Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දු බිමේ දී ශ්‍රී ලංකාව ලැබූ මංගල 20/20 තරග ජයග්‍රහණය

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉන්දු බිමේ දී 20/20 තරග 8ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 6ක් ම සත්කාරක ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකාව ජයගත්තේ තරග 2ක් පමණ යි. එලෙස ශ්‍රී ලංකාව තරග වැඩි ප්‍රමාණයක් පරාජය වුණත්, ඔවුන් 2009 වසරේ ඉන්දු බිමේ දී ලබාගත් මුල්ම  20/20 තරග ජයග්‍රහණය අමතක කරන්නට බැහැ. එසේ නම් මේ ලිපිය ලියවෙන්නේ එම ජයග්‍රහණය පිළිබඳව ඔබගේ මතකය යළි අවදි කිරීමට යි.

සංගක්කාරගේ වේගවත් ඉනිම හමුවේ ඉන්දීය පිලට ලකුණු 29ක පරාජයක් 

2009 වසරේ පැවැති ඉන්දු-ශ්‍රී ලංකා 20/20 තරගාවලියේ මුල්ම තරගය ක්‍රියාත්මක වුණේ නාග්පූර් නුවර විදර්බා ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක දෝනි, මුලින්ම පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකාවට ලබාදුන්නේ ඉන්දියානුවන් එම අවදියේ ලකුණු හඹා යාමට ශූරයන් වුණු නිසා යි.

ශ්‍රී ලංකාවෙන් මන්දගාමී ආරම්භයක් 

ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට පිවිසියේ තිලකරත්න දිල්ෂාන් සහ සනත් ජයසූරිය යන ප්‍රවේගකාරී පිතිකරුවන් දෙදෙනා යි. නමුත් ඔවුන් දෙදෙනාට ඉන්දීය පන්දු යවන්නන් හමුවේ රිසි සේ ලකුණු ලබාගැනීමට හැකි වුණේ නැහැ. එම නිසාම පන්දුවාර 6.1ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුණේ 43/0 ලෙස යි. එලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් අසීරුවෙන් පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාවේ පන්දු 20කින් ලකුණු 26ක් ලබා සිටි ජයසූරිය දැවීගියේ ඩින්ඩාගේ මංගල 20/20 කඩුල්ල ලෙසින්.

ඩින්ඩා මංගල 20/20 කඩුල්ල ලබාගැනීමෙන් පසුව (gettyimages)

සංගක්කාර සහ දිල්ෂාන් වේගවත් සබඳතාවයක් ගොඩනගයි 

මන්දගාමී ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයසූරිය දැවීයාමෙන් පසුව යම් පීඩනයකට හසුවුණා. නමුත් එම අවස්ථාවේ දී පිටියට පිවිසි නායක සංගක්කාර, ආරම්භයේ සිටම ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව නොබියව ක්‍රීඩා කළා. එහි දී ඕජා යැවූ 9 වැනි පන්දුවාරයේ දී සංගක්කාර ලකුණු 16ක් ලබාගනිමින් ලකුණු වේගය වැඩි කිරීමට සමත් වුණු නිසාම පන්දුවාර 10ක් නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 89/1 ලෙසින් සටහන් වුණා. එලෙස සංගක්කාර සහ දිල්ෂාන් දියත් කළ වේගවත් පිතිකරණ රටාව හේතුවෙන් ඉන්දීය ප්‍රධාන පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වුණා. ඒ අනුව පන්දුවාර 12.2ක් අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 117/1 ලෙස සටහන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ වාසිය හිමිකර දෙමින්.

සංගක්කාර පහරක් එල්ල කරමින් (gettyimages)

ඉන්දීය කණ්ඩායම යළි තරගයට අවතීර්ණ වෙයි 

සංගක්කාර සහ දිල්ෂාන් පන්දු 37ක් තුළ ගොඩනැගූ ලකුණු 74ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියා. එම අවස්ථාවේ දී ඉන්දීය නායක දෝනි, උපක්‍රමයක් ලෙසින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට නුහුරු පන්දු යවන්නෙකු වුණු රෝහිත් ෂර්මාට පන්දුව ලබාදුන්නා. එහි දී සිය නායකයාගේ බලාපොරොත්තුව අකුරටම ඉටුකළ රෝහිත්, ලකුණු 34ක් ලබා සිටි දිල්ෂාන්ව දවාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 117/2 බවට පත් කරමින්. එම දැවීයාමෙන් පසුව පිටියට පිවිසි මහේලට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩක් ලැබුණේ නැහැ. එහි දී යූසුෆ් පතාන් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා මහේල දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුණේ 126/3 ලෙස යි. 

