Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2006න් පසු ඉතාලියට සාපයක් වූ පාපන්දු ලෝක කුසලානය

ලොව පාපන්දු ක්‍රීඩා කරන දැවැන්තයන් කවුද කියා සෙවීමට ගියහොත් ඉතාලිය යන නාමය එහි ඉදිරියෙන් ම පවතිනවා. ඔවුන් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දස්කම් අතරින් මුල් රටවල් ත්‍රිත්වයට පහසුවෙන් ම ඇතුළත් කළ හැකි යි. ලෝක කුසලාන 4ක් ජයග්‍රහණය කළ ඉතාලිය එහිදී දෙවැනි වන්නේ බ්‍රසීලයට පමණ යි. ඔවුන්ට අමතරව ජර්මනියද ලෝක කුසලාන 4ක හිමිකරුවන්.

 ඉතාලිය වර්තමාන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ගත කරන්නේ හොඳ සමයක් නම් නොවේ. 2006 වසරේ ලෝක ශූරයන් වීමෙන් පසු ලෝක කුසලාන පාපන්දුව පිටියේ ඉතාලිය අසාර්ථක වුණා. පිට පිට දෙවන වතාවට ඉතාලිය පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා නොගත් අතරම එවැන්නක් ඉතාලි පාපන්දු ඉතිහාසයේ වාර්තා වූයේ පළමු වතාවටයි.

ලෝක කුසලාන ඉතිහාසය සැකෙවින්

ඉතාලිය පාපන්දු ලෝක කුසලානයක් සඳහා මුලින් ම ක්‍රීඩා කරන්නේ 1934 වර්ෂයේදී යි. ඔවුන් එම අවස්ථාවේදී ම ලෝක ශූරතාව දිනා ගත්තා. එය සටහන් වූයේ යුරෝපා රටක් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව ලෙස යි. ඉන් පසුව 1938 දී ද ඔවුන් ලෝක කුසලානය ජයග්‍රහණය කරමින් දෙවතාවක් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ පළමු රට බවට ද පත් වුණා.

ලෝක කුසලානවල දී ඔවුන් ඉනික්බිති පසු කළේ තරමක් අසාර්ථක සමයක්.

ඉතාලිය 2006 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ අවස්ථාව
ඉතාලිය 2006 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ අවස්ථාව- www.espn.com

අනතුරු ව 1970 වර්ෂයේ දී ඉතාලිය ලෝක කුසලාන අවසන් මහා තරගයකට නැවත එක් වුවත් එම තරගය ඉතාලිය, බ්‍රසීලය හමුවේ ගෝල 4-1ක් ලෙසින් පරාජයට පත් වුණා. 1982 වර්ෂයේදී බටහිර ජර්මනිය පරාජයට පත් කරන ඉතාලිය තෙවන වතාවටත් ලෝක ශූරතාව දිනා ගත්තා. 1994 වසරේ නැවත අවසන් මහා තරඟය බ්‍රසීලයට පරාජය වන ඔවුන් 2006 වසරේ ප්‍රංශය පරාජය කරමින් සිව්වන ලෝක කුසලානය ජයග්‍රහණය කළා. 1970 සිට 2006 වනතෙක් සෑම වසර 12 කට වරක් ම ඉතාලිය පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයක් නියෝජනය කිරීමත් විශේෂත්වයක්.

ඉතාලිය සමස්තයක් වශයෙන් ලෝක කුසලාන 4ක්, අනුශූරතා 2ක්, එක් තෙවන ස්ථානයක් සහ එක් සිව්වන ස්ථානයක් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා කර තිබෙනවා. මෙය ඉතාමත් ම හොඳ වාර්තාවක්. 2006 දී පාපන්දු ලෝක ශූරතාව දිනා ගැනීමෙන් අනතුරු ව ඉතාලිය ශාපයකට ගොදුරු වූ බවට පාපන්දු ප්‍රේක්ෂකයන් ප්‍රකාශ කර සිටිනවා. මෙයට හේතුව වන්නේ ඔවුන් ලෝක කුසලාන තුළ පෙන්වන අනපේක්ෂිත අසාර්ථකත්වය යි.

