Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20 වැනි සියවසේ පාපන්දු ක්‍රීඩකයා – ඩියේගෝ මැරඩෝනා

රුසියාවේ පැවැත්වෙන 2018 පාපන්දු ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ මාස දෙකක කාළයකි. මෙවර ලෝක කුසලානය අළලා ඊට​ අදාළව සවිස්තරාත්මක ලිපි පෙළක් ම පළ කිරීමට Roar අපි සූදානමින් සිටින්නෙමු. එහි එක් පියවරක් ලෙස පාපන්දු ලෝකයේ නම රැඳවූ ක්‍රීඩකයන් කිහිප දෙනකු පිළිබඳව ම විස්තර ඔබ වෙත ගෙන ඒම අපගේ බලාපොරොත්තුවයි. මෙම ලිපියෙන් ඔබ හමුවේ අප විස්තර කරන්නේ පාපන්දු ලෝලීන් අතර අතිශයින් ම ප්‍රසිද්ධ ක්‍රීඩකයකු වන ආර්ජන්ටීනාවේ ඩියේගෝ මැරඩෝනා පිළිබඳවයි.

මුල් අවධිය

ඩියේගෝ ආර්මන්ඩෝ මැරඩෝනා ෆ්‍රෑන්කෝ උපත ලබන්නේ 1960 වර්ෂයේ ඔක්තෝබර් මස 30 ආර්ජෙන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් හී දී ය. සහෝදර සහෝදරියන් 7 දෙනෙකුගෙන් යුතු පවුලේ 5 වැනියා වූ ඩියේගෝ මැරඩෝනා කුඩාකල සිටම පාපන්දු ක්‍රීඩාවට දක්ෂතා දැක්වූයේ ය. වයස අවුරුදු 16 සම්පූර්ණ වීමට පෙර මැරඩෝනා සිය ප්‍රථම වෘත්තීමය පාපන්දු තරඟයට සහභාගී විය. ඒ ආර්ජන්ටිනෝස් ජූනියර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ය. ඉන් මාසයක් ගතවීමටත් ප්‍රථම සිය පළමු ගෝලය රැස් කළ මැරඩෝනා එතැන් සිට කළ දෑ ඉතිහාස පොත් වල රන් අකුරින් ලියැවී තිබේ. 1979 වසරේ පැවති අවුරුදු 20 න් පහළ පාපන්දු ලෝක කුසලානයේ දී හොඳම ක්‍රීඩකයා සම්මානය හිමිකරගැනීමට මැරඩෝනා සමත්විය. 1981 වසරේ දී ඩොලර් මිලියන 4 ක විශාල මුදලකට ආර්ජන්ටිනෝස් ජූනියර්ස් කණ්ඩායමේ සිට බොකා ජූනියර්ස් කණ්ඩායම වෙත පැමිණි මැරඩෝනා එම තරඟ සමයේ දී ආර්ජෙන්ටිනාවේ ලීග් පාපන්දු ශූරතාව බොකා ජූනියර්ස් කණ්ඩායමට දිනා දීමට පෙරමුණ ගත්තේය​. එම ශූරතාව සටහන් වන්නේ ආර්ජෙන්ටිනාවේ පාපන්දු කණ්ඩායමක මැරඩෝනා විසින් ජයග්‍රහණය කළ එකම ශූරතාවය වශයෙනුයි.

නැගී ආ සමය

1982 පාපන්දු ලෝක කුසලානයේ බ්‍රසීලය සමඟ පැවති තරඟයේ දී තරුණ මැරඩෝනා (fantasista10.co.uk)

