Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 පාපන්දු ලෝක කුසලානය – H කාණ්ඩය

2018 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ඉංග්‍රීසි අකාරාදී පිළිවෙලට ගත් විට අවසන් කාණ්ඩය වූ H කාණ්ඩයට මහාද්වීප හතරකින් රටවල් හතරක් ඇතුලත්ව තිබීම විශේෂත්වයක් වුණා. මේ අනුව යුරෝපා රටක් වන පෝලන්තය, ආසියාතික ජපානය​, දකුණු ඇමරිකාවේ කොළොම්බියාව, සහ අප්‍රිකානු රාජ්‍යයක් වන සෙනෙගාලය මෙම කාණ්ඩය යටතේ තරග වැදුණා.

තරගාවලිය ආරම්භ වන විට පෝලන්තය පිළිබඳ විශාල බලාපොරොත්තු දැල්වී තිබුණේ ජර්මනියේ බුන්ඩස්ලීගා තරගාවලියේ සුපිරිතම ක්‍රීඩකයකු වන රොබර්ට් ලෙවන්ඩොව්ස්කි එම පිළට නායකත්වය ලබා දීම හේතුවෙන්. කෙසේ නමුත් මෙම රටවල් හතරම ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමේ හැකියාව ඇති කණ්ඩායම් වුණා.

මේ බව කාණ්ඩයේ පළමු තරග දෙකෙන්ම පැහැදිලි වුණා. වැඩි දෙනෙකු බලාපොරොත්තු නොවූ අයුරින් ජපානය හමුවේ කොළොම්බියාවත්, සෙනෙගාලය හමුවේ පෝලන්තයත් පරාජයට පත් වුණා.

ජපානය සහ කොළොම්බියාව අතර තරගය පවත්වන ලද්දේ සරන්ස්ක් නගරයේ මොර්ඩෝවියා අරීනා ක්‍රීඩාංගණයේ දී යි. මීට පෙර 17 වතාවක ආසියාතික කණ්ඩායම් ලෝක කුසලානයේ දී දකුණු ඇමරිකානු කණ්ඩායම් මුණගැසී තිබුණ ද ඉන් එක් වතාවකදීවත් ආසියාතික පිලක් ජයගෙන තිබුණේ නැහැ. නමුත් මෙවර එම තත්ත්වය වෙනස්වීමට නියමිත වුණා.

තරගයේ තුන්වන මිනිත්තුවේ ෂින්ජි කගාවා එල්ල කළ පහරක් කාර්ලෝස් සැන්චෙස් විසින් සිය අතින් වැළැක්වූ අතර මේ අනුව ගෝලය අසල දී පන්දුව අතින් ඇල්ලීමෙන් සැන්චෙස්ට රතු කාඩ්පතක් සහ කගාවාට දඬුවම් පහරක් ලැබුණා. එම පහර සාර්ථක කරගත් කගාවා පළමු ගෝලය ජපානය වෙනුවෙන් ලබාගත්තා.

තරගයේ 39 වන විනාඩියේ හුවාන් ෆර්නැන්ඩෝ කොන්තේරෝ කොළොම්බියා පිල වෙනුවෙන් ගෝලයක් ලබා ගත්තේ නිදහස් පහරකින්. මේ අනුව කොළොම්බියාව වෙනුවෙන් ලෝක කුසලාන දෙකක දී ගෝල වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙස කොන්තේරෝ ඉතිහාසගත වුණා.

ජපන් – කොළොම්බියා තරගය (Reuters)

නමුත් එය ඔහුගේ පිලට ජයග්‍රහණය ගෙන ඒමට ප්‍රමාණවත් වූයේ නැහැ. 73 වන විනාඩියේ ජපානයේ යුයා ඔසාකෝ මනරම් හෙඩර් පහරක් මගින් ජපානය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා.

