Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුරෝ සහ කෝපා ඇමෙරිකා සමග පාපන්දු වසන්තය යලි ඇරඹෙයි

2018 වසරේ පාපන්දු ලෝක කුසලානය අවසන් වීමෙන් පසු ප්‍රධාන ජාත්‍යන්තර පාපන්දු කුසලානයක් යලි නැරඹීමේ කුතුහලයෙන් පෙළුණු පාපන්දු රසිකයින්ට, වෙනදාට වඩා වසරක් වැඩිපුර කාලයක් අසීරුවෙන් බලාසිටීමට සිදු වුණා. ඒ, 2020 ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ යුරෝ කුසලාන පාපන්දු තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් කල්දැමීමට සිදුවීම නිසා යි. එම කල් දැමීම නිමා කරමින් “2020 යුරෝ කුසලානය” පසුගිය ජූනි 11 වන දා ආරම්භ වුණා. එහි උද්‍යෝගය දෙගුණ කරමින් දකුණු ඇමෙරිකාවේ පාපන්දු ක්‍රීඩාකරන රටවල් අතර ශූරයා කවුරුන්දැ යි උරගා බැලෙන කෝපා ඇමෙරිකා තරගාවලියත් ජූනි 14 වනදා ආරම්භ කෙරුණා. තරගාවලි ද්විත්වයේම පළමු තරග දිනය (Match Day 1) මේ වන විට නිමාවී තිබෙනවා. ඒ පිළිබඳවත්, සමස්ත තරගාවලිය පිළිබඳවත් ඔබ දැනගත යුතු කරුණු කීපයකුත් මේ ලිපියෙන් ගෙන එනවා. 

2020 යුරෝ කුසලාන තරගාවලිය

euro 2020 groups
යුරෝ කුසලාන තරගාවලියේ එක් එක් රටවල් අයත් කාණ්ඩයන්/euro2020wiki

යුරෝපයේ “ලෝක කුසලානය” ලෙසින් හැඳින්වෙන යුරෝ කුසලානය සඳහා රටවල් 55ක් අතරින් මෙවරත් කණ්ඩායම් 24ක් සුදුසුකම් ලබා තිබෙනවා. 1960 දී පැවැත්වූ ආරම්භක තරගාවලිය සඳහා සහභාගී කරගත්තේ කණ්ඩායම් 4ක් පමණ යි. එය 2016 දී කණ්ඩායම් 16 සිට 24ක් දක්වා පුළුල් කෙරුණා. එම කණ්ඩායම් 24, A සිට F දක්වා වූ කාණ්ඩ 6ක් යටතේ පළමු වටයට ක්‍රීඩා කිරීමට නියමිත යි. එම කාණ්ඩවල පෙරමුණ ගන්නා කණ්ඩායම් 12, පිළිමලුන් පිටුදැකීමේ වටයට (knockout Stage) තේරී පත්වනවා. එසේම එක් එක් කාණ්ඩවල තෙවන ස්ථානය ලබාගත් කණ්ඩායම් 6 අතරින් ඉහළම දක්ෂතා පෙන්වූ කණ්ඩායම් 4ත් ඉහත කණ්ඩායම් 12 සමගින් එක්වනවා. එතැන් සිට අවසාන මහා තරගය දක්වා නොකවුට් ක්‍රමයට තරග පැවැත්වීමට නියමිත යි.

