Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 පාපන්දු ලෝක කුසලානය – C කාණ්ඩය​

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ C කාණ්ඩය යටතේ ප්‍රංශය​, ඔස්ට්‍රේලියාව​, ඩෙන්මාර්කය, සහ පේරු රාජ්‍යය තරග වැදුණා. පේරු රාජ්‍යය ලෝක කුසලානයකට සුදුසුකම් ලැබුවේ වසර 36කට පසුව යි. මීට පෙර 1970, 1978, සහ 1982 වසරවල ඔවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා. මෙම කාණ්ඩයේ දී ප්‍රංශය පළමු ස්ථානයට පැමිණෙනු ඇතැයි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වුණා.

C කාණ්ඩයේ ආරම්භක තරගය ලෙස ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාව තරග වැදුණේ ජූනි 16 වන දා කසාන් නගරයේ දී යි. මෙහි මුල් අර්ධය ගෝල රහිතව ගෙවී ගිය අතර තරගයේ 58 වන විනාඩියේ දී ඇන්ටොයින් ග්‍රීස්මන් වෙත ලබාදුන් දඬුවම් පහරකින් ඔහු ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය රැස් කළා. මෙම තීරණය ලැබුණේ වීඩියෝ සහය (VAR) උපයෝගී කරගෙන යි. ඒ අනුව ලෝක කුසලානයක වීඩියෝ සහයෙන් ලද පළමු දඬුවම් පහර වූයේ ග්‍රීස්මන් විසින් ගෝලයක් බවට පත්කර ගත් එම පහර යි. කෙසේ නමුත් එම දඬුවම් පහර ලබාදීම පිළිබඳ දැඩි විවාද ඇති වුණා.

ඔස්ට්‍රේලියා තරගයේදී ග්‍රීස්මන් (Getty Images)

නමුත් ඉන් විනාඩි හතරකට පසු මයිල් යෙඩිනැක් විසින් දඬුවම් පහරකින් ලබාගත් ගෝලය ද සමග තරගයේ ලකුණු සම වුණා. ඒ අනුව තරගය ජය පරාජයකින් තොරව අවසන් වන ලකුණු පෙනෙන්නට වූ නමුත් 81 වන විනාඩියේ දී පෝල් පොග්බා විසින් එල්ල කළ පහරක් අසිස් බෙහිච්ගේ සිරුරේ වැදී, දැල තුළට ගමන් කළා. එය සැලකුණේ බෙහිච් විසින් තම පිලට එරෙහිව වාර්තා කළ ගෝලයක් ලෙස යි. මේ අනුව ලකුණු 2-1ක් ලෙස ප්‍රංශය මෙම තරගය ජය ගත්තා.

මග හැරුණු පහර​

පේරු රාජ්‍යය සහ ඩෙන්මාර්කය තරග වැදුණේ ජූනි 16 වනදා සරන්ස්ක් නගරයේ මොර්ඩොවියා අරීනා ක්‍රීඩාංගණයේ දී යි. මෙම තරගයේ දී ඩෙන්මාර්ක දැල් රකින්නා වූ කැස්පර් ෂ්මයිකල් අවස්ථා කිහිපයකදී ම දැල වෙත එල්ල වූ ප්‍රහාර වළකමින් පේරු පිළට ගෝල ලබා ගැනීමේ අවස්ථාව අහිමි කළා. පේරු රාජ්‍යයට ලැබුණ දඬුවම් පහර අවස්ථාවක් ක්‍රිස්ටියන් කුයේවා විසින් මඟහරවා ගනු ලැබුණා. තරගයේ එකම ගෝලය වාර්තා කළේ ඩෙන්මාර්කයේ යූසෙෆ් පොල්සන් විසින් 59 වන විනාඩියේ දී යි. ඒ අනුව ඩෙන්මාර්කය මෙම තරගය ජය ගත්තා.

පේරු – ඩෙන්මාර්ක තරගය (Getty Images)

මෙම කාණ්ඩයේ දී ඩෙන්මාර්කය මීළඟට මුහුණ දුන්නේ ඔස්ට්‍රේලියාවට යි. ඒ ජූනි 21 වන දා සමාරා නගරයේ දී යි. යර්ගන්සන්ගෙන් ලැබුණ පන්දුවක් දැල වෙත යොමු කරමින් මෙම තරගයේ 7 වන විනාඩියේ දී ක්‍රිස්ටියන් එරික්සන් ගෝලයක් වාර්තා කළේ ඩෙන්මාර්කය ඉදිරියට ගෙනෙමින්. මේ අතර 38 වන විනාඩියේදී මයිල් යෙඩිනැක් ලබාගත් දඬුවම් පහරකින් ඔස්ට්‍රේලියාව ලකුණු සම කළා. මෙම ලකුණු සංඛ්‍යාව ඒ ආකාරයෙන්ම තරගය අවසානය තෙක් පැවතුණා.