සංගක්කාරගේ සුපිරි ඉනිම නිසා ඉන්දියාවට ලකුණු 216ක දැවැන්ත ඉලක්කයක්

මහේලගේ නික්ම යාමෙන් පසුව පිටියට පිවිසුණු චාමර කපුගෙදරගෙන් ඉන්දීය පන්දු යවන්නන්ට කිසිදු සමාවක් ලැබුණේ නැහැ. ඉෂාන්ත් ෂර්මා සහ අශීෂ් නෙහෙරා යන පන්දු යවන්නන් දෙදෙනාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ කපුගෙදර, නෙහෙරා එවූ පන්දු 4කට පිට පිටම හතරේ පහර 4ක් එල්ල කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. එහි දී කපුගෙදර පන්දු 20කින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගින් ලබාගත් වේගවත් ලකුණු 47 නිසා පන්දුවාර 18.5ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 195/3 ලෙසින් දිස් වුණා. නමුත් එම අවස්ථාවේ දී සංගක්කාර සහ කපුගෙදර පන්දු 32කින් ගොඩනැගූ ලකුණු 69ක සබඳතාවය අවසන් වුණත්, ඉන්පසුව පිටියට පිවිසි මැතිව්ස් වේගවත් ලකුණු 15ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවට සාර්ථක අවසානයක් ලබාදුන්නා. එලෙස නවක පිතිකරුවන් දස්කම් දක්වන විට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සංගක්කාර හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 37කින් ලකුණු 78ක් ලබාගත්තේ ශ්‍රී ලංකා ඉනිම 215/5 දක්වා ඔසවා තබමින්. 

සංගක්කාර අර්ධ ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

ඉන්දීය කණ්ඩායම වේගවත් ආරම්භයක් ලබාගනියි 

ලකුණු 216ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ ෂෙවාග් සහ ගාම්භීර් යන ප්‍රහාරාත්මක පිතිකරු යුගලය යි. එහි දී ගාම්භීර්ව පිටියේ සිටි නරඹන්නෙකුගේ තත්ත්වයට පත් කළ ෂෙවාග්, පන්දු 14කින් ලකුණු 26ක් ලබාගත්තේ සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදෙමින්. එලෙස ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 2.3ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 32ක් ලබා සිටි අවස්ථාවේ ශ්‍රී ලංකා නායක සංගක්කාර උපායශීලී ලෙස පන්දු රකින්නන් වෙනස් කළේ ෂෙවාග්ව දවාගැනීමේ අරමුණෙන්. එම උපාය ක්‍රියාත්මක කර පන්දු 2කට පසුව ෂෙවාග් එයට හසු වී ලකුණු 26කට දැවීගියේ ඉන්දීය ලකුණු පුවරුව 32/1 බවට පත් කරමින්.

ගාම්භීර්ගේ මනරම් ඉනිම ඉන්දීය බලාපොරොත්තු ඉහළ නංවයි 

ෂෙවාග් ලබාදුන් වේගවත් ආරම්භයෙන් පන්නරය ලද ගාම්භීර්, ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට කිසිදු ගරුසරුවක් නොමැතිව පහරදුන්නා. එහි දී ඔහු මාලිංග සහ කුලසේකර ක්‍රියාත්මක කළ පන්දුවාර 2ක දී ලකුණු 30ක් ලබාගැනීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. එලෙස ගාම්භීර් දියත් කළ ප්‍රචණ්ඩකාරී පිතිහරඹය නිසා 7 වැනි පන්දුවාරය අවසන් වන විට ඉන්දීය ලකුණු පුවරුව 88/1 බවට පත්ව තිබුණා. ඒ අනුව එම අවස්ථාව වන විට ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 78කින් ලබාගත යුතුව තිබුණේ 128ක් පමණයි. ඉතාමත් ප්‍රබල පිතිකරු ලැයිස්තුවක් සිටි ඉන්දීය කණ්ඩායමට එය විශාල අභියෝගයක් නොවුණු නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයකට හසුව තිබුණා.