ෆින්ලන්තය සහ උතුරු මැසිඩෝනියාව මෙවර යුරෝ තරගාවලියට අලුතින්ම එක්වන කණ්ඩායම්. ෆින්ලන්තය තමන් සහභාගී වූ පළමු තරගයම ජය ලැබීමට සමත් වීම විශේෂත්වයක්. 2016 වසරේ පළමුවරට යුරෝ තරගාවලියට එක්වූ වේල්ස් කණ්ඩායම මෙවර තරගාවලියටත් සුදුසුකම් ලබා තිබෙනවා. නමුත් පසුගිය වර තරගාවලියට එක්වූ ඇල්බේනියාව, රොමේනියාව, අයර්ලන්තය, සහ අයිස්ලන්තය යන රටවල් 2020 යුරෝ කුසලානය සඳහා සුදුසුකම් ලබා නැහැ. එසේම යුරෝපයේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රබල ක්‍රීඩකයින් වන අර්ලින් හාලන්ඩ්, යාන් ඕබ්ලැක්, සහ කොස්තාස් මැනෝලාස් යන ක්‍රීඩකයින්ට, නෝර්වේ, ස්ලෝවේනියාව, සහ ග්‍රීසිය යන කණ්ඩායම් තරගාවලියට සුදුසුකම් නොලැබූ නිසා මෙවර යුරෝ තරගාවලිය අහිමි වී තිබෙනවා.

euro 2020 host cities
මෙවර යුරෝ කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගන/the sun

යුරෝ තරගාවලිය යුරෝපය පුරා රටවල් 11ක ක්‍රීඩාංගන 11ක දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. නෙදර්ලන්තය, අසර්බයිජානය, ස්පාඤ්ඤය, රොමේනියාව, හංගේරියාව, ඩෙන්මාර්කය, ස්කොට්ලන්තය, ජර්මනිය, සහ රුසියාව යන රටවල් ඒ අතරට අයත්. තරගාවලියේ සමාරම්භක තරගය ජූනි 12 වනදා රෝමයේ ඔලිම්පිකෝ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. අවසන් පූර්ව තරග දෙක සහ අවසාන මහා තරගය පැවැත්වෙන්නේ ලන්ඩන් නුවර වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ දී යි.

මෙවර යුරෝ කුසලානයේ වැඩි අවධානයක් දිනූ කණ්ඩායම්

2020 යුරෝ කුසලානය ජයග්‍රහණය කරතැ යි බොහෝදෙනා අපේක්ෂා කරන කණ්ඩායම් අතර පෙරමුණේ පසුවන්නේ ලෝක ශූර ප්‍රංශ කණ්ඩායම යි. 2018 වසරේ ලෝක ශූරයන් ලෙස යුරෝ කුසලානයට පිවිසෙන ඔවුන් මෙවර මහද්වීපික ශූරයන් බවට ද පත්වී, 1998 සහ 2000 වසරේ ප්‍රංශ කණ්ඩායම එම කුසලානයන් දෙකම ජයග්‍රහණය කිරීමේ සිදුවීම ප්‍රතිනිර්මාණය කරනු ඇතැ යි මත පළවනවා. ඔවුන් සතුව විශිෂ්ට කණ්ඩායමක් සිටින බව අවිවාදයෙන්ම පිළිගත යුතු යි. කිලියන් එම්බාප්පේ, ඇන්ටුවාන් ග්‍රීස්මාන්, කරීම් බෙන්සිමා, පෝල් පොග්බා, එන් ගෝලෝ කාන්ටේ, එඩ්රියන් රේබියොට්, කින්ග්ස්ලි කෝමන්, රෆායෙල් වරාන්, සහ දයෝට් උපමෙකානෝ යන ක්‍රීඩකයින් යුරෝපීය පාපන්දු ක්‍රීඩාවේ ඉහළම තලයේ සිටින ක්‍රීඩකයින් වනවා.

