Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ග්‍රෑන්ඩ් ස්ලෑම් වැස්සක් මැද ටෙනිස් පිටියට සමු දුන් බාසෙල් හි කුමාරයා

1981 වර්ෂයේදී ස්විට්සර්ලන්තයේ බාසෙල් නගරයේ ඉපිද වසර 20 කට අධික කාලයක් මුළුල්ලේ ලෝක ටෙනිස් පිටිය අතික්‍රමණය කරමින් ජයග්‍රහණ එක පිට එක වාර්තා කළ තරුවක් වූ රොජර් ෆෙඩරර් තමන්ගේ වෘත්තීයමය ටෙනිස් පිටියට සමු දීම පසුගිය දා ප්‍රකාශයට පත් කළා.

එය සටහන් වූයේ ඉතිහාසයේ බිහි වූ තවත් එක් සුපිරි ක්‍රීඩකයකුගේ සමු ගැනීමක් ලෙසට යි.

රොජර් ෆෙඩරර්
රොජර් ෆෙඩරර් – www.marca.com

වසර ගණනාවක් මුළුල්ලේ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්, ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සහ සර්බියාවේ නොවැක් ජොකැවිච් යන තිදෙනා සමස්ත ටෙනිස් පිටිය ම ආක්‍රමණය කොට තිබුණා. මෙම තිදෙනාගෙන් හැර සුවිශේෂී ජයග්‍රහණයක් වෙනත් අයෙක් ලබා ගත්තා නම් එය ඉතා ම කලාතුරකින් දක්නට ලැබුණු සිදුවීමක් වුණා. එම යුගය මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙන අතර ම ඔවුන් අතරින් රොජර් ෆෙඩරර් තම සමු ගැනීම ප්‍රකාශ කිරීමම එයට හොඳ ම උදාහරණය වනවා.

කුඩා කාලයේ පටන් ම ටෙනිස්

කුඩා දරුවකු ව සිටින අවදියේ ම ටෙනිස් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන රොජර් ෆෙඩරර් එකල සිට ම වාර්තාගත ක්‍රීඩකයෙක් වන බවට ඉඟි පළ කරමින් සිටියා. 1998 වර්ෂය වන විටදී 17 හැවිරිදි ක්‍රීඩකයෙක් ලෙසින් ඔහු කනිෂ්ඨ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලින් හි දක්ෂතා දැක්වූවා. මේ දක්ෂතා නිසා ම ඔහුට එම වසරේ දී ම වෘත්තීයමය ටෙනිස් වරම් හිමි වුණා.

තරුණ රොජර් ෆෙඩරර්
තරුණ රොජර් ෆෙඩරර් – www.tennis365.com

1998 දී කේවල කනිෂ්ඨ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගවලට එක් වන රොජර්, එහිදී ඕස්ට්‍රේලියා විවෘත තරගාවලියේ අවසන් පූර්ව වටය,  ප්‍රංශ විවෘත තරගාවලියේ තෙවන ස්ථානය, සහ  අමෙරිකා විවෘත තරගාවලියේ අනු ශූරතාව ද දිනා ගත්තා. 1998 දී පැවති කණිෂ්ඨ ටෙනිස් විම්බල්ඩන් තරගාවලියේ ශූරයා ලෙසින් නම සටහන් කර ගන්නා ෆෙඩරර් එහි යුගළ අංශයේ ද ජයග්‍රහණය දිනා ගැනීමට සමත් වුණා.

වෘත්තීයමය ටෙනිස් ක්‍රීඩාවෙන් ඉදිරියට

1998 වසරේ ස්විට්සර්ලන්ත විවෘත ටෙනිස් තරගාවලියෙන් ඔහු තමන්ගේ වෘත්තීයමය ක්‍රීඩාවට අවතීර්ණ වුණා. එම තරගාවලියේ මූලික වටයේ පැවති තරගයකින් ම අත්දැකීම් අඩු රොජර් ෆෙඩරර්, ලූකස් ආනෝල්ඩ් හමුවේ පරාජයට පත් වුණා. ඉන් පසු 1998 පැවති ස්විට්සර්ලන්ත ගෘහස්ථ ටෙනිස් තරගාවලියට එක් වුව ද එහි මුල් වටයෙන් ද ඔහුට අත්වුණේ පරාජයක්.

