Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ක්‍රීඩාවේ උපත සහ පළමු පාපන්දු ලෝක කුසලානය

වර්තමානයේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු බව අපි හැමෝම දන්නා කාරණයක්. ලෝකයේ සතර දිග් භාගයෙහිම ජනප්‍රිය ක්‍රීඩාවක් වන පාපන්දු ලොව වටා මිලියන 300 ට අධික සංඛ්‍යාවක් පාපන්දු ක්‍රීඩා කරන බව වාර්තා වේ. ඉන් 65 000 ට අධික සංඛ්‍යාවක් වෘත්තීය මට්ටමේ පාපන්දු ක්‍රීඩාවෙහි නියැලෙයි. ඉතින් මේ සා ජනප්‍රිය පාපන්දු ක්‍රීඩාවෙහි ආරම්භය කෙසේ සිදු වූයේද? පළමුවැනි පාපන්දු ලෝක කුසලානයෙහි තතු මොනවාද? “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් ඒ පිළිබඳව අද අපි කතා කරමු.

ඈත අතීතයේ පටන්ම මිනිසුන් විවිධ දෑ වලට පාදයෙන් පහර දී ක්‍රීඩාවක් වශයෙන් සිදුකර තිබෙන බවට බොහෝ සාධක හමුවී තිබේ. ක්‍රිස්තු පූර්ව 3 සහ 2 වැනි සියවස් වලදී චීනයේ ද, ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ හි මෙක්සිකෝවේ ද, 16 වැනි සියවසෙහි ඉතාලියේ ද මිනිසුන් මේ ආකාරයෙන් පාපන්දු ක්‍රීඩාවට සමාන අයුරින් විවිධ ක්‍රීඩා වල නියැලී තිබෙන අතර ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසට අයත් යැයි සැලකෙන පාෂාණ වලින් සෑදූ පන්දු ද ඇමරිකා එක්සත් ජනපදයෙන් (රතු ඉන්දියානුවරුන්ට අයත්) හමුවී තිබේ.

පාපන්දු ක්‍රීඩාවේ උපත

“ පාපන්දු ක්‍රීඩාවෙහි උපත සිදුවූ “ෆ්‍රීමේසන්ස් ටැවර්න්” හි පරණ චායාරූපයක්” (The FA)

නමුත් ක්‍රීඩාවක් වශයෙන් අද අපි හඳුන්වන, ප්‍රියකරන පාපන්දු ක්‍රීඩාවෙහි උපත සිදු වී තිබෙන්නේ එංගලන්තයේ දී ය. අතීතයේ පටන්ම එංගලන්තයේ මිනිසුන්ද විනෝදයට මෙන් පාපන්දු ක්‍රීඩාවට සමාන ආකාරයේ ක්‍රීඩා වල නියැලී ඇති අතර ගොවිබිම් වල සහ විවිධ කම්හල් වල සේවය කරනා පුද්ගලයින් වැඩ නිමවූ පසු සිය මානසික විඩාව නිවාගැනීමට එසේ ක්‍රීඩා කර තිබේ. 1820 සිට එංගලන්තයේ පාසල් වල ද පාපන්දු වලට සමාන ක්‍රීඩාවක් තිබී ඇති නමුත් නිශ්චිත නීති සමුදායක් තිබී නොමැත. පාසලෙන් පාසලට නීති රීති වෙනස් වී තිබේ.