French team
ප්‍රංශ කණ්ඩායම/Trendsmap

නමුත් ඔවුන්ට කාණ්ඩ තරග වටයේ දී මුහුණදීමට සිදුවන අභියෝගය සුළුපටු නැහැ. “මරණයේ කාණ්ඩය” ලෙස විචාරකයින් නම්කර ඇති F කාණ්ඩයේ, වත්මන් යුරෝ කුසලාන ශුරයින් වන පෘතුගාලය සහ කවදත් පෙරළිකාර ජර්මනිය ද ඇතුළත්. අලුයම පැවති සිය පළමු තරගයෙන් ජර්මනියට එරෙහිව ගෝල 1-0ක ජයක් හිමි කරගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තරගාවලියේ ශූරයන් බවට පත්වීමේ මාර්ගය දැනටමත් විවර කරමින් සිටින බව පැවසිය හැකියි. කෙසේ වෙතත් ඔවුන් මෙවර යුරෝ කුසලානය දිනාගතහොත් එය වැඩිම වරක් ජයග්‍රහණයකර ඇති ජර්මනිය සහ ස්පාඤ්ඤය සමග සම විය හැකි වනවා. ප්‍රංශ කණ්ඩායම යුරෝ කුසලානය ජයගෙන ඇත්තේ දෙවරක් පමණ යි. ඒ, 1984 සහ 2000 වසරවල දී යි. 2016 දී පෘතුගාලය සමග අවසන් තරගයට පිවිසි ඔවුන් ගිලිහී ගිය කුසලානය කෙසේ හෝ දිනා ගැනීමේ අධිෂ්ඨානයෙන් මෙවර තරගාවලියට පිවිසෙනු ඇති.

යුරෝ කුසලානය ජයගනු ඇතැ යි ලංසු තැබෙන කණ්ඩායම් අතර දෙවන තැන පසුවන්නේ එංගලන්ත කණ්ඩායම යි. හැරී කේන්, ජේඩන් සැන්චෝ, මාර්කස් රැෂ්ෆඩ්, සහ රහීම් ස්ටර්ලින් වැනි ප්‍රබල ප්‍රහාරක ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එංගලන්ත කණ්ඩායමේ ෆිල් ෆොඩ්න් සහ මේසන් මවුන්ට් මැද පෙළ ශක්තිමත් කරනවා. ට්‍රෙන්ට් ඇලෙක්සැන්ඩර් ආනල්ඩ් සහ රීස් ජේම්ස් එංගලන්ත පිලේ කැපී පෙනෙන පසු පෙළ ක්‍රීඩකයින් බව පැවසිය යුතු යි. එංගලන්තය මේ දක්වා කිසිදු යුරෝ කුසලාන ශූරතාවයක් ජය ගෙන නැහැ. එසේම 1966 ලෝක කුසලාන ජයග්‍රහනයෙන් පසු ප්‍රධාන පෙළේ කිසිදු තරගාවලියක ශූරතාවයක් ද ඔවුන් දිනාගෙන  නැහැ. නමුත් මෙවර යුරෝ කුසලානය ජයග්‍රහණය සඳහා පෙර කවරදාටත් වඩා වැඩි අවස්ථාවක්  ඔවුන්ට පවතින බව යි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ. D කාණ්ඩයෙන් තරග වදින එංගලන්ත කණ්ඩායම ද තමන් මුහුණ දුන් පළමු තරගය ක්‍රෝඒෂියාවට එරෙහි ගෝල 1-0ක් ලෙස ජයගත්තා. D කාණ්ඩයේ සෙසු රටවල් වන චෙක් ජනරජය සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් සමග එංගලන්ත කණ්ඩායම ඉදිරියේ දී තරග වැදීමට නියමිත යි.

