Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1985 දී ශ්‍රී ලංකාව ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණය පිළිබඳව මතකය

1982 වසරේ දී එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගය ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම වසර 3ක් යන තුරු කිසිදු ජයග්‍රහණයක් වාර්තා කළේ නැහැ. එම නිසාම ටෙස්ට් ජයග්‍රහණයක පහස විඳගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටියා. එලෙස වසර 3කට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් බලා සිටි මොහොත උදාවුණේ 1985 වසරේ සැප්තැම්බර් 11 වැනිදා හැන්දෑ යාමයේ යි. එදා කපිල් දේව්ගේ නායකත්වයෙන් යුත් ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 149කින් පරාජය වුණේ  කොළඹ පී සරවනමුත්තු පිටියේ දී යි. එම ජයග්‍රහණය ලබාගෙන හරියටම වසර 34ක් සම්පූර්ණ වන අද දිනයේ දී ඒ පිළිබඳව ඔබගේ මතකය යළි අවදි කිරීමට අප කල්පනා කළා. 

අමල් සහ රන්ජන් පළමු දිනයේ වාසිය ශ්‍රී ලංකාවට හිමිකර දෙයි 

පී සරා ඕවල් පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දුලිප් මෙන්ඩිස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ සිදත් වෙත්තමුණි සහ අමල් සිල්වා යි. ඔවුන් දෙදෙනා මුල සිට ම ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සීරුවෙන් පන්දුවට පහරදුන්  නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 74/0 බවට පත්වුණේ ඉන්දීය පන්දු යවන්නන්ට තර්ජනයක් එල්ල කරමින්. එලෙස පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වටිනා සබඳතාවය වෙත්තමුණි ලකුණු 19කට දුවද්දී දැවීයාමත් සමග ම අවසන් වුණත් අනතුරුව පිටියේ එක්වුණු අමල්ගෙන් සහ රන්ජන්ගෙන් ඉන්දීය පන්දු යවන්නන්ට බුරුලක් ලැබුණේ නැහැ. එදා ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව දක්ෂ පිතිහරඹයක නිරත වුණු එම පිතිකරුවන් දෙදෙනා නොබිඳුණු ලකුණු 94ක සබඳතාවයක් පැවැත්වූ නිසා දිනය නිමාවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුණේ 168/1 ලෙසින්. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු අමල් නොදැවී ලකුනු 82ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් රංජන් නොදැවී ලකුණු 54ක් ලබා සිටියා.

අමල් සිල්වා (gettyimages)

දෙවන දිනය නිමාවන විට ඉන්දීය කණ්ඩායම අවදානම් අඩියකට වැටෙයි 

තරගයේ දෙවන දිනය ආරම්භයේ දී ම රංජන් ලකුණු 54කට දැවීගියත් අමල් සහ රෝයි එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 229/2ක් බවට පත්කළා. එහි දී අමල් සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතකය ලබාගත්තේ අගනා ඉනිමක් ක්‍රීඩා කරමින්. නමුත් එම අවස්ථාවේ දී අමල් අගනා ලකුණු 111කට දැවීගියත් එම පාඩුව මකා දැමූ රෝයි සහ දුලිප් ලකුණු ලකුණු 99ක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ඉනිම 328/3 බවට පත්කරමින්. එලෙස ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර වුණු අවස්ථාවේ ඔවුන්ගේ අරමුණ වුණේ හැකිතරම් වේගයෙන් ලකුණු රැස්කිරීම යි. ඒ වන විට ලකුණු 51ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටි දුලිප් වේගයෙන් ලකුණු රැස් කිරීමට රුසියෙකු වුණු නිසා ඔහුගෙන් වේගවත් ඉනිමක් බලාපොරොත්තු වුණා. නමුත් එම බලාපොරොත්තු සුන් කරමින් දුලිප් දැවීගියත් රෝයි සහ අර්ජුණ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 368 දක්වා රැගෙන ගියා. එම අවස්ථාව වන විට නොදැවී ලකුණු 95ක් ලබා සිටි රෝයි සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය ලබාගැනීම ඇඟිලි ගනිමින් සිටියා. එලෙස ශතකයක් අභියසට ම ගොස් සිටි රෝයි අවාසනාවන්ත අන්දමින් ලකුණු 95කට දැවීයාමත් සමගම කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම ලකුණු 385 දී නිමාව දුටුවා. එහි දී ඉන්දීය වේග පන්දු යවන්නෙකු වුණු චේතන් ෂර්මා ලකුණු 118/5 ලෙසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 6ම ලකුණු 17ක් තුළ බිඳවැටුණා.

