Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 පාපන්දු ලෝක කුසලානය – A කාණ්ඩය

​2018 පාපන්දු ලෝක කුසලානය ජූනි 14 වන දා රුසියාවේ මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා. කාණ්ඩ අටක් යටතේ රටවල් 32ක් මෙහි මූලික වටයට තරග කළ අතර එම කාණ්ඩ අටෙහි තරග පිළිබඳ වෙනමම විස්තර කිරීමට අප බලාපොරොත්තු වනවා.

A කාණ්ඩය යටතේ තරග වැදුණේ සත්කාරක රුසියාව​, උරුගුවේ, ඊජිප්තුව, සහ සෞදි අරාබිය යි. මෙයින් උරුගුවේ පිල කාණ්ඩයේ පෙරමුණ ගනු ඇතැයි බලාපොරොත්තු වුණා. දෙවන ස්ථානයට තරගය තිබුණේ ඊජිප්තුව සහ සත්කාරක රුසියාව අතරයි. සෞදි අරාබිය ඊළඟ වටයට සුදුසුකම් ලබනු ඇතැයි බලාපොරොත්තු තැබීම ඉතා අසීරු වුණා.

රුසියාවට මෙම තරගාවලිය ඉතා වැදගත් වූ බව කිව යුතුයි. 1991 දී සෝවියට් දේශය බිඳ වැටීමට පෙර පාපන්දු ලෝකයේ ප්‍රබල කණ්ඩායමක් ලෙස එය නමක් දරා තිබුණා. නමුත් එම බිඳ වැටීමෙන් පසු රුසියාව පාපන්දු ලෝක කුසලාන තුනකට සුදුසුකම් ලැබූ නමුත් දෙවන වටයට තේරීපත්ව තිබුණේ නැහැ. තව ද මීට කලකට පෙර හොඳ කණ්ඩායමක් ලෙස නැගී එමින් තිබූ රුසියාවේ දස්කම් බොහෝ දුරට මොට වී තිබූ බවක් පෙන්නුම් කළා.

තරගාවලියේම ආරම්භක තරගය ලෙස රුසියාව මුහුණ දුන්නේ සෞදි අරාබියට යි. ඒ ජූනි 14 වන දා පැවැති සමාරම්භක උත්සවයෙන් පසුව යි. මෙහි දී වැඩි වෙලාවක් යාමට මත්තෙන් රුසියාව තරගය පාලනය කරන්නට පටන් ගත්තා. 12 වන විනාඩියේ දී යූරි ගසින්ස්කි තරගාවලියේ පළමු ගෝලය වාර්තා කළා. රුසියාවේ ක්‍රස්නොඩාර් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ගසින්ස්කිගේ පළමු ජාත්‍යන්තර ගෝලය වූයේ ද මෙම ගෝලය යි.

ගසින්ස්කිගේ පළමු ගෝලය​ (Getty Images)

තරගයේ 24 වන මිනිත්තුවේ දී ඇලන් සගොයෙව් ආබාධයකට ලක් ව පිටියෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට පිටියට පැමිණි ඩෙනිස් චෙරිෂෙෆ් 43 වන විනාඩියේ දී ගෝලයක් වාර්තා කළා. මෙය චෙරිෂෙෆ්ගේ ද පළමු අන්තර්ජාතික ගෝලය වූ අතර මේ අනුව පාපන්දු ලෝක කුසලාන සමාරම්භක තරගයක දී ක්‍රීඩකයන් දෙදෙනකු සිය පළමු අන්තර්ජාතික ගෝල වාර්තා කළ ප්‍රථම අවස්ථාව ලෙස මය ඉතිහාසගත වුණා. එමෙන් ම පාපන්දු ලෝක කුසලාන සමාරම්භක තරගයක දී ගෝලයක් වාර්තා කළ පළමු ආදේශක ක්‍රීඩකයා ලෙස චෙරිෂෙෆ් ඉතිහාසගත වුණා.

තරගයේ 71 වන මිනිත්තුවේ දී ආදේශක ක්‍රීඩක ආර්ටෙම් ඩ්‍ස්‍යුබා ගෝලයක් වර්තා කළා. තරගයේ දෙවන වටයේ එකතු කරල ලද කාලයේ චෙරිෂෙෆ් සහ ඇලෙක්සැන්ඩර් ගොලොවින් ගෝල දෙකක් වාර්තා කරමින් රුසියාවට 5-0 ක ජයක් ගෙන ආවා. මෙය ලෝක කුසලාන ආරම්භක තරගයක වාර්තා වූ විශාලම ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වුණා.