2010 දකුණු අප්‍රිකානු ලෝක කුසලානය

2006 වසරේ ලෝක ශූරයන් ලෙසින් ඉතාලිය, 2010 පාපන්දු ලෝක කුසලානයට එක් වුණා. F කාණ්ඩයෙන් තරග වැදුණු ඉතාලියට අමතර ව එම කාණ්ඩයේ පැරගුවේ, නවසීලන්තය සහ ස්ලෝවැකියාව තරඟ කළා. 2006 ලෝක කුසලානය ක්‍රීඩා කළ බොහොමයක් ක්‍රීඩකයන් 2010 තරගාවලිය ද නියෝජනය කළ නිසා ඉතාලිය පහසුවෙන් ම මීළඟ වටයට පිවිසෙන බව බොහෝ දෙනා එවර තරගාවලිය ඇරඹීමට පෙර සිට ම විශ්වාස කළා.

තම පළමු තරගය පැරගුවේ සමඟින් 1-1 ලෙස අවසන් කරගන්නා ඉතාලිය කාණ්ඩයේ පහසුම ප්‍රතිවාදීන් ලෙසින් සලකා සිටි නවසීලන්ත තරගය ද අනපේක්ෂිත ලෙසින් ගෝල 1-1ක් ලෙස සම කර ගත්තා. මේ නිසා තරග දෙකක් අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු 2ක් පමණක් ලබා ඉතාලිය අවදානම් අඩියකට පිවිස සිටියා.

2010 පාපන්දු ලෝක කුසලානයේ අනපේක්ෂිත අවසානයක් කරා ගමන් කරමින්
2010 පාපන්දු ලෝක කුසලානයේ අනපේක්ෂිත අවසානයක් කරා ගමන් කරමින් – www.zimbio.com

තීරණාත්මක අවසන් කාණ්ඩ වටයේ තරගය ස්ලෝවැකියාව සමඟින් ගෝල 3-2ක් ලෙසින් පරාජයට පත් වීමත් සමඟ ම ඉතාලිය F කාණ්ඩයේ අවසන් ස්ථානයට පත් වුණා. සියලුම දෙනාගේ බලාපොරොත්තු සුන් කරමින් සහ අනාවැකි නිශ්පල වචන බවට පමණක් පත් කරමින් 2006 ලෝක ශූර ඉතාලිය 2010 වසරේ කාණ්ඩ වටයෙන් ම ලෝක කුසලානයෙන් ඉවත් වුණා. ඒ, කාණ්ඩ වටයෙන් ම ඉතාලිය ඉවත් වූයේ 1974 වසරෙන් පසුව වීමත් විශේෂත්වයක්.

2014 බ්‍රසීල පාපන්දු ලෝක කුසලානය

අසාර්ථක 2010 ලෝක කුසලානයෙන් පසු ව ඉතාලිය 2014 බ්‍රසීලයේ පැවති ලෝක කුසලානයට ද සුදුසුකම් ලබා ගත්තා. D කාණ්ඩය යටතේ ලෝක කුසලානයට එක් වූ ඉතාලිය එහිදී ප්‍රබල ප්‍රතිවාදීන් රැසකට මුහුණ දුන්නා. තරගාවලිය ඇරඹීමට පෙර සිට ම D කාණ්ඩය හඳුන්වා දුන්නේ මරණයේ කාණ්ඩය හෙවත් Group Of Death යන නාමයෙන්. එයට හේතුව වූයේ D කාණ්ඩය තුළ සිටි කණ්ඩායම්ලව තිබූ තරගකාරීත්වය යි. 

ඉතාලියට අමතර ව උරුගුවේ, එංගලන්තය සහ කොස්ටා රිකා යන රටවල් මෙම කාණ්ඩයට ඇතුළත් වුණා. ඉතාලිය, උරුගුවේ සහ එංගලන්තය යන රටවල් ත්‍රිත්වය ම මීට ප්‍රථම ලෝක කුසලාන ජයග්‍රහණය කළ, පාපන්දු ලොවේ දැවැන්තයන් වුණා. මේ නිසා කාණ්ඩයෙන් ඉදිරියට යන කණ්ඩායම් 2ට ඇතුළත් වීම අතිශය අපහසු කාරණයක්.

ඉතාලියට මුලින් ම හමු වූයේ ප්‍රබල එංගලන්තය යි. ක්ලවුඩියෝ මාර්කිශියෝ සහ මාරියෝ බලටොලී රැස් කළ ගෝල ද්විත්වය ගෝල 2-1ක් ලෙසින් ඉතාලියට තීරණාත්මක පළමු ජයග්‍රහණය අත්කර දුන්නා.