ඒ අනුව 1863 වසරේ ඔක්තෝබර් 26 වැනි දින පාසල් කණ්ඩායම් 10 ක් ලන්ඩනයේ “ෆ්‍රීමේසන්ස් ටැවර්න්” (Freemasons Tavern, London) යන ස්ථානයට එකතු වී පාපන්දු ක්‍රීඩාවට අදාළ නිශ්චිත නීති සමුදායක් සම්පාදනය කරන්නට කතිකා කරගෙන ඇත. එම වසරේම දෙසැම්බර් මස වනවිට එම කාර්යය අවසන් කොට ක්‍රීඩාවක් වශයෙන් පාපන්දු ක්‍රීඩාව ආරම්භ කර තිබේ. නව නීති රීති යටතේ පළමු පාපන්දු තරඟය පැවත්වී තිබෙන්නේ 1863 වසරේ දෙසැම්බර් 19 වැනි දින එංගලන්තයේ ලන්ඩන් නුවර මෝර්ට්ලේක් හි බාර්න්ස් කොමන් ක්‍රීඩාංගනයේ දී ය. ඒ බාර්න්ස් පාපන්දු ක්‍රීඩා සමාජය සහ රිච්මන්ඩ් ක්‍රීඩා සමාජය අතරයි. තරඟය 0-0 ක් ලෙසින් සම ආකාරයෙන් නිමාවී තිබේ. 1871 වසරේ දී ලෝකයේ ප්‍රථම ලීග් කුසලානය එංගලන්තයේ දී ආරම්භ වී ඇත. (වර්තමානයේ දී මෙය FA කුසලානය ලෙසින් හැඳින්වේ.) එම ලීග් කුසලානය ජයග්‍රහණය කර තිබෙන්නේ “වොන්ඩරර්ස්” කණ්ඩායමයි. අනුශූරයින් වී ඇත්තේ “රෝයල් ඉංජිනියර්ස්” කණ්ඩායමයි.

ජාත්‍යන්තර තරඟවල මුල් අවධිය​

“එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර පැවති පළමු ජාත්‍යාන්තර තරඟයෙහි සිතුවමක්” (PA)

1872 වසරේ නොවැම්බර් 30 වැනි දින පළමු ජාත්‍යාන්තර පාපන්දු තරඟය පැවැත්වී තිබෙන්නේ ස්කොට්ලන්තය සහ එංගලන්තය අතරයි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර වෙස්ට් ඔෆ් ස්කොට්ලන්ඩ් ක්‍රිකට් ක්ලබ් හි ක්‍රීඩාංගනය වන “හැමිල්ටන් ක්‍රිසෙන්ට්” ක්‍රීඩාංගනයේ දී ය. 2000 ක පමණ ක්‍රීඩා ලෝලීන් විසින් නැරඹූ මෙම තරඟය 0-0 ක් ලෙසින් ජය පැරදුමෙන් තොරව නිමා වී තිබේ. 1880 දශකයේ දී යුරෝපයෙහි වෘත්තීය පාපන්දු ක්‍රීඩා සමාජ බිහිවී තිබෙන අතර ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ පාලනය යටතේ තිබෙන යටත් විජිත වලට ද පාපන්දු ක්‍රීඩාව රැගෙන ගොස් ප්‍රචලිත කර තිබේ. 1900 පැවතී ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද පාපන්දු ඇතුලත් කර ඇති අතර එහිදී රන් පදක්කම මහා බ්‍රිතාන්‍යය විසින් ද රිදී පදක්කම ප්‍රංශය විසින් ද දිනාගෙන ඇත.

FIFA පිහිටුවීම

“ FIFA හි ලාංචනය” (fifa.com)

රටවල් 7 ක සහභාගීත්වයෙන් 1904 වසරේ දී පිහිටුවා තිබෙන අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හෙවත් FIFA හි (Federation Internationale de Football Association – ප්‍රංශ භාෂාවෙනි. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් International Federation of Association Football ලෙසින් හැඳින්වේ.) වර්තමානයේ සාමාජිකත්වය හිමිකරගෙන ඇති රටවල් සංඛ්‍යාව 205 කි. පළමු කාන්තා ජාත්‍යාන්තර තරඟය එංගලන්ත සහ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පවත්වා ඇත. ඒ 1920 වසරේ දී ය. එහිදී 22-0 ක් ලෙසින් තරඟයේ ජය එංගලන්ත කාන්තා කණ්ඩායම සතුවිය.

