Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ශූර ප්‍රංශය පෙරමුණ ගත් පාපන්දු ලෝක කුසලානයේ D කාණ්ඩය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ A, B සහ C කාණ්ඩයේ කණ්ඩායම් සම්බන්ධයෙන් හැඳින්වීමේ ලිපි රැගෙන ඒමට අප කටයුතු කළා. එම ලිපි පෙළේ මීළඟ අදියර වශයෙන් D කාණ්ඩයේ කණ්ඩායම් සහ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මෙවර අප කතාබහ කරනවා.

1. ප්‍රංශය

මෑතකාලීන ව පාපන්දු පිටියට සුවිශේෂී ක්‍රීඩකයන් රැසක් දායාද කරමින් සුපිරි දස්කම් දැක්වූ කණ්ඩායමක් බවට ප්‍රංශය හැඳින්විය හැකි යි. වසර ගණනාවක සිටම සෑම විටෙක ම පාහේ ප්‍රබල කණ්ඩායමක් ප්‍රංශය සතු වුණා. මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 4 වන තැන රැඳී සිටිනා ඔවුන් මෙවර තම 16 වන ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරනවා. මීට ප්‍රථම සහභාගී වූ තරගාවලි 15 අතුරින් 1998 දී සහ 2018 දී ශූරතාව ජයග්‍රහණය කිරීමටද ඔවුන් සමත් වුණා.

2018 පාපන්දු ලෝක ශූරයන් බවට පත් වූ ප්‍රංශය – www.medium.com

අවසන් පාපන්දු ලෝක කුසලානයේ ශූරයන් වුව ද ඔවුන් ද යුරෝපීය සුදුසුකම් ලබා ගැනීමේ වටවලට ක්‍රීඩා කළා. එහිදී D කාණ්ඩයෙන් තරග වදිමින් තමන් මුහුණ දුන් තරග 8න් 5ක් ජයග්‍රහණය කොට 3ක් ජය පරාජයෙන් තොර ව අවසන් කරගෙන අපරාජිතව ම ප්‍රංශය මෙවර ලෝක කුසලාන වරම් දිනා ගත්තා. 2018 ලෝක ශූර ප්‍රංශ කණ්ඩායමේ පුහුණුකරු මෙන් ම 1998 ලෝක ශූරතාව දිනාගත් ප්‍රංශ කණ්ඩායමේ නායකත්වය ද දැරූ ඩිඩියර් ඩෙශැම්ප්ස් යටතේ ඔවුන් මෙවර ලෝක කුසලානයට සහභාගී වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී තරුවක් වීමට සමත් වූ 23 හැවිරිදි කිලියන් ම්බප්පේ ප්‍රංශ බලාපොරොත්තු අතර ඉහළින් ම රැඳී සිටිනවා. වර්තමානයේදී PSG සමඟ ක්‍රීඩා කරන ඔහු ප්‍රංශය වෙනුවෙන් තරග 59 ක දී ලබා සිටින ගෝල සංඛ්‍යාව 28ක්. ඔහුට අමතර ව වර්තමානයේදී සුපිරි දස්කම් දක්වන රියාල් මැඩ්රීඩ් ක්‍රීඩක කරීම් බෙන්සෙමාට විශාල වගකීමක් පැවරී තිබෙනවා. 1998 වසරේ සිනෙඩියන් සිඩෑන් වසරේ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයා වී බැලොන් ඩොර් සම්මානය දිනා ගැනීමෙන් පසු එය ජයග්‍රහණය කළ එකම ප්‍රංශ ජාතිකයා බවට ද බෙන්සෙමා පත් වුණා. ඔහු තරග 97 කදී ගෝල 37ක් ලබා සිටිනවා.

ප්‍රංශයේ ප්‍රධාන බලාපොරොත්තු වන ම්බප්පේ සහ බෙන්සෙමා – www.football365.com

ආබාධවලින් පෙළුණ ද මැද පෙළ ක්‍රීඩකයෙක් ලෙසින් සමස්ත ප්‍රංශ බලාපොරොත්තු වසර ගණනාවක සිට සැබෑවක් කරනා පෝල් පොග්බා ගේ සහභාගීත්වය එරට ප්‍රේක්ෂකයන් ඉහළින් ම අපේක්ෂා කරනවා. ඔහුගේ ලෝක කුසලාන සහභාගීත්වය තවමත් අවිනිශ්චිත වූවත් පුහුණුකරු ඩෙශැම්ප්ස් ප්‍රකාශ කරන්නේ අවසන් මොහොත දක්වා ම පොග්බා සම්බන්ධයෙන් තමන් බලාපොරොත්තු තබා ගෙන සිටින බව යි. ප්‍රංශය වෙනුවෙන් 2011 සිට ඔහු තරග 91 කදී ගෝල 11ක් රැස් කළා.

