Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 පාපන්දු ලෝක කුසලානය – E කාණ්ඩය​

පාපන්දු ලෝක කුසලානයේ E කාණ්ඩය යටතේ බ්‍රසීලය​, සර්බියාව​, කොස්ටා රිකාව, සහ ස්විට්සර්ලන්තය මෙවර තරග වැදුණා. බ්‍රසීලයෙන් ප්‍රබල කණ්ඩායමක් සහභාගී වූ අතර වැඩි දෙනෙකුගේ අවධානය යොමු නොවූව ද සර්බියාවට ද හොඳ මැදපෙළ සහ ආරක්ෂක ක්‍රීඩකයින් ගෙන් යුත් කණ්ඩායමක් සිටියා. මේ අතර ලොව හොඳම දැල් රකින්නකු වන කේලර් නවාස් කොස්ටා රිකා පිල නියෝජනය කරමින් ලෝක කුසලානයට සහභාගී වුණා.

ජූනි 17 වනදා සමාරා නගරයේ දී කොස්ටා රිකාව සහ සර්බියාව අතර පවත්වන ලද තරගයේ වැඩි ගෞරවය දිනා ගත්තේ සර්බියාව යි. ඔවුනට ගෝල වාර්තා කළ හැකි අවස්ථා කිහිපයක්ම ලැබුණා. නමුත් තරගයේ එකම ගෝලය වාර්තා වූයේ 56 වන විනාඩියේ දී සර්බියා නායක ඇලෙක්සැන්ඩර් කොලාරොව් විසින් වාර්තා කළ නිදහස් පහරකින්.

බ්‍රසීලය මෙවර සහභාගී වූ පළමු තරගය ජූනි 17 වනදාම පවත්වන ලද්දේ රස්තොව් නගරයේ දී (දොන් නදිය මත රස්තොව්). මෙහි 20 වන විනාඩියේ දී කුටීනියෝ විසින් එල්ල කළ මනරම් පහරකින් බ්‍රසීලය පෙරමුණ ගත්තා. ඉන් පසු 50 වන විනාඩියේ දී ලද කොන් පහරකින් ස්විට්සර්ලන්තය ගෝලයක් වාර්තා කළා. එය දැල වෙත යොමු කළේ ස්ටීවන් සුබර් විසින්. දෙවන අර්ධයේ දී බ්‍රසීලය අවස්ථා කිහිපයකදීම ගෝල වාර්තා කිරීමට උත්සාහ කළ ද ඒ සියළුම අවස්ථා ස්විස් දැල් රකින යාන් සොමර් විසින් ව්‍යර්ථ කෙරුණෙන් ලකුණු සංඛ්‍යාව 1-1ක් ලෙස තරගය නිම වුණා. මෙවර සහභාගී වන ප්‍රබලම කණ්ඩායමක් වන බ්‍රසීලයට එරෙහිව ලැබූ මෙම ප්‍රතිඵලය ස්විස් පිළට ඉතා වැදගත් වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ.

කොස්ටා රිකාවට එරෙහිව කුටීනියෝගේ ගෝලය (AP)

බ්‍රසීලය සහභාගී වූ මීළඟ තරගය පවත්වන ලද්දේ ජූනි 22 වන දා සාන්ත පීටර්ස්බර්ග් හි දී. මෙය බ්‍රසීලයට බරපතල බලාපොරොත්තු කඩවීමක් නොවී ගැලවුණේ අවසාන මොහොතේ දී බව කිව යුතු යි. තරගය පුරාවටම ඔවුන් ගෝල ලබාගැනීමට කරන ලද උත්සාහයන් කේලර් නවාස් විසින් ව්‍යර්ථ කළා. දෙවන අර්ධයේ 90 වන මිනිත්තුව වන විට ද ලකුණු සංඛ්‍යාව වූයේ 0-0ක්. නමුත් එකතු කරන ලද කාලයේ දී 90+1′ මිනිත්තුවේ කුටීනියෝ සහ 90+6′ මිනිත්තුවේ දී නේමාර් ලබාගත් ගෝල දෙකකින් බ්‍රසීලය 2-0ක් ලෙස තරගය ජය ගත්තේ කොස්ටා රිකා පිල තරගාවලියෙන් ඉවත් කරමින්.

