Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ යෝධයා- බ්‍රසීලය

 මුල් ම පාපන්දු ලෝක කුසලාන තරගාවලිය උරුගුවේ දේශයේ දී 1930 වසරේ දී පැවැත්වුණා. එදා සිට ගෙවුණු වසර 92ක කාලය තුළ පාපන්දු ලෝක කුසලාන තරගාවලි 21ක් පවත්වා තිබෙනවා. එසේ පැවැත්වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලිවල දී ඉහළ දස්කම් දැක්වූ රටවල් අතර ඉදිරියෙන් ම සිටින්නේ බ්‍රසීලය යි. 1958, 1962, 1970, 1994, සහ 2002 යන වසරවල පාපන්දු ලෝක කුසලානය දිනා ගත් බ්‍රසීලය, එදා මෙදාතුර වැඩි ම වාර ගණනක් පාපන්දු ලෝක කුසලානය දිනා ගත් රට බවට ද පත් ව සිටිනවා. 2022 පාපන්දු ලෝක කුසලානය සඳහා මේ වන විට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් පසුගිය දා අනාවරණය වීමත් සමඟ ම බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දිනා ගත් ශූරතා 5 පිළිබඳ මතකය යළි සිහිපත් කරන්නට අප කල්පනා කළා

1958 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය

1958 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ස්වීඩනයේ දී පැවැත්වුණා. ඒ සඳහා රටවල් 16ක් තරග වැදුණා. එහි දී මූලික වටයේ තරගවල දී ඔස්ට්‍රියාව හමුවේ ගෝල 3-0ක් සහ සෝවියට් රුසියාව හමුවේ ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණ  ලබා ගත් බ්‍රසීලය එංගලන්ත තරගය ගෝල 0-0 ලෙස ජය පැරදුමෙන් තොර ව අවසන් කර ගත්තා. එහි දී ඇල්ටාෆිනී සහ වාවා යන ක්‍රීඩකයන් පිළිවෙළින් ඔස්ට්‍රියාව සහ සෝවියට් රුසියාව හමුවේ ගෝල 2 බැගින් වාර්තා කළා. 

ඔස්ට්‍රියාවට එරෙහි ව ගෝලයක් ලබාගත් ඇල්ටාෆිනී – gettyimages.com

 

පළමු තරග වටයේ දී ඉහළ දස්කම් දැක්වූ බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. එම තරග වටයේ දී ඔවුන් වේල්සයට එරෙහි ව තරග වැදුණා. වේල්ස් ක්‍රීඩකයන් බ්‍රසීලයට කරට කර සටනක් එදා ලබා දුන් නිසා පළමු භාගයේ දී ගෝල වාර්තා වුණේ නැහැ.

තරගයේ දෙවන භාගයේ දී ක්‍රියාත්මක වුණු පේලේ 66 වන විනාඩියේ දී ගෝලයක් වාර්තා කළා. එය පේලේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියක දී වාර්තා කළ මුල් ම ගෝලය ලෙසින් ඉතිහාසගත වුණා. ඒ වන විට ඔහු 17 හැවිරිදි වියේ පසුවුණා. 

බ්‍රසීල-වේල්ස් තරගයේ අවස්ථාවක් – gettyimages.com 

 

අවසන් පූර්ව වටයේ දී බ්‍රසීලය සහ ප්‍රංශය උරෙනුර ගැටුණා. තරගයේ පළමු භාගය නිමාවට පත් වන විට බ්‍රසීලය ගෝල 2-1ක් ලෙස තරගයේ පෙරමුණ ගෙන සිටියා. තරගයේ දෙවන භාගයේ දී ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වුණු පේලේ 52, 64 සහ 75 යන විනාඩිවල දී ගෝල වාර්තා කරමින් ත්‍රිත්ව ගෝලයක් සම්පූර්ණ කළා.