england squad
එංගලන්ත කණ්ඩායම/Kemi Filani News

බෙල්ජියම වෙත ද මෙවර යුරෝ කුසලානයේ දී වැඩි අවධානයක් යොමුවී තිබෙනවා. ඔවුන්ද 1980 අනුශූරතාවය දිනාගැනීමෙන් පසු කිසිදු යුරෝ කුසලාන තරගාවලියක අවසාන තරගයට සුදුසුකම් ලබා නැහැ. 2018 ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානයට පත්වීමට සමත් වූ බෙල්ජියම සතුව ඊඩ්න් හැසාර්ඩ්, කෙවින් ඩ බ්රොයිනර්, තිබවුට් කෝටුවා, සහ ඩ්‍රයිස් මර්ටන්ස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් සිටිනවා. ඔවුන් B කාණ්ඩයේ දී රුසියාව සමග පැවති සිය පළමු තරගය ගෝල 3-0ක් වශයෙන් ජයගත්තා. ඩෙන්මාර්කය සහ ෆින්ලන්තය යන කණ්ඩායම් සමග ඔවුන් ඉදිරියේ දී තරග වදිනු ඇති. පසුගිය වර යුරෝ කුසලාන ශුරයින් වූ පෘතුගාල කණ්ඩායම ද මෙවර තරග බිමට පිවිසෙන්නේ පිට පිට දෙවරක් ශූරතාවය දිනාගැනීමේ අරමුණෙන්. 2018 දී යුඑෆා නේෂන්ස් ලීග් තරගාවලිය ද ඔවුන් විසින් ජයගනු ලැබුවා. සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, බෘනෝ ෆර්නැන්ඩස්, ජාඕ ෆිලික්ස්, ඩියොගෝ  ජොටා, රූබන් ඩයස්, සහ ජාඕ කැන්සිලෝ වැනි ප්‍රබලයින් රැසක් පෘතුගාල කණ්ඩායම සතු යි. හංගේරියාව සමග පෘතුගාලය ඊයේ දිනයේ සිය පළමු තරගයට මුහුණ දුන්නා. එම තරගය 55,000කට අධික ප්‍රේක්ෂක සහභාගිත්වයක් සහිතව හංගේරියාවේ බුඩාපේස්ට්හි දී පැවැත්වුණත් ජය හිමිවුණේ පෘතුගාල කණ්ඩායමට යි. ඒ ගෝල  3-0ක් වශයෙන්.

පිට පිට දෙවරක් (2008 දී සහ 2012 දී) යුරෝ කුසලානය දිනාගත් එකම රට වන්නේ ස්පාඤ්ඤය යි. සෑම වසරකම වාගේ මෙවරත් යුරෝ කුසලානය ජයගනු ඇතැ යි විශ්වාස කෙරෙන රටවල් අතර ස්පාඤ්ඤ කණ්ඩායමට ද විශේෂ තැනක් හිමිවනවා. නවක ක්‍රීඩකයින් රැසක් සහභාගී වීමට නියමිත ස්පාඤ්ඤ කණ්ඩායමට සුපිරි ක්‍රීඩක සර්ජියෝ රාමෝස් ඇතුළත් නොවීම විශේෂත්වයක්. ස්පාඤ්ඤ පිල පෝලන්තය, ස්ලොවේකියාව, සහ ස්වීඩනය සමග E කාණ්ඩයෙන් තරග වදිනවා. ස්පාඤ්ඤ කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ස්වීඩන කණ්ඩායම සමග පැවැත්වුණු අතර, එහිදී කිසිදු ගෝලයක් වාර්තා නොවීම නිසා ජය පරාජයෙන් තොරව යි අවසන් වුණේ. ජර්මානු කණ්ඩායම ද තවත් යුරෝ කුසලාන ජයක් තමන් වෙත නතු කරගැනීමේ අපේක්ෂාවෙන් තරග බිමට පිවිසෙනවා. ඔවුන් සිය අවසන් යුරෝ කුසලාන ජය වාර්තා කළේ 1996 දී යි. එය ඔවුන්ගේ තෙවන ශූරතාවය වුවත් 1996න් පසු යුරෝ කුසලානායක අවසන් තරගයකට ජර්මනිය සුදුසුකම් ලැබුවේ එක් වරක් පමණ යි. ඒ 2008 වසරේ දී යි. තෝමස් මුලර්, ටිමෝ වර්නර්, ලිරෝයි සානේ, කායි හැවර්ට්ස්, සර්ජ් ගනාබ්රි, ටෝනි කෘස්, ජොෂුවා කිමිච්, සහ මැනුවෙල් නොයර් වැනි යන ප්‍රබල ක්‍රීඩකයින් හට තම කණ්ඩායම “මරණයේ කාණ්ඩයෙන්” ඉදිරියට ගෙන යා හැකිදැ යි බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. විශේෂයෙන් ප්‍රංශ කණ්ඩායම හමුවේ ලැබූ පරාජයත් පෘතුගාල කණ්ඩායම දැනටමත් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමත් නිසා ජර්මනියේ ඉරණම කෙසේ විසඳේදැ යි යන්න ගැටලුකාරී යි.

