Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 25කට පෙර වාස් කිවි බිමේ දී මැජික් පෙන්නූ හැටි

1985 වසරේ දී ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් ජයග්‍රහණය ලබාගත්තේ ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ලකුණු 149කින් පරාජයට පත්කරමින්. එම තරගයේ දී ඇතැම් ඉන්දීය පිතිකරුවන්ට එරෙහිව ලැබුණු දුර්වල විනිසුරු තීරණ නිසා ඉන්දීය නායක කපිල් දේව් පවසා සිටියේ ශ්‍රී ලංකාවට විදෙස් රටක දී ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබාගැනීම සිහිනයක් වනු ඇති බව යි. එදා කපිල් දේව් විසින් ලබාදුන් අභියෝගයට නිසි පිළිතුරු ලබාදුන් ශ්‍රී ලංකා කණ්ඩායම 1995 නවසීලන්තය සංචාරය යටතේ පැවති නේපියර් ටෙස්ට් තරගයේ දී ලකුණු 241ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළා.

කාසියේ වාසිය නවසීලන්තයට 

නේපියර් නුවර මැක්ලීන් පාක් පිටියේ දී පැවති ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් තරගය සඳහා තණකොළ සහිත ඉතාමත් තද තණතීරුවක් සකස් කර තිබුණා. නවසීලන්ත වේගපන්දු යවන්නන්ට උචිත අයුරින් සකස් කර තිබුණු මේ තණතීරුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුලින්ම පන්දුවට පහරදීමට සිදු වුණේ නවසීලන්ත නායක කෙන් රදර්ෆඩ් කාසියේ වාසිය දිනාගත් නිසා යි. එවැනි අසීරු තණතීරුවක ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයට සාර්ථක වීමට ඉඩ ලැබුණේ නැහැ. සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ කෙරී වැල්ම්ස්ලි පන්දුවක් එවූ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් ගුරුසිංහ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස් වුණේ 2/1 ලෙසින්. නමුත් ගුරුසිංහ දැවීයාමෙන් පසුව පිටියේ එක් වුණු දුලිප් සමරවීර සහ සංජීව රණතුංග ඉතාමත් ආරක්ෂාකාරීව පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 40/1 දක්වා ඔසවා තැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටෙයි 

දුලිප් සහ සංජීව ක්‍රමයෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටි අවස්ථාවේ නවසීලන්ත නායකයා ඩියොන් නෑෂ්ව පන්දු යැවීම සඳහා කැඳවනු ලැබුවේ එම සබඳතාවය බිඳ දැමීමේ අරමුණ ඇතිව යි. එදා සිය නායකයාගේ බලාපොරොත්තුව අකුරටම ඉටු කළ නෑෂ් සිය පළමු පන්දුවාරයෙන්ම සංජීව සහ අරවින්ද යන පිතිකරුවන්ව දවාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 40/3 බවට පත්කරමින්. එම අවස්ථාවේ දී කිවි වේගපන්දු යවන්නන් නිසි තැන පන්දුව පතිත කරමින් නිවැරදි එල්ලයකට අනුව සිදු කළ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ තත්ත්වයකට පත්ව සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තවත් කඩුලු 3ක් ලකුණු 48ක් තුළ දැවීගිය නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුණේ 88/6 ලෙසින්.

