Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කිසි දිනෙක චැම්පියන්ස් ලීග් ශූරතාවක් දිනා නොගත් සුපිරි පාපන්දු තරු

ලොව පාපන්දු ක්‍රීඩා කරන ඕනෑම ක්‍රීඩකයකුට ක්‍රීඩා සමාජ මට්ටමෙන් ජයග්‍රහණය කළ හැකි ඉහළත ම ශූරතාව වන්නේ චැම්පියන්ස් ලීග් ශූරතාව යි. යුරෝපීය පාපන්දු සංගමය මඟින් සංවිධානය කරන මෙම තරගාවලිය සෑම වසරකට ම වරක් පැවැත්වෙනවා.

යුරෝපය පුරා ඇති රටවල් 55 ක පාපන්දු ක්‍රීඩා සමාජ දහස් ගණනකින් මෙම කිරුළ දිනා ගැනීමට අවස්ථාව හිමි වන්නේ එක් කණ්ඩායමකට පමණ යි.

2021/22 අවසන් චැම්පියන්ස් ලීග් කිරුළ ජයග්‍රහණය කළ රියාල් මැඩ්රීඩ් කණ්ඩායම – www.sillyseason.com

වැඩි ම වතාවක් චැම්පියන්ස් ලීග් ශූරතාව ජයග්‍රහණය කළ කණ්ඩායම ලෙසින් ශූරතා 14 ක් දිනූ ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජය ඉතිහාසගත වී තිබෙනවා. රියාල් මැඩ්රීඩ් සමඟ ම ක්‍රීඩා කළ පකෝ ජෙන්ටෝ 6 වතාවක් චැම්පියන්ස් ලීග් ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. (එකල මෙය සටහන් වූයේ යුරෝපීය කුසලානය නමින්). ක්‍රීඩකයන් 18 දෙනෙක් හතර වතාව බැගින් Champions League ශූරතාව ජයග්‍රහණය කළා.

පාපන්දු පිටියේ ජය කෙහෙළි නංවමින් සිටි ක්‍රීඩකයන් සමහරක් මෙම චැම්පියන්ස් ලීග් ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුණේ නෑ. සමහර ක්‍රීඩකයන් තවමත් යුරෝපයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරන අතර සමහර ක්‍රීඩකයන් විශ්‍රාම ගොස් අවසන්. ලොව පුරා විශිෂ්ට ක්‍රීඩකයන් බවට නම් දරා ප්‍රසිද්ධ වී සිටිය ද තවමත් චැම්පියන්ස් ලීග් කිරුළක පහස දැරීමට නොහැකි වූ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මෙම ලිපියෙන් අවධානය යොමු කර සිටිනවා.

1. ජියන්ලුයිජි බුෆොන් (ඉතාලිය)

ඉතාලි ජාතික දැල් රකින්නෙක් වන බුෆොන් මේ වන විට 45 හැවිරිදි වියේ පසුවනවා. ඔහු වයස යනු හුදු ඉලක්කමක් බව පසක් කරමින් ඉතාලි දෙවන පෙල ලීගයේ කණ්ඩායමක් වන පර්මා හි දැල් රකින්නා වශයෙන් තවමත් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. නමුත් ඔහු නැවත යුරෝපයේ ප්‍රමුඛ පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජයක් හා එක් වීමට ඉතාම අඩු ඉඩක් පවතින හෙයින් චැම්පියන්ස් ලීග් ශූරතාවක් ජයග්‍රහණය කිරීම බුෆොන්ට සිහිනයක් ම වී තිබෙනවා.

1995 සිට වෘත්තියමය මට්ටමෙන් පාපන්දු ක්‍රීඩා කිරීම ඇරඹූ ඔහු 2001 වර්ෂයේ දී ඉතාලියේ යුවෙන්ටස් (Juventus) පාපන්දු කණ්ඩායම සමඟින් ගිවිසුම් ගත වුණා. එතැන් පටන් එක දිගට වසර 17 ක් යුවෙන්ටස් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බුෆොන් කටයුතු කළා. ඔහු 2001-18 සහ 2019-21 කාලය තුළ දී යුවෙන්ටස් වෙනුවෙන් ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 685 ක්. එතරම් කලක් ඉතාලියේ අංක 1 පාපන්දු ක්‍රීඩා සමාජයක් නියෝජනය කිරීමට සමත් වුවත් ජියන්ලුයිජි බුෆොන්ට චැම්පියන්ස් ලීග් ශූරතාවක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නෑ.