ඔස්ට්‍රේලියා – ඩෙන්මාර්ක තරගය (Getty Images)

පේරු සහ ප්‍රංශය අතර තරගය ජූනි 21 වන දිනම යෙකටරින්බර්ග්හි දී පවත්වනු ලැබුණා. මෙහි දී පළමු අර්ධයේදී ප්‍රංශය මෙන්ම පේරු රාජ්‍යය ද ගෝල ලබාගැනීමේ අවස්ථා කිහිපයක්ම නිර්මාණය කළ ද දෙපාර්ශවයේම දැල් රකින්නන් විසින් එවන් අවස්ථා කිහිපයක්ම ව්‍යර්ථ කෙරුණා. නමුත් 34 වන මිනිත්තුවේ දී පෝල් පොග්බා විසින් එල්ල කෙරුණ පහරක් පේරු ක්‍රීඩකයකුගේ සිරුරේ වැදී කිලියන් ම්බැපේ වෙත ගිය අතර ඔහු ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශ පිල පෙරමුණට ගෙන ආවා. වයස අවුරුදු 19 දී ම්බැපේ ප්‍රංශය වෙනුවෙන් ලෝක කුසලානයක දී ගෝලයක් රැස් කළ ලාබාලම ක්‍රීඩකයා බවට පත් වුණා. තරගය අවසන් වූයේ ද 1-0ක් ලෙස යි. මෙම ප්‍රතිඵලය ද සමග ප්‍රංශය ඊළඟ වටයට සුදුසුකම් ලැබූ අතර, පේරු රාජ්‍යය තරගාවලියෙන් ඉවත විසි වුණා.

පේරු සහ ප්‍රංශය අතර තරගය (Getty Images)

මෙම කාණ්ඩයේ අවසන් තරග දෙක පවත්වන ලද්දේ ජූනි 26 වන දා යි. මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද ඩෙන්මාර්කය සහ ප්‍රංශය අතර තරගය බලාපොරොත්තු වූ තරම් උද්වේගකර වූයේ නැහැ. මෙහි දී දෙපාර්ශවයටම ලකුණු නොලැබුණ අතර, මෙම තරගාවලියේ කිසිදු ගෝලයක් වාර්තා නොවූ පළමු තරගය ලෙස එය අවසන් වුණා.

ප්‍රංශය සහ ඩෙන්මාර්කය මුණ ගැසුණ අවස්ථාව (Getty Images)

සෝචිහි පවත්වන ලද අනෙක් තරගයේ දී ඔස්ට්‍රේලියාව​ සහ පේරු පිල මුණ ගැසුණා. මේ වන විට ද පේරු පිල තරගාවලියෙන් ඉවත විසිව තිබුණ අතර මෙම තරගය ජය ගත්තේ නම් ඔස්ට්‍රේලියාවට මීළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමේ සුළු ඉඩක් තිබුණා. නමුත් මෙම තරගය ජයගත්තේ පේරු පිල විසින්. තරගයේ 18 වන විනාඩියේදී අන්ද්‍රේ කරෙයියෝ සහ 50 වන විනාඩියේ දී හොසේ ගෙරේරෝ පේරු වෙනුවෙන් ගෝල වාර්තා කළා. මේ අනුව කණ්ඩායම් දෙකම ලෝක කුසලානයෙන් ඉවත්ව ගියා.

C කාණ්ඩයේ ප්‍රතිඵල සහ ප්‍රසාද ලකුණු සටහන ඔබට පහතින් දැකගත හැකියි.

ප්‍රතිඵල සටහන​
ප්‍රසාද ලකුණු සටහන​

මෙහි යනු ලබාගත් ගෝල ද යනු ලබා දුන් ගෝල ද වන අතර +/- යන්නෙන් එහි වෙනස දැක්වේ.

Cover Image: ඔස්ට්‍රේලියා – ඩෙන්මාර්ක තරගය නරඹන රසිකයෝ (Getty Images)

Related Articles