අර්ජුණගෙන් සටන්කාමී ඉනිමක් 

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 88/6 ලෙසින් සටහන් වුණු අවස්ථාවේ පිටියේ එක් වුණු අර්ජුණ සහ වාස් ඉතාමත් වගකීමෙන් පන්දුවට පහරදුන්නා. එහි දී නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් උපරිම පීඩනයක් එල්ල වුණත් ඉන් නොසැලුණු මෙම පිතිකරු යුගලය ලකුණු 49ක වටිනා සබඳතාවයක් ගොඩනැගුවේ සිය කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය 137/6 දක්වා ඉහළ නංවමින්. ඒ මොහොත වන විට සටන්කාමී ඉනිමක් දියත් කරමින් සිටි අර්ජුණ නොදැවී ලකුණු 55ක් ලබා සිටියේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 19 වැනි අර්ධ ශතකය වාර්තා කරමින්. එසේම එදා අර්ජුණ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 3000ක් ලබාගත් පළමු පිතිකරුවා බවට පත් වුණේ ඔහුගේ ඉනිමේ 39 වැනි ලකුණ සම්පූර්ණ කිරීමත් සමග යි. එම අවස්ථාව වන විට නවසීලන්තය අර්ජුණගේ කඩුල්ල දවාගැනීම සඳහා මාන බලමින් සිටියා. ඒ ඔහු තවදුරටත් කඩුල්ලේ රැඳී සිටියොත්  කිවියන්ට හිතකර නොවන තත්ත්වයක් උදාවීමට තිබුණු ඉඩ නිසා යි.

අර්ජුණ රණතුංග (gettyimages)

ශ්‍රී ලංකා පළමු ඉනිම 183කට සීමා වෙයි 

තරගයේ තීරණාත්මක මොහොතක ක්‍රියාත්මක වුණු වැල්ම්ස්ලි ලකුණු 55ක් ලබා සිටි අර්ජුණව දවාගැනීමෙන් පසුව පන්නරය ලද නවසීලන්ත පන්දු යවන්නන් අග පෙළ පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළා. නමුත් ඉන් නොසැලෙමින් නොභියව පන්දුවට පහරදුන් වාස් නොදැවී ලබාගත් ලකුණු 33 නිසා ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 183 දී නිමාව දුටුවා. ශ්‍රී ලංකා පළමු ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීම සඳහා දක්ෂ පන්දු යැවීමක් නිරත වුණු ඩැනී මොරිසන් සහ කෙරී වැල්ම්ස්ලි කඩුලු 3 බැගින් දවාගත්තා.

ඩැනී මොරිසන් (gettyimages)

කිවියන්ට තීරණාත්මක පැයක් 

ශ්‍රී ලංකා පළමු ඉනිම තේ පානයෙන් පැයකට පමණ පසුව නිමා වුණු නිසා දිනයේ අවසන් පැය තුළ කිවියන්ට පන්දුවට පහරදීමට සිදු වුණා. ශ්‍රී ලංකා ආරම්භක වේගපන්දු යවන්නන් යුගලය වුණු වාස් සහ ප්‍රමෝද්‍ය ඉනිම ආරම්භයේ සිටම නවසීලන්ත පිතිකරුවන්ට කිසිදු බුරුලක් ලබාදුන්නේ නැහැ. එම නිසා නවසීලන්ත ලකුණු පුවරුවට ලකුණු 6ක් එකතු වන විට කඩුලු 3ක් දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා. නමුත් ඉන් අනතුරුව පිටියේ එක් වුණු රදර්ෆඩ් සහ ෆ්ලෙමිං ලකුණු 27ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනැගුවේ දිනය නිමාවන විට කිවි ලකුණු පුවරුව 33/3 බවට පත්කරමින්.

දෙවන දින උදෑසන කිවි බලාපොරොත්තු සුන් වෙයි 

දෙවන දින උදෑසන තණතීරුවේ තිබුණු ජීවය උකහාගත් වාස් සහ ප්‍රමෝද්‍ය ප්‍රබල පන්දු යැවීමක නිරත වුණා. එම නිසාම නවසීලන්ත ලකුණු පුවරුව 78/6 බවට පත් වුණා. ඉන් පසුව වාස්ට සහ ප්‍රමෝද්‍යට එකතු වුණු රවීන්ද්‍ර පුෂ්පකුමාර කිවියන්ගේ අවසන් කඩුලු ඉක්මනින්ම දවාගත් නිසා ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 109කට සීමා වුණා. එහි දී සාර්ථක පන්දු යැවීමක නිරත වුණු වාස් ලකුණු 47කට කඩුලු 5ක් දවාගනිමින් සිය ටෙස්ට් දිවියේ මුල්ම කඩුලු 5 දවාගත්තා. එසේම ප්‍රමෝද්‍ය 33කට කඩුලු 3ක්ද පුෂ්පකුමාර 23කට කඩුලු 2ක් ද දවාගනිමින් වාස්ට හොඳ සහායක් ලබාදුන්නා. 