බුෆොන් යුවෙන්ටස් සමඟ ක්‍රීඩා කරමින් – www.beinsports.com

2002-03, 2014-15 සහ 2016-17 තරගවාරයන් හී දි චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගය තෙක් පැමිණීමට යුවෙන්ටස් සමත් වුණා. නමුත් අවාසනාවකට මෙන් එක් වතාවක් වත් ඔවුන්ට ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව ලැබුණේ නෑ.

2006 පාපන්දු ලෝක ශූරතාව දිනා ගත් ඉතාලි කණ්ඩායමේ දැල් රකින්නා මෙන්ම 2006 ලෝක කුසලානයේ හොඳම දැල් රකින්නා යන සම්මානයෙන් පවා බුෆොන් පිදුම් ලැබුවා. ඉතාලිය වෙනුවෙන් ද ඔහු ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 176 ක්. යුවෙන්ටස් සහ ඉතාලි කණ්ඩායම් ද්විත්වයේ ම නායකත්වය දැරීමට පවා බුෆොන්ට හැකියාව ලැබුණා.

යුවෙන්ටස් වෙනුවෙන් ඉතාලි පාපන්දු ලීගය 10 වතාවක්, ඉතාලි සුපර් කෝපා පාපන්දු කුසලානය 6 වතාවක්, කෝපා ඉතාලි තරගාවලිය 5 වතාවක් වශයෙන් ඔහු ජයග්‍රහණය කළා. මෙතරම් සුවිශේෂී වසර ගණනාවක ක්‍රීඩා දිවියක චැම්පියන්ස් ලීග් ශූරතාවක් නොමැති වීම අදටත් ජියන්ලුයිජි බුෆොන් ගේ ක්‍රීඩා දිවියේ ඇති විශාලත ම අඩුපාඩුවක් බව පෙන්වා දිය හැකි යි.

2. රොනාල්ඩෝ නසාරියෝ (බ්‍රසීලය)

1990 දශකයේ අග භාගයේ සහ 2000 දශකයේ මුල භාගයේ දී පාපන්දු ලෝකය ම ක්ෂණයකින් මවිතයට පත් කිරීමට රොනාල්ඩෝ යන නමට හැකියාව ලැබී තිබුණා. 1994 සහ 2002 පාපන්දු ලෝක ශූරතාව, 2002 පාපන්දු ලෝක කුසලානයේ වැඩි ම ගෝල ලාභියා, 1998 පාපන්දු ලෝක කුසලානයේ දක්ෂත ම ක්‍රීඩකයා, 1997 සහ 2002 වසරේ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලොන් ඩොර් සම්මානය පවා දිනා ගැනීමට රොනාල්ඩෝ සමත් වුණා. කිසි දිනෙක ඔහුට චැම්පියන්ස් ලීග් ශූරතාවක් දිනා ගැනීමට හැකියාව ලැබුණේ නෑ.

ඉන්ටර් මිලාන් සමඟ ක්‍රීඩා කරන රොනාල්ඩෝ – www.ronaldo.com

ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් වශයෙන් ගෝල රැස් කිරීමට රොනාල්ඩෝ සුවිශේෂී හැකියාවක් දැක්වූවා. මේ හේතුවෙන් ඔහු යුරෝපයේ ප්‍රමුඛ පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජ වන බාසිලෝනා, ඉන්ටර් මිලාන්, රියාල් මැඩ්රීඩ්, ඒ.සී.මිලාන් වැනි ප්‍රකට ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කළා.

