Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැංගරුවන්ට එරෙහි ව ලද පළමු ටෙස්ට් තරගාවලි ජය

මේ දිනවල දී ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය පැවැත්වෙමින් තිබෙනවා. දෙරට අතරේ ටෙස්ට් ක්‍රිකට් තරග මාලාවක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන්නේ 2016 වර්ෂයෙන් අනතුරුව වීමත් විශේෂත්වයක්. 2016 වසරේ පැවති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය 3-0 ලෙස පූර්ණ තරඟාවලි ජයග්‍රහණයක් සමඟ නිමා කිරීමටද ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. එක්දින තරගාවලිය ජය ගැනීමෙන් පසු ව ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව එක් ව සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්.

 මුල් වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් ලබා ගත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක ඉතිහාසය සොයා යෑමේ දී එය 1999 වසර තෙක් අතීතයට දිව යනවා. ටෙස්ට් වරම් හිමි කර ගැනීමෙන් පසුවමෙම ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට  වසර 17ක් කල් මැරීමට සිදු වුණා. මෙම සටහන 1999 වසරේ ලැබූ ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය සම්බන්ධයෙනු යි.

තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සනත් ජයසූරිය
තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සනත් ජයසූරිය – www.thepapare.com
 

පළමු ටෙස්ට් තරඟය 

තරග තුනකින් සමන්විත වූ සිංහ කැංගරු සටනේ මුල් ම තරගය අස්ගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 1999 වසරේ සැප්තැම්බර් මස 09 වැනි දා ආරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා නායක ස්ටීව් වෝ පන්දුවට මුලින් ම පහර දීමට තීරණය කළා. තණතීරුව මුල් ම දිනයේ, මුල් ම පැයේ සිට ම පන්දු යවන්නන්ට වඩා හිතකර ස්වරූපයක් පෙන්වමින් තිබුණා.

චමින්ද වාස් සහ නුවන් සොයිසා සුසංයෝගය ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු යුගළයට ම ලකුණු රැස් කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ නෑ. ඉන් අනතුරුව මුත්තයියා මුරලිදරන් ද කඩුලු දඩයමට එක් වෙද්දී ඕස්ට්‍රේලියා මුල් ඉනිම ලකුණු 60 කට කඩුලු 7ක් බිඳ වැටී අතිශයින් ම අසීරු තත්ත්වයකට පත් ව තිබුණා.

එක් අන්තයක කඩුල්ල ආරක්ෂා කර ගත් රිකී පොන්ටින් රැස් කළ වටිනා ලකුණු 96 ත්, ජේසන් ගිලෙස්පි ගේ ලකුණු 41 ත් නිසා ඕස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 188ක් දක්වා ගමන් කළා. මුරලි කඩුලු 4ක් දවා ගනිද්දී වාස් සහ සොයිසා කඩුලු 3 බැගින් ලබා ගත්තා.

ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ කඩුලු 4ක් බිඳ දැමූ මුරලිදරන්
ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ කඩුලු 4ක් බිඳ දැමූ මුරලිදරන් – www.espncricinfo.com

අරවින්දගෙන් ශ්‍රී ලංකාවට අස්වැසිල්ලක්!

පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකාවට ද පිතිකරණය පහසු වුණේ නෑ. මුල් කඩුලු තුන ලකුණු 70ක දී බිඳ වැටෙද්දී අරවින්ද ද සිල්වාට එක් වූ නවක ක්‍රීඩක මහේල ජයවර්ධන සිව්වන කඩුල්ලට අගනා ලකුණු 107ක් එක් කිරීමට සමත් වුණා. මහේල ලකුණු 46ක් ද, හතරේ පහර 13ක් ද සමඟින් අරවින්ද ලකුණු 78ක් ද පන්දු 146කින් වාර්තා කළා. වෙනත් පිතිකරුවන් ඉනිමේ සාර්ථක නොවෙද්දී ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 234 කට සීමා වුණා. පන්දු යැවීමේදී ෂේන් වෝන් කඩුලු 5ක් බිඳ හෙළුවා.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 56ක් පිටුපසින් සිටිමින් දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට ආ ඕස්ට්‍රේලියාවේ කඩුලු එක පිට එක නැවත නැවතත් බිඳ වැටීම ආරම්භ වුණා. ඔවුන්ගේ මුල් කඩුලු 5ක් ලකුණු 58ක දී බිඳ වැටෙද්දී අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගත කර සිටි නායක ස්ටීව් වෝ සහ පළමු ඉනිමේ සාර්ථක වූ ජේසන් ගිලෙස්පි යන දෙදෙනා ම නොමැති වීමේ පාඩුව ඕස්ට්‍රේලියා ඉනිමට දැඩි ලෙස  බලපෑම් එල්ල කළා. කඩාවැටෙන ඉනිමට ශක්තියක් වෙමින් ලකුණු 51ක් වාර්තා කිරීමට රිකී පොන්ටින් සමත් වුණා. ඕස්ට්‍රේලියාව දෙවන ඉනිමට ලකුණු 140ක් ලබා ගත්තා. 