1930 පළමු ලෝක කුසලානය

පාපන්දු ක්‍රීඩාව දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතින විට පාපන්දු තව තවත් ප්‍රචලිත කිරීම සඳහා සහ රටවල් අතර තරඟකාරීත්වයක් ඇති කිරීම සඳහා පාපන්දු ලෝක කුසලානයක් සංවිධානය කිරීමට අන්තර්ජාතික පාපන්දු සංගමය තීරණය කරන ලදී. මේ සඳහා ප්‍රධාන කාරණා කිහිපයක් බලපෑවේ ය​.

මුල් කාලීනව ද පාපන්දු ලෝක කුසලානයක් සඳහා යෝජනා කණින් කොණින් පැමිණියද ඊට විශේෂ අවශ්‍යතාවක් නොවී ය​. ඔලිම්පික් උළෙලේ පාපන්දු තරඟාවලිය ලෝක කුසලානයකට සමාන වීම ඊට හේතුව විය. නමුත් 1920 දශකය වනවිට වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන් බිහි වන්නට වූ අතර ඔවුනට ඔලිම්පික් නීති ප්‍රකාරව එහි තරඟ කළ නොහැකි විය​. එහෙයින් ලොව ප්‍රබල පාපන්දු කණ්ඩායම් සහිත වූ රටවල් ලෝක කුසලානයක අවශ්‍යතාව කියා සිටිය හ​.

මේ අතර 1932 ඔලිම්පික් උළෙල පැවැත්වීමට ඇමරිකාවේ ලොස් ඇන් ජලිස් නගරය තෝරාගන්නා ලදී. එකල පාපන්දු ඇමරිකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් නොවුණ අතර එරට ඔලිම්පික් කමිටුව තීරණය කළේ එම ක්‍රීඩාව ඔලිම්පික් උළෙලෙන් ඉවත් කිරීමටයි. ඒ අනුව ලෝක කුසලානයක් වෙනම ම පැවැත්වීම වෙත ආයතනය යොමු විය​. ඒ සඳහා මූලිකත්වය ගත්තේ එහි සභාපති ජූල්ස් රිමේ ය​.

එහි සත්කාරක රට ලෙසින් දකුණු ඇමරිකාවේ රාජ්‍යයක් වන උරුගුවේ දේශය තෝරාගන්නා ලදී. සත්කාරක රාජ්‍යය ලෙසින් එලෙස උරුගුවේ දේශය තෝරාගැනීමට ඉවහල් වූ ප්‍රධානම කාරණය ලෙසින් 1924 සහ 1928 යන ඔලිම්පික් උළෙල දෙකෙහිදීම උරුගුවේ කණ්ඩායම රන් පදක්කම හිමිකරගැනීම ලෙසින් සඳහන් කල හැකි වූවත් ඒ වනවිට පාපන්දු ක්‍රීඩාව යුරෝපයේ ඉතා ජනප්‍රිය වී තිබූ බැවින් පළමු ලෝක කුසලානය දකුණු ඇමරිකානු රටක පැවැත්වීම පිලිබඳ බොහෝ යුරෝපීය රටවල් සිය විරුද්ධත්වය පලකරන ලදී. යුරෝපා රටවල් කිහිපයක් සත්කාරකත්වය සඳහා ඉදිරිපත් වූ නමුත් පසුව ඔව්හු එම අදහස අත් හැරගත් හ​.

