Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් ඉතිහාසයේ නම තැබූ කෙටි දුර ධාවන ශූරයෝ 4ක්

ඔලිම්පික් තරග නරඹන ප්‍රේක්ෂකයන් අතුරින් වැඩි දෙනකු කැමැත්තක් දක්වන්නේ මලල ක්‍රීඩා තරග නැරඹීම සඳහා යි. එයිනුත් ප්‍රේක්ෂකයන් අතර වැඩියෙන් ම ජනප්‍රිය වී තිබෙන්නේ කෙටි දුර ධාවන තරග යි. කෙටි දුර ධාවන තරග ඉසව් වශයෙන් සැලකෙන්නේ මීටර් 100, 200, 400 යන තරග ඉසව් ත්‍රිත්වය යි. ඈත අතීතයේ දී අමෙරිකා ධාවන ශූරයන් එම ඉසව්වල ආධිපත්‍ය හිමිකරගෙන සිටියා. මෑත යුගයේ දී ජැමයිකානුවන් එම ආධිපත්‍යය අමෙරිකාවෙන් උදුරා ගත්තා. එනිසා මෙවර ඔලිම්පික් උළෙලේ දී නැතිවී ගිය අභිමානය යළි රැකගැනීම සඳහා අමෙරිකානුවන්ට සටනට පිවිසීමට සිදු ව තිබෙනවා. එවැනි වටපිටාවක මෙම ලිපියෙන් අපි කතා කරන්නේ ඔලිම්පික් ඉතිහාසයේ බිහිවුණු දක්ෂතම කෙටි දුර ධාවන ශූරයන් සිවු දෙනකු පිළිබඳව යි. 

4) ජෙසී ඔවෙන්ස් (අමෙරිකාව)

1936 ඔලිම්පික් තරගාවලිය ජර්මනියේ බර්ලින් නුවර දී පැවැත්වුණා. එම කාලය වන විට පිරිමි මීටර් 100 සහ දුර පැනීම යන ඉසව්වල ලෝක වාර්තා ජෙසී ඔවෙන්ස්ගේ නමින් ලියැවී තිබුණා. එනිසා ඔහුගේ දස්කම් දැක බලා ගැනීම සඳහා ප්‍රේක්ෂකයන් වඩාත් උනන්දුවෙන් පසුවුණා. එදා සියලු දෙනාගේ ම බලාපොරොත්තු ඉටුකරමින් ජෙසී ඔවෙන්ස් මීටර් 100 සහ 200 යන ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනාගත්තා.  එහි දී තත්පර 20.7කින් මීටර් 200 ඉසව්ව නිම කළ ඔවෙන්ස් නව ලෝක වාර්තාවක් ද බිහි කළා. ඉන් නොනැවතුණු මෙම සුපිරි ක්‍රීඩකයා දුර පැනීම සහ මීටර් 100 සහාය දිවීම යන ඉසව්වලින් ද රන් පදක්කම් දිනා ගත්තා. එහි දී ඇමරිකාව මීටර් 100 සහාය දිවීමේ ඉසව්වෙන් ද ලෝක වාර්තාවක් පිහිටූවා.

ඔවෙන්ස් නීග්‍රෝ ජාතිකයකු වුණු නිසා ඔහුගේ ජයග්‍රහණය පිළිගැනීමට ජර්මන් නායක ඇඩොල්ෆ් හිට්ලර් කැමති වුණේ නැහැ. එහි දී මතු වුණු අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පවා මැදිහත්වීමට සිදුවුණා. එවකට අමෙරිකා ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කළ ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් ද සුදු ජාතිකයන් සහ කළු ජාතිකයන් සම මට්ටමට දැමීමට කැමති වුණේ නැහැ. එනිසා ජෙසී ඔවෙන්ස්ට ධවල මන්දිරයට එන ලෙස ආරාධනාවක් නොලැබුණා පමණක් නොව ජනාධිපතිවරයා ගෙන් සුබ පැතුම් පණිවිඩයක් ද ලැබුණේ නැහැ. 