ගාම්භීර් පහරක් එල්ල කරමින් (gettyimages) 

ඉන්දීය කණ්ඩායම අසීරු අඩියකට වැටෙයි 

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දරුණු ප්‍රහාරයකට ලක් වූ අවස්ථාවේ නායක සංගක්කාර පන්දු යවන්නන්ගේ වෙනසක් සිදුකළා. එහි දී ඔහු පන්දු යැවීම සඳහා කැඳවනු ලැබුවේ ජයසූරිය සහ මැතිව්ස් යන පන්දු යවන්නන් දෙදෙනා යි. ඔවුන් දෙදෙනා එදා නිසි එල්ලයකට පන්දු යැවූ නිසා ඉන්දීය පිතිකරුවන් දැඩි පීඩනයකට හසුවුණා. එම නිසාම පන්දුවාර 10ක් අවසන් වන විට ඉන්දීය ලකුණු පුවරුව 101/3 ලෙසින් සටහන් වුණා. එහි දී මැතිව්ස් ගාම්භීර්ව ලකුණු 55කට දවාගන්නා විට ජයසූරිය, දෝනිව ලකුණු 9කට දවාගත්තා.

දෝනි දැවීගිය අවස්ථාව (gettyimages)  

ඉන්පසුව ජයසූරිය සහ මැතිව්ස්, පීඩනය අඛණ්ඩවම පවත්වාගෙන ගිය නිසා පන්දුවාර 13ක් අවසන් වන විට ඉන්දීය ලකුණු පුවරුව 123/6 ලෙසින් දිස් වුණා. ඒ අනුව මැතිව්ස් සහ ජයසූරිය ක්‍රියාත්මක කළ පන්දුවාර 6 තුළ ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු 35කට දැවීයාම සුවිශේෂී සිදුවීමක් වුණා. නොසිතූ මොහොතක සිදුවුණු එම බිඳවැටීමෙන් පසුව ඉන්දීය ඉනිම ගොඩනැගීම සඳහා ඉතිරිව සිටියේ සුරේෂ් රයිනා පමණයි. නමුත් එම අවස්ථාවේ දී රයිනා, ලකුණු 21කට දැවීගියේ සිය මංගල 20/20 තරගය සඳහා ක්‍රීඩා කළ මුතුමුදලිගේ පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ යි. ඉන්දීය කණ්ඩායම සතුව තිබුණු එකම බලාපොරොත්තුවත් එලෙස බිඳවැටෙන විට ඔවුන්ගේ ලකුණු පුවරුව සටහන් වුණේ 129/7 ලෙස යි.

යුවරාජ් සිංගේ දැවීයාම සමරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් (gettyimages)  

ශ්‍රී ලංකාවට ලකුණු 29ක පහසු ජයක් හිමිවෙයි 

ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් සියලුදෙනාම දැවීයාමෙන් පසුව ඔවුන්ට යළි තරගයට අවතීර්ණ වීමට හැකි වුණේ නැහැ. නමුත් ඉන්දීය අග පෙළ පිතිකරුවන් සටන්කාමී අයුරින් පන්දුවට පහරදෙමින් ලකුණු  ලබාගත් නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ දී ඉන්දීය ලකුණු පුවරුව 186/9 ලෙසින් සටහන් වුණා. ඒ අනුව අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 29ක පහසු ජයක් හිමිවුණේ ඉන්දීය බිමේ දී සහභාගි වූ පළමු 20/20 තරගයේ ජයග්‍රාහකයින් වෙමින්. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 215/5 (20), (සංගක්කාර- 78, කපුගෙදර- 47, දිල්ෂාන්- 34, රෝහිත්- 22/1, ඩින්ඩා- 34/1)

ඉන්දියාව- 186/9 (20), (ගාම්භීර්- 55, ෂෙවාග්- 26, ජයසූරිය- 19/2, මැතිව්ස්- 30/2, දිල්ෂාන්- 14/1)

ශ්‍රී ලංකාවට ලකුණු 29ක ජයක් 

තරගයේ වීරයා- කුමාර් සංගක්කාර 

කවරයේ ඡායාරූපය- සංගක්කාරගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

Related Articles