කෙසේ වෙතත් මෙම තරගය ගුණාත්මක අතින් එතරම්ම හොඳ තරගයක් වූයේ නැහැ. දෙපිලෙන්ම විශිෂ්ට ක්‍රීඩා විලාශයක් දිස් නොවූ අතර රුසියාවට පහසු ප්‍රතිවාදියකු ලද බව පෙනෙන්නට තිබුණා.

යන්තම් ගැලවුණ උරුගුවේ

යෙකටරින්බර්ග්හි පැවති A කාණ්ඩයේ මීළඟ තරගයේ දී උරුගුවේ පිල ඊජිප්තුව මුණ ගැසුණා. ඊජිප්තුවේ ප්‍රබල ක්‍රීඩක මොහොමඩ් සලා මෙම තරගයට ක්‍රීඩා නොකිරීම එම පිළට විශාල අඩුවක් වුණා. මැයි 26 වන දා යුරෝපා චැම්පියන්ස් ලීග් අවසන් තරගයේදී ආබාධයකට ලක් වූ සලා සම්පූර්ණයෙන් සුව වී සිටි බව විශ්වාස කළ ද ඔහු තරග බිමට එවීමේ අවදානම ඊජිප්තුව ගත්තේ නැහැ. ඔවුනගේ උපාය වූයේ දැඩි ආරක්ෂක උපක්‍රමයන් භාවිතයෙන් ප්‍රබල උරුගුවේ පිල සමග තරගය ජය පරාජයෙන් තොරව නිම කිරීම යි.

උරුගුවේ හි එඩිසන් කවානි සහ ඊජිප්තුවේ මොහොමඩ් සලා තරගයෙන් පසු (Xinhua)

මෙම උත්සාහය සම්පූර්ණයෙන් ම පාහේ සාර්ථක වූ නමුත් 89 වන මිනිත්තුවේදී හොසේ මාරියා ගිමනෙස් ලබාගත් ගෝලයෙන් උරුගුවේ පිලට ජය ලැබුණා. මේ අනුව තරගාවලියේ රැඳී සිටීමට නම් ඊජිප්තුව රුසියාව සමග පැවැත්වෙන තීරණාත්මක තරගය ජයගත යුතු වුණා.

සුදුසුකම් ලැබුවෝ

උරුගුවේ තරගය පරාජය වූ ඊජිප්තුව, රුසියාවට එරෙහි තරගය අනිවාර්යයෙන් ජයගත යුතු වුණා. ජූනි 19 වනදා සාන්ත පීටර්ස්බර්ග් හි පැවති එම තරගයේ මුල් අර්ධයේදී ගෝල වාර්තා වූයේ නැහැ. නමුත් දෙවන අර්ධය ඇරඹී සුළු වෙලාවකින් ඊජිප්තු ක්‍රීඩක අහමඩ් ෆාති තම දැලටම පන්දුව යොමු කිරීමෙන් රුසියාවට ගෝල 1-0 ක වාසියක් සැලසුණා. තරගයේ 59 වන සහ 62 වන මිනිත්තුවල දී චෙරිෂෙෆ් සහ ඩ්ස්‍යුබා ලබාගත් ගෝල දෙක සමග රුසියාවේ ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම පාහේ තහවුරු වුණා. මොහොමඩ් සලා 73 වන විනාඩියේ දී දඬුවම් පහරකින් ගෝලයක් වාර්තා කළ ද එයින් රුසියාවේ ජයග්‍රහණය නැවතිය නොහැකි වුණා. ඒ අනුව මෙම තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලද පළමු කණ්ඩායම බවට රුසියාව පත් වුණා.

මොහොමඩ් සලා (මෝ සලා) සාන්ත පීටර්ස්බර්ග් රසික උළෙලෙහි පුළුල් තිරය මත (Getty Images)

උරුගුවේ සහ සෞදි අරාබිය ජූනි 20 වනදා රස්තොව්හි තරග වැදුණා. මෙම තරගය සඳහා රස්තොව් වෙත සෞදි පිල ළඟාවූ ගුවන් යානයෙහි ගින්නක් හට ගැනීම මෙවර තරගාවලියට සමගාමීව සිදු වූ ත්‍රාසජනක සිද්ධියක් වූ අතර එම ගින්නෙන් කිසිවකුට හානි සිදු නොවීම වාසනාවක්.

තම 100 වන ජාත්‍යන්තර තරගයට සහභාගී වූ සුවාරෙස් (Getty Images)

සෞදි අරාබිය සමග තරගය සුපිරි උරුගුවේ ක්‍රීඩක ලුවිස් සුවාරෙස්ගේ 100 වන ජාත්‍යන්තර පාපන්දු තරගය වූ අතර එහි දී වාර්තා වූ එකම ගෝලය ද රැස් කළේ ඔහු යි. මේ අනුව ලෝක කුසලාන තරගාවලි තුනක ගෝල වාර්තා කළ පළමු උරුගුවේ ක්‍රීඩකයා ලෙස සුවාරෙස් ඉතිහාසගත වුණා. උරුගුවේ පිලෙහි ජයග්‍රහණය සමග රුසියාව සහ උරුගුවේ දෙවන වටය වෙත සුදුසුකම් ලැබීම ස්ථිර වුණා.