 

Portugal euro 2016
පසුගියවර ශූරයින් වූ පෘතුගාල කණ්ඩායම යුරෝ කුසලානය සමග/skysports

 

ඉතාලිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, සහ ක්‍රෝඒෂියාව යන රටවල් ද 2020 යුරෝ කුසලානයේ දී ප්‍රංශය, එංගලන්තය, බෙල්ජියම, පෘතුගාලය, ස්පාඤ්ඤය, සහ ජර්මනිය යන කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් වනු ඇති බව යි පැවසෙන්නේ. යුරෝ කුසලාන තරග ජූනි 12 වනදා සිට සෑම දිනකම වාගේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.30ට, රාත්‍රී  9.30ට, සහ 12.30ට පැවැත්වෙනවා. අවසාන මහා තරගය ජූලි 11 වනදා මධ්‍යම රාත්‍රී 12.30ට පැවැත්වීමට නියමිත යි. මේ දක්වා මූලික වටයේ තරග 12ක් පැවැත්වුණු අතර මූලික වටයේ පැවැත්වීමට නියමිත මුළු තරග සංඛ්‍යාව 36ක්.

කෝපා ඇමෙරිකා 2021

දකුණු ඇමෙරිකානු ශූරතාව ලෙස 1916 දී ඇරඹි මෙම තරගාවලිය 1975 සිට ‘කෝපා ඇමෙරිකා’ නමින් හැඳින්වෙනවා. මෙම තරගාවලිය නිශ්චිත වසර ගණනකට වරක් පැවැත්වෙන්නක් නොවේ. නමුත් මෙම තරගාවලිය පිළිබඳ තීරණ ගන්නා CONMEBOL සංවිධානය විසින් ඉදිරියේ දී යුරෝ කුසලානය පැවැත්වෙන වසරේ දීම කෝපා ඇමෙරිකා පැවැත්වීමට 2020 දී තීරණය කළා. කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් 2020 තරගාවලිය කල් දැමීමට සිදු වීමෙන් කෝපා ඇමෙරිකා තරගාවලිය මේ වසරේ පැවැත්වෙන අතර 2024 දී මීළඟ තරගාවලිය යුරෝ කුසලානයට සමගාමීව පැවැත්වෙනු ඇති.

copa america schedule
කෝපා ඇමෙරිකා තරග කාලසටහන /copaamerica.com

 

මෙවරත් කෝපා ඇමෙරිකාහි සත්කාරකත්වය දරන්නේ බ්‍රසීලය යි. 2019 දී ද ඔවුන් මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරූ අතර එය ජයග්‍රහණය කිරීමට ද සමත් වුණා. 2021 කෝපා ඇමෙරිකා පැවැත්වීමට නියමිතව තිබුණේ ආජන්ටිනාවේ සහ කොලොම්බියාවේ නගර 9ක ක්‍රීඩාංගන 9ක දී යි. නමුත් කොලොම්බියාවේ දේශපාලන තත්ත්වය හේතුවෙන් සත්කාරකත්වය බ්‍රසීලයට ගෙනගොස් තිබෙනවා. බ්‍රසීලයේ නගර 4ක ක්‍රීඩාංගන 5ක දී තරගාවලියේ සියලු තරග පැවැත්වීමට නියමිත යි. සමාරම්භක තරගය බ්‍රසීලියාහි දී ජූනි 14 වනදා අළුයම 2.30ට පැවැත්වුණා. සත්කාරක බ්‍රසීල කණ්ඩායම සහ වෙනිසියුලා කණ්ඩායම අතර පැවති මෙම තරගයෙන් ගෝල 3-0ක ජයක් බ්‍රසීල කණ්ඩායමට හිමිවුණා. මෙම තරගාවලියේ අවසාන මහා තරගය පැවැත්වෙන්නේ 2014 ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වූ රියෝ ද ජැනයිරෝ හි මරකානා ක්‍රීඩාංගනයේ දී යි.

