Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තම උපරිමය දුන් පුහුණුකරු – ඩැව් වට්මෝර්

මීට පෙර ලිපියකින් අපි වට්මෝර්ගේ ළමා කාලය, ඔහු ඕස්ට්‍රේලියානු පිලට පැමිණි දුෂ්කර ගමන, හා ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය පිළිබඳ ව කතා කළා. එසේනම්, මේ ලිපියෙන් අපි වට්මෝර් ලංකාවේ පුහුණුකරු ලෙස පැමිණීමෙන් අනතුරුව වට්මෝර් පෙන්වූ දස්කම් පිළිබඳ ව කතා කරමු.

ඩැව්, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස එක්වූ ආකාරය

1995 වසර මුල පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් පසු ව ආනා පුංචිහේවා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට පත්වූ අතර, අනතුරුව ඔහු විදෙස් ක්‍රිකට් පුහුණුකරුවෙකු ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු ආරම්භ කළා. එහි දී, ආනා සිය සබදතා උපයෝගී කර ගනිමින් ජාත්‍යන්තර සහාය පැතූ අතර, හිටපු එංගලන්ත ටෙස්ට් ක්‍රීඩකයන් වූ ඉයන් බොතම්, බොබ් වූල්මර්, හා මයික් හෙන්ඩ්‍රික්ගේ නම් එංගලන්තය දෙසින් යෝජනා වුණා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඩැව් වට්මෝර්ගේ නම යෝජනා කළ අතර, ඉන් නොනැවතී ඔවුන් ඩැව්ගේ මාසික පඩිය ගෙවීමට ද එකඟ වුණා. ඩැව්ගේ පුහුණු කිරීමේ ක්‍රමවේදය විද්‍යානුකූල එකක් වීම හා උපතින් ශ්‍රී ලාංකිකයෙකු වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඩැව් පිළිබඳ ව වැඩි උනන්දුවක් දැක්වූවා. අවසානයේ දී සියල්ලන්ගේ ම එකඟතාවය මත ඩැව් වට්මෝර්, 1995 වසරේ අප්‍රේල් මස ශ්‍රී ලංකා පුහුණුකරු බවට පත් වුණා.

1996 ලෝක කුසලානය දක්වා ගිය ගමන් මඟ

ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව වට්මෝර් යටතේ ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළ මුල්ම සංචාරය වූයේ පකිස්තානු සංචාරය යි. එම කාල සමය වන විට සිය මව්බිමේ දී පකිස්තානු කණ්ඩායම වසර 15කින් ටෙස්ට් තරගාවලියක් පරාජය වී නොතිබුණා. නමුත් එදා පකිස්තානය මව්බිමේ දී රැකගෙන සිටි අභිමානය බිඳ දැමූ ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරගාවලිය 2-1 ලෙස ජයග්‍රහණය කර, ඉන් නොනැවතී එක්දින තරගාවලිය ද 2-1ක් ලෙස ජයග්‍රහණය කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ඔසවා තබමිනුයි. ඉන් නොනැවතුණු වට්මෝර් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල, පකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව්වන් සමග සාජා හි දී පැවති තුන්කොන් එක්දින තරගාවලිය ජයග්‍රහණය කළා. එය විදෙස් රටක දී ශ්‍රී ලංකා පිල ලැබූ මුල්ම තුන්කොන් එක්දින තරගාවලි ජයග්‍රහණය යි. එම අවධියේ ශ්‍රී ලංකාවේ පන්දු රැකීම ඉතාමත් ඉහළ මට්ටමකට ගෙන ඒමට වට්මෝර්ට අවශ්‍ය වුණා. එක් පන්දු රකින්නෙකුට එක්දින තරගයක පන්දු රැකීමෙන් ලකුණු 2ක් නැවැත්වීමට හැකි නම් තරගය පුරාවට ලකුණු 22ක් ආරක්ෂා කරගත හැකි බවත්, එය එම අවදියේ එක්දින තරගයක ප්‍රතිඵලයට ලොකු බලපෑමක් කරන බව ද වට්මෝර් වරෙක ප්‍රකාශ කළා. ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් තරග සංචාරය වූයේ ඕස්ට්‍රේලියානු සංචාරය යි. එහි ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වුව ද, තුන්කොන් එක්දින තරගාවලියේ දී කොදෙව්වන් අභිබවා යමින් ඕස්ට්‍රේලියානුවන් සමග අවසන් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල එහි දී කැංගරුවන්ට තියුණු සටනක් ලබා දුන්නා. විනිසුරුවන්ගේ වැරදි තීරණ ශ්‍රී ලංකා පිලට අවාසිදායක වූ අතර, අවසානයේ දී ශ්‍රී ලංකා පිලට අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවුණා. නමුත් මෙම තරගාවලිය තුළ සනා-කලූ ආරම්භක පිතිකරු යුගලය කරළියට පිවිසි අතර, දුලිප් මෙන්ඩිස්ගේ වේගවත්  පිතිකරණය නිරීක්ෂණය තුළින් මෙම උපක්‍රමය ක්‍රියාත්මක කිරීමේ අදහස ඇති වූ බව පසුකලෙක වට්මෝර් ප්‍රකාශ කර තිබුණා.