ඒ අනුව පාපන්දු ලෝක කුසලානයක ත්‍රිත්ව ගෝලයක් ලබා ගත් ළාබාලත ම ක්‍රීඩකයා ලෙසින් පේලේ වාර්තා අතරට එක් වුණා. එදා ඔහු තැබූ වාර්තාව අදටත් සුරැකි ව පැවතීම විශේෂත්වයක්.  එදා පේලේ දැක් වූ සුපිරි දස්කම් හේතුවෙන් බ්‍රසීලයට ගෝල 5-2ක ජයක් හිමි වුණා.

පේලේ පන්දුව ඉදිරියට ගෙනයමින් – gettyimages.com

 

අවසන් තරගයේ දී සත්කාරක ස්වීඩනය, බ්‍රසීලය සමඟින් තරග වැදුණා. එදා ස්වීඩනයේ ලිඩ්හෝම් 4 වන විනාඩියේ දී ගෝලයක් වාර්තා කරමින් ස්වීඩනයට හොඳ ආරම්භයක් ලබා දුන්නා. ඉන් පසු ක්‍රියාත්මක වුණු පේලේ සහ වාවා ගෝල 2 බැගින් වාර්තා කළා. ඒ අතරතුර මාරිරෝ සැගලෝ බ්‍රසීලය වෙනුවෙන් ද සීමන්සන් ස්වීඩනය වෙනුවෙන් ද ගෝලය බැගින් වාර්තා කළා. 

අවසන් තරගයේ දී දස්කම් දැක්වූ වාවා – gettyimages.com

 

එහි ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රසීලයට ගෝල 5-2ක පහසු ජයක් හිමි වුණා. එම ජයග්‍රහණයත් සමඟින් බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානය පහස මුල් ම වරට විඳ ගත්තා. එය දකුණු අමෙරිකානු  රටක් යුරෝපයේ දී දිනා ගත් එකම පාපන්දු ලෝක කුසලානය ලෙසින් තවමත් වාර්තා අතර රැඳී තිබෙනවා. මෙම ලෝක කුසලාන තරගාවලියේ දී බ්‍රසීලය වෙනුවෙන් ගෝල 6ක් ම වාර්තා කළේ එවකට 17 හැවිරිදි වියේ පසුවුණු පේලේ නම් යොවුන් ක්‍රීඩකයා යි.

ඒ අයුරින් පේලේ  දැක්වූ දස්කම් හේතුවෙන් ඔහුට යුරෝපීය පාපන්දු ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කරන ලෙස ඉල්ලීම් ගලා එන්නට පටන් ගත්තා. එම අවස්ථාවේ බ්‍රසීල රජය පේලේ ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ඔහුට යුරෝපයේ පාපන්දු සමාජ සඳහා ක්‍රීඩා කිරීම තහනම් කළා. 

1958 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායම – gettyimages.com

 

2). 1962 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය

චිලී දේශයේ දී පැවැත්වුණු 1962 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා මවුරෝ රාමෝස්ගේ නායකත්වය යටතේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායමක් සහභාගි වුණා. එදා බ්‍රසීලය මූලික තරග වටයේ දී මෙක්සිකෝව හමුවේ ගෝල 2-0, සහ ස්පාඤ්ඤය හමුවේ ගෝල 2-1ක් ලෙසින් ජයග්‍රහණ වාර්තා කරගෙන චෙකොස්ලෝවැකියාවට තරගය ගෝල 0-0 ලෙසින් ජය පරාජයෙන් තොර ව අවසන් කර ගත්තා. 

 බ්‍රසීල-මෙක්සිකෝ තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

චෙකොස්ලෝවැකියාව සමඟ පැවති මූලික වටයේ දෙවන තරගයේ දී පේලේ මස් පිඩු ආබාධයකට ලක් වුණා. එනිසා ඔහුට තරගාවලියේ ඉතිරි තරග සියල්ල ම අහිමි වීම අවාසනාවන්ත සිදුවීමක් වුණා.

එදා පේලේ වෙනුවට කණ්ඩායමට එකතු වුණු ඇමරිල්ඩෝ ස්පාඤ්ඤට එරෙහි ව පැවති තරගයේ දී ගෝල 2ක් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම සුවිශේෂී සිදුවීමක් වුණා. 