කෙමෙන් කෙමෙන් දක්ෂතා අතරට එක් වන රොජර් ෆෙඩරර් 1999 වසර වන විට දී ලොව ටෙනිස් ක්‍රීඩකයන් අතරේ ශ්‍රේණිගත කිරීම් හි පළමු 100 දෙනා අතරට තම නම ඇතුළත් කර ගත්තා. 2001 දී ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාවක වූ මාර්ටිනා හිංගිස් සමඟින් කණ්ඩායම් ගත වන ඔහු එම වසරේ හොෆ්මන් කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. පසු කලෙක රොජර් පවසා සිටියේ මාර්ටිනා හිංගිස් සමඟින් ක්‍රීඩා කරමින් තමන් ලබා ගත් අත්දැකීම් තම ඉදිරි ටෙනිස් දිවියට බෙහෙවින් උපකාරී වූ බව යි.

රොජර් ෆෙඩරර් සහ මාර්ටිනා හිංගිස්
රොජර් ෆෙඩරර් සහ මාර්ටිනා හිංගිස් – www.lovetennis.com

එම වසර තමන්ගේ වෘත්තීයමය ටෙනිස් දිවියේ වඩාත් තීරණාත්මක වසර බවට පත්කර ගත් ඔහු 2001 මිලාන් ගෘහස්ථ ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. එය රොජර් ෆෙඩරර් නමින් කේවල තරග ඉසව්වක ලියැවුණු ජයග්‍රහණ ගොන්නක පළමුවැන්න ලෙසින් ද සටහන් වුණා. 2001 වසරේ දී ම තමන්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් දිවියේ ඉහළත ම දක්ෂතාව වාර්තා කරමින් ප්‍රංශ විවෘත තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා ෆෙඩරර් ගමන් කළා.

2001 දී ම විම්බල්ඩන් අර්ධ අවසන් පූර්ව වටයට ද පැමිණි ඔහු එතැන් පටන් විශේෂ ජයග්‍රහණ කිහිපයක් වාර්තා කළා. 2002 හැම්බර්ග් මාස්ටර්ස් ටෙනිස් තරගාවලියේ ජයග්‍රහණය ද එයට අයත්. 1998 සිට 2002 අතර කාලය තුළ පැවති ටෙනිස් තරගාවලි 10 ක අවසන් මහා තරගවලට ඔහු සුදුසුකම් ලැබුවා.

 රොජර් ෆෙඩරර් (දකුණේ) නොවැක් ජොකොවික් සමඟ 2022 විම්බල්ඩන් ශූරතාවලියේ – ADRIAN DENNIS/AFP via Getty Images

 

විම්බල්ඩන් ශූරයා! පුරාවෘත්තයක ඇරඹුම

1998 දී ආරම්භ කළ තම වෘත්තීයමය ටෙනිස් දිවිය 2003 දක්වා ම එක දිගට රැගෙන ආව ද තවදුරටත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක පහස විඳීමට රොජර් ෆෙඩරර් සමත් වී සිටියේ නෑ. ඕනෑම ටෙනිස් ක්‍රීඩකයකුගේ සිහින ශූරතාව ලෙසින් සැලකෙන විම්බල්ඩන් තරගාවලිය 2003 දීත් ඔහු නියෝජනය කළා.

තම ටෙනිස් දිවියේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය ම විම්බල්ඩන් කුසලානයකින් ආරම්භ කළ රොජර් ෆෙඩරර් 2003 විම්බල්ඩන් අවසන් මහා තරගයේ දී ඇන්ඩි රොඩ්කික් පරාජයට පත් කරමින් ශූරතාව ලබා ගත්තා. එතැන් පටන් විම්බල්ඩන් පිටියේ ඉතිහාසගත ලෙසින් රොජර් ෆෙඩරර් යන නාමය රජ කළා කිවහොත් වඩාත් නිවැරැදි යි.