එම කාලයේ හෝ ඔහුට චැම්පියන්ස් ලීග් අවසන් තරගයකට පැමිණීමට පවා නොහැකි වුණා. 1998 සිට විටින් විට පැමිණි ආබාධ නිසා ඔහුගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය යුගයක් ද මඟහැරී ගියා. මේ හේතුවෙන් රොනාල්ඩෝ 1998-99 සිට 2001-02 තරගවාරය දක්වා ක්‍රීඩා කොට ඇත්තේ තරග 52 ක් පමණ යි.

තම සමස්ත පාපන්දු දිවියේ තරග 518 කදී ගෝල 352 ක් වාර්තා කිරීමට හැකි වීම ඔහුගේ ගෝල ලබා ගැනීමේ දක්ෂතාවට සාක්ෂි දරනවා. රොනාල්ඩෝ බ්‍රසීලය වෙනුවෙන් තරග 98 ක දී ගෝල 62 ක් වාර්තා කළා. ක්‍රීඩා සමාජ දිවියේ දී රියාල් මැඩ්රීඩ් සමඟ ලාලිගා ජයග්‍රහණය කිරීමට බාසිලෝනා සමගින් කොපා දෙල් රේ ජයග්‍රහණය කිරීමට ද ඔහු සමත් වුණා. තම වර්ණවත් පාපන්දු දිවිය තුළ චැම්පියන්ස් ලීග් ශූරතාවක් නොතිබීම රොනාල්ඩෝට ගෙන දෙන්නේ විශාල අඩුපාඩුවක්.

3. ස්ලටාන් ඉබ්‍රහිමොවිච් (ස්වීඩනය)

අලංකාර ගෝල, විශ්වාස කිරීමට පවා අපහසු ගෝල වාර්තා කිරීමේ රුසියෙක් ගැන හඳුන්වනවා නම් අනිවාර්යයෙන් ම ස්වීඩනයේ ස්ලටාන් ඉබ්‍රහිමොවිච් යන නාමය සඳහන් කළ යුතු යි. ඔහු මෑත ඉතිහාසයේ ලොව ප්‍රධාන පෙළේ ගෝල වාර්තා කළ ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් ම සිටින අයෙක්. මේ වන විට 41 හැවිරිදි වියේ පසුවන ඔහු තවමත් චැම්පියන්ස් ලීග් ශූරතාවක් ජයග්‍රහණය කොට නෑ.

ඉබ්‍රහිමොවිච් තවමත් ඉතාලියේ ඒ.සී.මිලාන් හා එක්ව ක්‍රීඩා කරනවා – www.transfermarkt.com

පිටිය තුළ දඩබ්බර චරිතයක් මෙන් ප්‍රකට ස්ලටාන් ලොව පුරා පාපන්දු ක්‍රීඩා සමාජ ගණනාවක් ම නියෝජනය කළා. ඉතාලියේ යුවෙන්ටස්, ඒ.සී.මිලාන්, ඉන්ටර් මිලාන්, ස්පාඤ්ඤයේ බාසිලෝනා, ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින්, එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් වැනි ප්‍රබල කණ්ඩායම් එයට අයත්. එකී කණ්ඩායම් සමඟ ද චැම්පියන්ස් ලීග් ශූරතාවක පහස විඳීමට ස්ලටාන්ට නොහැකි වුණා. ඔහු තම වෘත්තියමය පාපන්දු දිවියේ තරග 862 ක දී ලබා සිටින ගෝල සංඛ්‍යාව 510 ක්.

ස්වීඩනය වෙනුවෙන් ද ස්ලටාන් තරග 121 ක දී ගෝල 62 ක් වාර්තා කළා. 41 හැවිරිදි ඔහු මේ වන විට ඉතාලියේ ඒ.සී.මිලාන් සමඟින් ක්‍රීඩා කරනවා. නමුත් ආබාධ හේතුවෙන් මෙවර තරගමාලාව ඔහු ක්‍රීඩා කරන ආකාරය දකින්නට ලැබුණේ නෑ. තවමත් ස්ලටාන් ඉබ්‍රහිමොවිච්ට චැම්පියන්ස් ලීග් කිරුළක් ජයග්‍රහණය කිරීමට ඒ.සී.මිලාන් සමග අවස්ථාව ඉතිරි වී තිබෙනවා. බොහෝ විචාරකයන්ට අනුව එයට ඇත්තේ ඉතාම අඩු අවස්ථාවක්. චැම්පියන්ස් ලීග් තරග 124 ක් ක්‍රීඩා කොට ඇති ස්ලටාන්ට ශූරතාවක් ජයග්‍රහණය නොකළ වැඩි ම චැම්පියන්ස් ලීග් තරග ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා යන වාර්තාව ද හිමි යි.