රෝයි ඩයස් (cricketique.wordpress.com)

දෙවන දිනයේ සවස් යාමයේ සිය පළමු ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම අසන්තා ද මෙල් සහ රුමේෂ් රත්නායක සිදුකළ මනරම් පන්දු යැවීම ඉදිරියේ අන්ත අසරණ වුණා. එහි දී ඔවුන්ගේ මුල් කඩුලු 3ම ලකුණු 3ක් තුළ දැවීයන විට ඉන් කඩුලු 2ක් ලබාගත්තේ රුමේෂ් රත්නායක යි. ඒ අනුව දිනය නිමාවන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 6ක් ලබාසිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 379ක් පිටුපසින් සිටිමින්.

අමර්නාත් සහ ගවස්කාර් ඉන්දීය කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කරයි 

තෙවන දිනය ආරම්භයේ සිටම ශ්‍රී කාන්ත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව මැනවින් පාලනය කරමින් පන්දුවට පහරදුන්නේ සැඳෑ රක්ෂක පිතිකරු ලෙස පිටියට පිවිසි ශිවරාමක්‍රිෂ්ණන් සමග සාර්ථක සබඳතාවයක් ගොඩනගමින්. නමුත් එම අවස්ථාවේ දී අහංගමගේ පන්දුවක් හමුවේ ශ්‍රීකාන්ත් ලකුණු 64කට දැවීයාමෙන් පසුව ශ්‍රිවරාමක්‍රිෂ්ණන්ගේ කඩුල්ල දවාගැනීමට රුමේෂ් සමත් වුණු නිසා ඉන්දීය ලකුණු පුවරුව 88/5 බවට පත්වුණා. එලෙස ඉන්දීය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක්වුණු ගවස්කාර් සහ අමර්නාත් ලකුණු 90ක වටිනා සබඳතාවයක් ගොඩනැගුවේ ඉන්දීය කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කරමින්. එම අවස්ථාව වන විට ඔවුන් දෙදෙනා ගොඩනගමින් තිබුණු සබඳතාවය ශ්‍රී ලංකාවට තර්ජනයක් වෙමින් පැවතුණු නිසා එය බිඳ දැමීම සඳහා නායක දුලිප් සියලු උපක්‍රම යෙදුවා. අවසානයේ දී ඔහුගේ එම උත්සාහය සාර්ථකත්වයට පත්වෙමින් ගවස්කාර් ලකුණු 52කට දැවීගියේ අර්ජුණගේ පන්දුවක් හමුවේ යි. ගවස්කාර් එලෙසින් නික්ම ගියත් සිය වගකීම මැනවින් ඉටුකළ අමර්නාත් දිනය අවසන් වන තුරු නොදැවී කඩුල්ලේ ලබා සිටියේ ලකුණු 48ක් ලබාගනිමින්. ඒ අනුව තරගයේ තෙවන දිනය නිමාවට පත්වන විට ඉන්දීය ලකුණු පුවරුව 210/6 ලෙසින් දිස් වුණේ තරගය දෙපිලටම විවෘත කරමින්.

සුනිල් ගවස්කාර් (gettyimages)

ඉන්දීය කණ්ඩායමට ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක්

තරගයේ සිව්වන දින උදෑසනින්ම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 4ම ලකුණු 34ක් තුළ දවාගත්තේ ඔවුන්ගේ ඉනිම ලකුණු 244කට සීමා කරමින්. පළමු ඉනිම අවසානයේ දී  ලකුණු 141ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 46 දී බිඳ වැටුණා. ලකුණු 11ක් ලබා සිටි අමල් සිල්වා එලෙස දැවීයාමෙන් පසුව අරවින්ද පිටියට පිවිසුණේ පිතිකරු ලැයිස්තුවේ අනුපිළිවෙල වෙනස් කරමින්. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු කපිල් දේව් ලකුණු 32ක් ලබා සිටි වෙත්තමුණි දවාගැනීමත් සමගින් අරවින්ද සහ රෝයි පිටියේ එකතු වුණා. එදා ඉන්දීය පන්දු යවන්නන්ව තඹ දොයිතුවකටවත් මායිම් නොකළ අරවින්ද සහ රෝයි ලකුණු 132ක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ලබාදෙමින්. එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ යොවුන් පිතිකරු අරවින්ද පන්දු 106කින් ලකුණු 75ක් ලබාගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල අර්ධ ශතකය ලබාගනිමින්. අරවින්ද ලකුණු 75කට දැවීයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම 206/3 ලෙස ඉනිම අත්හිටවන විට රෝයි නොදැවී ලකුණු 60ක් ලබාසිටියේ තරගය පුරාවට ම පිත්තෙන් දස්කම් දක්වමින්. ඉන් පසුව ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම දිනය අවසන් වන විට කිසිවෙකු නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.