ෆෙඩරර් විම්බල්ඩන් ශූරතාවය සමග
ෆෙඩරර් විම්බල්ඩන් ශූරතාව සමඟ – www.tennis365.com

2003 න් ආරම්භ කළ විම්බල්ඩන් ජයග්‍රහණ දිගට ම රැගෙන ගිය ඔහු 2004, 2005, 2006 සහ 2007 වශයෙන් පිට පිට 5 වතාවක් ම විම්බල්ඩන් ශුරයා වුණා. එතැනින් නොනවතින රොජර් ෆෙඩරර් 2009, 2012 සහ 2017 වර්ෂවල ද විම්බල්ඩන් කිරුළ තමන් සතු කර ගත්තා. ටෙනිස් ඉතිහාසයේ පිරිමි කේවල අංශයෙන් 8 වතාවක් විම්බල්ඩන් කිරුළ සිප ගත් රොජර් ෆෙඩරර් ඉතිහාසයේ එම දස්කම වැඩි ම වතාවක් සිදු කළ ක්‍රීඩකයා යන වාර්තාව ද උසුලනවා.

අනෙක් ග්‍රෑන්ඩ් ස්ලෑම් දක්ෂතා

විම්බල්ඩන් පිටියේ රජ කළ ෆෙඩරර් එතනින් නොනැවතී අනෙක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉසව්වල දී ද තම දක්ෂතාවයන් දැක්වීමට සමත් වුණා. ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේදී 2004, 2006, 2007, 2010, 2017 සහ 2018 වශයෙන් 6 වතාවක් ජයග්‍රහණය ඔහුගේ නම ඉදිරියෙන් ලියැවුණා. 

2017 ජනවාරි මාසයේ ඔස්ට්‍රේලියානු විවෘත අවසන් මහා තරගයට පෙරාතුව රොජර් ෆෙඩරර් (වමේ) සහ රෆායෙල් නඩාල් (දකුණේ) – Kyodo News via Getty Images

 

අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලියේ ද වාර්තා ගත ලෙසින් ෆෙඩරර් නාමය සටහන් වී ඇති අතර ම ඔහු එහි දී ද 2004, 2005, 2006, 2007 සහ 2008 වශයෙන් පිට පිට ම 5 වතාවක් ජයග්‍රහණ හිමි කර ගත්තා.

2003 සිට 2010 දක්වා රොජර් ෆෙඩරර් ග්‍රෑන්ඩ් ස්ලෑම් පිටිය තුළ නැවැත්වීම අතිශය අසීරු කාරණයක් බවට පත් ව තිබුණා. ඔහු යම්තාක් දුරකට හෝ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගවල දී මෙල්ල වූයේ ප්‍රංශ විවෘත තරගාවලියේ දී පමණ යි. ඔහු එය ජයග්‍රහණය කොට ඇත්තේ 2009 වසරේ දී පමණක් වීම විශේෂත්වයක්.

ඔහු 2004 සිට 2008 දක්වා පිට පිට 5 වතාවක් ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලිය ජයග්‍රහණය කළා
ෆෙඩරර් 2004 සිට 2008 දක්වා පිට පිට 5 වතාවක් අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලිය ජයග්‍රහණය කළා – www.skysports.com

2004, 2006 සහ 2007 යන වසර තුනේදී වසරකට පැවැත්වෙන කේවල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 කින් ප්‍රංශ විවෘත තරගාවලිය හැර අනෙක් තරගාවලි තුනේ ම ජයග්‍රහණ තමන් සතු කර ගැනීමට රොජර් ෆෙඩරර් සමත් වුණා. තමන්ගේ වෘත්තීයමය ටෙනිස් දිවියේ දී රොජර් ෆෙඩරර් ලබා ගත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ ගණන 20ක්. ඉතිහාසයේ වැඩි ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රාහකයන් අතරේ තෙවන තැන ද ඔහුට හිමි යි.

සමස්ත ටෙනිස් ශූරතා 103 ක් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් ව සිටිනවා. එය විවෘත ටෙනිස් යුගය ආරම්භ වීමෙන් පසු ව දෙවැනි වන්නේ ශූරතා 109 ක් ජයග්‍රහණය කර සිටිනා අමෙරිකාවේ ජිමී කෝනර්ස්ට පමණ යි. තම වෘත්තීයමය ටෙනිස් දිවියේ තරග 1526ක් ක්‍රීඩා කළ රොජර් ෆෙඩරර් ඉන් තරග 1251ක් ජයග්‍රහණය කළා. එය ප්‍රතිශතයක් ලෙසින් 82%ක්. තම ටෙනිස් දිවියේ දී සති 310 ක කාලයක් ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් ද නම රැඳවීමට ඔහු සමත් ව සිටියා. 