ඔවෙන්ස් බර්ලින් ඔලිම්පික් උළෙලේ මීටර් 200 ඉසව්වේ ඉදිරියෙන් තරග වදිමින්
ඔවෙන්ස් බර්ලින් ඔලිම්පික් උළෙලේ මීටර් 200 ඉසව්වේ ඉදිරියෙන් තරග වදිමින් – gettyimages

 කළු අමෙරිකානුවන් ජෙසී ඔවෙන්ස් වීරයකු සේ සැලකුවා. අප්‍රිකා මහද්වීපයට අයත් අයිවරි කෝස්ට් රාජ්‍ය ද මේ කළු ජාතික වීරයාට උපහාරයක් දැක්වීම සඳහා එරට අග නගරයේ ප්‍රධාන වීදියක් ජෙසී ඔවෙන්ස්ගේ නමින් නම් කළා. එලෙස 1936 බර්ලින් ඔලිම්පික් උළෙලේ දී සුපිරි දස්කම් දැක්වූ ජෙසී ඔවෙන්ස්ට ඉන් අනතුරු ව කිසිදු ඔලිම්පික් තරගාවලියකට සහභාගි වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. දෙවන ලෝක යුද්ධයේ බලපෑම හේතුවෙන් 1940 සහ 1944 වසරවල දී ඔලිම්පික් තරගාවලිය නොපැවැත්වීම එයට හේතුව යි. යම් ආකාරයකින් එදා ඔලිම්පික් තරගාවලිය සුපුරුදු පරිදි පැවැත්වුණා නම් ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් දිනා ගත් ක්‍රීඩකයන් අතරට ඔවෙන්ස්ගේ නම ද ඇතුළත් වීමට විශාල ඉඩකඩක් තිබුණා.

3) මයිකල් ජොන්සන් (අමෙරිකාව)

අමෙරිකාවෙන් බිහිවුණු දක්ෂත ම කෙටි දුර ධාවකයකු වුණු මයිකල් ජොන්සන් මීටර් 200 සහ 400 ඉසව්වල දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. මෙම සුපිරි තරුව මුල් ම වරට ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කළේ 1992 වසරේ දී යි. එවර ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැත්වුණු ඔලිම්පික් තරගාවලියේ දී මොහු මීටර් 200 සහ මීටර් 400 සහාය දිවීම යන ඉසව් සඳහා සහභාගි වුණා. ඊට වසරකට පෙර ජපානයේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ජොන්සන් මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. එනිසා 1992 ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 ඉසව්ව ජොන්සන් ජය ගනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. මීටර් 200 අවසන් පූර්ව තරගයට පෙර දිනයේ ජොන්සන් ආහාරයට ගත් ස්පාඤ්ඤ කෑම වේලක් හේතුවෙන් ඔහුට උදරාබාධයක් වැලඳුණා. එනිසා අයහපත් සෞඛ්‍යය තත්ත්වයක සිටිමින් මීටර් 200 අවසන් පූර්ව තරගය සඳහා සහභාගි වුණු ජොන්සන්ට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට වරම් ලැබුණේ නැහැ. එදා මීටර් 200 රන් පදක්කම අහිමිවුණත් මීටර් 400 සහාය දිවීම තරගයේ රන් පදක්කම් ඔහුට හිමි වුණා.

ජොන්සන් ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ දී ලෝක වාර්තාව පිහිටුවමින්
ජොන්සන් ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ දී ලෝක වාර්තාව පිහිටුවමින් (gettyimages)

මයිකල් ජොන්සන්ගේ ඔලිම්පික් තරග දිවියේ අමතක නොවන තරගාවලිය බවට පත්වුණේ 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙල යි. එදා ඔහු මීටර් 200 සහ මීටර් 400 යන ඉසව් ද්විත්වයේ ම රන් පදක්කම් දිනා ගත්තා. වසර 125ක ඔලිම්පික් ඉතිහාසයේ එකම ඔලිම්පික් උළෙලක දී මීටර් 200 සහ 400 යන ඉසව් ද්විත්වයෙන් ම රන් පදක්කම් දිනා ගෙන තිබෙන්නේ මයිකල් ජොන්සන් පමණ යි. එහි දී මීටර් 200 ඉසව්ව තත්පර 19.32ක කාලයකින් නිම කර ලෝක වාර්තාවක් තැබූ ජොන්සන් මීටර් 400 ඉසව්ව තත්පර 43.49ක කාලයකින් නිම කර ඔලිම්පික් වාර්තාවක් තැබීමට සමත් වුණා. එලෙස ඇට්ලන්ටාවේ දී රනින් බැබැළුණු මයිකල් ජොන්සන් ඉන් වසර 4කට පසුව පැවති සිඩ්නි ඔලිම්පික් උළෙලේ දීත් මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනාගෙන සිය රටට විශාල ගෞරවයක් අත්පත් කරදුන්නා.