ස්පාඤ්ඤයට එරෙහිව දස්කම් දැක්වූ ඇමරිල්ඩෝ – gettyimages.com

 

ඉන් පසුව පැවැත්වුණු අර්ධ අවසන් පූර්ව වටයේ දී බ්‍රසීලයට තරග වැදීමට සිදුවුණේ එංගලන්තයට එරෙහි ව යි. එදා එංගලන්තය හමුවේ ගෝල 3-1ක පහසු ජයක් හිමි කර ගත් බ්‍රසීලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. එහි දී ගරින්චා ගෝල 2ක් ලබාගනිද්දී වාවා ඉතිරි ගෝලය වාර්තා කළා. 

එංගලන්ත තරගයේ දී දස්කම් දැක්වූ ගරින්චා – gettyimages.com

 

අවසන් පූර්ව වටයේ දී බ්‍රසීලය සහ සත්කාරක චිලී රාජ්‍යය තරග වැදුණා. එම තරගයේ 9 සහ 32 යන විනාඩිවල දී ගරින්චා ගෝල වාර්තා කළ නිසා පළමු භාගය නිමා වෙද්දී බ්‍රසීලය ගෝල 2-1ක් ලෙස පෙරමුණේ පසුවුණා.

ඉන් පසු ආරම්භ වුණු දෙවන භාගයේ දී ක්‍රියාත්මක වුණු වාවා 47 සහ 78 යන විනාඩිවල දී ගෝල වාර්තා කළ නිසා අවසානයේ දී බ්‍රසීලයට ගෝල 4-2ක පහසු ජයක් උරුම වුණා.

වාවා ගෝලයක් වාර්තා කරමින් – gettyimages.com

අවසන් තරගයේ දී බ්‍රසීලය සහ චෙකොස්ලෝවැකියාව නැවතත් හමු වුණා. එම තරගයේ 15 වන විනාඩියේ දී ක්‍රියාත්මක වුණු චෙකොස්ලෝවැකියා ක්‍රීඩක මැසොපුස්ට් ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණේ තැබුවා. ඉන් නොසැලුණු ඇමරිල්ඩෝ, සිටෝ සහ වාවා යන තරු ත්‍රිත්වය පිළිවෙළින් 17, 69 සහ 78 යන විනාඩිවල දී ගෝල වාර්තා කරමින් බ්‍රසීලයට ගෝල 3-1ක පහසු ජයක් උරුම කර දුන්නා.

එසේ ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් පිට පිට ම දෙවරක් පාපන්දු ලෝක කුසලානය දිනා ගත් දෙවන රට ලෙසින් බ්‍රසීලය ඉතිහාසගත වුණා. බ්‍රසීලයට පෙර එම දස්කම දක්වා තිබුණු ඉතාලිය 1934 සහ 1938 පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය කළා. බ්‍රසීලයට පසු ව වෙනත් කිසිදු රටකට එම දස්කම දැක්වීමට හැකි වූයේ නෑ. 

1962 පාපන්දු ලෝක කුසලානය දිනාගත් බ්‍රසීල කණ්ඩායම – gettyimages.com

 

3). 1970 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය

1970 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මෙක්සිකෝවේ දී පැවැත්වුණා. ඒ සඳහා සහභාගි වුණු කාලෝස් ඇල්බර්ටෝගේ නායකත්වයෙන් යුත් බ්‍රසීල කණ්ඩායම ලෝක පාපන්දු ඉතිහාසය තුළ බිහිවුණු ප්‍රබලත ම කණ්ඩායම ලෙසින් සැලකෙනවා.

එදා පළමු තරග වටයේ දී දක්ෂ ලෙස තරග වැදුණු බ්‍රසීල කණ්ඩායම චෙකොස්ලෝවැකියාව හමුවේ ගෝල 4-1ක්, එංගලන්තය හමුවේ ගෝල 1-0ක්, රුමේනියාව හමුවේ ගෝල 2-1ක් ලෙසින් ජයග්‍රහණ වාර්තා කළා. එම තරගවල දී ඉදිරිපෙළ ප්‍රහාරකයකු ලෙස ක්‍රීඩා කළ ජාර්සින්හෝ ගෝල 4ක් වාර්තා කළා.

