Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලානයට සූදානම් වූ රුසියාවේ විසල් ක්‍රීඩාංගන 12

මෙවර පාපන්දු ලෝක කුසලානය 2018 ජූනි 14 වෙනිදා රුසියාවේදී ආරම්භ වීමට නියමිතයි. දවස් 31ක් පුරා දිවයන මෙම තරඟාවලියට රටවල් 32ක් සභාගී වෙනවා. නගර 11ක, ක්‍රීඩාංගන 12ක තරඟ 64ක් මෙවර පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. අපි ඔබට අද ඒ ක්‍රීඩාංගන 12 පිළිබඳ​ තොරතුරු ගෙන එන්න හිතුවා.

1. කසාන්  ක්‍රීඩාංගනය (Kazan Arena)

ප්‍රේක්ෂකයන් 45,379කට එකවර තරඟ නැරඹිය හැකි මෙම ක්‍රීඩාංගනය 2013 වසරේ නිර්මාණය වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 439.7 ක් වියදම් කරමිනුයි. පොපුලස් (Populous) ගෘහ නිර්මාණ සමාගම විසින් මෙහි නිර්මාණ කටයුතු කල අතර එය දැනට රුසියාවේ පවතින පහසුකම් අතින් ඉහළම ක්‍රීඩාංගණයක් ලෙසත් සැලකෙනවා. එය මොස්කව් අග නුවරට කිලෝමීටර 800ක් පමණ දුරින් පිහිටා තිබෙනවා. 2015 වසරේදී ලෝක ජල ක්‍රීඩා ශුරතාව ද මෙම ක්‍රීඩාංගනයේ පවත්වා තිබෙනවා.

theguardian.com

2. එකටරින්බර්ග්  ක්‍රීඩාංගනය (Ekaterinburg Arena)

1957 වසරේ නිර්මාණය කරන ලද මෙම ක්‍රීඩාංගනය 2017 වසරේ අලුත්වැඩියා කොට විවෘත වුණා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 215ක වියදමකිනුයි. එමෙන්ම මෙම ක්‍රීඩාංගනයේ තවත් විශේෂත්වයක් වන්නේ එහි ඇති තාවකාලික නැරඹුම් අට්ටාලයයි. පැරණි ක්‍රීඩාංගනයක් නිසා FIFA හී නීතියක් වන අවම ප්‍රේක්ෂක ප්‍රමාණය 35,000 විය යුතුය යන නීතිය වෙනුවෙන් මෙය ඉදි කෙරුණා. මෙම ක්‍රීඩාංගනය අවට වර්ෂාව ඇති වීමේ සම්භාවිතාව 66% ක තරම් ඉහළ ගනු ලබනවා.

theguardian.com

3. සාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගනය (Saint Petersburg Stadium)

මෙම ක්‍රීඩාංගණය නිර්මාණය වෙන්නේ 2017 වසරේදීයි. එයට වැයවූ මුදල නිශ්චිතවම ප්‍රකාශ කර නැතත් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ වැය කොට ඇතැයි සැලකෙනවා. අභ්‍යාවකාශ යානයක හැඩයට මෙම ක්‍රීඩාංගනය නිර්මාණය කර ඇත්තේ කිෂෝ කුරිකාවා නම් ගෘහ නිර්මාණකරුවා විසිනුයි. එකවර ප්‍රේක්ෂකයන් 68,000කට අසුන් ගත හැකි මෙම ක්‍රීඩාංගණය රුසියාවේ සාන්ත පිටර්ස්බර්ග් නුවර ක්‍රෙස්ටොව්ස්කි දුපතේ පිහිටා තිබෙනවා.

stadiumguide.com

4. ලුෂ්නිකි ක්‍රීඩාංගනය (Luzhniki Stadium, Moscow)