2) කාල් ලුවිස් (අමෙරිකාව)

80 සහ 90 දශකවල දී අමෙරිකාවේ කළු දියමන්තිය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු කාල් ලුවිස් ඔලිම්පික් පිටියේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්. 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ දී මුල් ම වරට ඔලිම්පික් පිටියට පිවිසි කාල් ලුවිස් අමෙරිකා ප්‍රේක්ෂකයන් කුල්මත් කළේ වසර 16කට පසු ව සිය රටට මීටර් 100 සහ 200 ඉසව්වල රන් පදක්කම් උරුම කර දෙමින්. එහි දී මීටර් 200 ඉසව්ව තත්පර 19.80කින් නිම කළ මෙම සුපිරි ක්‍රීඩකයා නව ඔලිම්පික් වාර්තාවක් පිහිටවූවා. ඊට අමතරව මීටර් 100 සහාය සහ දුර පැනීම යන ඉසව්වලින් ද රන් පදක්කම් දිනා ගත් ලුවිස් ක්ෂණයකින් ක්‍රීඩා ලෝකයේ අවධානය ඔහු වෙත යොමුකර ගත්තා.

ලුවිස් 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ දී ධාවනයේ යෙදෙමින්
ලුවිස් 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ දී ධාවනයේ යෙදෙමින් – gettyimages

1984 ඔලිම්පික් උළෙලෙන් වසර 4කට පසු ව එළඹුණු සෝල් ඔලිම්පික් තරගාවලිය සඳහා ද ලුවිස් තරග වැදුණා. එදා මීටර් 200 තරග ඉසව්වේ දී ඔහු සිය රටේ ම ජෝ ඩීලොක් හමුවේ පරාජයට පත්වුණා. ඉන් සිදුවුණු අවමානය අකාමකා ගත් ලුවිස් ලෝක වාර්තාවක් ද සමඟින් මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

ඒ අයුරින් කාල් ලුවිස්ට රන් පදක්කම සහ ලෝක වාර්තාව පිරිනැමුණේ  කැනඩාවේ බෙන් ජොන්සන් තහනම් උත්තේජක චෝදනාවට වරදකරු වුණු නිසා යි. එවර ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 100 සහාය සහ දුර පැනීම යන ඉසව්වලින් රන් පදක්කම් දිනාගැනීමට ද ලුවිස්ට හැකියාව ලැබුණා.

කාල් ලුවිස් 1988 ඔලිම්පික් තරගාවලියේ දී
කාල් ලුවිස් 1988 ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages)

1988 සෝල් ඔලිම්පික් තරගාවලියෙන් පසුව පැවති ඔලිම්පික් තරගාවලි ද්විත්වයේ දී මෙම සුපිරි තරුව කෙටි දුර ධාවන තරග ඉසව් සඳහා සහභාගි වුණේ නැහැ. එහිදී දුර පැනීම සහ මීටර් 100 සහාය ඉසව්වලින් රන් පදක්කම් තුනක් දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. ඒ අනුව 1984-1996 දක්වා දිවුණු කාල් ලුවිස්ගේ ඔලිම්පික් දිවියේ දී ඔහු රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. එය අමෙරිකා මලල ක්‍රීඩකයකු ඔලිම්පික් තරගවල දී ලබාගත් ඉහළ ම රන් පදක්කම් ප්‍රමාණය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

1) උසේන් බෝල්ට් (ජැමයිකාව)