ක්ලවුඩියෝ මාර්කිෂියෝ එංගලන්තයට එරෙහිව ගෝලය රැස් කළ අවස්ථාව
ක්ලවුඩියෝ මාර්කිෂියෝ එංගලන්තයට එරෙහිව ගෝලය රැස් කළ අවස්ථාව – www.charitystars.com

සාර්ථක ආරම්භයකින් අනතුරු ව කොස්ටා රිකා හමු වූ ඉතාලිය එහිදී බ්‍රයන් රුයිස් රැස් කළ එක ම ගෝලයෙන් ගෝල 1-0 ක අනපේක්ෂිත පරාජයක් ලැබුවා. ඒ වන විටත් ගෝල 3-1 ක් ලෙසින් උරුගුවේට පහර දී සිටි කොස්ටාරිකාව සියල්ලන් පුදුම කරමින් අවසන් 16 දෙනාගේ වටයට එක් වී සිටියා. අවසන් තරග දිනය වෙද්දී එංගලන්තය ලෝක කුසලාන ගමන අවසන් කර සිටි අතර උරුගුවේ සහ ඉතාලිය අතර තරගය D කාණ්ඩයෙන් අවසන් 16 දෙනා දක්වා ගමන් කිරීම තීරණය කරන තරගය බවට පත් වී තිබුණා.

මෙම තරගය ජය පරාජයෙන් තොර ව නිමා වීම ද ඉතාලියට මීළඟ වටයට ගමන් කිරීමට ප්‍රමාණවත් වුණා. මෙම තරගයේ සුවිශේෂී ම සිද්ධිය බවට පත් වූයේ උරුගුවේ ක්‍රීඩක ලුයිස් සුආරෙස් ඉතාලි ආරක්ෂක ක්‍රීඩක ජියාර්ජියෝ කියෙලීනී සපා කෑමයි. එය අදටත් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන සිදුවීමක්.

කෙසේ හෝ තරගයේ 81 වන විනාඩියේදී උරුගුවේ ක්‍රීඩක දියේගෝ ගොඩින් රැස් කළ ගෝලය සියල්ල විසඳා දැමුවා. උරුගුවේ, කොස්ටාරිකාව සමඟින් අවසන් 16 දෙනාගේ වටයට ගමන් කරද්දී ඉතාලිය එංගලන්තය සමඟින් තම මවුරට බලා ගමන් කළා.

සුආරෙස් විසින් කියෙලීනිව සපාකන ආකාරය
සුආරෙස් කියෙලීනි සපාකන ආකාරය – www.dailymail.co.uk

2018 රුසියා පාපන්දු ලෝක කුසලානය

2010 සහ 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලිවල කාණ්ඩ වටයෙන් ම අසාර්ථක වූ ඉතාලිය 2018 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වට සඳහා එක් වූයේ යුරෝපයේ G කාණ්ඩයෙනු යි. එහිදී ස්පාඤ්ඤය, ඇල්බේනියාව, ඊශ්‍රායලය, උතුරු මැසිඩෝනියාව සහ ලෙයිශ්ටෙන්ස්ටින් ඉතාලිය සමඟින් ක්‍රීඩා කළා. සුදුසුකම් ලැබීමේ කාණ්ඩ වටය අවසන් වෙද්දී ඉතාලිය එම කාණ්ඩයේ ස්පාඤ්ඤයට දෙවනි වෙමින් අවසන් කළා. මේ නිසා ලෝක කුසලානයට කෙළින් ම එක් වීමේ අවස්ථාව ඉතාලියට අහිමි වූ අතර ඔවුන්ට Playoffs වටය වෙතට යාමට සිදු වුණා.

එහිදී ඉතාලි ප්‍රතිවාදීන් බවට පත් වූයේ ස්වීඩනය යි. අදියර දෙකකින් සමන්විත වූ මේ වටයේ පළමු අදියර ස්වීඩනයේ දී පැවැත්වුණා. එහි දී ස්වීඩනය ගෝල 1-0 ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළා. ඒ අනුව ඉතාලියේ පැවති දෙවනි අදියර වඩා තීරණාත්මක වුණා. දෙවන අදියර ගෝල 0-0 ලෙසින් අවසන් වුණේ සමස්ත තරග 2 ම ගෝල 1-0ක් ලෙසින් ස්වීඩනය ජයග්‍රහණය කරමින්.