අන්තිම තරග​

මේ අනුව, ඒ වන විට ද උරුගුවේ පිල සහ රුසියාව ඊළඟ වටය කරා සුදුසුකම් ලබා අවසන් වූ බැවින්, කාණ්ඩයේ අන්තිම තරග දෙක වැදගත් වූයේ කාණ්ඩයේ මුල් ස්ථානය ලබාගන්නේ කවර පිල ද යන්න තීරණය කිරීම සඳහා පමණයි. ජූනි 25 වන දා මෙම තරග දෙකම පවත්වන ලද්දේ වොල්ගා නදීබඩ නගර දෙකක යි. සමාරා නගරයේ දී රුසියාව සහ උරුගුවේ පිල ද, වොල්ගොග්‍රාඩ් නගරයේ දී ඊජිප්තුව සහ සෞදි අරාබිය ද තරග වැදුණා.

සත්කාරක රුසියාව සමග තරගය පහසුවෙන් ජය ගැනීමට උරුගුවේ පිල සමත් වුණා. මෙහි දී 10 වන විනාඩියේදී ලුවිස් සුවාරෙස් විසින් උරුගුවේ පිල වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර 23 වන මිනිත්තුවේ දී රුසියාවේ ඩෙනිස් චෙරිෂෙෆ් වෙතින් තම දැල වෙතටම එල්ල වූ පහරකින් ගෝල 2-0 ක වාසියක් දක්වා එය වර්ධනය වුණා.

ස්මොල්නිකොව්ට රතු කාඩ්පතක් (Getty Images)

මේ අතර 36 වන විනාඩියේ දී ඊගෝර් ස්මොල්නිකොව්ට රතු කාඩ්පතක් ලැබීම හේතුවෙන් (දෙවන කහ කාඩ්පත ලැබීම සමග​) රුසියානුවන්ට තරගයේ ඉතිරි කාලය ක්‍රීඩා කිරීමට සිදු වූයේ ක්‍රීඩකයින් 10 දෙනෙකු සමගයි. එහෙයින් උරුගුවේ වෙතින් එල්ල වන ප්‍රහාර දරා ගැනීම අසීරු වුණා. කෙසේ වෙතත් රුසියානු නායක සහ ගෝල රකින්නා වන ඉගෝර් අකින්ෆීෆ්ගේ ද දස්කම් හේතුවෙන් 90 වන විනාඩිය තෙක්ම උරුගුවේ පිළට තවත් ගෝල ලැබුණේ නැහැ. එම අවස්ථාවේ කොන් පහරකින් එඩිසන් කවානි ගෝලයක් ලබා ගත්තා. තරගය 3-0 ක් ලෙස උරුගුවේ පිල ජය ගත්තා.

අදහාගත නොහැකිව​. ඊජිප්තු නායක සහ දැල් රකින ක්‍රීඩක එසාම් එල්-හදාරි (Getty Images)

අනෙක් තරගයේ දී බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ඊජිප්තු පිල ජයගනු ඇතැයි යන්න යි. තරගයේ 22 වන විනාඩියේ දී මෝ සලා විසින් ලබාගත් ගෝලයත් සමග මෙම බලාපොරොත්තුව ඉහළ ගියා. නමුත් පළමු අර්ධයේ එකතු කරන ලද කාලයේ 6 වන මිනිත්තුවේ දී (45+6′) සල්මාන් අල්-ෆරාජ් ලබාගත් දඬුවම් පහර හේතුවෙන් ලකුණු සම වුණා. තරගය අවසන් වීමට සුළු මොහොතකට පෙර, දෙවන අර්ධයෙහි එකතු කරන ලද පස් වන විනාඩියේ දී (90+5′) සලෙම් අල්-දව්සාරි සෞදි අරාබිය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා.

A කාණ්ඩයේ තරග ප්‍රතිඵල සටහන සහ ප්‍රසාද ලකුණු සටහන පහත දැක්වෙනවා.

තරග ප්‍රතිඵල​
ප්‍රසාද ලකුණු සටහන​

මෙහි ප්‍රසාද ලකුණු සටහනේ GF යනු ලබා ගත් ගෝල ය​. GA යනු ලබා දුන් ගෝල වන අතර ඒවායේ වෙනස +/- මගින් දැක්වෙනවා

Cover Image – රුසියාව සහ සෞදි අරාබිය අතර සමාරම්භක තරගයේ අවස්ථාවක් (Getty Images)

Related Articles