ලකුණු 95 ක පහසු ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා ලකුණු පුවරුව විටෙක 39/3 ක් හා 60/4 ක් වශයෙන් සටහන් වුවත් අරවින්ද – අර්ජුන සුසංයෝගය නොදැවී සිටිමින් ශ්‍රී ලංකාව ලත් කඩුලු 6 ක විශිෂ්ට ජයග්‍රහණයක නියමුවන් බවට පත් වුණා. එම ජයග්‍රහණය, ඉතිහාසයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමක් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ලැබූ මුල් ම ජයග්‍රහණය ලෙසට ද සටහන්.  තරගයේ වීරයන් දෙදෙනෙක් නම් වූ අතර ඒ අසීරු පිටියක පිත්තෙන් හපන්කම් පෑ අරවින්ද ද සිල්වා සහ රිකී පොන්ටින් දෙදෙනා යි.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ අරවින්ද
ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ අරවින්ද – www.crictracker.com

 

තරග සාරාංශය

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම 188

රිකී පොන්ටින් 96, ජේසන් ගිලෙස්පි 41

මුත්තයියා මුරලිදරන් 46/4, නුවන් සොයිසා 38/3, චමින්ද වාස් 43/3

ශ්‍රී ලංකාව පළමු ඉනිම 234

අරවින්ද ද සිල්වා 78, මහේල ජයවර්ධන 46, මාවන් අතපත්තු 25

ශේන් වෝන් 52/5, කොලින් මිලර් 62/4

ඕස්ට්‍රේලියාව දෙවනි ඉනිම 140

රිකී පොන්ටින් 51, මයිකල් ස්ලේටර් 27

චමින්ද වාස් 15/3, මුත්තයියා මුරලිදරන් 65/3

ශ්‍රී ලංකාව දෙවනි ඉනිම 95/4

අරවින්ද ද සිල්වා 31*, අර්ජුන රණතුංග 19*

කොලින් මිලර් 48/3 

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

දෙවන ටෙස්ට් තරගය

දෙපිල අතරේ දෙවන තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා. එවර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සනත් ජයසුරිය පන්දුවට මුලින් ම  පහර දීමට තීරණය කළා. ග්ලෙන් මැග්‍රාත් යොමු කළ මුල් ම පන්දුවෙන් ම නායක ජයසූරිය දැවී ගියා.ශ්‍රී ලංකා ඉනිමේ බර අරවින්ද ද සිල්වා නැවත වතාවක්  කරට ගනිද්දී ඔහුට සහාය වෙමින් රසල් ආනෝල්ඩ් ලකුණු 50ක් සහ මහේල ජයවර්ධන ලකුණු 46ක් වාර්තා කළා. අරවින්ද පන්දු 162ක දී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක්ද සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 64ක්.

තත්ත්වය එලෙස පවතිද්දී ඉනිමේ අග භාගයේ පැමිණි චමින්ද වාස් වටිනා ලකුණු 41ක ඉනිමක් ක්‍රීඩා කළා. ෂේන් වෝන් සහ ග්ලෙන් මැග්‍රාත් කඩුලු 3 බැගින් දවා ගනිද්දී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 296 කට සීමා වුණා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මයිකල් ස්ලේටර් සහ ග්‍රේග් බ්ලෙවෙට් අති සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

ඔවුන්ගේ පළමු කඩුලු සබඳතාව ලකුණු 138ක්. බ්ලෙවෙට් ලකුණු 62ක් ද, ස්ලේටර් 96ක් ද ලබා ගත්තා. ඉන් පසු ඕස්ට්‍රේලියා ඉනිම බිඳ දැමූ මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත් දෙපළ පිළිවෙළින් කඩුලු 5ක් සහ 4ක් බැගින් බිඳ හෙළුවා. මේ නිසා ඕස්ට්‍රේලියා මුල් ඉනිම ලකුණු 228 කට සීමා වුණේ ශ්‍රී ලංකාව ලකුණු 68 කින් ඉදිරියෙන් තබමින්. 