චමින්ද වාස් (gettyimages)

ශ්‍රී ලංකා දෙවන ඉනිමට අසාර්ථක ආරම්භයක් 

නවසීලන්තයට වඩා ලකුණු 74ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව එක් අවස්ථාවක කිසිදු පිතිකරුවෙකු නොදැවී ලකුණු 14ක් ලබා සිටියා. එම අවස්ථාවේ දී දුලිප් සමරවීරගේ අන්තයේ කඩුල්ල වෙත කෙන් රදර්ෆඩ් පන්දුව එල්ල කළ අවස්ථාවේ පන්දුව සිරුරේ දැවටීම වලකාගැනීමට දුලිප් උඩ පනිනු ලැබුවා. නමුත් එම මොහොතේ දී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමත් සමග නවසීලන්ත පන්දු රකින්නන් ප්‍රබල ඉල්ලීමක් කළා. අවසානයේ දී තෙවන විනිසුරුවරයා තීරණය කළේ දුලිප් දැවීගිය පිතිකරුවෙකු බවට යි. එම මතභේදාත්මක සිදුවීමෙන් පසුව ක්‍රියාත්මක වුණු ගැවින් ලාසන් ගුරුසිංහ සහ සංජීව යන පිතිකරුවන් යුගලය දවාගත් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 22/3 බවට පත් වුණා. එලෙස තරගය කණ්ඩායම් දෙකටම විවෘත වුණු මොහොතේ සංයමයෙන් පන්දුවට පහරදුන් අරවින්ද සහ හෂාන් දිනය නිමාවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 92/3 දක්වා ඔසවා තැබුවා.

තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට 

තෙවන දිනයේ පළමු පැයේ හෂාන් සහ අරවින්ද හොඳින් පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 121/3 බවට පත් කළා. නමුත් ඉන් අනතුරුව ලකුණු 62කට අරවින්ද දැවීයාම ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් පාඩුවක් වුණා. එහි දී අරවින්ද නොමැති පාඩුව මකා දැමූ හෂාන් අගනා ලකුණු 74ක් ලබාගත්තේ ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින්. එලෙස හෂාන් හොඳින් පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාවේ ඔහුට අනගි සහායක් ලබාදුන් දුනුසිංහ අගනා අර්ධ ශතකයක් ලබාගත්තා. එදා සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වුණු දුනුසිංහ නොදැවී ලබා සිටි ලකුණු 50 නිසා තෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 6ක් දැවී ලකුණු 253ක් ලබා සිටියා. 

හෂාන් තිලකරත්න (gettyimages)

කිවියන්ට ලකුණු 427ක දැවැන්ත ඉලක්කයක්

තරගයේ සිව්වන දිනයේ දී මැනවින් පන්දුවට පහරදුන් දුනුසිංහ අග පෙළ පිතිකරුවන් ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 352/8 දක්වා ඉහළ දැමුවා. ඒ මොහොත වන විට දුනුසිංහ නොදැවී ලකුණු 91ක් ලබා සිටියේ සිය මංගල ටෙස්ට් තරගයේ දී ශතකයක් ලබාගැනීමේ සිහිනය අසලට පැමිණෙමින්. නමුත් එදා ඔහුගේ සිහින බොඳවී ගියේ ඩැනී මොරිසන් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවීයාමත් සමග යි. එම කඩුල්ල දවාගෙන ඉන් නොනැවතුණු මොරිසන් ඊළඟ පන්දුවේ දී පුෂ්පකුමාරව දවාගත්තේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 352කට සීමා කරමින්. සිව්වන දිනයේ දිවා ආහාරයෙන් පසුව ලකුණු 427ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් එක් අවස්ථාවක කඩුල්ලක් දැවී ලකුණු 108ක් ලබා සිටියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට යම් අනතුරු ඇඟවීමක් කරමින්. නමුත් එම අනතුරු ඇඟවීම තුට්ටුවකට මායිම් නොකළ වාස් සහ මුරලි ඉක්මනින්ම කඩුලු 3ක් දවාගත්තේ කිවි ඉනිම 112/4 බවට පත්කරමින්. එලෙස ඉක්මනින්ම කඩුලු 3ක් බිඳවැටීමෙන් පසුව සීරුවට පන්දුවට පහරදුන් නවසීලන්ත පිතිකරුවන් දිනය නිමාවන විට කඩුලු 4ක් දැවී ලකුණු 139ක් ලබා සිටියා.