අනෙක් අතින් ඉතා දිගු මුහුදු ගමනක් සහ අධික වියදම් සහිත ගමනක් බැවින් බොහෝ යුරෝපීය රටවල් උරුගුවේ දේශය වෙත යාමට එතරම්ම ප්‍රසාදයක් නොදැක්වීය. උරුගුවේ රාජ්‍යය සියළු කණ්ඩායම්වලට වියදම් දැරීමට ඉදිරිපත් විය​. තම රටෙහි සියවන නිදහස් සමරුව යෙදුණ 1930 දී මෙම තරඟාවලිය එහි පැවැත්වීමට උරුගුවේ රටට අත්‍යාවශ්‍ය වූයේ ය​. කෙසේ නමුත් යුරෝපීය රටවල් 4 ක් පමණක් පළමු ලෝක කුසලානයට සහභාගී වීය. ඒ බෙල්ජියම, ප්‍රංශය, රුමේනියාව සහ යුගොස්ලෝවියාව යි. පළමු ලෝක කුසලානය සඳහා කිසිදු සුදුසුකම් ලැබීමේ තරඟයක් පවත්වා නැති අතර රටවල් 13 ක් පළමු ලෝක කුසලානයට සහභාගී විය.

“1930 දී එස්ටාඩියෝ සෙන්ටෙනාරියෝ ක්‍රීඩාංගනය” (Pinterest.com)

ලෝක කුසලානය සහ උරුගුවේ දේශයට නිදහස ලැබී වසර 100 ක් සැපිරීම සඳහා, ක්‍රීඩා ලෝලීන් 90 000 ට පමණ තරඟ නැරඹිය හැකි එස්ටාඩියෝ සෙන්ටෙනාරියෝ ක්‍රීඩාංගනය උරුගුවේ දේශය විසින් ගොඩනැඟූවේ උරුගුවේ හි මොන්ටෙවීඩියෝ අගනුවරයි. එස්ටාඩියෝ සෙන්ටෙනාරියෝ ක්‍රීඩාංගනයට අමතරව මොන්ටෙවීඩියෝ අගනුවර තවත් ක්‍රීඩාංගන දෙකක් වන එස්ටාඩියෝ පාර්කේ සෙන්ට්‍රල් සහ එස්ටාඩියෝ පොසිටෝස් හි ද තරඟ පවත්වා තිබේ. මේ අනුව එක් නගරයකදී සියළු තරඟ පවත්වන ලද එකම පාපන්දු ලෝක කුසලානය ද 1930 ලෝක කුසලානය වේ.

මූලික වටයේ දී කණ්ඩායම් 13 මේ ආකාරයට කාණ්ඩ 4 ට බෙදා ඒ එක් එක් කාණ්ඩයේ ප්‍රමුඛස්ථානය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා තෝරාගෙන ඇත.

1 කාණ්ඩය – ආර්ජෙන්ටිනාව, ප්‍රංශය, මෙක්සිකෝව, චිලී දේශය,

2 කාණ්ඩය – බ්‍රසීලය, යුගෝස්ලෝවියාව, බොලීවියාව

3 කාණ්ඩය – උරුගුවේ දේශය, රුමේනියාව, පේරු රාජ්‍යය

4 කාණ්ඩය – බෙල්ජියම, ඇ.එ.ජ., පැරගුවේ දේශය

තරඟාවලිය ආරම්භ කරමින් 1930 ජූලි 13 වැනි දින ප්‍රංශය සහ මෙක්සිකෝවත්, ඇ.එ.ජ සහ බෙල්ජියමත් තරඟ වැදුණි. (තරඟ දෙකම ක්‍රීඩාංගන දෙකකදී එකම වේලාවකදී ආරම්භ විය.) ප්‍රංශය සහ මෙක්සිකෝව අතර පැවතී තරඟයෙන් ජයගත්තේ 4-1 ක් ලෙසින් ප්‍රංශයයි. එම තරඟයේ 19 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කල ප්‍රංශයේ ලුසියෙන්ට් ලොරෙන්ට් පාපන්දු ලෝක කුසලානය ඉතිහාසයේ පළමු ගෝලයේ හිමිකරුවා බවට පත්විය. ඇ.එ.ජ. සහ බෙල්ජියම අතර පැවති අනෙක් තරඟයේ ජය ලැබීමට ඇ.එ.ජ. ට හැකිවූයේ 3-0 ක් වශයෙනි. ඒ අනුව පළමු වරට ප්‍රතිවාදී කණ්ඩායමට ගෝලයක් ලබා නොදුන් (Clean Sheet) දැල රකින්නා බවට පත්වීමට ඇ.එ.ජ. දැල රකින්නා වූ ජිමී ඩග්ලස්ට හැකිවිය.