පෝලන්තය සහ සෙනෙගාලය තරග වැදුණේ මොස්කව්හි ඔක්ටික්‍රියේ (ස්පාර්ටක් අරීනා) ක්‍රීඩාංගණයේ දී යි. මෙහිදී සෙනෙගාලයෙන් පෝලන්තය වෙත ප්‍රබල පීඩනයක් එල්ල වනු දැකිය හැකි වුණා. තරගයේ 37 වන විනාඩියේ දී ඉද්‍රිසා ගුඒයේ ගේ පහරක් පෝලන්තයේ තියාගෝ චියොනෙක්ගේ පයේ දැවටී පෝලන්ත දැල වෙත ඇදී ගියේ සෙනෙගාලයට පළමු ගෝලය ලබා දෙමින්. ඒ අනුව 1-0 ක් ලෙස පළමු අර්ධයේ නිමාව සිදු වනවිට ලකුණු සංඛ්‍යාව වාර්තා වුණා.

සෙනෙගාලය සමග තරගය පරාජය වීමෙන් පසු රොබර්ට් ලෙවන්ඩොව්ස්කි ඔහුගේ බිරිඳ විසින් අස්වසනු ලැබූ අවස්ථාව කැමරාවට හසු වුණා (Xinhua)

තරගයේ 60 වන විනාඩියේ සෙනෙගාලයේ ම්බායේ නියෑන්ග් පෝලන්ත ආරක්ෂක ක්‍රීඩකයන් පසු කරමින්, ඉදිරියට දිව ආ දැල් රකින්නාට ද අල්ලා ගත නොහැකි ලෙස පන්දුව යොමු කරමින්, සියල්ලන් අභිබවා ගොස් ගෝලයක් වාර්තා කළේ සෙනෙගාලය තවත් ඉදිරියට ගෙන යමින්. ග්‍රෙගෝර් ක්‍රයිචොවියැක් 86 වන මිනිත්තුවේදී ලබාගත් මනරම් හෙඩර් පහරකින් පෝලන්තය පළමු ගෝලය වාර්තා කළත් ඔවුනට තවත් ගෝලයක් ලබා ගැනීමට තරගයේ මීළඟ මිනිත්තු කිහිපය තුළ හැකි වූයේ නැහැ.

කහ කාඩ්පත්

ජපානය සහ සෙනෙගාලය යෙකටරින්බර්ග් නගරයේදී තරග වැදුණේ ජූනි 24 වන දා යි. මෙහිදී තරගයේ 11 වන විනාඩියේ දී ගෙන්කි හරගුචි අතින් සිදු වූ වරදක් අවසරයෙන් සෙනෙගාල නායක සාදියෝ මානේ සිය පිළ වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. තරගයේ 34 වන විනාඩියේ දී තකාෂි ඉනුයි විශිෂ්ට ගෝලයක් ලබාගනිමින් ලකුණු සම කළ අතර පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 1-1ක් වශයෙන්.

දෙවන අර්ධය මුල දී ජපානය දෙසින් සැලකිය යුතු පීඩනයක් එල්ල වූ නමුත් එය ගෝල බවට හරවා ගැනීමට ජපානයට නොහැකි වුණා. මීළඟ ගෝලය 71 වන විනාඩියේ දී වාර්තා කළේ සෙනෙගාලයේ මූසා වගේ විසින්. එය 19 හැවිරිදි වගේගේ පළමු අන්තර්ජාතික ගෝලය ලෙස වාර්තා වුණා. නමුත් ඉන් විනාඩි හතකට පසු කෙයිසුකේ හොන්ඩා ලකුණු සම කළා. තරගය 2-2 ක් ලෙස නිම වුණා.

ජපානය සහ සෙනෙගාලය අතර තරගය (fifa.com)

මෙම තරගයේ දී සෙනෙගාලයට කහ කාඩ්පත් තුනක් ලැබුණ අතර මෙය පසුවට ඉතා වැදගත් සාධකයක් බවට පත්වුණා.

මේ අතර කසාන් නගරයේදී එදිනම පවත්වන ලද පෝලන්තය සහ කොළොම්බියාව අතර තරගයේ දී පෝලන්ත පිල අතිශයින්ම ඇල් මැරුණු ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා. කොළොම්බියාව පහසුවෙන්ම ගෝල 3-0ක් ලෙස එම තරගය ජය ගත්තේ පෝලන්තය තරගාවලියෙන් ඉවත් කරමින්.