 2018 පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවසන් අවස්ථාවත් ඉතාලියට ඒ අනුව අහිමි වුණා. ඉතාලිය 2010 සහ 2014 අසාර්ථක ලෝක කුසලාන දෙකක් නිමා කළ අතරම 2018 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට පවා ඔවුන් අපොහොසත් වුණා. 1958 වසරෙන් පසුව ඉතාලිය ලෝක කුසලානයක් නියෝජනය නොකළ පළමු අවස්ථාව ලෙසින් ද මෙය සටහන් වනවා.

ලෝක කුසලාන වරම් අහිමි වීම නිසා හඬා වැටෙන ඉතාලි නායක ජියන්ලුයිජි බුෆොන්
ලෝක කුසලාන වරම් අහිමි වීම නිසා හඬා වැටෙන ඉතාලි නායක ජියන්ලුයිජි බුෆොන් – www.chiesaditotti.com

2022 කටාර් ලෝක කුසලානය

2022 වර්ෂයේ කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටවල අවසන් අදියර පසුගිය දා නිමාව දුටුවා. මෙහි දී යුරෝපීය සුදුසුකම් ලැබීමේ වටවල C කාණ්ඩය යටතේ ඉතාලිය තරග වැදුණා. ස්විට්සර්ලන්තය, උතුරු අයර්ලන්තය, බල්ගේරියාව සහ ලිතුවේනියාව ඉතාලියේ ප්‍රතිවාදීන් වුණා. මෙවරත් ඉතාලිය කාණ්ඩ වටයේ තරගවලින් ස්විට්සර්ලන්තයට දෙවනි වීම නිසා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ Playoffs වටය දක්වා ගමන් කළා.

මෙවර Playoffs වටය පැවතියේ 2018 ට වඩා වෙනස් ආකාරයකට යි. ඉතාලියේ ප්‍රතිවාදීන් වූයේ උතුරු මැසිඩෝනියාව යි. මෙහිදී නැවත දෙවන අවස්ථාවක් හිමි නොවූ අතර ම එක් තරගයකින් ඉරණම තීරණය වුණා. මෙම Playoffs වටය අවසන් පූර්ව වටයකින් සහ අවසන් මහා තරගයකින් සමන්විත යි. මෙහිදී අවසන් පූර්ව වටය ජයග්‍රහණය කරන්නා අවසන් තරගඟය ජයග්‍රහණය කොට ලෝක කුසලානයට සුදුසුකම් ලබනවා. ඒ අනුව ඉතාලිය අවසන් පූර්ව වටයේ තරගය ලෙසින් උතුරු මැසිඩෝනියාව සමඟ ක්‍රීඩා කළා.

උතුරු මැසිඩෝනියාවට පරාජය වීමෙන් අනතුරුව
උතුරු මැසිඩෝනියාවට පරාජය වීමෙන් අනතුරුව – www.marca.com

නැවත වතාවක් අනපේක්ෂිත ලෙසින් අසාර්ථක වූ ඉතාලිය ගෝල 1-0 ලෙසින් උතුරු මැසිඩෝනියාව හමුවේ පරාජයට පත් වුණා. මෙහිදී තරගය පුරාවට ම තරඟ පාලනය ඉතාලිය සතු වුවත් ඔවුන්ට අවසන් මොහොත දක්වා ගෝලයක් රැස් කිරීමට හැකියාව ලැබුණේ නෑ. ඉතාලි පරාජය පාපන්දු ලෝකය ම මවිතයට පත් කළා. මෙම පරාජයත් සමගින් 2022 ලෝක කුසලාන නියෝජනය ද ඉතාලියට අහිමි වුණා. ඒ ඉතාලි පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට යි. 2006 වසරෙන් පසුව පාපන්දු ලෝක කුසලාන ශාපයෙන් ගැලවීමට ඉතාලියට තවදුරටත් නොහැකි වී තිබෙනවා.

 කවරයේ ඡායාරූපය - www.dailynewsegypt.com

 මූලාශ්‍ර :

www.fifa.com

www.uefa.com

www.allfootball.com

 

Related Articles