එකවර ප්‍රේක්ෂකයන් 81,000කට ඉඩ පහසුකම් ඇති මෙම ක්‍රීඩාංගණය 1955-1956 දක්වා කාලයේ දින 450කින් ඉදිවී තිබුණා. නමුත් එය අලුත්වැඩියාවෙන් පසුව නැවත විවෘත වුණේ 2018 වසරේදීයි. එයට වැයවූ මුදල ඩොලර් මිලියන 400ක් වෙනවා.1980ඔලිම්පික් උළෙල, 1999 Uefa අවසාන තරඟය, 2008 ශුරයන්ගේ ලීගයේ අවසාන තරගය​ හා 2013 ලෝක ශුරතා මළල ක්‍රීඩා උළෙල ද මෙහි පැවැත් වුණා. මෙම ක්‍රීඩාංගණය තුල ක්‍රීඩා සමාජ තරඟ හා ජාත්‍යන්තර තරඟ 3000ක් පමණ පවත්වා තිබෙනවා. ලෝක කුසලානයේ සමාරම්භක උළෙල මෙහි පැවැත්වෙන අතර පළමු තරගය සහ අවසන් මහා තරගය ඇතුළු තරග 7 ක් මෙහි පවත්වනු ඇති.

the18.com

5. ස්පාර්ටක්  ක්‍රීඩාංගනය – මොස්කව් (Spartak Stadium)

එකවර ප්‍රේක්ෂකයන් 45,360කට පමණ පහසුකම් සහිත මෙම ක්‍රීඩාංගනය 2004 වසරේ නිර්මාණ කටයුතු අවසන් කෙරුණා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 430ක වියදමින්. මෙම ක්‍රීඩාංගණය ඉදිරියේ පිහිටා ඇති ස්පාර්ටක්ස් ප්‍රතිමාව මෙම ක්‍රීඩාංගණයට එන බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගන්නා තැනක් වී තිබෙනවා. ක්‍රීඩාවට හැරුණු කොට ප්‍රසංග වෙනුවෙන් ද මෙම ක්‍රීඩාංගනය ප්‍රසිද්ධියක් උසුලනවා.

moscovery.com

6. නිෂ්නි නොවගොරොඩ්  ක්‍රීඩාංගනය (Nizhny Novgorod Stadium)

මෙහි ප්‍රේක්ෂක ධාරිතාව 45,331ක් පමණ වෙනවා. 2018 වසරේ විවෘත වුණ මෙම ක්‍රීඩාංගනය සැළකෙන්නේ පරිසරයේ පිහිටීම යොදාගෙන නිර්මාණය කරන ලද අලංකාර ක්‍රීඩාංගණයක් ලෙසයි. මෙම ක්‍රීඩාංගණය නිර්මාණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 290ක් වැයවී තිබෙනවා. මෙහි පැවැත්වීමට නියමිත තරග​ ගණන 6ක්

theguardian.com

7. මොර්ඩොවියා ක්‍රීඩාංගනය  – සරන්සක් ( Mordovia Arena)

ප්‍රේක්ෂකයන් 44,442 ක් පමණ මෙහි රැඳවිය හැකි අතර මෙය 2018 වසරේදී  විවෘත වුණා. තැඹිලි, රතු හා සුදු පැහැයෙන් නිර්මිත මෙම ක්‍රීඩාංගනය, මෙවර භාවිතා වන​ වර්ණවත්ම ක්‍රීඩාංගනයක්ද වෙනවා. තරඟ 4ක් පැවැත්වීමට මෙම ක්‍රීඩාංගනය සුදානම් කර ඇති අතර මෙය නිර්මාණයට ඇමරිකානු ඩොලර් මිලියන 300ක් පමණ වැයවී තිබෙනවා.

stadiumdb.com

8. සමාරා ඇරීනා (Samara Arena)

2018 වසරේදී ඉදිකිරීම් නිමා වුණු මේ ක්‍රීඩාංගනයේදී එකවර ප්‍රේක්ෂකයන් 45,000කට පමණ​ තරඟ නැරඹිය හැකි වෙනවා. එය ඉදිකිරීමට වැයවූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 320ක්. මෙම ක්‍රීඩාංගනය සමාරා හා වොල්ගා යන ගංගා දෙක ආශ්‍රිතව පිහිටා තිබෙනවා. එමෙන්ම මීටර 65ක් ඉහළින් ඇති වීදුරු ගෝලාර්ධයකින් ද යුතු වෙනවා.