පළමු වටයේ දී සුපිරි දස්කම් දැක්වූ ජාර්සින්හෝ – gettyimages.com

 

පළමු තරග වටයේ සියලු තරග පහසුවෙන් ජයග්‍රහණය කළ බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයේ දී පේරු කණ්ඩායම හමුවේ ගෝල 4-2ක ජයක් වාර්තා කළා. එහි දී ටොස්ටාඕ ගෝල 2ක් ලබා ගනිද්දී ජාර්සින්හෝ සහ රිවෙලිනෝ ගෝලය බැගින් වාර්තා කළා.

අවසන් පූර්ව තරගයේ දී  බ්‍රසීලය ඔවුන්ගේ සාම්ප්‍රදායික සතුරකු වන උරුගුවේ සමඟින් තරග වැදුණා. එම තරගයේ දී දක්ෂ ලෙස ක්‍රීඩා කළ බ්‍රසීලය ගෝල 3-1ක පහසු ජයක් වාර්තා කළා. එහි දී ජාර්සින්හෝ, ක්ලෝඩාල්ඩෝ සහ රිවෙලිනෝ යන ක්‍රීඩකයන් ගෝල වාර්තා කළා.

බ්‍රසීල උරුගුවේ අවසන් පූර්ව තරගය – gettyimages.com

 

අවසන් තරගයේ දී බ්‍රසීලය සහ ඉතාලිය උරෙනුර ගැටුණා. ඒ වන විට එම රටවල් ද්විත්වය පාපන්දු ලෝක කුසලානය වාර 2 බැගින් ජයග්‍රහණය කර තිබුණා. එනිසා පාපන්දු ලෝක කුසලානය තුන්වන වරටත් ජයග්‍රහණය කරන රටට ජූල්ස් රිමේ පාපන්දු ලෝක කුසලානයේ අයිතිය සදහට ම හිමිවීමට නියමිත ව තිබුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පළමු භාගය නිමාවෙද්දී කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබාගෙන තිබුණා.

එහි දී පේලේ බ්‍රසීලය වෙනුවෙන් ගෝලය වාර්තා කළා. තරගයේ දෙවන භාගයේ දී වේගවත් තරග රටාවක නිරත වුණු බ්‍රසීල ක්‍රීඩකයන් තවත් ගෝල 3ක් වාර්තා කළා. එහි දී ගර්සන්, ජාර්සින්හෝ සහ කාලෝස් ඇල්බර්ටෝ ගෝල වාර්තා කළා. ඒ අනුව බ්‍රසීලයට ගෝල 4-1ක විශිෂ්ට ජයක් හිමි වුණා. එපමණක් නොව ජූල්ස් රිමේ කුසලානය ඔවුන්ට සින්නක්කරව ම අයිති වුණා.

බ්‍රසීල නායකයා ජයග්‍රාහී කුසලානය සමඟ – gettyimages.com

 

1970 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී දෙවැනියට වැඩි ම ගෝල ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වුණු ජාර්සින්හෝ ගෝල 7ක් වාර්තා කළා. එහි දී ඔහු බ්‍රසීලය ක්‍රීඩා කළ සෑම තරගයක දී ම ගෝල වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.  1970 පාපන්දු ලෝක කුසලානයේ බ්‍රසීල පුහුණුකරු තනතුර දැරුවේ මාරියෝ සැගලෝ නම් හිටපු බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයා යි.

ඔහු 1958 දී පාපන්දු ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායමේ සාමාජිකයෙක් වුණා. ඒ අනුව ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු ලෙස පාපන්දු ලෝක කුසලානය දිනා ගත් මුල් ම පුද්ගලයා ලෙසින් ද මාරියෝ සැගලෝ ඉතිහාසගත වුණා.