1982 දී ස්පාඤ්ඤයේ පැවති පාපන්දු ලෝක කුසලානය මැරඩෝනා සහභාගී වූ ප්‍රථම පාපන්දු ලෝක කුසලානයයි. මෙම ලෝක කුසලානයේ ආර්ජෙන්ටිනාව ක්‍රීඩා කළ තරඟ 5 ම ක්‍රීඩා කළ මැරඩෝනා එහිදී ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් වූයේය. දෙවැනි වටයේ දී ඉතාලිය සමඟ පැවැති තරඟයේ දී ඉතාලි ක්‍රීඩකයින් විසින් මැරඩෝනාට 23 වතාවක් නීති විරෝධී බාධා කිරීම් සිදුකර ඇත. එය සටහන් වන්නේ පාපන්දු ලෝක කුසලාන එක් තරඟයක දී එක් ක්‍රීඩකයෙකුට කරන ලද වැඩිම නීති විරෝධී බාධා කිරීම් ප්‍රමාණය ලෙසින්ය. එයින් තේරුම් ගත හැකිවන්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට මැරඩෝනා කෙතරම් නම් හිසරදයක් වූවාද යන්නයි. කෙසේ නමුත් 1982 පාපන්දු ලෝක කුසලානයේ දී මැරඩෝනාට සිය උපරිම ක්‍රීඩා විලාශය පෙන්නුම් කිරීමට නොහැකි වූ අතර ආර්ජෙන්ටිනාව දෙවැනි වටයෙන් තරඟාවලියෙන් ඉවතට විසිවිය.

ලෝක කුසලානයෙන් පසුව මැරඩෝනා ඇමරිකානු ඩොලර් මිලියන 9.81 කට​ බොකා ජූනියර්ස් කණ්ඩායමේ සිට ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමට හුවමාරු විය. එම මුදල දැක්වුනේ එවකට කණ්ඩායම් දෙකක් අතරේ ක්‍රීඩකයෙකු හුවමාරු වූ වැඩිම මුදල ලෙසයි. 1983 වසරේ දී බාර්සිලෝනා කණ්ඩායමට කෝපා ඩෙල් රේ ශූරතාව, ස්පාඤ්ඤ සුපර් කප් ශූරතාවය සහ ලා ලීගා කුසලානය (ලා ලීගා ලීගය නොවේ) දිනාදීමට මැරඩෝනා විශාල දායකත්වයක් සැපයීය. මැරඩෝනා වසර දෙකක් බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර එහිදී තරඟ 58 කදී ගෝල 38 ක් වාර්තා කිරීමට සමත්විය. නමුත් විවිධ ආබාධ තත්වයන් සහ පිටිය තුළදී ඇතිකරගත් ගැටුම් නිසා 1984 දී බාසිලෝනා කණ්ඩායම විසින් මැරඩෝනා ඉතාලියේ නාපෝලි කණ්ඩායම වෙත හුවමාරු කරන ලදී. ඒ පවුම් මිලියන 6.9 ක අති දැවැන්ත මුදලකටය. එම මුදලද දැක්වුණේ ඒ වනතෙක් ක්‍රීඩකයෙකු හුවමාරු වූ වැඩිම මුදල ලෙස වන අතර ඒ ආකාරයට වැඩිම මුදලකට දෙවතාවක් කණ්ඩායම් දෙකක් අතර හුවමාරු වූ ප්‍රථම ක්‍රීඩකයා මැරඩෝනා වේ. නාපෝලි හීදී මැරඩෝනාගේ ස්වර්ණමය යුගය උදාවිය.

ස්වර්ණමය යුගය

මැරඩෝනා නාපෝලි ක්‍රීඩාංගනය වෙත පැමිණි අවස්තාව (twitter/sportags)

මැරඩෝනා නාපෝලි ක්‍රීඩාංගනය වෙත පැමිණෙන දිනයෙහි 75 000 ක ක්‍රීඩා ලෝලීන් පිරිසක් නාපෝලි ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටි අතර “ගැලවුම්කරු පැමිණියා” යැයි ඔවුන් විසින් එක හඬින් පවසා සිටින ලදී. මැරඩෝනා නාපෝලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින සමයේ දී ආර්ජෙන්ටිනා කණ්ඩායමේ නායකයා ලෙසින් මෙක්සිකෝවේ දී පැවති 1986 පාපන්දු ලෝක කුසලානට සහභාගී විය. 1986 පාපන්දු ලෝක කුසලානය මැරඩෝනා පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ට නොමැකෙන මතක ඉතිරිකළ ලෝක කුසලානය විය. තරඟාවලිය පුරාම සිය අණසක පැතිරවීමට මැරඩෝනාට හැකිවිය.