රාජාලි කෝන්තරය​

ස්විට්සර්ලන්තය සහ සර්බියාව අතර තරගය පවත්වන ලද්දේ කලිනින් ග්‍රාද් නගරයේ දී යි​. ජුනි 22 වන දා රාත්‍රියේ පවත්වන ලද මෙම තරගයේ පළමු ගෝලය වාර්තා කළේ 5 වන විනාඩියේ දී සර්බියාවේ ඇලෙක්සැන්ඩර් මිට්‍රොවිච් විසින්. තරගයේ පළමු භාගය ද මෙසේ 1-0ක් ලෙස අවසන් වුණා.

ෂාකා සහ ෂකීරි රාජාලි සලකුණ පෙන්වති (Sky News)

දෙවන අර්ධයේ දී ස්විට්සර්ලන්තය ගෝල දෙකක් ලබාගෙන පෙරමුණට පැමිණියා. ඒ 52 වන මිනිත්තුවේ දී ග්‍රැනිට් ෂාකා විසින් ද 90 වන මිනිත්තුවේ දී ෂර්ඩාන් ෂකීරි විසින් ද ලබාගත් ගෝල දෙක ද සමග යි. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ඇල්බේනියානු පවුල්වල උපන් ක්‍රීඩකයන් වන අතර ඔවුන් දෙදෙනාම මෙම ගෝල දෙක වාර්තා කිරීමෙන් පසු ඇල්බේනියානු ධජයේ දිස්වන රාජාලි සලකුණ සිය දෑතින් පෙන්වා සිටියා. මේ පිළිබඳව සර්බියාව විසින් ලෝක පාපන්දු ෆෙඩරේශනයට පැමිණිලි කළ අතර එම ආයතනය විසින් මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ස්විස් ෆ්‍රෑන්ක් 10,000 බැගින් ද ස්විස් නායකයාට ස්විස් ෆ්‍රෑන්ක් 5,000ක් ද දඩ නියම කළා.

ඇල්බේනියාව සහ කොසොවෝ රාජ්‍යය මෙයට ප්‍රතිචාර දැක්වූයේ දඩ මුදල් එකතු කිරීම සඳහා බැංකු ගිණුම් විවෘත කරමින්.

දැල් රකින්නාගෙන් ගෝලයක්

ජූනි 27 වන දා මෙම කාණ්ඩයේ අවසන් තරග දෙක පවත්වන ලද්දේ නිෂ්නි නොව්ගොරොද් සහ මොස්කව් (ඔක්ට්ක්‍රිටියේ ක්‍රීඩාංගණයේ) නගරවල දී යි. මොස්කව්හි දී බ්‍රසීලය 2-0 ක් ලෙස සර්බියාව පරාජය කිරීමට සමත් වූ අතර ස්විට්සර්ලන්තය සහ කොස්ටා රිකාව අතර නිෂ්නි නොව්ගොරොද් හි පවත්වන ලද තරගය 2-2ක් ලෙස ලකුණු සම වුණා. ජය පරාජයෙන් තොරව තරගය නිම වූ හෙයින් ස්විට්සර්ලන්තයට ඊළඟ වටයට සුදුසුකම් ලැබීමට හැකි වුණා.

යාන් සමර්ගේ ගෝලය (AP)

මෙම තරගයේ අවසන් ගෝලය විශේෂිත වූ එකක්. එහිදී කොස්ටා රිකාවට දඬුවම් පහරක් ලැබුණ අතර පන්දුව දැලෙහි තිරස් දණ්ඩෙහි වැදී පොළා පැන​, ස්විස් දැල් රකින යාන් සමර්ගේ සිරුරේ වැදී ආපසු දැල කරා ඇදී ගියා. ඒ අනුව මෙම ගෝලය සටහන් වූයේ සමර් විසින් තම පිළට එරෙහිව ලබාගත් ගෝලයක් ලෙස යි.

E කාණ්ඩයේ තරග ප්‍රතිඵල සටහන සහ ප්‍රසාද ලකුණු සටහන පහත දැක්වෙනවා.

තරග ප්‍රතිඵල​
ප්‍රසාද ලකුණු සටහන​

මෙහි ප්‍රසාද ලකුණු සටහනේ GF යනු ලබා ගත් ගෝල ය​. GA යනු ලබා දුන් ගෝල වන අතර ඒවායේ වෙනස +/- මගින් දැක්වෙනවා

Cover Image: කොස්ටා රිකාවට එරෙහි තරගයේ නේමාර් (Reuters)

Related Articles