4. ඩෙනිස් බර්කැප්ම් (නෙදර්ලන්තය)

නෙදර්ලන්තය යනු ඉතිහාසයේ පටන් විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයන් රැසක් ම පාපන්දු පිටියට දායාද කළ රටක්. ඩෙනිස් බර්කැප්ම් යනු එම චරිත අතරේ තවත් ඉහළින් ම තැබිය හැකි ක්‍රීඩකයෙක් වනවා. ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වූ ඔහු නෙදර්ලන්තයේ අයෑක්ස් සහ ඉතාලියේ ඉන්ටර් මිලාන් සමඟින් ක්‍රීඩා කළා. බර්කැප්ම් ගේ ක්‍රීඩා දිවියේ වැඩි කාලයක් ගත වූයේ එංගලන්තයේ ආසනල් කණ්ඩායම සමඟින්. ඔහු 1995 සිට වසර 9 ක් ආසනල් සමඟ ක්‍රීඩා කළා.

ඩෙනිස් බර්කැප්ම් වැඩි කාලයක් ආසනල් කණ්ඩායමේ ක්‍රීඩා කළා – www.thesefootballtimes.com

එකී කාලයේ ආසනල් සමඟින් තරග 423 ක් ක්‍රීඩා කරමින් ඩෙනිස් බර්කැප්ම් ලැබූ ගෝල සංඛ්‍යාව 120 ක්. තම වෘත්තියමය පාපන්දු දිවියේ තරග 734 කින් ගෝල 264 ක් සහ නෙදර්ලන්තය සමඟින් තරග 79 කින් ගෝල 37 ක් වාර්තා කළා. ඔහු ආසනල් සමඟින් එංගලන්ත ප්‍රිමියර් ලීග් ශූරතාව තුන් වතාවක්, එංගලන්ත FA කුසලානය සිව් වතාවක්, එංගලන්ත FA Community පළිහ තුන් වතාවක් බැගින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඩෙනිස් බර්කැප්ම් චැම්පියන්ස් ලීග් තරගාවලියක් නම් ජයග්‍රහණය කළේ නෑ.

ආසනල් සමඟින් ඔහු ක්‍රීඩා කළ අවසන් තරග සමය වූ 2005-06 තරග වාරයේ දී චැම්පියන්ස් ලීග් තරගාවලියේ විශිෂ්ට දස්කම් දැක්වීමට ඔවුන් සමත් වුණා. එහිදී 2005-06 චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගයට ආසනල් සහ ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා කළා.

කෙසේ වෙතත් එම තරගයෙන් ගෝල 2-1 ක පරාජයක් ලැබූ ආසනල්ට අනුශූරතාවෙන් සෑහෙන්නට සිදු වුණා. ඩෙනිස් බර්කැප්ම්ට තම ක්‍රීඩා දිවියේ අවසන් තරගයේ දී චැම්පියන්ස් ලීග් ශූරතාවක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමි වුව ද එය එලෙසින් අහිමි වී ගියා.

5. රූඩ් වෑන් නිස්ටෙල්රෝයි (නෙදර්ලන්තය)

චැම්පියන්ස් ලීග් ඉතිහාසයේ ශූරතාවක් දිනා නො ගත් වැඩි ම ගෝල ලාභියා කවුද යන ප්‍රශ්නය මතු කළහොත් එයට පිළිතුර රූඩ් වෑන් නිස්ටෙල්රෝයි ලෙසින් ලැබිය යුතු යි. ඔහු චැම්පියන්ස් ලීග් තරගාවලියේ ගෝල 54 ක් වාර්තා කිරීමට තරම් දක්ෂයෙක් වුවත් ශූරතාව දිනා ගැනීමට තරම් වාසනාවන්තයෙක් වූයේ නෑ. ඔහු ද නෙදර්ලන්තය බිහි කළ තවත් එක් විශිෂ්ට ප්‍රහාරක ක්‍රීඩකයෙක්.

