Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විසි එක් වැනි සියවසෙහි දියකිඳුරා: මයිකල් ෆෙල්ප්ස්

2019 වසරේ නිකුත් වූ ලෝක බැංකු වාර්තාවන්ට අනුව ඉන්දියාවේ සමස්ත ජනගහනය බිලියන 1.366 කි. 1900 වසරේ සිට නිල නොවන මට්ටමෙන් ද 1920 වසරේ සිට නිල වශයෙන් ද සෑම නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් ම නියෝජනය කළ ඉන්දියාව සතු මුළු ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව 35 කි. ඒ පදක්කම් මල්ලට රන් පදක්කම් දහයක්, රීදි පදක්කම් නවයක් සහ ලෝකඩ පදක්කම් දහසයක් අන්තර්ගත වේ.

මෙහි  වඩාත් රසවත් සිදුවීම නම්  ඉන්දියාවේ සිට සැතපුම් 8448 දුරින් පිහිටි අමෙරිකා එක්සත්  ජනපදයේ  Baltimore හි අමෙරිකා හමුදා සෙබළකුට සහ  පාසල් විදුහල්පතිනියකට දා ව 1985 වසරේ ජුනි මස 30 වන දින උපත ලැබූ එක් අමෙරිකානු තරුණයකු 2000 වසරේ සිට 2016 වසර දක්වා දිගහැරුණු සිය ඔලිම්පික් දිවිය හමාර කරන විට ඔලිම්පික් පදක්කම් විසි අටකින් සිය ක්‍රීඩා දිවිය සරසවා තිබිමයි.  ශත වර්ෂයක් පුරාවට ඉන්දියාව දිනූ ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව ඉහත තරුණයා වසර දහසයක් තුළ තමා සතු කොට ගෙන ඇත. ඔහු අන්කවරකු නොව ලොව බිහි වූ ශ්‍රේෂ්ඨත ම ඔලිම්පික් ශූරයකු ලෙස සැලකෙන එක්සත් ජනපදයේ මයිකල් ෆ්‍රෙඩ් ෆෙල්ප්ස් ය. මෙම සටහන ඔහූගේ ඔලිම්පික් දිවියේ වඩාත් ම තීරණාත්මක තරගාවලිය වූ 2008 බිජිං තරගාවලිය පිළිබඳවයි.

සිඩ්නි නුවරින් ඇතෑන්ස් නුවරට

මයිකල් සිය මුල් ම ඔලිම්පික් අත්දැකීම ලෙස  2000 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි පිහිනුම් තටාකයට පිවිසෙන විට යාන්තමින් 15 වන විය ඉක්මවා තිබිණි. ඔහු තවමත් සැලකෙන්නේ එතෙක් මෙතෙක් එක්සත් ජනපද ඔලිම්පික් කණ්ඩායමක් නියෝජනය කල ළා බාල ම තරගකරු ලෙසයි. වයසින් ළාබල වුව ද සටන්කාමී මයිකල්  මීටර් 200 සමනල ආර ඉසව්වේ (200m Butterfly )  අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. ඔහු එහි පස්වන ස්ථානයට තරගය හමාර කළේ මිනිත්තු එකයි තත්පර පනස්හයයි  දශම  පහයි බින්දුවක කාලයක් වාර්තා කරමිනි.  මුල් ම තරගාවලියේ පදක්කමක් නොමැති වුව ද ඔහු සතුව විශාල  බලාපොරොත්තුවක් වර්ධනය වෙමින් තිබිණි. 2004  දී ග්‍රීසියේ ඈතෑන්ස් නුවරට තරුණ මයිකල් පැමිණෙන්නේ එම වර්ධනය වූ   බලාපොරොත්තුවත් සමඟ ය.  ඔහු සිය ඔලිම්පික්  පදක්කම් දඩයම අරඹන්නේ ඈතෑන්ස් නුවර පිහිනුම්  සංකීර්ණයෙනි.

Sydney තරගයට පෙර
ෆෙල්ප්ස් 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ දි – images.app.goo.gl 