ශ්‍රී ලංකා පිල ලෝක ක්‍රිකට් කිරුළ දිනාගනී

තරගාවලිය ආරම්භයේ දී ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කිරීම ප්‍රතිකේෂ්ප කිරීමත් සමග ම ඊට අදාළ ප්‍රසාද ලකුණු හිමිවීම ශ්‍රී ලංකා පිලට අමතර වාසියක් වුණා. තරගාවලියේ ශ්‍රී ලංකාව  ක්‍රීඩා කළ මුල්ම තරගය වූයේ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ සිම්බාබ්වේ සමග පැවති තරගය යි. එම තරගය පහසුවෙන් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාව අනතුරුව ඉන්දීය පිලට එරෙහිව දිල්ලියේ දී තරග කළ අතර, ටෙන්ඩුල්කාර් ලකුණු 137ක් හා අසාරුඩීන් ලකුණු 72ක් ලබාගනිමින් 3වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 175ක සබඳතාවය නිසා ඉන්දීය පිල අවසානයේ දී 271/3ක් ලෙස විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගත්තා. මෙම ඉලක්කය හඹායාමට පිටියට පිවිසීමට පෙර වට්මෝර් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කියූ රසවත් දෙයක් රොෂාන් මහානාම පිළිබඳ ව ලියැවුණු වේදනාත්මක සමුගැන්ම පොතේ අඩංගු වෙනවා. එදා වට්මෝර් සිය ක්‍රීඩකයන් අමතා ප්‍රකාශ කර සිටියේ ‘අපි ලකුණු 250ක් කෙසේ හෝ ලබාගමු. එවිට අපේ දළ ලකුණු ලකුණු ලබාගැනීමේ වේගය ආරක්ෂා කරගත හැක’ යන්න යි. නමුත් ඒ අවස්ථාවේ එයට ඉක්මනින් ම ප්‍රතිචාර දැක්වූ මහානාම,  ඔබ මොනවද මේ කියන්නෙ අපි මේක අනිවාර්යෙන් ම ජයග්‍රහණය කරනවායැ යි ප්‍රකාශ කරනවා. ඇත්තෙන් ම එම අවස්ථාවේ වට්මෝර් බලාපොරොත්තු වූ පිළිතුර ද එය බව වට්මෝර් පසු කලෙක ප්‍රකාශ කර තිබුණා. එදා ඉන්දීය පිල පරාජය කරමින් අනතුරුව ලෝක වාර්තාවක් සමග ම කෙන්යානු පිල පරාජය කළා. අනතුරුව අප කවුරුත් දන්නා අයුරින් එංගලන්තය අර්ධ අවසන් පූර්ව තරගයේදී ද, ඉන්දියාව අවසන් පූර්ව තරගයේ දී ද පරාජය කළ ශ්‍රී ලංකා පිල අනතුරුව කැංගරුවන්ව අවසන් තරගයේ දී පරාජය කරමින් ලෝක ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකා පිලට දිනා දීමට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළා.                                                                                     

ලෝක කුසලාන තරගාවලිය අතරතුර වට්මෝර් ශ්‍රී ලංකා පිල සමග (Gettyimages)
ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව හමීඩියා ආයතනය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තිළිණ ලබාදෙමින් (www.ft.lk)

ඩැව් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ වෙනත් රටවල්

ශ්‍රී ලංකාවට අමතර ව බංග්ලාදේශය, පකිස්තානය, හා සිම්බාබ්වේ යන රටවල පුහුණුකරු ලෙස කටයුතු කළ වට්මෝර් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල පිබිදීමක් ඇති කළ අතර, 2007 ලෝක කුසලාන තරගාවලියේ බංගලාදේශය සුපිරි 8, කණ්ඩායම් 8 වටය දක්වා ගෙන ගියා. ඊට අමතර ව බංගලාදේශ පිල සිම්බාබ්වේ පිල හමුවේ සිය මුල්ම ටෙස්ට් ජයග්‍රහණය ලබාගත්තේ ද වට්මෝර්ගේ පුහුණුකාරීත්වය යටතේ යි.

2004 වසරේ ඉන්දීය පිලට එරෙහිව ලබාගත් එක්දින ජයග්‍රහණයක් සමරන වට්මෝර් සහ බංගලාදේශ ක්‍රීඩකයන් (Gettyimages)
වට්මෝර් පකිස්තානු පුහුණුකරු ලෙස (Gettyimages)

වට්මෝර් පුහුණු කළ වෙනත් කණ්ඩායම්

1996 වසරේ අග භාගයේ ශ්‍රී ලංකාවෙන් නික්ම ගිය වට්මෝර් අනතුරුව ලැන්කෂයර් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් ලැන්කෂයර් පිලට 1998 වසරේ නැට්වෙස්ට් එක්දින කුසලානය දිනාදුන් අතර, වට්මෝර් යටතේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ දී ද ලැන්කෂයර් පිල උසස් දස්කම් දැක්වූවා. මීට අමතර ව 2008 වසරේ 19න් පහළ යොවුන් ලෝක කුසලානය දිනාගත් ඉන්දීය පිලේ පුහුණුකරු වූයේ ද ඩැව් වට්මෝර් නම් පුහුණුකරුවා යි. මීට අමතර ව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ, කල්කටා නයිට්රයිඩර්ස් පිලේ පුහුණුකරු ලෙස ඩැව් කලක් කටයුතු කළ ද, එහි දී ඔහු සාර්ථක වුණේ නෑ.

1998 වසරේ නැට්වෙස්ට් එක්දින කුසලානය දිනූ ලැන්කෂයර් පිල (Gettyimages)
2008 දී 19න් පහළ ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමෙන් අනතුරුව පුහුණුකරු වට්මෝර් සහ නායක විරාට් කෝලි (Sportskeeda)

 

මූලාශ්‍රයයන්:

Cricinfo

වේදනාත්මක සමුගැන්ම ග්‍රන්තයේ xiii පිටුවෙන් උපුටා ගැනීමක් කර ඇත.

කවරයේ ඡායාරූපය:

ඩැව් වට්මෝර් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලෙස කටයුතු කරන සමයේ (gettyimages)

Related Articles