චැම්පියන්ස් ලීග් ඉතිහාසයේ ශූරතාවක් දිනා නොගත් වැඩිම ගෝල ලාභියා වාර්තාව රූඩ් වෑන් නිස්ටෙල්රෝයි සතුයි – www.transfermarkt.com

එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් සහ ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රීඩ් යන ප්‍රබල පාපන්දු ක්‍රීඩා සමාජ සමඟින් ඔහු වසර 9 ක කාලයක් ක්‍රීඩා කළා. මේ කාලයේ දී මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් තරග 219 ක දී ගෝල 150 ක් සහ රියාල් මැඩ්රීඩ් වෙනුවෙන් තරග 96 කදී ගෝල 64 ක් වාර්තා කිරීමට ද රූඩ් වෑන් සමත් වුණා. ඔහුගේ සමස්ත ක්‍රීඩා සමාජ පාපන්දු දිවියේ දී තරග 592 ක දී ලබා සිටින ගෝල සංඛ්‍යාව 349 ක්.

නෙදර්ලන්තය සමඟින් ද රූඩ් වෑන් නිස්ටෙල්රෝයි තරග 70 ක දී ගෝල 35 ක් ලබා ගෙන තිබෙනවා. ඔහු 2001-02, 2002-03 සහ 2004-05 චැම්පියන්ස් ලීග් තරගාවලිවල වැඩි ම ගෝල ලාභියා බවට ද පත් වුණා. චැම්පියන්ස් ලීග් ඉතිහාසයේ ම වැඩිම ගෝල ලාභීන් අතර ඔහු 6 වන ස්ථානයේ රැඳී සිටිනවා.

එංගලන්තය පාපන්දු ලීගය, ස්පාඤ්ඤ පාපන්දු ලීගය වැනි ශූරතා මෙන් ම චැම්පියන්ස් ලීග් තරගාවලියේ ක්‍රීඩකයෙක් වශයෙන් විශිෂ්ට දස්කම් දැක්වූව ද ඔහු කිසිම දිනෙක චැම්පියන්ස් ලීග් ශූරයෙක් නොවීම පාපන්දු ඉතිහාසයේ දකින්නට ලැබෙන විරළ සිදුවීමක්.

6. ෆැබියෝ කැනවාරෝ (ඉතාලිය)

පාපන්දු ඉතිහාසයේ බිහි වූ තවත් එක් විශිෂ්ටත ම ආරක්ෂක පසු පෙළ ක්‍රීඩකයෙක් වශයෙන් ෆැබියෝ කැනවාරෝ නම් කළ හැකි යි. වසරේ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයාට හිමි වන බැලොන් ඩොර් සම්මානය දිනා ගත් අතලොස්සක් වූ ආරක්ෂක ක්‍රීඩකයන් අතරට ද ෆැබියෝ කැනවාරෝ ගේ නම ඇතුළත් වනවා. ඔහු 2006 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉතාලි කණ්ඩායමේ නායකත්වය ද දැරුවා.

කැනවාරෝ බැලොන් ඩොර් සම්මානය ජයග්‍රහණය කොට – www.goal.com

ඉන්ටර් මිලාන්, යුවෙන්ටස්, රියාල් මැඩ්රීඩ් වැනි යුරෝපයේ අංක 1 පාපන්දු ක්‍රීඩා සමාජ සමඟ වසර ගණනාවක් ක්‍රීඩා කළ ද ඔහුට චැම්පියන්ස් ලීග් තරගාවලියක් ජයග්‍රහණය කිරීමේ හැකියාව ලැබුණේ නෑ. කැනවාරෝ තමන්ගේ වෘත්තියමය පාපන්දු දිවියේ දී ක්‍රීඩා සමාජ තරග 695 ක් සහ ඉතාලිය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියේ තරග 136 ක් ක්‍රීඩා කළා. එකල ලොව සිටි දක්ෂත ම ආරක්ෂක ක්‍රීඩකයන් ගෙන් එක් අයෙක් බවට ඔහු ලොව පුරා ප්‍රසිද්ධ ව සිටීම ද විශේෂත්වයක්.