මූලික වටයෙන් අනතුරුව 16 දෙනාගේ වටයේ දී උරුගුවේ කණ්ඩායම පරාජය කළ ආර්ජෙන්ටිනා කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව තරඟයේ දී මුණගැසුනේ එංගලන්ත කණ්ඩායමයි. 1986 වසරේ ජූනි මස 22 වැනි දින මෙක්සිකෝ සිටි නගරයේ ඇස්ටෙකා ක්‍රීඩාංගනයේ දී පැවති ආර්ජෙන්ටිනාව සහ එංගලන්තය අතර එම අර්ධ අවසාන වටයේ පැවති තරඟය මැරඩෝනාව අමරණීය කළ තරඟය විය.

ආර්ජෙන්ටිනාව සහ මහා බ්‍රිතාන්‍යය අතර ෆෝක්ලන්ඩ්ස් යුද්ධය නිමවී වසර කිහිපයකින් මෙම තරඟය පැවති අතර එය දෙපිලටම මෙම තරඟය ජයගැනීමට අමතර හේතුවක් විය. තරඟය බොහෝ උණුසුම් එකක් විය. ප්‍රථම භාගයේ දී කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි විය. තරඟයේ දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 6 කින් මැරඩෝනා විසින් ගෝලයක් වාර්තා කළේය. එම ගෝලය මැරඩෝනා විසින් වාර්තා කරන ලද්දේ ඔහුගේ අත භාවිතා කිරීමෙන් වූවත් තරඟයේ ප්‍රධාන විනිසුරු එය නොදුටු බැවින් එම ගෝලය ආර්ජෙන්ටිනාවට පිරිනමන ලදී. “Hand of God” ලෙසින් හැඳින්වෙන මෙම ගෝලය ආර්ජෙන්ටිනාව වෙත පිරිනැමීම පිළිබඳ එංගලන්ත ක්‍රීඩකයෝ සිය විරෝධය දැක්වූවත් විනිසුරු සිය මතය වෙනස් නොකරන ලදී.

කෙසේ නමුත් එම ගෝලය වාර්තා කරමින් විනාඩි 4 කට පසු එනම් තරඟයේ 55 වැනි මිනිත්තුවේ දී මැරඩෝනා විසින් මීටර 60 ක් පමණ පන්දුව සමඟ දිවවිත් එංගලන්ත ක්‍රීඩකයින් 5 දෙනකු පසුකරගෙන ලබාගත් ගෝලය අදට ද පාපන් දු ඉතිහාසයේ වාර්තා වූ අනුස්මරණීය මතකයකි. එම ගෝලය එතරම්ම විශිෂ්ට එකක් වූ අතර “සියවසෙහි ගෝලය” ලෙසින් හැඳින්වේ. ආර්ජෙන්ටිනාවට තරඟය 2-1 ක් ලෙස ජයගනිමින් අවසන් පූර්ව වටය වෙත පිවිසීමටද එම ගෝලය ඉවහල් විය.

මැරඩෝනා එංගලන්තයට එරෙහිව ලබාගත් ගෝල ද්විත්වය පහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය​.

