෙළි කලේ ය. එමෙන්ම ඔහු ඔහුගේ පුත් රොහාන් ගවස්කාර් හට රොහාන් කන්හායි, ගුන්දප්පා විශ්වනාත් සහ M.L. ජයිසිම්හා යන ක්‍රීඩකයින් තිදෙනාගේ නම් එක්කරමින් රොහාන් ජයිවිශ්වා ගවස්කාර් ලෙස නම් කලේ ය.

රෙගේ සංගීතයේ රජු ලෙස සැලකෙන ජැමෙයිකානු ජාතික බොබ් මාර්ලි ද කන්හායිගේ පිතිකරණයට වශී වූ ප්‍රේක්ෂකයෙක් විය. ඔහු ද ඔහුගේ එක් පුතෙක් රොහාන් මාර්ලි ලෙස නම් කලේ ය. රොහාන් මාර්ලි ඇමෙරිකාවේ නමගිය “ඇමෙරිකන් පාපන්දු” ක්‍රීඩකයෙක් වූ අතර වර්තමානයේ දී නම් ඔහු ව්‍යාපාරිකයෙකි.

බොබ් මාර්ලි ගේ පුත් රොහාන් මාර්ලි – credit – ottawa citizen

එමෙන්ම ප්‍රකට කොදෙව් පිතිකරු ඇල්වින් කලිචරන් සහ ඕස්ට්‍රේලියානු පා දඟ පන්දුයවන්නෙකු වූ බොබ් හොලන්ඩ් ද “රොහාන්” යන නාමය ඔවුන්ගේ පුතුන් හට නම් තැබීමේදී යොදා ගත් හ​.

කන්හායි කොදෙව්වන්ට අමතරව එංගලන්තයේ වෝර්වික්ෂයර් ප්‍රාන්තය (1968 – 1977) , බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායම (1961/62) සහ තස්මේනියානු කණ්ඩායම (1969/70) ට දායකත්වය ලබා දුන්නේ ය. වෝර්වික්ෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කරමින් කන්හායි ලකුණු දහසේ සීමාව අවස්ථා 10 ක දීම පසුකර යාමට සමත් විය. එමෙන්ම ඩෙනිස් ලිලී ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලෝක කණ්ඩායම වෙනුවෙන් ද කන්හායි ක්‍රීඩා කලේ ය. එහිදී විශිෂ්ට ශතකයක් (115) රැස්කිරීමට කන්හායි සමත් වූ අතර තරඟය පැවැත්වුයේ පර්ත් හි ඉතාමත් වේගවත් සහ ඉපිලෙන තණතීරුවක් මතයි.

රොහාන් කන්හායි – credit – Getty Images

ගාෆිල්ඩ් සෝබර්ස්ගෙන් පසු නායකත්වයට පත්වන රොහාන් කන්හායි එම ධුරයේ කටයුතු කලේ වසර දෙකක් පමණයි. කෙසේ වෙතත් එම කෙටි කාලය තුල එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් හිමිකර දීමට ද ඔහුට හැකි විය. 1975 ලෝක කුසලානය වනවිට රොහාන් කන්හායි වසරක් පමණ අන්තර්ජාතික ක්‍රිකට් තරඟ ක්‍රීඩා තරඟ තුලින් විශ්‍රාම ගොස් සිටියත් ඔහුට එම තරඟාවලිය සඳහා හදිසි කැඳවීමක් ලැබිණ. ඒ ගාෆිල්ඩ් සෝබර්ස් ක්‍රීඩා නොකිරීම හේතුවෙන්. ඒ වනවිට 39 හැවරිදි වියේ වූ කන්හායිගේ ඉවසිලිමත් ඉනිම සහ නායක ක්ලයිව් ලොයිඩ් සමඟ මැදපෙළ ශක්තිමත් කරමින් පැවැත්වූ ලකුණු 149 ක සම්බන්ධතාවය හේතුවෙන් කොදෙව් ක්‍රීඩකයින්ට අවසන් තරඟයේ දී ඕස්ට්‍රේලියානුවන්ට විශාල ඉලක්කයක් ලබාදීමට හැකිවිය. මේ නිසාම කොදෙව්වන්ට ප්‍රථම ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව පරදා ශුරයින් වීමට හැකි විණ​.

මුලාශ්‍ර :

Rohan Kanhai, an all time great turns 80”. Retrieved from http://guyanachronicle.com/2015/12/26/rohan-kanhai-an-all-time-great-turns-80

“Dazzling – Rohan Kanhai rated among the best”. Retrieved from http://www.guardian.co.tt/archives/features/life/2010/04/18/dazzling-rohan-kanhai-rated-among-best

“A flashing blade, a canny mind”. Retrieved from http://www.espncricinfo.com/magazine/content/story/428429.html

COVER – Getty Images

Related Articles