මාරියෝ සැගලෝ – gettyimages.com

 

4). 1994 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය

කණ්ඩායම් 24ක සහභාගිත්වයෙන් පැවැත්වුණු 1994 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා අමෙරිකාව සත්කාරකත්වය ලබා දුන්නා. එවර තරගාවලියේ මූලික වටයේ දී දක්ෂ ලෙස තරග වැදුණු බ්‍රසීල කණ්ඩායම කැමරූන් හමුවේ ගෝල 3-0ක් සහ, රුසියාව හමුවේ ගෝල 2-0ක් ලෙසින් ජයග්‍රහණ වාර්තා කළා.

 ස්වීඩනයට එරෙහි ව පැවති තරගය ද ගෝල 1-1ක් ලෙසින් ජය පැරදුමෙන් තොරව අවසන් කළා. එම තරග තුනේ දී ම රොමාරියෝ ගෝල වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

බ්‍රසීල-රුසියා තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

කණ්ඩායම් 16 තරග වටයේ දී බ්‍රසීලය සහ අමෙරිකාව උරෙනුර ගැටුණා. එම තරගයෙන් බ්‍රසීලයට ගෝල 1-0ක ජයක් හිමි වුණා. එහි දී බෙබේටෝ බ්‍රසීලය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. අර්ධ අවසන් පූර්ව වටයේ දී බ්‍රසීලයට තරග වැදීමට සිදුවුණේ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව යි. එම තරගයේ 63 වන විනාඩිය වන විට බ්‍රසීලය ගෝල 2-0ක් ලෙසින් පෙරමුණේ පසුවුණා.

එදා රොමාරියෝ සහ බෙබේටෝ බ්‍රසීලය වෙනුවෙන් ගෝල වාර්තා කළා. ඉන් පසුව ක්‍රියාත්මක වුණු නෙදර්ලන්තය ඉක්මනින්ම ගෝල 2ක් ලබාගත් නිසා 76 වන විනාඩිය අවසන් වෙද්දී තරගයේ ලකුණු සම වුණා. එම තීරණාත්මක මොහොතේ ක්‍රියාත්මක වුණු බ්‍රැන්කෝ බ්‍රසීලය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා.  

අමෙරිකාවට එරෙහිව ගෝලයක් වාර්තා කළ බෙබේටෝ – gettyimages.com

 

අවසන් පූර්ව තරගයේ දී බ්‍රසීලය සහ ස්වීඩනය නැවතත් හමු වුණා. කණ්ඩායම් දෙක ම කරට කර සටනක නිරත වුණු එම තරගයේ 79 වන විනාඩිය අවසන් වන විටත් ගෝල වාර්තා වී තිබුණේ නැහැ.

එම තීරණාත්මක අවස්ථාවේ ක්‍රියාත්මක වුණු රොමාරියෝ බ්‍රසීලය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. 

රොමාරියෝ ජයග්‍රාහී ගෝලය වාර්තා කළ අවස්ථාව – gettyimages.com

 

ඒ අයුරින් අවසන් සටනට පිවිසි බ්‍රසීලය අවසන් තරගයේ දී ප්‍රබල ඉතාලි කණ්ඩායම සමඟින් තරග වැදුණා. එම තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී කණ්ඩායම් දෙක ම ගෝල ලබාගෙන සිටියේ නැහැ. ඉන් පසු දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයා තෝරා ගැනීමට සිදු වුණා.

එහි දී දඬුවම් පහර 3-2ක් ලෙස බ්‍රසීලය තරගය ජයග්‍රහණය කළා. බ්‍රසීලයට සිව්වන වරටත් පාපන්දු ලෝක කුසලානය දිනා දීමට විශාල මෙහෙයක් සිදු කළ රොමාරියෝ ගෝල 5ක් ලබා ගෙන තරගාවලියේ දෙවන වැඩි ම ගෝල ලාභියා බවට පත්වුණා.  

ජයග්‍රාහී බ්‍රසීල කණ්ඩායම – gettyimages.com

 

5). 2002 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය 

රටවල් 32ක සහභාගිත්වයෙන් පැවැත්වුණු 2002 පාපන්දු ලෝක කුසලානය සඳහා ජපානය සහ  දකුණු කොරියාව සත්කාරකත්වය ලබා දුන්නා. එවර තරගාවලියේ මූලික වටයේ සී කාණ්ඩයෙන් තරග බිමට පිවිසි බ්‍රසීල කණ්ඩායම තුර්කිය හමුවේ ගෝල 2-1ක් චීනය හමුවේ ගෝල 4-0ක් සහ කොස්ටරිකා හමුවේ ගෝල 5-2ක් ලෙසින් ජයග්‍රහණ වාර්තා කළා.