ඔහු රියාල් මැඩ්රීඩ් සමඟ ක්‍රීඩා කරන අවදියේ දෙවරක් ලාලිගා ශූරතාව ජයග්‍රහණය කිරීමට ද සමත් වුණා. එතැනින් නොනවතින ඔහු 2006 පාපන්දු ලෝක කුසලානයේ දැක්වූ දක්ෂතා නිසා FIFA වසරේ පාපන්දු ක්‍රීඩකයා සහ බැලොන් ඩොර් සම්මානයෙන් ද පිදුම් ලැබුවා. ඉතාලි පාපන්දු ලීගයේ වසරේ ක්‍රීඩකයා, හොඳ ම ආරක්ෂක ක්‍රීඩකයා යන සම්මාන ද ෆැබියෝ කැනවාරෝට හිමි යි. කෙතරම් දක්ෂතා දැක්වූවත් ක්‍රීඩා සමාජ මට්ටෙමෙන් ලබාගත හැකි ඉහළ ම ජයග්‍රහණය ළඟා කර ගැනීමට මේ සුපිරි ආරක්ෂක ක්‍රීඩකයාට නොහැකි වුණා.

7. ෆ්‍රැන්සෙස්කෝ ටොට්ටි (ඉතාලිය)

තම ක්‍රීඩා දිවිය ම එකම ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් වෙන් කළ පාපන්දු ක්‍රීඩකයන් සිටින්නේ ඉතා ම අඩුවෙන්. ෆ්‍රැන්සෙස්කෝ ටොට්ටි යනු එම ලැයිස්තුවේ සිටිනා දක්ෂ ප්‍රහාරක ක්‍රීඩකයෙක්. ඔහු තම ක්‍රීඩා දිවියේ ආරම්භයේ පටන් ම ඉතාලියේ රෝමා කණ්ඩායම සමඟින් ක්‍රීඩා කළා.

ඔහුට අදටත් රෝමා ක්‍රීඩා සමාජයෙන් සහ ප්‍රේක්ෂකයන් ගෙන් හිමි වන්නේ විශාල ගෞරවයක්. අදටත් ෆ්‍රැන්සෙස්කෝ ටොට්ටි රෝමා ක්‍රීඩා කරන තරග නැරඹීමට පැමිණෙන ආකාරය දකින්නට ලැබෙනවා.

ටොට්ටි රෝමා සමඟ ක්‍රීඩා කළ අවසන් දිනයේ දී – www.transfermarkt.com

1993 වර්ෂයේ දී රෝමා සමඟ තමන්ගේ පාපන්දු දිවිය ආරම්භ කළ ටොට්ටි එතැන් පටන් 2017 වනතෙක් වසර 24 ක් එක ම ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කළා. එකී කාලයේ දී තරග 786 ක දී ඔහු ලබාගත් ගෝල සංඛ්‍යාව 307 ක්. ඉතාලිය වෙනුවෙන් ද තරග 58 කදී ටොට්ටි ගෝල 9 ක් රැස් කළා. ප්‍රහාරක ක්‍රීඩකයෙක් මෙන්ම ආක්‍රමණශීලී මැදපෙළ ක්‍රීඩකයෙක් වශයෙන් ද කටයුතු කිරීමට ඔහුට හැකියාව තිබුණා. ඔහුට චැම්පියන්ස් ලීග් කිරුළක් ජයග්‍රහණය කිරීමට ක්‍රීඩා සමාජය හරස් වූවා යැයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා.