 

ඉන්පසු බෙල්ජියම සමඟින් පැවති අවසන් පූර්ව වටයේ තරඟයේ දී ද ගෝල ද්විත්වයක් වාර්තා කළ මැරඩෝනා බටහිර ජර්මනියට එරෙහිව 1986 ජූනි 29 වැනි දින ඇස්ටෙකා ක්‍රීඩාංගනයේ දී පැවතී අවසාන මහා තරඟයේ දී ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට පන්දුව යොමු කිරීමට ද (Assist) සමත්විය. අවසාන මහා තරඟය 3-2 ක් ලෙසින් ජයගත් මැරඩෝනාගේ නායකත්වයෙන් යුත් ආර්ජෙන්ටිනා කණ්ඩායම 1986 පාපන්දු ලෝක ශූරයින් බවටපත්විය. තරඟාවලිය පුරා විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ මැරඩෝනා එහිදී ගෝල 5 ක් සහ සහය දැක්වීම් (Assist) 5 ක් වාර්තා කළේය. ඒ අනුව තරඟාවලියේ හොඳම ක්‍රීඩකයාට පිරිනමන රන් පන්දුව හිමිකරගැනීමට ද මැරඩෝනා සමත්විය. 20 න් පහළ පාපන්දු ලෝක කුසලානයක දී සහ පාපන්දු ලෝක කුසලානයක දී තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙසින් අභිෂේක ලද ප්‍රථම ක්‍රීඩකයා වූයේ ද මැරඩෝනාය. (ඉන්පසු ආර්ජෙන්ටිනාවේම ලියොනල් මෙසී එම දස්කම දැක්විය.)

මැරඩෝනා 1986 පාපන්දු ලෝක කුසලානය අතැතිව (mercadodofutebol.net.br)

1986 පාපන්දු ලෝක කුසලානයෙන් පසු නාපෝලි කණ්ඩායම වෙනුවෙන් සිය සුපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කළ මැරඩෝනා 1986/87 තරඟ සමයේ දී ඉතාලියේ ලීග් ශූරතාව වන සීරී ආ (Serie A) ශූරතාවය නාපෝලි කණ්ඩායමට හිමිකරදීමට ප්‍රමුඛස්ථානය ගන්නා ලදී. එය නාපෝලි කණ්ඩායමේ පළමු සීරී ආ ශූරතාවය වූ අතර දකුණු දිග ඉතාලි කණ්ඩායමක් පළමු වරට සීරී ආ ශූරතාව දිනූ අවස්ථාවද විය. එම තරඟ සමයේ දී කෝපා ඉතාලියා ශූරතාවයද 1988/89 තරඟ සමයේ දී UEFA කුසලානය ද (වර්තමානයේ දී මෙය UEFA යුරෝපානු ලීගය ලෙසින් හැඳින්වේ) 1989/90 තරඟ සමයේ දී නැවත වරක් සීරී ආ ශූරතාවය ද 1990 වසරේ දී ඉතාලි සුපර් කප් ශූරතාවය ද නාපෝලි කණ්ඩායම වෙත දිනාදීමට මැරඩෝනා මුල්විය.

මැරඩෝනා 1988/89 UEFA කුසලානය සමඟින් (Dailymail.co.uk)

1990 පාපන්දු ලෝක කුසලානය හා ඉන්පසු

1990 වසරේ ඉතාලියේ පැවති පාපන්දු ලෝක කුසලානයේ දී ද මැරඩෝනා ආර්ජෙන්ටිනා කණ්ඩායම අවසාන මහා තරඟය දක්වා මෙහෙයවීමට සමත්විය. නමුත් වළලුකරෙහි ආබාධ තත්වයක් තිබූ බැවින් පෙර මෙන් දස්කම් දැක්වීමට මැරඩෝනා අපොහොසත් වූවත් 16 දෙනාගේ වටයෙහි බ්‍රසීලයට එරෙහිව ගෝලයක් රැස් කිරීමටත් අවසන් පූර්ව වටයේ දී සත්කාරක ඉතාලියට එරෙහිව අතිරේක කාලයෙන් පසුව තරඟයෙහි ප්‍රථිපලය තීරණය කිරීමට පැවති දඬුවම් පහර වලදී සිය දඬුවම් පහර සාර්ථක කරගැනීමටත් මැරඩෝනා සමත්විය. කෙසේනමුත් 1990 වසරේ ජූලි 8 වැනිදා ඉතාලියේ රෝමා නුවර දී බටහිර ජර්මනියට එරෙහිව පැවති අවසාන මහා තරඟයෙන් 1-0 ක් ලෙසින් ආර්ජෙන්ටිනාවට පරාජය වීමට සිදුවිය.

