Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1996 ක්‍රිකට් ලෝක කුසලානයේ අමතක නොවන ඡායාරූප 5ක්

1996 විල්ස් ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් තුන සත්කාරකත්වය ලබාදුන්නා. කණ්ඩායම් 12ක සහභාගිත්වය යටතේ පැවති එම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් ද්විත්වය යි. ලාහෝර් නුවර, ගඩාෆි ක්‍රීඩා පිටියේ පැවති අවසන් තරගයේ දී සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ කඩුලු 7ක පහසු ජයක් හිමිකරගත්තා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට කුසලානය හිමිකරදෙමින් නිමා වුණු විල්ස් ලෝක කුසලාන තරගාවලිය තුළ දී සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවුණා. පහත දක්වා තිබෙන්නේ එවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳව යි.

5. ගැරී කර්ස්ටන්ගේ සුපිරි ඉනිම 

කර්ස්ටන්ගේ ඉනිමේ අවස්ථාවක් (pinterest)

1996 ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගය දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රාවල්පිණ්ඩි ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 2ක් දැවී ලකුණු 321ක් ලබාගත්තා. එහි දී මනරම් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ගැරී කර්ස්ටන් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් පන්දු 159ක් තුළ නොදැවී ලකුණු 188ක් ලබාගත්තා. එලෙස කර්ස්ටන්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 188 එම අවධිය වන විට යම් පිතිකරුවෙකු ලෝක කුසලාන ඉනිමක වාර්තා කර තිබුණු ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

කර්ස්ටන් අතින් එදා බිඳවැටුණේ 1987 ලෝක කුසලාන තරගාවලියේ දී කොදෙව් පිතිකරු විවියන් රිචඩ්ස් ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 181ක් ලබාගෙන තබා තිබුණු වාර්තාව යි. එසේම කර්ස්ටන් ලබාගත් ලකුණු 188 දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු එක්දින තරගයක දී ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් ද සටහන් වුණා. එදා කර්ස්ටන් තැබූ ජාතික වාර්තාව අභිබවා යාමට අද වන තුරු කිසිදු දකුණු අප්‍රිකානු පිතිකරුවෙකුට හැකියාවක් ලැබුණේ නැහැ. 

4. කෙන්යානුවන්ගේ පෙරළිය 

ජයග්‍රාහී කොදෙව් කණ්ඩායම (The Hindu)

1996 ලෝක කුසලාන තරගාවලියේ සිදුවුණු විශාලතම පෙරළිය කොදෙව්-කෙන්යානු තරගයේ දී දක්නට ලැබුණා. පූනේ නුවර නේරු පිටියේ පැවති එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් කෙන්යානු කණ්ඩායම පන්දුවාර 49.3ක් තුළ සියලුදෙනාම දැවී ලබාගත්තේ ලකුණු 166ක් පමණ යි. එහි දී කෙන්යානු ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීම සඳහා දක්ෂ පන්දු යැවීමක නිරත වුණු වොල්ෂ් සහ හාපර් කඩුලු 3 බැගින් දවාගත්තා. ඉන් පසුව ලකුණු 167ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් පහසුවෙන් තරගය ජයගනු ඇති බව බොහෝ දෙනෙකුගේ අනුමානය වුණා. නමුත් කොදෙව් ඉනිම ආරම්භ වුණු මොහොතේ සිටම ඉතාමත් හොඳින් පන්දු යැවූ කෙන්යානු පන්දු යවන්නන් ඔවුන්ගේ මුල් කඩුලු 4ම ලකුණු 35ක් ඇතුළත දවාගත්තා. ඉන් අනතුරුව අසිෆ් කරීම් සහ මොරිස් ඔඩුම්බේ යන දඟපන්දු යවන්නන් දෙදෙනාගේ ග්‍රහණයට හසු වුණු කොදෙව් පිතිකරුන්ට කිසිදු ගැලවීමක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 35.2ක් තුළ කොදෙව් ඉනිම ලකුණු 93කට සීමා වුණා. ඒ අනුව ටෙස්ට් වරම් නොමැති රටක් වුණු කෙන්යාව අතින් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අත් වුණු ලකුණු 73ක පරාජය 1996 ලෝක කුසලානය තුළ දක්නට ලැබුණු පෙරළිකාර ජයග්‍රහණයක් වුණා.