එවකට දහ නව හැවිරිදි, අඩි හයයි අඟල් හතරක් උසැති ඔහූ ඈතැන්ස් නුවර ඉසව් අටකට සිය සහභාගිත්වය ස්ථිර කොට තිබිණි. මීටර් 100 සමනල ආර ඉසව්වේ රන් පදක්කම සමඟ ඔහු තරගයට අවතීර්ණ විය.  ඔහූ 2004 වසරේ අගෝස්තු මස 29 දින 36 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාප්තිය නිල වශයෙන් දැනුම් දෙන විට ඉසව් අටකින් පදක්කම් අටක් ලබා තිබිණි. එයින් පදක්කම් හයක් රන් පදක්කම් වූ අතර මීටර් 200 නිදහස් ආර ඉසව්වෙන් සහ මීටර් 100 සහය පිහිනුම් තරගයෙන් ඔහුට හිමි වුවේ ලෝකඩ පදක්කම් දෙකකි.
ඇතෑන්ස් තරගාවලියට පෙර මයිකල්ට අවශ්‍යය වූවේ එක්සත් ජනපදය බිහි කළ තවත් විශිෂ්ටත ම පිහිනුම් ශූරයකු වූ මාර්ක් ස්පිට්ස් ( Mark Spitz) 1972 වසරේ  මියුනිච් ඔලිම්පික් උළෙලේ දී  පිහිටවා තිබූ තනි ඔලිම්පික් උළෙලක  රන් පදක්කම් හතක් දිනාගැනිමේ ලෝක වාර්තාව බිඳ හෙළීමයි. ඔහු වාර්තාවට ඉතා ආසන්න වුව ද මීටර් 200 සමනල ආර ඉසව්වේ පරාජයත්  සමඟ ඔහුට තවත් වසර හතරක් ඒ වෙනුවෙන් බලා සිටිමට සිදු විය. 
වඩා වැදගත් සිදුවීම නම්, 2004 වසරේ අගෝස්තු මස 21 වන දින  ඔහූ මීටර් 100 සහාය මිශ්‍ර (100m relay medley) පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමත් සමඟ තනි ඔලිම්පික් උළෙලක වැඩිම පදක්කම් සංඛ්‍යාවක් ලැබිමේ ලෝක වාර්තාව  සම කිරිමට ඔහුට  අවස්ථාව ලැබිමයි.  මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ පැරණි සොවියට් දේශයේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වූ Alexandra Dityatin ය. සමස්තයක් වශයෙන් ඇතැන්ස් තරගාවලිය පෞද්ගලික ව මයිකල්ට සුවිශේෂී වූ අතර සුපුරුදු පරිදි රන් පදක්කම් 36 සමඟ සමස්ත පදක්කම් 101ක් ලැබූ  එක්සත් ජනපදය පදක්කම් සටහනේ මුල් ස්ථානයට ගැනිමට සමත් විය.

මයිකල් ඔහුගේ වැඩිමහලු සහෝදරියන් දෙදෙනා සමඟ
මයිකල් ෆෙල්ප්ස් සිය වැඩිමහලු සහෝදරියන් දෙදෙනා සමඟ – images.app.goo.gl 

 

බිජිං අභියෝගය

ග්‍රීසියේ ඇතෑන්ස් නුවර ජයග්‍රහණයත් සමඟ ලෝක ක්‍රීඩා මාධ්‍ය සියල්ලන්ගේ ම අවධානය මයිකල් ෆෙල්ප්ස් වෙතට යොමුවන්නට විය. 2007 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති මෙල්බර්න් ලෝක ශූරතා පිහිනුම් තරගාවලියේ ඔහු දැක් වූ දක්ෂතා සමඟ ඔහු පිළිබඳ තවදුරටත් වැඩි වශයෙන් කතාබහක් ඇති විය. එම තරගාවලියේ ඉසව් හතකින් රන් පදක්කම් හතක් ජයග්‍රහණය කළ ඔහූ එළැඹෙන වසරේ බිජිං ඔලිම්පික් තරගාවලිය පිළිබඳ අනතුරු ඇඟවිමක් ඒ සමඟ නිල වශයෙන් නිකුත් කළේ ය.

බිජිං ජයග්‍රහණයෙන් පසුව
ෆෙල්ප්ස් 2008 වසරේ බිජිං ඔලිම්පික්හි සිය අටවන රන් පදක්කම දිනාගැනිමත් සමඟ – images.app.goo.gl 

ඉසවු අටයි, පදක්කම් අටයි, රන් පදක්කම් අටයි. 