ෆෙඩරර් දිනූ ශූරතා 103 ක් -AFP Graphics

ඔලිම්පික් පිටියේ පෙන්වූ දක්ෂතා

2008 බෙයිජිං ඔලිම්පික් තරගාවලියේ දී පිරිමි යුගළ ටෙනිස් තරග සඳහා ස්ටෑන් වව්රින්කා සහ රොජර් ෆෙඩරර් ස්විට්සර්ලන්තය නියෝජනය කරමින් සහභාගී වුණා. එහිදී අවසන් තරගයේ දී ස්වීඩන ක්‍රීඩක දෙපළක් පරාජයට පත් කරමින් ඔලිම්පික් රන් පදක්කමකින් තම මවුබිම සැරසීමට ද ඔවුන් දෙපළට හැකියාව ලැබුණා.

 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට එක් වන ෆෙඩරර් පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්කම් දැක්වූවා. එහිදී අවසන් තරගයේ ප්‍රතිවාදියා වූ මහා බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ හමුවේ 6-1, 6-2 ක් සහ 6-4 ලෙසින් තරග වට 3-0 ක පරාජයක් ලැබීමෙන් රොජර් ෆෙඩරර්ට රිදී පදක්කමෙන් සෑහීමකට පත් වන්නට සිදු වුණා. ඔහු ඔලිම්පික් පිටියේ දී පදක්කම් දිනා ගැනීමට සමත් වූයේ එම අවස්ථා දෙකේ දී පමණ යි.

2008 බෙයිජිං හීදි ස්ටෑන් වව්රින්කා සමග රන් පදක්කම දිනා
2008 බෙයිජිං හී දි ස්ටෑන් වව්රින්කා සමග රන් පදක්කම දිනා – www.olympics.com

සාර්ථක ටෙනිස් දිවියක නිමාව

ස්විට්සර්ලන්තය නියෝජනය කළ ටෙනිස් ක්‍රීඩිකාවක ම වූ මිරස්ලෝවා ෆෙඩරර් සමඟින් රොජර් 2009 වර්ෂයේ දී විවාහ වුණා. ඇය ඔහුත් සමඟ 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලිය නියෝජනය කර තිබීම ද විශේෂත්වයක්. පාදයේ ඇතිවූ ආබාධයක් නිසා මිරස්ලෝවා ටෙනිස් ක්‍රීඩාවෙන්  2002 දී විශ්‍රාම ගියා.

ඔවුන් දෙපළට අවස්ථා දෙකක දී ලැබුණ නිවුන් දරු උපත් ද්විත්වයකින් දියණියන් දෙදෙනකුට සහ පුතුන් දෙදෙනකුට මවුපියන් වීමේ වාසනාව ද හිමි වුණා. එලෙසින් තමන්ගේ වෘත්තීයමය දිවිය මෙන් ම පෞද්ගලික දිවිය ද සමබර ව සාර්ථක ව රැගෙන ගිය ක්‍රීඩකයෙක් ලෙසින් රොජර් ෆෙඩරර් හැඳින්වීමට පුළුවන්.

ෆෙඩරර් ක්‍රීඩා කරනා තරඟයක් නැරඹීමට ආ ඔහුගේ බිරිඳ සහ දරුවන්
ෆෙඩරර් ක්‍රීඩා කරනා තරගයක් නැරඹීමට ආ ඔහුගේ බිරිය සහ දරුවෝ – www.who.co.au

මේ වන විට 41 වන වියේ පසුවන ස්විට්සර්ලන්ත ටෙනිස් ශූරයා තමන්ගේ වෘත්තීයමය දිවියට නිල වශයෙන් සමු දීමේ පුවත පසුගිය දා සටහන් කළා. ඔහු ටෙනිස් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසුව කිරීමට බලාපොරොත්තු වන දේ සම්බන්ධයෙන් තවමත් විශේෂ යමක් ප්‍රකාශ කොට නෑ. කෙසේ වෙතත් යුගයක් අලංකාර කළ තවත් ක්‍රීඩා ශූරයකුගේ නික්ම යාම බොහොම ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් සටහන් කළ හැකි යි.

කවරයේ ඡායාරූපය - www.news.estereofonica.com
 මූලාශ්‍ර :

www.bioghraphy.com

www.britannica.com

www.atptour.com

www.tennisx.com

www.theathlete.com

Related Articles