sportycious.com

9. කලිනින්ග්‍රාඩ් ක්‍රීඩාංගනය (Kaliningrad Stadium)

2018 වසරේ ඉදිකිරීම් කටයුතු නිමාවන මෙම ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන් 35,212කට පහසුකම් සපයනවා. මෙහි ඉදිකිරීම් වියදම ඇමරිකානු ඩොලර් මිලියන 300ක්. නවීනතම අංග උපාංග රාශියකින් මේ ක්‍රීඩාංගනය සමන්විත වෙනවා. ලෝක ප්‍රසිද්ධ අලියාන්ස් ක්‍රීඩාංගනයේ සැකැස්මට සමීප සැකැස්මකින් මේ ක්‍රීඩාංගණය යුතු වෙනවා. ලෝක කුසලානයෙන් පසුව දේශීය තරඟ වෙනුවෙන් මෙම ක්‍රීඩාංගණය වෙන් කරනු ඇති.

stadiumguide.com

10. වොල්ගෝග්‍රාඩ් ක්‍රීඩාංගනය (Volgograd Stadium )

ප්‍රේක්ෂකයන් 45,568 දෙනෙකුට නැරඹුම් පහසුකම් ඇති මෙම ක්‍රීඩාංගනය 2018 වසරේදී නිර්මාණය වෙනවා. එය නිර්මාණය වෙන්නේ එම ස්ථානයේ 1958 වසරේ සිට තිබූ මධ්‍යම ප්‍රමාණයේ ක්‍රීඩාංගනය 2015 වසරේ ඉවත් කරමිනුයි. මෙම ක්‍රීඩාංගනයේ ලෝක කුසලානයේ තරඟ 4ක් පැවැත්වීමට නියමිතයි. ඉතාමත් අලංකාර බාහිර සැලසුමකින් මෙම ක්‍රීඩාංගනය යුතු වන අතර එය නිර්මාණය වෙනුවෙන් වැයවී තිබෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 280ක්.

stadiumguide.com

11. රොස්ටොව් ක්‍රීඩාංගනය (Rostov Arena)

ඇමරිකානු ඩොලර් මිලියන 330 ක මිලක් වියදම් කරමින් ප්‍රේක්ෂකයන් 45,145 වෙනුවෙන් මෙම ක්‍රීඩාංගනය නිර්මාණය වෙනවා. ඩොන් නදී ඉවුරේ මෙම ක්‍රීඩාංගණය නිර්මාණය වුණා. ලෝක කුසලාන තරඟ 5කට සත්කාරකත්වය ලබාදෙන අතර මෙම ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු නිමා වුණේ 2017 වසරේදීයි.

stadiumguide.com

12. ෆිශ්ට් ඔලිම්පික් ක්‍රීඩාංගනය (Fisht Olympic Stadium)

මෙම ක්‍රීඩාංගනය නිර්මාණය වෙන්නේ 2013 වසරේදීයි. ප්‍රේක්ෂකයන් 47,659 දෙනෙකුට පහසුකම් සපයන ක්‍රීඩාංගනය ඇමරිකානු ඩොලර් මිලියන 519ක් වියදමින් නිර්මාණය වුණා. මෙය සෝචි නගරයේ පිහිටා තිබෙනවා. මෙම ක්‍රීඩාංගනයේ උතුරු දෙසින් ක්‍රස්නයා පොලියානා කඳු වැටිය පිහිටා තිබෙන අතර, දකුණු දෙසින් කළු මුහුද දැක ගන්න පුළුවන්. මෙහි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟ ගණන 6ක්.

cloudfront.net

Cover Image – strigroup.com

මුලාශ්‍රයයන්

www.stadiumguide.com

www.theguardian.com

www.bbc.com

Related Articles