”ඉසවු අටයි, පදක්කම් අටයි, රන් පදක්කම් අටයි” බිජිං තරගාවලියට පෙර ඔහු මාධ්‍යයට පැවසුවේ ඒ අයුරිනි. බිජිං නුවරට පැමිණි සිටි බොහෝ ක්‍රීඩා මාධ්‍යවේදීන් එය දුටුවේ නොකළ හැක්ක ලෙසයි. බොහෝ දෙනෙකු එය හැඳින්වුවේ විහිළුසහගත ප්‍රකාශයක් ලෙසයි.
එයට සාධාරණ හේතු කිහිපයක් පැවතිණි. 2004 වසරට පෙර පිහිනුම් ක්‍රීඩාවේ බොහෝ තාක්ෂණික අංග වෙනස් වී තිබිණි. බොහෝ නවක ජවසම්පන්න තරුණ ක්‍රීඩකයෝ බිජිං තරගාවලියට එක්වීමට සුදානම් වෙමින් සිටියහ. චීනය සත්කාරකත්වය දක්වන නිසා ම සත්කාරකත්වයේ වාසිය උපරිමයෙන් ඔවුන්ට තිබිණි. ඕස්ට්‍රේලියාව සහ යුරෝපය, එක්සත් ජනපදය සතු ව පවතින ඔලිම්පික් පිහිනුම් ආධිපත්‍යයට අභියෝග කිරිමට සැලසුම් සකස් කරමින් සිටියේ ය.
 මයිකල් ගේ ආත්ම විශ්වාසය උපරිම මට්ටමක විය. ඔහූ ඈතැන්ස්හි  වීරයා වී ඒ වන විට ගෙවී ඇත්තේ වසර හතරක් පමණි. තාක්ෂණය වෙනස් විය හැක. ඔහුට තමන් පිළිබඳ දැඩි විශ්වාසයක් ඒ සිවු වසර තුළ ගොඩනැඟී තිබිණි.  2007 වසරේ ලෝක ශූරයා ඔහුයි. තම පියාවන් පුහුණුකරු, ඔහුට විශ්වාස ය.  ශාරීරික ව මෙන් ම මානසිකව ද ඔහු සුදානම් ය. මේ සියල්ලක් නිසාවෙන් ම බිජිං තරගාවලිය වෙනස් කිරීමට ඔහු ඕනෑවටත් වඩා සුදුසුකම් සපුරා තිබිණි. 

මයිකල් ෆෙල්ප්ස් සිය දිර්ඝකාලීන පුහුණුකරු සමඟ
මයිකල් ෆෙල්ප්ස් සිය පුහුණුකරු Bob Bowman සමඟ – images.app.goo.gl 

2008 වසරේ අගෝස්තු 9 වන දින බිජිං ඔලිම්පික් උළෙලේ පිහිනුම් තරග ඇරඹිණි. ඉසවු අටක දී සිදු වන එක් අත්වැරැද්දකින් වසර හතරක පුහුණුවීම අපතේ යෑම නොවැලැක්විය හැකි හේතුවක් බව මයිකල් සහ ඔහුගේ පුහුණුකරු Bob Bowman දැන සිටියහ. අගෝස්තු 10 වන දින මීටර් 400 මිශ්‍ර ආර ඉසව්වේ ලෝක වාර්තාවක් සමඟ දිනූ  රන් පදක්කම සමඟ ඔහු පදක්කම් සටනට අවතීර්ණ විය. 

ඔහු තරග කාල සටහන අනුව පැවති සියලු ම තරග ජයග්‍රහණය කරමින් අගෝස්තු 16 වන දිනට එළැඹිණි. මේවනතෙක් ඔහුගේ ප්‍රගතිය ඉසව් හයයි රන් පදක්කම් හයයි ලෝක වාර්තා හයයි ලෙස සටහන්ව තිබිණි. මුළු ලොවක් නෙත් අයා බලා සිටින්නේ මයිකල් ෆෙල්ප්ස් නම් තරුණයා  දෙසයි. සියලු ම ක්‍රීඩා මාධ්‍ය සිය මාධ්‍ය ආවරණය මයිකල්ගේ ලෝක වාර්තා  සිහිනය දෙසට යොමු කොට තිබිණි.

2008 වසරේ අගෝස්තු 16 දින සැලසුම් වී තිබුණේ මීටර් 100 සමනල ආර ඉසව්වේ අවසන් මහා තරගය සඳහා යි.  තත්පර 50.58 නව ඔලිම්පික්  වාර්තාවක් සමඟ රන් පදක්කම මයිකල් ෆෙල්ප්ස්ට හිමිවුව ද ඔහුගේ ප්‍රතිවාදියා වූ සර්බියානු තරගකරු වාර්තා කළ කාලය තත්පර 50.59 කි. සංඛ්‍යාත්මක ව එය තත්පර 0.01 ක ඉදිරියකි. එය කොතරම් තියුණු ද යත් තත්පරයෙන් සියයෙන් කොටසකින් මයිකල් සිය ජයග්‍රහණය තහවුරු කළේ ය. එම තරගයේ මුල් මීටර 50 අවසන් වන විට මුල් ස්ථාන තුනෙහි නොසිටි මයිකල් ෆෙල්ප්ස් අවසන් මීටර් 25 තුළ වේගවත් ලෙස තරගයට අවතීර්ණ වෙමින් සිය රන් පදක්කම ආරක්ෂක කර ගැනිමට සමත් විය.