2019 තරගාවලිය සඳහා ආරාධිත කණ්ඩායම් වශයෙන් ජපානය සහ කටාර් රාජ්‍යය ද සමග කණ්ඩායම් 12ක් තරග වැදුණු නමුත්, මෙවර කණ්ඩායම් 10ක් පමණක් තරගාවලියට එක්වනවා. ආරාධිත කණ්ඩායම් සහභාගී වීමක් සිදුවන්නේ නැහැ. කණ්ඩායම් 10, A සහ B වශයෙන් කාණ්ඩ දෙකක් වශයෙන් මුලික වටයේ දී තරග වදිනවා. එම කාණ්ඩවලින් ඉහළම දක්ෂතා පෙන්වන කණ්ඩායම් 8 අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනවා.

කෝපා ඇමෙරිකාහි වැඩි අවධානයක් දිනූ කණ්ඩායම්

සත්කාරක බ්‍රසීලය මෙවර තරගාවලිය ජය ගනු ඇතැයි බොහෝදෙනා මත පළ කරනවා. ඔවුන් මේ වන විට දකුණු ඇමෙරිකානු ශූරතා 6ක් සහ කෝපා ඇමෙරිකා ශූරතා 3ක් ජයගෙන තිබෙනවා. නේමාර්ගේ නායකත්වයෙන් තරගබිමට පිවිසෙන බ්‍රසීල කණ්ඩායම ගේබ්‍රියල් ජේසුස්, රිචාලිසන්, පිලිපේ කුටිනියෝ, කැසිමේරෝ, මාකිනස්, සහ ඇලිසන් බෙකර් යන ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත යි. බ්‍රසීල කණ්ඩායම B කාණ්ඩයෙන් තරග වදින අතර පසුගිය වසරේ අනුශූරයන් වූ පේරු කණ්ඩායම ද ඇතුළුව කොලොම්බියාව, වෙනිසියුලාව, සහ ඉක්වදෝරය යන කණ්ඩායම් ද එම කාණ්ඩයට අයත්.

2019 copa america brazil
2019 කෝපා ඇමෙරිකා ශූරයින් වූ බ්‍රසීල කණ්ඩායම/Sports Mirchi

සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආර්ජන්ටිනා කණ්ඩායම මෙවර කෝපා ඇමෙරිකා ශූරතාවය දිනාගනු ඇතැ යි වැඩියෙන්ම ලංසු තබා තිබෙනවා. ඒ, මෙය මෙසීගේ අවසන් කෝපා ඇමෙරිකානු ශූරතාවය විය හැකි බව පැවසෙන නිසාවෙන්. කෝපා ඇමෙරිකා ජයගෙන ඒ සමග ඔවුන් 2022 ලෝක කුසලානය සඳහා තම මාවත සකස් කරගනු ඇතැ යි විචාරකයින් පවසනවා. ආජන්ටිනා කණ්ඩායම ජයගෙන ඇති කෝපා ඇමෙරිකානු ශූරතා ගණන 2ක්. ඊට අමතරව 1975 දක්වා පැවති දකුණු ඇමෙරිකානු ශූරතාව 12 වරක් ඔවුන් විසින් දිනාගෙන තිබෙනවා. නමුත් 1993න් පසු මේ දක්වා කෝපා ඇමෙරිකානු ශූරතා 4ක දී අවසන් තරගවලට පිවිස ඇතත් ඉන් එකක් හෝ ජයගැනීමට ඔවුන්ට හැකිවී නැහැ. 1986න් පසු ලෝක කුසලාන ජයක් ද වාර්තා කර නොමැති ආජන්ටිනාව පළමු පෙළේ ජාත්‍යන්තර ශූරතාවයක් දිනාගැනීමේ දැඩි අවශ්‍යතාවයකින් පසුවනවා. පොලෝ ඩිබාලා, ලවුටාරෝ මාටිනෙස්, ඒන්ජල් ඩී මරියා, සහ ලුකස් ඔකැම්පස් යන ප්‍රබල ක්‍රීඩකයින් ඒ වෙනුවෙන් සිය උපරිමය මේ තරගාවලියේ දී ඉටු කරනු ඇති.