විශිෂ්ට චිත්‍ර ශිල්පී ජෝරිට් ආගෝච් විසින් නාපෝලි නගරයේ චිත්‍රණය කරන ලද ඩියේගෝ මැරඩෝනාගේ සිතුවම (pinterest.com)

1990 පාපන්දු ලෝක කුසලානයෙන් පසුව මත්ද්‍රව්‍ය චෝදනා, පෞද්ගලික ප්‍රශ්න සහ විවිධ හේතු මත මැරඩෝනාට සිය උපරිමය ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූ අතර 1992 වසරේ දී මැරඩෝනා නාපෝලි කණ්ඩායමෙන් ඉවත්ව ස්පාන් සෙවීයා කණ්ඩායම හා එකතු වේ. මැරඩෝනා නාපෝලි කණ්ඩායම වෙනුවෙන් කළ සේවය මේ දක්වා නාපෝලි වැසියන්ට අමතක වී නොමැති අතර මැරඩෝනාගේ පිලිරූ, විශාල පෝස්ටර්, ඇඳුම් ආයිත්තම් සහ විවිධ කලාත්මක දෑ අදටත් නාපෝලි නගරයේ හි ඇත. නාපෝලි කණ්ඩායම වෙනුවෙන් තරඟ 188 කදී ගෝල 81 ක් වාර්තා කිරීමට මැරඩෝනාට හැකිවිය. මේ දක්වා නාපෝලි කණ්ඩායම වෙනුවෙන් දෙවෙනි වැඩිම ගෝල ලාභියා වන්නේ ද මැරඩෝනාය.(පසුගිය වසරේ දී ස්ලෝවැකියාවේ මරෙක් හැම්සික් මෙම ලැයිස්තුවේ පළමුවැනියා බවට පත්විය.)

ඉන්පසු 1993 වසරේ දී ආර්ජෙන්ටිනාවේ නෙවෙල්’ස් ඕල්ඩ් බෝයිස් කණ්ඩායම වෙනුවෙන් වරස දෙකකට එකතුවන මැරඩෝනා 1995 වසරේ දී වසර දෙකක් වෙනුවෙන් නැවතත් බොකා ජූනියර්ස් කණ්ඩායම වෙත පැමිණේ. මේ අතර 1993 වසරේ දී පැවති ආර්ටමියෝ ෆ්‍රෑන්කි ශූරතාවද (මෙය 1991 වසරේ දී දකුණු ඇමරිකානු ශූරයින් වූ ආර්ජෙන්ටිනාව සහ 1992 වසරේ යුරෝපානු ශූරයින්වූ ඩෙන්මාකය අතර පැවති තරඟයක් විය.) ආර්ජෙන්ටිනා කණ්ඩායමට හිමිකරදීමට මැරඩෝනා මුල්විය. 1994 පාපන්දු ලෝක කුසලානයේ දී මැරඩෝනා තහනම් උත්තේජක චෝදනා ලබන අතර ආර්ජෙන්ටිනා කණ්ඩායම වෙනුවෙන් තරඟ දෙකක් පමණක් නියෝජනය කිරීමට මැරඩෝනා ට හැකිවිය. එහිදී ද මැරඩෝනා ග්‍රීසියට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට සමත් වූයේ ය. 1997 වසරේ දී මැරඩෝනා පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත්තේය.