මුත්තයියා මුරලිදරන් (gettyimages)

වාස් සහ මුරලි කිවියන්ට මැජික් පෙන්වයි 

අවසන් දිනය ආරම්භ වී සුළු මොහොතකින් නායක රදර්ෆඩ් සහ තොම්සන් දැවීගියේ නවසීලන්ත ලකුණු පුවරුව 141/6 බවට පත්කරමින්. ඉන් පසුව කිසිදු පිතිකරුවෙකුට නවසීලන්ත පරාජය වැලැක්වීමට නොහැකි වුණු නිසාම ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 185කට සීමා වුණේ ශ්‍රී ලංකාවට ලකුණු 241ක දැවැන්ත ජයක් උරුමකර දෙමින්. පළමු ඉනිමේ දී මෙන්ම දෙවන ඉනිමේ දීත් සාර්ථක පන්දු යැවීමක නිරත වුණු වාස් ලකුණු 43කට කඩුලු 5ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් මුරලි ලකුණු 64කට කඩුලු 5ක් දවාගත්තා. එදා සමස්ත තරගය පුරාවටම ලකුණු 90කට කඩුලු 10ක් ලබාගත් වාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක කඩුලු 10ක් ලබාගත් මුල්ම පන්දු යවන්නා ලෙසින් ඉතිහාසයට එක් වුණා. ශ්‍රී ලංකාව සිය පළමු විදෙස් ටෙස්ට් ජයග්‍රහණය සොයමින් සිටි කාල සමයක එදා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නව පිබිදීමක් ඇති කළා. මෙම සංචාරයෙන් පසුව ඩේවි වට්මෝර් නම් විදෙස් පුහුණුකරුවා ලංකා කණ්ඩායම සමග එක් වුණා. ඉන් අනතුරුව ලෝක ක්‍රිකට් පිටිය තුළ පෙරළිකාර ගමනක් ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ දී විල්ස් ලෝක කුසලානයත් දිනාගත්තා. එදා ශ්‍රී ලංකාව විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය කරා ගිය ගමනේ පළමු වෙඩිමුරය නිකුත් වුණේ නේපියර් පිටියේ දී යි. එම නිසා නේපියර් ටෙස්ට් තරග ජයග්‍රහණය ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී පවතිනවාට සැකයක් නැහැ.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 183/10, (අර්ජුණ- 55, වාස්- 33*, දුලිප්- 33, මොරිසන්- 40/3, වැල්ම්ස්ලි- 70/3)

නවසීලන්ත පළමු ඉනිම- 109/10, (ෆ්ලෙමිං- 35, වාස්- 47/5, ප්‍රමෝද්‍ය- 33/3, පුෂ්පකුමාර- 23/2)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 352/10, (දුනුසිංහ- 91, හෂාන්- 74, අරවින්ද- 62, මොරිසන්- 61/4, ලාසන්- 73/3)

නවසීලන්ත දෙවන ඉනිම- 185/10, (ග්‍රේට්බැච්- 46, මරේ- 36, වාස්- 43/5, මුරලිදරන්- 64/5)

ශ්‍රී ලංකාවට ලකුණු 241ක ජයක් 

තරගයේ වීරයා- චමින්ද වාස් 

කවරයේ ඡායාරූපය- චමින්ද වාස් (gettyimages)

Related Articles