සත්‍ය වශයෙන් ම රෝමා යනු එතරම් ප්‍රබල නමක් සහිත ක්‍රීඩා සමාජයක් නොවේ. රෝමා සමඟ ක්‍රීඩා කරමින් 2000-01 ඉතාලි පාපන්දු ලීගය සහ කොපා ඉතාලි ශූරතාව දෙවරක් ජයග්‍රහණය කිරීමට ටොට්ටි සමත් වුණා. 2006 පාපන්දු ලෝක කුසලානය දිනූ ඉතාලි කණ්ඩායමේ සාමාජිකයෙක් ද වූ ඔහු ඉතාලි පාපන්දු ලීගයේ දක්ෂත ම ක්‍රීඩකයා සම්මානය 5 වතාවක් දිනා ගත්තා.

යුරෝපයේ වැඩි ම ගෝල රැස් කරන්නාට හිමි යුරෝපීය ගෝල්ඩන් බූට් සම්මානය 2006-07 තරග වාරයේ දී ටොට්ටිට හිමි වුණා. රෝමා වැනි ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරමින් ඔහු දැක්වූ මෙම දක්ෂතාව අදටත් පාපන්දු ලෝකයේ ඉතා ම ඉහළින් කතා බහට ලක් වනවා.

තවත් ක්‍රීඩකයෝ රැසක්

මෙම ක්‍රීඩකයන් ට අමතරව චැම්පියන්ස් ලීග් ශූරතාවක් ජයග්‍රහණය කිරීමට සමත් නොවූ තවත් විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් ඉතිහාසයේ දී දැකගත හැකි යි. ඒ අතර තිබෙන සුවිශේෂී නම් ද්විත්වයක් වන්නේ පේලේ සහ මැරඩෝනා යන නාමයන් වීම විශේෂත්වයක්. මේ අතරින් පේලේ කිසි දිනෙක යුරෝපීය පාපන්දු ක්‍රීඩා කිරීමට පැමිණියේ නෑ. ඔහු බ්‍රසීලයේ සැන්ටොස් සමඟින් ක්‍රීඩා කළා.

මැරඩෝනා ද චැම්පියන්ස් ලීග් තරගාවලි නියෝජනය කළේ අවස්ථා දෙකක දී පමණ යි. (මැරඩෝනා ගේ කාලයේ මෙය හැඳින්වුණේ යුරෝපීය කුසලානය නමින්.) මැරඩෝනා මෙම යුරෝපීය කුසලානයේ ඉතාලියේ නපොලි සමඟින් අවස්ථා 2 කදී තරග 6 ක් ක්‍රීඩා කළා.

පෙලේ සහ මැරඩෝනා – www.losangelestimes.com

ප්‍රංශ ක්‍රීඩක පැට්ට්‍රික් වියේරා ද චැම්පියන්ස් ලීග් ශූරතාවක් ජයග්‍රහණය කළේ නෑ. ඔහු 2006 අවසන් තරගය ආසනල් සමඟ ක්‍රීඩා කරමින් පරාජයට පත් වුණා. ජර්මනිය බිහි කළ තවත් විශිෂ්ට ක්‍රීඩකයෙක් වන මයිකල් බැලැක් ද යුරෝපීය සිහින කිරුළ වෙතට ළඟා නොවූ විශිෂ්ටයන් ගේ නම් ලැයිස්තුවට අයත් ක්‍රීඩකයෙක්. බැලැක් 2002 දී බයර් ලෙවර්කුසන් සමඟ ක්‍රීඩා කරමින් චැම්පියන්ස් ලීග් අවසන් තරගය හා ජර්මනිය සමඟ ක්‍රීඩා කරමින් පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය පරාජයට පත් වුණා.