එම තියුණු ජයග්‍රහණයත් සමඟ තවදුරටත්  බලාපොරොත්තු රඳවා ගත් මයිකල්  අගෝස්තු 17 වන දින මීටර් 100 සහාය මිශ්‍ර ඉසව්වට සහභාගි විය.  සිය රටෙන් බිහි කළ විශිෂ්තට ම පිහිනුම් ශුරයාගේ ලෝක වාර්තා සිහිනය සැබෑ කිරිමට උපකාර කළ එක්සත් ජනපද සහාය පිහිනුම් කණ්ඩායම මිනිත්තු 3 තත්පර 29 දශම 34  කාලයක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කළේ ය.

ඔලිම්පික් ඉසවු අටයි…
රන් පදක්කම් අටයි ..
ලෝක වාර්තා හතයි
ඔලිම්පික් වාර්තා එකයි..

එය එතෙක් මෙතෙක් නුතන ඔලිම්පික් ඉතිහාසයේ වාර්තා වූ විශිෂ්තට ම තරගාවලි  දක්ෂතාව යි.

අමරණීය ලෝක වාර්තාව

ලෝක වාර්තාව පිහිට වූ දින රාත්‍රීයේ ඔහු මාධ්‍යයට පැවසුවේ ” හැමෝම කීවේ මට ඒක කරන්න බෑ කියලා ” යන්න යි.

තරගාවලියට පෙර එක්සත් ජනපද පිහිනුම්  කණ්ඩායමේ බොහො දෙනකු පවා ඔලිම්පික් ගම්මානයේ දී ඔහුට පැවසුවේ මෙය බිඳහෙළීමට ඉතා අපහසු වාර්තාවක් බවයි. මයිකල් එම  සියලු ම අභියෝග ජයගනිමින් වසර 36ක් පැරණි වාර්තාව බිඳ හෙළූ  අතර 2008 ඔලිම්පික් තරගාවලියේ වඩාත් ම කතාබහට ලක්වූ ක්‍රීඩකයා බවට ද පත් විය. සෑම ඔලිම්පික් උළෙලක් අවසානයේ ම වඩාත් ම කතාබහට ලක් වන ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක මතු වන අතර 2008 වසරේ ඒ සඳහා යෝජනා වූ නම් ද්විත්වය වූවේ ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සහ එක්සත් ජනපදයේ මයිකල් ෆෙල්ප්ස් ය. 

මයිකල් සිය අවසාන ඉසව්වෙන් පසුව
ෆෙල්ප්ස් 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේ සිය අවසාන පදක්කම දිනාගැනිමෙන් පසු – images.app.goo.gl 

මයිකල් ෆෙල්ප්ස් ගේ බිජිං ඔලිම්පික් අභියෝගය සැලකෙන්නේ ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්තට ම තරගාවලි අවසන් කිරිම ලෙසයි.
 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී  නැවත වරක් පදක්කම් හයක් ලබා ගත් ඔහු සිය අවසාන තරගාවලිය වූ බ්‍රසීලයේ  රියෝ ඔලිම්පික් තරගාවලියේ දී නැවත ක්‍රියාත්මක වෙමින්  ඔලිම්පික් පදක්කම් හයක් දිනා ගැනීමට සමත් විය.ඒ සමඟ තිස් එක් හැවිරිදි ඔලිම්පික් ශූරයා සිය වර්ණවත්  පිහිනුම් දිවියට සමු දුන්නේ ඔලිම්පික් පදක්කම් 28 සමඟ යි. රන් පදක්කම් විසිතුනකින්, රිදී පදක්කම් තුනකින් සහ ලෝකඩ පදක්කම් දෙකකින් ඔහුගේ එම  විස්මිත ක්‍රීඩා දිවිය ඒ වන විට සැරසී තිබිණි.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ඔහු සිය 19 වන ඔලිම්පික් පදක්කම දිනා ගැනිමත් සමඟ ලොව වැඩි ම ඔලිම්පික් පදක්කම් දිනු ක්‍රීඩක ලැයිස්තුවේ මුල් තැන තමා සතුකරගැනිමට සමත් විය. ඒ පැරණි සෝවියට්  දේශයේ ප්‍රකට  ජිම්නාස්ටික් ශුරිය වූ Larisa Latynina ගේ පදක්කම් 18 වාර්තාව ද පසුකරමිනි. 

2016 වසරේ සිට Greatest Olympian of All time නොහොත් සැම කල්හි ම විශිෂ්තට ම ඔලිම්පික් ක්‍රීඩකයා නම් ගෞරව නාමයෙන්  Baltimore Bullet (Baltimore යනු ඔහුගේ උපන් ප්‍රදේශයයි ) නොහොත් මයිකල් ෆ්‍රෙඩ් ෆෙල්ප්ස්  පිදුම් ලැබී ය.

කවරයේ ඡායාරූපය: ඔලිම්පික් පදක්කම් සමඟ  මයිකල් ෆෙල්ම්ස් - images.app.goo.gl 
මූලාශ්‍ර:

britannica.com

biography.com

olympics.com

 youtu.be 

Related Articles