3. තරගයක් කණපිට හැරවූ ස්ටම්ප් කිරීම 

කළුවිතාරණ ලබාගත් සුපිරි ස්ටම්ප් කිරීම (gettyimages)

1996 විල්ස් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් පිටියේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණා. එම තරගයේ දී ලකුණු 252ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම එක් අවස්ථාවක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 98ක් ලබා සිටියා. ඒ වන විට නොදැවී ලකුණු 65ක් ලබා සිටි සචින් ටෙන්ඩුල්කාර් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වුණා. නමුත් එම අවස්ථාවේ දී ජයසූරිය යැවූ පන්දුවක් හමුවේ උපක්‍රමශීලීව කඩුල්ල බිඳ දැමූ කළුවිතාරණ ඉන්දියාවේ බලාපොරොත්තුව වුණු ටෙන්ඩුල්කාර්ගේ ඉනිමට නැවතීමේ තිත තැබුවා. එම කඩුල්ල දැවීයාමෙන් පසුව ඉක්මනින්ම ඉන්දීය කඩුලු බිඳ වැටුණා. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන්ගේ ලකුණු පුවරුව 120/8 දක්වා පසු බැස්සා. බලාපොරොත්තු නොවුණු මොහොතක සිදුවුණු හදිසි කඩුලු බිඳ වැටීම නිසා උරණ වුණු ඉන්දියානුවන් එදා කල්කටා පිටිය ගිනිබත් කළා. එම නිසා තරග තීරක ක්ලයිව් ලොයිඩ් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ප්‍රදානය කළා. එදා ටෙන්ඩුල්කාර් තව පන්දුවාර කිහිපයක් පිටියේ රැඳී සිටියා නම් තරගය ඉන්දියාවට වාසිදායක වීමට ඉඩ තිබුණා. නමුත් කළුවිතාරණ විසින් සිදු කළ විශ්මිත ස්ටම්ප් කිරීම නිසා තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරුණා.

2. සර්වානිව අන්දමන්ද කළ ඩොනල්ඩ්ගේ කෙටි පන්දුව 

ඩොනල්ඩ් එවූ කෙටි පන්දුව සර්වානිගේ හිසේ වැදුණු අවස්ථාව (gettyimages)

1994 වසරේ දී පැවති ICC කුසලානයේ ශූරතාවය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය 1996 විල්ස් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත්තා. ඔවුන් එම ලෝක කුසලාන තරගාවලිය යටතේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග මුලින්ම තරග වැදුණා. එම තරගයේ දී ලකුණු 322ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 68ක් තුළ දැවී ගියා. එම අවස්ථාවේ දී පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ නායක සුල්තාන් සර්වානි ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ සිටියේ නැහැ. ඇලන් ඩොනල්ඩ් විසින් එක්වරම සර්වානි වෙත යොමු කළ කෙටි පන්දුව හමුවේ ඔහු අසරණ වුණා. ඉහත රූපයේ දැක්වෙන්නේ ඩොනල්ඩ් යොමු කළ කෙටි පන්දුව හමුවේ සර්වානි අසරණ වී සිටින ආකාරය යි. ඩොනල්ඩ් වැනි සුපිරි වේගපන්දු යවන්නෙකුට එරෙහිව ආරක්ෂිත හිස්වැසුමක් භාවිතා නොකිරීම නිසා සර්වානි අපහසුතාවයට පත්වුණු මෙම ඡායාරූපය 1996 ලෝක කුසලාන තරගාවලිය තුළ දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක් වුණා. 

1. ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කළ අරවින්දගේ ශතකය 

අරවින්ද ශතකය ලබාගත් මොහොත (gettyimages)

1996 ලෝක කුසලාන අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක අර්ජුන මුලින්ම පන්දුවට පහරදීමේ වාරය කැන්ගරුවන්ට ලබාදුන්නා. එම අවධිය වන විට දෙවන වරට පන්දුවට පහරදුන් කණ්ඩායමක් ලෝක කුසලානය ජයග්‍රහණය කර නොතිබුණු නිසා අර්ජුනගේ තීරණය බොහෝ දෙනෙකු විවේචනය කළා. නමුත් එදා ශ්‍රී ලංකා පන්දු යවන්නන් කිසියම් සැලසුමකට අනුව පන්දු යැවූ නිසා නියමිත පන්දුවාර 50 තුළ ඕස්ට්‍රේලියානු ඉනිම 241/7 ලෙසින් සීමා කර ගත හැකි වුණා.

ඉන් පසුව ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2, ලකුණු 23ක් තුළ දැවී ගියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි මොහොතක පිටියට පිවිසි අරවින්ද ද සිල්වා අගනා ලකුණු 107ක් ලබාගනිමින් අප කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එදා අරවින්දගේ පිත්තෙන් නොදැවී වාර්තා වුණු ලකුණු 107 එක්දින ලෝක කුසලාන අවසන් තරගයක දී දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායමක පිතිකරුවෙකු ලබාගත් එකම ශතකය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

කවරයේ ඡායාරූපය- 1996 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

Related Articles