මූලික වටය අවසානයේ ඒ ඒ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ආර්ජෙන්ටිනාව, යුගෝස්ලෝවියාව, උරුගුවේ දේශය සහ ඇ.එ.ජ ට හැකිවිය.

පළමු අවසන් පූර්ව තරඟය

පළමු අවසන් පූර්ව තරඟය පැවැත්වුනේ ආර්ජෙන්ටිනාව සහ ඇ.එ.ජ අතරයි. ඒ ජූලි මස 26 වැනි දින එස්ටාඩියෝ සෙන්ටෙනාරියෝ ක්‍රීඩාංගනයේ දීය. තරඟය ආරම්භ වී 10 වැනි මිනිත්තුවේ දී ඇ.එ.ජ මැදපෙළ ක්‍රීඩක රෆායෙල් ට්‍රැසීගේ පාදය බිඳීයාමත් සමඟින් කණ්ඩායම් දෙක අතර දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය. මෙම තරඟයේ දී  ඇ.එ.ජ වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ උපත ලද ක්‍රීඩකයින් 6 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර තරඟය 6-1 ක් ලෙසින් ජයගෙන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ආර්ජෙන්ටිනාවට හැකිවී තිබේ.

දෙවැනි අවසන් පූර්ව තරඟය

“පෙඩ්රෝ සියා” (alchetron.com)

දෙවැනි අවසන් පූර්ව තරඟය පැවැත්වුනේ ජූලි මස 27 වැනි දින සත්කාරක උරුගුවේ දේශය සහ යුගෝස්ලෝවියාව අතර එස්ටාඩියෝ සෙන්ටෙනාරියෝ ක්‍රීඩාංගනයේදී ය. තරඟයේ ජය ගෝල 6-1 ක් ලෙසින් උරුගුවේ දේශයට හිමිවූ අතර උරුගුවේ කණ්ඩායම වෙනුවෙන් පෙඩ්රෝ සියා ගෝල ත්‍රිත්වයක් වාර්තා කරන ලදී. කෙසේවෙතත් මෙම තරඟයේ දී යුගෝස්ලෝවියාව විසින් ලබාගත් ගෝලයක් නීති විරෝධී (Offside) යැයි විනිසුරුවන් විසින් ප්‍රකාශ කිරීම නිසා යම් උණුසුමක්ද ඇතිවිය.

තුන්වැනි ස්ථානය

පළමුවැනි ලෝක කුසලාන තරඟාවලියේ දී තුන්වැනි ස්ථානය තේරීම සඳහා තරඟයක් පැවත්වී නැත. තරඟාවලිය අවසානයේ දී ඇ.එ.ජ සහ යුගෝස්ලොවියාවේ නායකයින් දෙදෙනාටම ලෝකඩ පදක්කම බැගින් ලබා දී තිබේ. නමුත් 1986 වසරේ දී අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුව විසින් 1986 පාපන්දු ලෝක කුසලානයත් ඇතුළුව එතෙක් පැවතී සියලුම පාපන්දු ලෝක කුසලාන වලට සහභාගී වූ කණ්ඩායම් වර්ගීකරණය කල අතර ඒ අනුව 1930 ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය ඇ.එ.ජ ට හිමිවුණි.