එහි දී රොනාල්ඩෝ ගෝල 4ක් සහ රිවාල්ඩෝ ගෝල 3ක් ලබා ගෙන සෑම තරගයක දී ම තම කණ්ඩායම වෙනුවෙන් ගෝල වාර්තා කළා.  

රිවාල්ඩෝ දස්කම් දක්වමින් – gettyimages.com

 

ඉන් පසුව පැවති කණ්ඩායම් 16 තරග වටයේ දී බ්‍රසීලය ගෝල 2-0ක් ලෙසින් බෙල්ජියම පරාජය කළා. එහි දී රොනාල්ඩෝ සහ රිවාල්ඩෝ ගෝල වාර්තා කළා. අර්ධ අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල එංගලන්තය හමුවේ ගෝල 2-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බ්‍රසීලයට හැකි වුණා. එහි දී රිවාල්ඩෝ සහ රොනාල්ඩිනෝ බ්‍රසීලය වෙනුවෙන් ගෝල වාර්තා කළා.

අවසන් පූර්ව තරගයේ දී  යළිත් වරක් තුර්කිය සමඟින් තරග වැදුණු බ්‍රසීලය ගෝල 1-0ක ජයක් වාර්තා කළා. එහි දී බ්‍රසීල කණ්ඩායම අවසන් තරගය වෙත රැගෙන ගිය රොනාල්ඩෝ 49 වන විනාඩියේ දී ජයග්‍රාහී ගෝලය වාර්තා කළා.

තරගාවලිය පුරාවට දස්කම් දැක්වූ රොනාල්ඩෝ – gettyimages.com

 

අවසන් මහා තරගයේ දී බ්‍රසීලයට උරෙනුර ගැටීමට සිදුවුණේ ප්‍රබල ජර්මානු කණ්ඩායම සමඟ යි. ජර්මානු දැල රකින්නා ලෙසින් කටයුතු කළ ඔලිවර් ඛාන් තරගාවලිය පුරා ඒ වන විට ක්‍රීඩා කර තිබුණු තරගවල දී ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණේ එකම එක ගෝලයක් පමණ යි. අ

වසන් තරගය ආරම්භ වුණු මොහොතේ සිට දක්ෂ දැල් රැකීමට නිරත වුණු ඔලිවර් 66 වන විනාඩිය අවසන් වන තුරු ප්‍රතිවාදීන්ට ගෝල ලබාදුන්නේ නැහැ. නමුත් 67 වන විනාඩියේ දී ඔලිවර්ට සිදුවුණු අත්වැරදීමකින් ප්‍රයෝජන ගත් රොනාල්ඩෝ බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. 

රොනාල්ඩෝ අවසන් තරගයේ පළමු ගෝලය වාර්තා කළ අවස්ථාව – gettyimages.com

 

ඉන් නොනැවතුණු රොනාල්ඩෝ 79 වන විනාඩියේ දී තවත් ගෝලයක් වාර්තා කරමින් බ්‍රසීලයට ගෝල 2-0ක ජයක් උරුම කර දුන්නා. තරගාවලිය පුරාවට විශිෂ්ට දස්කම් දක්වමින් ගෝල 8ක් ලබා ගත් රොනාල්ඩෝ තරගාවලියේ වැඩි ම ගෝලලාභියා බවට පත්වුණා. ඒ වාගේ ම බ්‍රසීලය 21 වන සියවසේ පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ මුල් ම රට ලෙසින් ද ඉතිහාසගත වුණා. 

ජයග්‍රාහී බ්‍රසීල කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය- 1994 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන් - gettyimages.com 

මූලාශ්‍ර:

fifa.com

goal.com

worldfootball.net

espn.com    

Related Articles