Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 පාපන්දු ලෝක කුසලානය – D කාණ්ඩය​

2018 පාපන්දු ලෝක කුසලානයේ D කාණ්ඩය බෙහෙවින් කතාබහට ලක් වූ කාණ්ඩයක් වුණා. එක් අතකින් සුපිරි ක්‍රීඩක ලියොනල් මෙස්සිගේ නායකත්වයෙන් යුතු වූ ආර්ජන්ටිනාව එම කාණ්ඩය යටතේ තරග වැදීමත්, අනෙක් අතින් අයිස්ලන්තය එම කාණ්ඩය යටතේ ක්‍රීඩා කිරීමත් මීට​ හේතු වුණා. ජනගහනය 350,000ක් පමණ වන අයිස්ලන්‍තය පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ, කුඩාම ජනගහනයකින් යුතු රාජ්‍යය යි.

මෙම රටවල් දෙකට අමතරව නයිජීරියාව සහ ක්‍රොඒෂියාව ද එම කාණ්ඩය යටතේ ක්‍රීඩා කළා. මෙයින් ක්‍රොඒෂියා පිල ද ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකුගෙන්ම යුතු වුණා.

අයිස්ලන්තය වික්‍රමය​

කාණ්ඩයේ ආරම්භක තරගය ලෙස ජූනි 16 වන දා ආර්ජන්ටිනාව සහ අයිස්ලන්තය මුණ ගැසුණේ මොස්කව්හි ඔක්ට්ක්‍රිටියේ ක්‍රීඩාංගණයේ දී යි. එම තරගයේ අගුවේරෝ විසින් 19 වන විනාඩියේ දී ආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ ද ඇල්ෆ්‍රඩ් ෆින්බොගාසන් විසින් 23 වන විනාඩියේ දී ලකුණු සම කරනු ලැබුණා. දෙවන අර්ධයේ දී ලියොනල් මෙස්සීට ලැබුණ දඬුවම් පහරක් අයිස්ලන්ත දැල් රකින​ හොල්ඩෝර්සන් විසින් වළකන ලද අතර ලකුණු සංඛ්‍යාව 1-1ක් ලෙස තරගය නිම වූයේ ලොව පුරා පාපන්දු රසිකයන් පුදුම කරවමින්.

අයිස්ලන්තයේ ෆින්බොගාසන් අර්ජන්ටිනාවට එරෙහිව (Getty Images)

මේ අතර ක්‍රොඒෂියාව සහ නයිජීරියාව අතර තරගය 2-0ක් ලෙස ජයගත්තේ ක්‍රොඒෂියාව යි. මෙහි දී එටේබෝගේ පාදයක දැවටී නයිජීරියානු දැල වෙතටම ඇදී ගිය ගෝලයක් හේතුවෙන් 32 වන විනාඩියේ දී ක්‍රොඒෂියාව ඉදිරියට පැමිණි අතර 71 වන විනාඩියේ දී දඬුවම් පහරකින් ලූකා මොඩ්‍රිච් ක්‍රොඒෂියාවේ දෙවන ගෝලය වාර්තා කළා. මෙම තරගයේ දී නයිජීරියාව බලාපොරොත්තු වූ දස්කම් දැක්වූයේ නැති බව විචාරකයන්ගේ පොදු පිළිගැනීම වුණා.

ක්‍රොඒෂියාව සහ නයිජීරියාව අතර තරගය​ (Daily Post Nigeria)

ආර්ජන්ටිනාවේ ක්‍රීඩා විලාශය දැඩි දෝෂ දර්ශනයට ලක් වූයේ ජූනි 21 වන දා නිෂ්නි නොව්ගොරොද් නගරයේ පැවති ක්‍රොඒෂියා-ආර්ජන්ටිනා තරගයේ දී යි. මෙහි දී ආර්ජන්ටිනාව ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනකුම විවේක ගන්වා තිබුණා. එමෙන්ම ඔවුනගේ ක්‍රීඩා විලාශය සහ උපක්‍රම දැඩි ලෙස විවේචනයට බඳුන් වුණා. පළමු අර්ධය ගෝල රහිතව අවසන් වුව ද​, දෙවන අර්ධය සම්පූර්ණයෙන්ම පාලනය කළ ක්‍රොඒෂියාව ගෝල තුනක් ලබා ගත්තා​. ලූකා මොඩ්‍රිච් ලබාගත් ගෝලය තරගාවලියේම​ සුපිරි ගෝලයක් වුණා.