අවසාන මහා තරඟය

1930 පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරඟය 1930 ජූලි මස 30 වැනි දින පැවැත්වුනේ ද අවසන් පූර්ව වටයේ තරඟ දෙක පැවති මොන්ටෙවීඩියෝ අගනුවර එස්ටාඩියෝ සෙන්ටෙනාරියෝ ක්‍රීඩාංගනයේ දී සත්කාරක උරුගුවේ දේශය සහ ආර්ජෙන්ටිනා අතරයි. 1928 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ අවසාන මහා තරඟයේ දී ද මෙම කණ්ඩායම් දෙක මුහුණට මුහුණ මුණ ගැසී තිබූ අතර එහි දී 2-1 ක් ලෙසින් ආර්ජෙන්ටිනාව පරදා රන් පදක්කම හිමිකරගැනීමට උරුගුවේ දේශයට හැකිවී තිබුණි. ඒ අනුව මෙම තරඟය වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුවිය. තරඟය ආරම්භ වීමට බොහෝ වෙලාවකට පෙර සිටම ක්‍රීඩාංගනයෙහි දොරටු විවෘත කර තිබූ අතර ක්‍රීඩාංගනය ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී යන ලදී. එහි සැලකිව යුතු ආර්ජෙන්ටිනාවේ ක්‍රීඩා ලෝලීන් ද පිරිසක්ද සිට ඇත.

එස්ටාඩියෝ සෙන්ටනාරියෝ 1930 දී (Wikimedia Commons)

තරඟයේ පළමු භාගය අවසන් වනවිට 1-2 ක් වශයෙන් ආර්ජෙන්ටිනා කණ්ඩායම ඉදිරියෙන් සිට ඇති නමුත් දෙවැනි භාගයේ දී තවත් ගෝල 3 ක් ලබාගනිමින් සත්කාරක උරුගුවේ රාජ්‍යය  4-2 ක් වශයෙන් තරඟයෙහි ජය ලබා පළමු පාපන්දු ලෝක කුසලාන කිරුළ හිමිකරගැනීමට සමත්විය. ජයග්‍රාහී උරුගුවේ කණ්ඩායම වෙනුවෙන් පැබ්ලෝ ඩොරාඩෝ, පෙඩ්රෝ සියා, වික්ටෝරියානෝ ඉරියාටේ සහ හෙක්ටර් කැස්ත්‍රෝ විසින් ගෝල වාර්තා කරන ලදී. අනුශූරයින් වූ ආර්ජෙන්ටිනා කණ්ඩායම වෙනුවෙන් කාලෝස් පුශෙල් සහ ගුලෙමෝ ස්ටැබිල් ගෝල වාර්තා කර තිබේ. ජයග්‍රාහී උරුගුවේ කණ්ඩායමට ශූරතා කුසලානය පිරිනමා ඇත්තේ එවකට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජුල්ස් රිමේ විසිනි. පසුකලකදී පාපන්දු ලෝක කුසලානයේ ශූරතා කුසලානය ජුල්ස් රිමේ ලෙසින් නම් කරන ලදී.

තරඟාවලිය පුරා ගෝල 8 වාර්තා කරමින් තරඟාවලියේ වැඩිම ගෝල ලාභියා වූයේ ආර්ජෙන්ටිනාවේ ගුලෙමෝ ස්ටැබිල් ය. ගෝල 5 ක් සහ 4 ක් වාර්තා කරමින් තරඟාවලියෙහි දෙවැනි සහ තුන්වැනි වැඩිම ගෝල ලාභීන් බවට පත්වූයේ පිලිවෙලින් උරුගුවේ දේශයේ පෙඩ්රෝ සියා සහ ඇ.එ.ජ. බර්ට් පැටෙනෝඩ් ය.

වර්තමානයේ අප ප්‍රියකරන පාපන්දු ක්‍රීඩාව මේ ආකාරයට ආරම්භය වී ඇති අතර පළමු පාපන්දු ලෝක කුසලානය ද මෙලෙස ඉතා සාර්ථකව නිමාවී ඇත.

Cover –  “ජයග්‍රාහී උරුගුවේ කණ්ඩායම” (fifaworldcups.net)

මූලාශ්‍ර​

G.R.E. Phillips, Tim Oldham. “A Complete Championship Guide – World Cup 98”

Related Articles