පසුගිය කාල සමයේ කෙටි දුර ධාවන තරග ඉසව්වල ආධිපත්‍ය අමෙරිකානුවන්ගෙන් උදුරා ගැනීමට ජැමයිකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. එදා  අමෙරිකා කෙටිදුර ධාවන ආධිපත්‍ය බිඳ දැමීම සඳහා මූලිකත්වය ගත්තේ උසේන් බෝල්ට් නම් සුපිරි තරුව යි. 2008 බීජිං ඔලිම්පික් තරගාවලියේ දී මුලින් ම කරළියට පිවිසි බෝල්ට් පෙරළිකාර ජයග්‍රහණ 2ක් වාර්තා කිරීමට සමත් වුණා. එදා අමෙරිකා කෙටි දුර ධාවන ශූරයන් අන්දමන්ද කළ බෝල්ට් ලෝක වාර්තා 2ක් පිහිටුවමින් මීටර් 100 සහ 200 තරග ඉසව් ජයග්‍රහණය කළා. එහි දී මීටර් 100 ඉසව්ව තත්පර 9.69කින්ද, මීටර් 200 ඉසව්ව තත්පර 19.30කින්ද ජයගනිමින් බෝල්ට් එම සුපිරි වාර්තා ද්විත්වය පිහිටවූවා. බෝල්ට් ඇතුළු කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවමින් මීටර් 100 සහාය ඉසව්ව ද ජයග්‍රහණය කළා. පසු කලෙක නෙස්ටා කාටර් තහනම් උත්තේජක චෝදනාවකට වරදකරු වුණු නිසා ජැමයිකානුවන්ට එම රන් පදක්කම අහිමි වුණා. 

බෝල්ට් බීජිං ඔලිම්පික් තරගාවලියේ දී දස්කම් දක්වමින්
බෝල්ට් බීජිං ඔලිම්පික් තරගාවලියේ දී දස්කම් දක්වමින් – gettyimages

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී නැවතත් සුපිරි දස්කම් දැක්වූ උසේන් බෝල්ට් මීටර් 100 සහ 200 තරග ඉසව්වල රන් පදක්කම් පහසුවෙන් ම දිනා ගත්තා. එහි දී මීටර් 100 ඉසව්ව තත්පර 9.63කින් නිම කළ බෝල්ට් නව ඔලිම්පික් තරග වාර්තාවක් ද බිහි කළා. ලෝක වාර්තාවක් සමඟින් බෝල්ට් ඇතුළු පිරිස මීටර් 100 සහාය දිවීමේ ඉසව්ව ද ජයග්‍රහණය කළා. ලන්ඩන් ඔලිම්පික් බිමේ දී සුපිරි දස්කම් දැක්වූ මෙම විශිෂ්ට ක්‍රීඩකයා 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේ දීත් මීටර් 100, මීටර් 200 සහ මීටර් 100 සහාය දිවීම යන තරග ඉසව්වලින් රන් පදක්කම් දිනා ගත්තා. 

බෝල්ට් ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 100 ඉසව්ව ජයගනිමින්
බෝල්ට් ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 100 ඉසව්ව ජයගනිමින් (gettyimages)

ඔලිම්පික් තරග ඉතිහාසයේ පිට පිටම පැවති තරගාවලි 3කදී  පිරිමි  මීටර්  100 සහ 200 යන  ඉසව්වලින්  රන්  පදක්කම් දිනාගැනීමට ජැමයිකාවේ උසේන් බෝල්ට් සමත්  වුණා. එය ඔලිම්පික් ඉතිහාසය තුළ බිහිවුණු අද්විතීය වාර්තාවක් ලෙසින් සැලකෙනවා. මෙම සුපිරි තරුව කෙටි දුර ධාවන ඉසව්වලින් පමණක් රන් පදක්කම් 6ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ කෙටිදුර ධාවන ඉසව්වලින් වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩකයා බවට ද මොහු පත්ව තිබෙනවා. එනිසා ඔලිම්පික් ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටතම කෙටිදුර ධාවන ශූරයා ලෙසින් උසේන් බෝල්ට් නාමය හැමදාමත් බැබැළී පවතිනවා. 

 

 

 

කවරයේ ඡායාරූපය- ඔලිම්පික් බිමේ කෙටිදුර ධාවන ශූර රජු උසේන් බෝල්ට් - gettyimages 

මූලාශ්‍ර:

olympic.com  

Related Articles