කොළොම්බියාවේ හොසේ පැකර්මාන් පෝලන්තයට එරෙහි තරගයෙදී (Getty Images)

H කාණ්ඩයේ අවසන් තරග දෙක පවත්වන ලද්දේ වොල්ගොග්‍රාද් සහ සමාරා නගරවල එකම වෙලාවට ය​. ඒ අනුව වොල්ගොග්‍රාද්හි දී සවස 5ට සහ සමාරාහි දී සවස 6ට තරග ආරම්භ වුණා (නගර දෙක අතර කාලය පැයකින් වෙනස් නිසා). ජපානය සහ පෝලන්තය අතර තරගය වොල්ගොග්‍රාද්හි දී පැවැත්වූ අතර 59 වන මිනිත්තුවේදී යාන් බෙඩ්නරෙක් ලබාගත් ගෝලයකින් පෝලන්තය එම තරගය ජය ගත්තා.

තරගය අවසන් වන විට ඊට සැතපුම් 500 ක් පමණ එපිටින් සමාරාවේ පැවැත්වෙන තරගයේ අවසන් අවස්ථා එළඹෙමින් තිබුණා. ඒ වනවිට කොළොම්බියාව 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි අතර අන්තිම මොහොතේ හෝ සෙනෙගාලයට ගෝලයක් ලැබුණි නම් සෙනෙගාලය ඊළඟ වටය කරා සුදුසුකම් ලැබීමට නියමිත වුණා. ලකුණු සංඛ්‍යාව 1-0 ලෙස නිම වී නම් සෙනෙගාලය සහ ජපානය අතර ප්‍රසාද ලකුණු සටහන සර්වසම වන බැවින් (ඔවුන් අතර තරගය ද ජය පරාජයෙන් තොරව නිම වූ හෙයින්) එක් එක් පිල ලැබූ කහ කාඩ්පත් සංඛ්‍යාව අනුව වඩා සාධාරණ ක්‍රීඩා විලාශයක් පෙන්වීම හේතුවෙන් ජපානය ඊළඟ වටයට සුදුසුකම් ලැබීමට නියමිත වුණා. අවසානයේ සිදු වූයේ ද එය යි. ඒ අනුව සෙනෙගාලය තරගාවලියෙන් ඉවත්ව ගියේ කහ කාඩ්පත් දෙකක් ජපානයට වඩා ලබාගෙන තිබූ හෙයින්.

සෙනෙගාල් – කොළොම්බියා තරගය (fifa.com)

මෙම ලෝක කුසලානයේ තවත් විශේෂිත සිදු වීමක් වූයේ සුපිරි ක්‍රීඩක රොබර්ට් ලෙවන්ඩොව්ස්කි කිසිදු ගෝලයක් වාර්තා නොකිරීමයි. මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කළ​ ආර්ජන්ටිනාව සහ පෘතුගාලය ද කණ්ඩායම් වශයෙන් එතරම් හොඳ දස්කම් නොදැක්වූ නමුත් ඔවුනගේ සුපිරි ක්‍රීඩකයන් වන ලියොනල් මෙස්සි සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හොඳින් ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔවුනට ඊළඟ වටයට මං විවර වුණා. ලෙවන්ඩොව්ස්කි මෙම ලෝක කුසලානයෙදී සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා.

H කාණ්ඩයේ තරග ප්‍රතිඵල සටහන සහ ප්‍රසාද ලකුණු සටහන පහත දැක්වෙනවා.

තරග ප්‍රතිඵල​
ප්‍රසාද ලකුණු සටහන​

මෙහි ප්‍රසාද ලකුණු සටහනේ GF යනු ලබා ගත් ගෝල ය​. GA යනු ලබා දුන් ගෝල වන අතර ඒවායේ වෙනස +/- මගින් දැක්වෙනවා.

Cover Image: සෙනෙගාලය සහ පෝලන්තය අතර තරගයේදී තියාගෝ චියොනෙක් සහ ඇල්ෆ්‍රඩ් න්ඩියායේ පන්දුව​ සඳහා තරග වදිති (Getty Images)

Related Articles