පුහුණුකරුවෙකු ලෙසින්

මැරඩෝනා පුහුණුකරුවෙකු ලෙසින් (Nevsedoma.com.ua)

ක්‍රීඩකයෙකුව​ සිටියදීම 1994 සහ 1995 වසරවල කණ්ඩායම් දෙකක පුහුණුකරු ලෙසින් කටයුතු කලද මැරඩෝනා පුහුණුකරුවෙකු ලෙසින් ජනප්‍රිය වූයේ 2008 වසරේ දී ආර්ජෙන්ටිනා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පත්වීමෙන් අනතුරුවයි. 2010 පාපන්දු ලෝක කුසලානයේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා ආර්ජෙන්ටිනා කණ්ඩායම ගෙන ඒමට මැරඩෝනාට හැකිවූවත් අර්ධ අවසන් පූර්ව වටයේ දී ජර්මනිය හමුවේ ගෝල 4-0 ක දැවැන්ත පරාජයක් ලැබීමට මැරඩෝනාගේ ආර්ජෙන්ටිනා කණ්ඩායමට සිදුවිය. ඉන්පසු 2011 වසරේ දී එක් තරඟ සමයක් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි අල්-වස්ල් ක්‍රීඩා සමාජයෙහි පුහුණුකාර තනතුර දැරූ මැරඩෝනා පහුගිය වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේම ක්‍රීඩා සමාජයක් වන අල්-ෆූජයිරා ක්‍රීඩා සමාජයෙහි පුහුණුකාර තනතුර දරමින් සිටී.

පුද්ගලික තොරතුරු

මැරඩෝනා විවාහ වී සිටියේ ක්ලෝඩියා විසෆනේ සමඟිනි. 1984 වසරේ දී විවාහ වූ ඔවුන් 2004 වසරේ දී වෙන්විය. එම විවාහයෙන් දල්මා සහ හියැනිනා නමින් දියණිවරුන් දෙදෙනෙක් සිටී. හියැනිනා කලක් විවාහ වී සිටියේ ආර්ජෙන්ටිනා ජාතික කණ්ඩායමේ සහ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක සර්ජියෝ අගුවේරෝ සමඟින්ය. එම දියණියන්ට අමතරව තවත් විවිධ සම්බන්ධතා හේතුවෙන් පුත්‍රයින් දෙදෙනෙකු සහ දියණියක් ද මැරඩෝනාට සිටී. මැරඩෝනා සෑම විටම ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක් වූ අතර ජනප්‍රිය වෙළඳ දැන්වීම් කිහිපයකටම මැරඩෝනා පෙනී සිට ඇත. මැරඩෝනා වෙනුවෙන් සැදූ ගීතද බොහෝ ප්‍රමාණයක් ඇත.

සියවසෙහි පාපන්දු ක්‍රීඩකයා

මැරඩෝනා සහ පේලේ (dailypost.ng)

ආර්ජෙන්ටිනා ජාතික කණ්ඩායම වෙනුවෙන් තරඟ 91 කදී ගෝල 34 ක් ලබා ඇති ඩියේගෝ මැරඩෝනාට කිසිදු අවස්තාවක වසරේ හොඳම ක්‍රීඩකයාට පිරිනමන බැලෝන් ඩෝ’ර් සම්මානය දිනාගැනීමට නොහැකි වූයේ 1995 වසර තෙක් එය පිරිනැමුණේ යුරෝපයේ ක්‍රීඩා කරන යුරෝපා ක්‍රීඩකයින්ට පමණක් වීම නිසාය. වසර 20 කට වැඩි කාලයක් පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ දක්ෂතා වෙනුවෙන් 2000 වසරේ දී අන්තර්ජාතික පාපන්දු සංගමය (FIFA) විසින් “සියවසෙහි පාපන්දු ක්‍රීඩකයා” ලෙසින් බ්‍රසීලයේ පේලේ හා සම තැන මැරඩෝනාට ප්‍රධානය කරන ලදී.

Cover Image: මැරඩෝනා ලෝක කුසලානය අතැතිව (thefootballtimes.co)

මූලාශ්‍ර

  1. Diego Maradona Official Website
  2. Diego Armando Maradona –  FC Barcelona

Related Articles