A කාණ්ඩයේ ක්‍රීඩාකරන ආජන්ටිනාව සමග කරට කර සටනක නිරත වන්නේ උරුගුවේ කණ්ඩායම යි. ඔවුන්ට අමතරව චිලී, පැරගුවේ, සහ බොලීවියා කණ්ඩායම් A කාණ්ඩයෙන් තරග වදිනවා. ආජන්ටිනාව සහ චිලී අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමවීම නිසා කාණ්ඩයේ ජය සියලුදෙනාටම තව දුරටත් විවෘතබව පැවසිය හැකියි. උරුගුවේ යනු වැඩිම දකුණු ඇමෙරිකානු ශූරතා සහ කෝපා ඇමරිකා ශූරතා එකතුවක් හිමි කණ්ඩායම වනවා. ඔවුන් කෝපා ඇමෙරිකා ශූරතාව සිව් වරක් දිනා ඇති අතර 11 වරක් දකුණු ඇමෙරිකානු ශූරතාව දිනාගෙන තිබෙනවා. 2011 දී අවසන් වරට කෝපා ඇමෙරිකානු ශූරතාවය දිනාගත් ඔවුන් ඉන්පසුව පැවති තරගාවලි තුනේ දීම අවසන් පූර්ව තරගයකට හෝ පිවිස නැහැ.

 

Argentina team
ආජන්ටිනා කණ්ඩායම/copaamericastore.com

කොලොම්බියා සහ චිලී කණ්ඩායම් පිළිබඳවත් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන් චිලී කණ්ඩායමේ ඔවුන් දිනා ඇති කෝපා ඇමෙරිකානු ශූරතා ද්විත්වයම 2015 සහ 2016 වසරවල දී දිනාගෙන තිබීම කැපී පෙනෙන සිදුවීමක්. ඔවුන් එම අවස්ථා දෙකේ දීම අවසන් මහා තරගයේ දී ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කළා. කෝපා ඇමෙරිකා තරග මෙරට වේලාවෙන් අලුයම 2.30ට සහ 5.30ට යි පැවැත්වෙන්නේ. මේ දක්වා මූලික වටයේ තරග 4ක් පමණක් පැවති අතර තවත් තරග 16ක් එම වටයේ ඉතිරිව තිබෙනවා.

ජුලි 13 වනදා සිට සවස 6.30 සිට පසු දින උදෑසන 7.30 දක්වා පාපන්දු තරග එක දිගට නැරඹීමේ අවස්ථාව මෙරට පාපන්දු රසිකයින්ට උදාවී තිබෙනවා. ඉතින් තව මාසයක් ගතවන තුරු නින්දට ආයුබෝවන් කියන්නට ඔවුන් දැනටමත් සුදානමින් ඇති!

කවරයේ පින්තුරය: Technosport

තොරතුරු: skysports.com, goal.com, sportsadda.com, 101greatgoals.com, සහ cbssports.com ඇසුරෙන්

Related Articles