අරවින්ද ද සිල්වා (gettyimages)

ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් ජයග්‍රහණය හිමිකර ගනියි 

තරගයේ අවසන් දිනය ආරම්භයේ දී  ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා සීරුවෙන් පන්දුවට පහරදෙමින් ඉන්දීය ලකුණු පුවරුව 39/0 බවට පත්කළා. එලෙස ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා සිය කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමට සටන් කරමින් සිටි අවස්ථාවේ වුණු අසන්තා සහ රුමේෂ් ලකුණු 2ක් තුළ කඩුලු 3ක් දවාගත්තේ ඉන්දීය කණ්ඩායම අසරණ කරමින්. ඉන්දීය ලකුණු පුවරුව 41/3 ලෙසින් දිස්වුණු අවස්ථාවේ පිටියේ එක්වුණු අසාරුඩීන් සහ ගවස්කාර් ලකුණු 43ක අගනා සබඳතාවයක් ගොඩනැගුවා. එලෙස ඔවුන් දෙදෙනා වගකීමෙන් පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාවේ යළි ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 14ක් තුළ කඩුලු 4ක් දවාගත්තේ ඉන්දීය ඉනිම සුණුවිසුණු කරමින්. බලාපොරොත්තු නොවුණු මොහොතක සිදුවුණු එම බිඳවැටීමෙන් පසුව 98/7 ලෙසින් දිස්වුණු ඉන්දීය ඉනිම යළි ගොඩනැගීමට උත්සාහ කළ කපිල් දේව් හුදෙකලා සටනක නිරත වුණේ අග පෙළ පිතිකරුවන් සමග එකතු වෙමින්. කපිල් දේව් නම් එම සටන්කාමී පිතිකරුවා එලෙස සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට උත්සාහ කළත් ඊට ඉඩ නොදුන් රුමේෂ් ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙසින් ඔහුව දවාගත්තේ ලකුණු 78ක් ලබාසිටිය දී යි. එදා ලකුණු 198කට සීමාවුණු ඉන්දීය දෙවැනි ඉනිමේ කඩුලු 5ක් ලකුණු 49කට දවාගත් රුමේෂ් සමස්ත තරගය පුරාවටම කඩුලු 9ක් දවාගත්තේ එම ජයග්‍රහණයේ නියමුවෙකු වෙමින්. ඊට අමතරව එම ජයග්‍රහණය වෙනුවෙන් නිහඬ මෙහෙයක් කළ අමල් සිල්වා කඩුල්ල පිටුපස සිටිමින් උඩපන්දු 8ක් සහ ස්ටම්ප් කිරීම් 1ක් ලබාගත්තේ සුපිරි දස්කම් දක්වමින්.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම – 385/10 (156.3) 

අමල් සිල්වා -111 

රෝයි ඩයස්  – 95

රංජන් මඩුගල්ලේ – 54

දුලිප් මෙන්ඩිස් – 51

චේතන් ෂර්මා – 118/5 (33)

රවී ශාස්ත්‍රි – 74/3 (45.3)

ඉන්දීය පළමු ඉනිම – 244/10 (95.1)

මොහින්දර් අමර්නාත් – 60

සුනිල් ගවස්කාර් – 52

රුමේෂ් රත්නායක – 76/4

සාලිය අහංගම – 59/3

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 206/3 (53)

අරවින්ද ද සිල්වා – 75

රෝයි ඩයස් – 60

රවී ශාස්ත්‍රි – 41/1 (13)

ඉන්දීය දෙවන ඉනිම – 198/10 (66.2)

කපිල් දේව් – 78

රුමේෂ් රත්නායක – 49/5 (23.2)

අසන්තා ද මෙල් – 64/3 (22)

ශ්‍රී ලංකාවට ලකුණු 149ක ජයක් 

අමල් සිල්වා දැක්වූ දස්කම් වෙනුවෙන් සම්මානයක් ලබාගත් අවස්ථාව (ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අතීතය – සරත් ජයසිංහ)

එදා විනිසුරුවන් ලබාදුන් ඇතැම් තීන්දු නිසා උරණ වුණු ඉන්දීය නායක කපිල් දේව් පවසා සිටියේ “ශ්‍රී ලංකාවට මව්බිමෙන් පිටත දී ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගැනීම සිහිනයක්” පමණක් වන බව යි. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඔවුන්ට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටි බව ඔහු නිහතමානීව පිළිගනු ලැබුවා. මෙම තරගයේ දී සිදුවුණු අනිකුත් සුවිශේෂී සිදුවීම වුණේ 17 හැවිරිදි සංජීව වීරසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් ලාබාලම ක්‍රීඩකයා බවට පත්වීම යි. නමුත් එම තරගයේ දී ඔහුට කිසිදු කඩුල්ලක් දවාගැනීමට හැකිවුණේ නැහැ. 

කවරයේ ඡායාරූපය - රුමේෂ් රත්නායක (News18.com)

Related Articles