වොල්ගොග්‍රාද්හි පවත්වන ලද නයිජීරියා – අයිස්ලන්ත තරගය 2-0ක් ලෙස ජය ගනිමින් නයිජීරියාව තරගාවලියේ රැඳී සිටීම පිළිබඳ සිය බලාපොරොත්තු අලුත් කරගත්තා. පළමු අර්ධයේ දී දෙපිළටම ගෝල නොලැබුණ නමුත් දෙවන අර්ධයේ දී නයිජීරියාව වෙනුවෙන් අහමඩ් මූසා ගෝල දෙකක් ලබා ගත්තා. මේ අතර 83 වන විනාඩියේ දී අයිස්ලන්තයේ සිගුර්ඩ්සන් දඬුවම් පහරක් අසාර්ථක කරගත්තා.

අහමඩ් මූසා අයිස්ලන්තයට එරෙහිව ගෝල දෙකක් ලබා ගත්තා (Getty Images)

යන්තම් ගැලවුණ ආර්ජන්ටිනාව​

මේ අනුව කාණ්ඩයේ අවසන් තරග කරා එනවිට එක් අතකින් ආර්ජන්ටිනාව තරගාවලියෙන් ඉවතට විසි වීමේ අවදානමකට මුහුණ දී තිබුණා. ඔවුන් තරග දෙකකදී වාර්තා කර තිබුණේ එක ප්‍රසාද ලකුණක් පමණයි. යම් හෙයකින් නයිජීරියාව ඔවුන් පරාජය කළා නම් හෝ ඔවුන් සමග තරගය ජය පරාජයෙන් තොරව නිම කළා නම් ආර්ජන්ටිනාව පළමු වටයෙන්ම ඉවත විසි වන්නට නියමිතව තිබුණා.

ආර්ජන්ටිනා – නයිජීරියා තරගය (Reuters)

කෙසේ වෙතත් නයිජීරියා තරගයේදී ආර්ජන්ටිනාව වඩා හොඳ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා. තරගයේ 14 වන විනාඩියේදී මෙසී ලබාගත් ගෝලය මෙවර ලෝක කුසලානයේ 100 වන ගෝලය බවට පත් වුණා.

තරගයේ 53 වන විනාඩියේ දී නයිජීරියාවේ මූසා දඬුවම් පහරකින් ගෝලයක් ලබාගත් අතර ඒ අනුව ඔවුනට නැවතත් ඊළඟ වටයට යෑමේ බලාපොරොත්තුවක් ලැබුණා. නමුත් 86 වන විනාඩියේ දී මාර්කස් රෝයෝ ඒ බලාපොරොත්තු සුන් කළේ ආර්ජන්ටිනාවට 2-1ක ජයග්‍රහණයක් ගෙනෙමින්.

අනෙක් අතින්, යම් හෙයකින් අයිස්ලන්තය, ක්‍රොඒෂියාව සමග තරගය ජය ගත්තේ නම් ඔවුනට ද ඊළඟ වටය කරා යාමේ ඉඩක් ලැබීමට හැකියාව තිබුණා. මෙම තරගය ක්‍රොඒෂියාව ආරම්භ කළේ සාමාන්‍යයෙන් ඔවුන් තරග අරඹන ක්‍රීඩකයන් එකොළොස් දෙනාගෙන් නව දෙනෙකුම වෙනස් කරමින්. සාමාන්‍ය එකොළොස් දෙනා අතුරින් තරග ආරම්භ කළේ අයිවන් පෙරිසිච් සහ නායක ලූකා මොඩ්‍රිච් පමණයි. මෙමගින් ක්‍රොඒෂියානු ක්‍රීඩකයන් වැඩි දෙනකුට ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසුණ අතර ඔවුනගේ තත්ත්වය අවබෝධ කර ගැනීමට ද කළමණාකාරීත්වයට අවස්ථාව ලැබුණා. මෙම තරගයේ දී ක්‍රොඒෂියාව 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේ 90 වන විනාඩියේ පෙරිසිච් ලබාගත් ගෝලයක් ද සමග යි.

D කාණ්ඩයේ තරග ප්‍රතිඵල සටහන සහ ප්‍රසාද ලකුණු සටහන පහත දැක්වෙනවා.

තරග ප්‍රතිඵල​
ප්‍රසාද ලකුණු සටහන​

මෙහි ප්‍රසාද ලකුණු සටහනේ GF යනු ලබා ගත් ගෝල ය​. GA යනු ලබා දුන් ගෝල වන අතර ඒවායේ වෙනස +/- මගින් දැක්වෙනවා

Cover Image: මෙස්සිගේ අයිස්ලන්තයට එරෙහි දඬුවම් පහර අසාර්ථක වේ (Getty Images)

Related Articles