තරඟාවලිය පුරාවටම පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් පෑ වාස්
තරඟාවලිය පුරාවටම පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් පෑ වාස් – www.thecricketmonthly.com

තරගයේ තෙවන දිනයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර සිව්වන දිනය වර්ෂාව නිසා සම්පූර්ණයෙන් ම අතහැර දැමීමට සිදු වුණා. පස්වන දිනයේ මිනිත්තු 30 ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමෙන් පසුව තරගය අතහැර දැමීමට කණ්ඩායම් දෙක එකඟත්වය පළ කළා. ඒ වන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිවකුත් නොදැවී ලකුණු 55ක් වාර්තා කරගෙන සිටියා. මේ තරගයේ වීරයා ලෙසින් ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු මයිකල් ස්ලේටර් නම් වුණා.

තරග සාරාංශය 

ශ්‍රී ලංකාව පළමු ඉනිම 296

අරවින්ද ද සිල්වා 64, රසල් ආනොල්ඩ් 50, මහේල ජයවර්ධන 46

ශේන් වෝන් 29/3, ග්ලෙන් මැග්‍රාත් 81/3

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම 228

මයිකල් ස්ලේටර් 96, ග්‍රෙග් බ්ලෙවෙට් 62

මුත්තයියා මුරලිදරන් 71/5, රංගන හේරත් 97/4

ශ්‍රී ලංකාව දෙවන ඉනිම 55/0

මාවන් අතපත්තු 28*, සනත් ජයසූරිය 21*

වර්ෂාව නිසා තරගය අතහැර දැමීමට සිදු වුණා. 

තෙවන ටෙස්ට් තරගය

තෙවන සහ අවසන් ටෙස්ට් තරගය කොළඹ එස්.එස්.සී. පිටියේ දී ආරම්භ වුණා. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියා නායක ස්ටීව් වෝ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඉනිම ආරම්භ කරමින් ග්‍රෙග් බ්ලෙවෙට් සහ මයිකල් ස්ලෙටර් දෙපළම අර්ධ ශතක වාර්තා කිරීමට නැවතත් සමත් වුණා. ඔවුන් දෙපළගේ මෙවර ආරම්භක කඩුලු සබඳතාව ලකුණු 126ක් වුණා. 

අනතුරුව පිටියට පිවිසි රිකී පොන්ටින් ඒ තරලාවලියේ පිතිකරුවෙක් වාර්තා කළ මුල් ම ශතකය රැස් කළා. ඔහු පන්දු 171ක දී හතරේ පහර 11ක් ද සමඟ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 105ක්. ඕස්ට්‍රේලියා ඉනිමට දිගින් දිගට ම වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තෙවන දිනය නිමා වෙද්දීත් ශ්‍රී ලංකාව පිතිකරණයට පැමිණියේ නෑ. ඕස්ට්‍රේලියාව මුල් ඉනිමට ලකුණු 342ක් වාර්තා කළා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් පෑ රිකී පොන්ටින්
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් පෑ රිකී පොන්ටින්- www.espncricinfo.com

සිව්වන දිනයේදී පිටියට පිවිසි ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක කරමින් ග්ලෙන් මැග්‍රාත් සහ ඩේමියන් ෆ්ලෙමින් සාර්ථක පන්දු යැවීමක් සටහන් කළත් වර්ෂාව තරගයට නැවතත් හරස් වුණා. මේ නිසා සිව්වන දිනය අවසන් වෙද්දී ශ්‍රී ලංකා මුල් ඉනිම කඩුලු 4 කට ලකුණු 61ක් ලෙසට දැක්වුණා. වර්ෂාව තවදුරටත්  පැවතීම නිසා සහ තරගය එක් දිනයක දී පවත්වා අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව තිබූ නිසා දෙපිළේ ම එකඟතාව මත ජය පරාජයෙන් තොරව තරගය අවසන් කිරීමට එකඟත්වය ලැබුණේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් උරුම කරමින්.

අවසන් තරඟයේ වීරයා සේම තරඟාවලිය පුරාවටම පන්දු යවන්නන් හට හිතකර තණතීරු වල පෙන්වූ දස්කම් නිසා තරඟාවලියේ වීරයා සම්මානයද හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් හට හැකියාව ලැබුණා.

තරග සාරාංශය

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම 342

රිකී පොන්ටින් 105*, ග්‍රෙග් බ්ලෙවෙට් 70, මයිකල් ස්ලෙටර් 59

චමින්ද වාස් 54/4, මුත්තයියා මුරලිදරන් 150/3

ශ්‍රී ලංකාව පළමු ඉනිම 61/4

මහේල ජයවර්ධන 21, අරවින්ද ද සිල්වා 19*

ඩේමියන් ෆ්ලෙමින් 14/3, ග්ලෙන් මැග්‍රාත් 25/1

දෙපිළේ ම එකඟතාව මත ජය පරාජයෙන් තොරව තරගය අවසන්

 කවරයේ ඡායාරූපය - www.espncricinfo.com

මූලාශ්‍ර :

www.espncricinfo.com

Related Articles