ප්‍රංශයේ එරික් කැන්ටෝනා, ප්‍රංශයේ ලිලියන් තුරාම්, චෙක් ජනරජයේ පවෙල් නෙඩ්වෙඩ්, ස්පාඤ්ඤයේ සේස් ෆැබ්‍රිගාස්, ආජන්ටිනාවේ හර්නන් ක්‍රෙස්පෝ, ආජන්ටිනාවේ ගේබ්‍රියෙල් බැටිස්ටුටා, ඉතාලියේ රොබෙර්ටෝ බැජියෝ, ඉතාලියේ ජියෝර්ජියෝ කියෙලිනි, ජර්මනියේ ලොතර් මතායස්, ආජන්ටිනාවේ සර්ජියෝ ඇගුවේරෝ වැනි ක්‍රීඩකයන් ද මේ ලැයිස්තුවට ඇතුළත් කළ හැකි වනවා.

වත්මන් සුපිරි තරු

මෙම ක්‍රීඩකයන්ට පසුව වර්තමානයේදී පාපන්දු ක්‍රීඩා කරන චැම්පියන්ස් ලීග් ශූරතාවක් ජයග්‍රහණය නොකළ නමුත් තවමත් අවස්ථාව හිමි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද නම් කළ හැකියි. ඒ අතරට ඉහළින් ම සටහන් වන නම් ද්විත්වය වන්නේ ප්‍රංශයේ කිලියන් ම්බප්පේ සහ එංගලන්තයේ හැරී කේන් යන දෙදෙනා යි.

මේ අතරින් ම්බප්පේ තවමත් 24 හැවිරිදි වියේ පසුවන නිසා ඔහුට තව සෑහෙන තරම් අවස්ථාව තිබෙනවා. හැරී කේන් ද මේ වන විට 29 හැවිරිදි වියේ පසුවනවා. මොවුන් දෙදෙනා ම අවස්ථා දෙකක දී චැම්පියන්ස් ලීග් අවසන් තරග පරාජයට පත් වුණා.

ම්බප්පේ 2020 චැම්පියන්ස් ලීග් අවසන් තරගය පරාජයට පත් වුණා – www.psgtalk.com

බෙල්ජියම් ජාතික, දැනට මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයේ සිටින ප්‍රබල මැදපෙළ ක්‍රීඩකයෙන් ද වන කෙවින් ඩි බ්‍රවුනේ ද චැම්පියන්ස් ලීග් ශූරතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වී නෑ. මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට චැම්පියන්ස් ලීග් අවසන් තරගයක් දක්වා රැගෙන ඒමට කෙවින් විශාල උත්සාහයක් ගත් අතර අවසානයේ දී ඔවුන්ට අනුශූරතාවෙන් සෑහීමකට පත් වන්නට සිදු වුණා. තවමත් 31 හැවිරිදි වියේ පසුවන ඩි බ්‍රවුනේට චැම්පියන්ස් ලීග් ශූරතාවක් දිනා ගැනීමේ අවස්ථාව ඉතිරි වී තිබෙනවා.

ජර්මනියේ මාකෝ රොයිස්, ප්‍රංශයේ ඇන්ටොයින් ග්‍රීස්මාන්, ප්‍රංශයේ පෝල් පොග්බා, ප්‍රංශයේ හියුගෝ ලොරිස්, පෘතුගාලයේ බර්නාඩෝ සිල්වා, බ්‍රසීලයේ එඩර්සන් මොරායෙස්, ආජන්ටිනාවේ නිකලස් ඔටමෙන්ඩි, ඉතාලියේ චිරෝ ඉමොබිලේ, ඉතාලියේ මාකෝ වෙරාටි වැනි ක්‍රීඩකයන් ද තවම පාපන්දු ක්‍රීඩා කරන චැම්පියන්ස් ලීග් ශූරතාව දිනා නොගත් තරු අතරට අයත්. මේ අතරින් බොහොමයක් දෙනාට තවමත් චැම්පියන්ස් ලීග් ශූරතාවයක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව පවතිනවා. එය අනාගත චැම්පියන්ස් ලීග් තරගාවලිවලදී දැක ගැනීමට හැකිවනු ඇති.

කවරයේ ඡායාරූපය - චැම්පියන්ස් ලීග් ජයග්‍රාහකයන් වෙත ලබාදෙන ශූරතාවය - www.thehindu.com
මූලාශ්‍ර -
www.fourfourtwo.com
www.skysports.com
www.planetfootball.com

Related Articles