ලෝක ශූර කණ්ඩායමේ මෙන් ම වර්තමාන කණ්ඩායමේ ද නායකත්වය දරනා දැල් රකින ක්‍රීඩක හියුගෝ ලොරිස් යනු කණ්ඩායමේ සමබරතාව ලෙස හැඳින්විය හැකි යි. ඔහු සෑම විටෙක ම ක්‍රීඩකයන් එකතු කර තැබිය හැකි අයෙක්. 35 හැවිරිදි ලොරිස් වර්තමානයේ දී යුරෝපයේ සිටිනා අත්දැකීම් බහුල ම දැල් රකින්නෙක් ද වනවා. ඔහු 2008 වසරේ සිට 139 වතාවක් ප්‍රංශය වෙනුවෙන් ක්‍රීඩා කළා. මීට අමතර ව ඇන්ටොයින් ග්‍රීස්මාන්, තියෝ හර්නැන්ඩස්, ඩයොට් උපමෙකානෝ, රෆායෙල් වෙරානේ වැනි දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් ප්‍රංශ කණ්ඩායම නිර්මාණය වී තිබෙනවා.

අබාධ නිසා පොග්බාගේ සහභාගීත්වය අවිනිශ්චිතයි – www.planetfootball.com

ප්‍රංශයේ මූලික වට තරග කාලසටහන

නොවැම්බර් 23 ඕස්ට්‍රේලියාවට එරෙහිව – ප්‍රංශ කණ්ඩායමට 4 -1 ජයක්

නොවැම්බර් 26 ඩෙන්මාර්කයට එරෙහිව

නොවැම්බර් 30 ටියුනීසියාවට එරෙහිව

2. ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාව පාපන්දු ක්‍රීඩාවේ දී ආසියානු කලාපය නියෝජනය කරනවා. මේ නිසා මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන ආසියානු කණ්ඩායම් සංඛ්‍යාව 6ක්. වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව 38 වන ස්ථානයේ ඕස්ට්‍රේලියාව රැඳී සිටිනවා. 1974 වර්ෂයේදී මුලින් ම ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ ඔවුන් මෙවර ක්‍රීඩා කරන්නේ තම 6 වන ලෝක කුසලානයට යි. ඕස්ට්‍රේලියාව 2006 සිට 2022 දක්වා අඛණ්ඩව සියලු ම පාපන්දු ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීම ද විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියා ජාතික පාපන්දු කණ්ඩායම – www.worldfootballindex.com

2006 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට හැකි වීම ඔවුන් දැක්වූ ඉහළත ම දක්ෂතාව වුණා. ආසියානු සුදුසුකම් ලැබීමේ වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජයට පත් කරමින් Intercontinental Playoffs වටයට සුදුසුකම් ලැබූ ඕස්ට්‍රේලියාව එහිදී පේරු රාජ්‍යය පරාජයට පත් කරමින් 2022 තරගාවලි වරම් දිනා ගත්තා. 59 හැවිරිදි ග්‍රැහැම් ආනෝල්ඩ් ගේ පුහුණුකාරිත්වය යටතේ ඔවුන් මෙවර ලෝක කුසලානයට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

මෙල්බර්න් සිටි කණ්ඩායම හා එක් ව වෘත්තීයමය වශයෙන් ක්‍රීඩා කරනා ජෙමී මැක්ලරන් එරට ප්‍රමුඛ පෙළේ ප්‍රහාරක ක්‍රීඩකයා වනවා. ඔහු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩි ම ගෝල ගණනක් රැස් කළ ක්‍රීඩකයා ද වුණා. පෙර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වඩා වැඩි දස්කම් නොදැක්වූව ද මෑතක පටන් ජෙමී සුවිශේෂී දස්කම් දක්වන ක්‍රීඩකයෙක් බවට පත් ව තිබෙනවා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරග 28 ක දී ඔහු ලබා සිටින ගෝල සංඛ්‍යාව 8ක්.

යුරෝපයේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජවලට ආසියානු ක්‍රීඩකයන් වැඩි වශයෙන් ක්‍රීඩා කරන්නේ නෑ. ආරොන් මෝයි යනු එලෙස ස්කොට්ලන්තයේ සෙල්ටික් සමඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. අත්දැකීම් බහුල ඔහු මීට ප්‍රථම එංගලන්තයේ බ්‍රයිටන් සහ හඩ්ල්ස්ෆීල්ඩ් යන කණ්ඩායම්වලට ද ක්‍රීඩා කළා. ඔහු 2012 වර්ෂයේ සිට ඕස්ට්‍රේලියාව නියෝජනය කරනවා. එහි දී මෝයි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරග 53 කදී ගෝල 7ක් ලබා ගත්තා.

ප්‍රහාරක ක්‍රීඩක ජෙමී මැක්ලරන් පිට වැඩි වගකීමක් පැවරී තිබෙනවා – www.theasutralian.com

ක්‍රොඒෂියාවේ උපත ලබා, ක්‍රොඒෂියා වයස අවුරුදු 21 න් පහළ කණ්ඩායම පවා නියෝජනය කොට වර්තමානයේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරන රයිට් බැක් ක්‍රීඩක ෆ්‍රෑන්ක් කැරසිච් මෙවර තරගාවලියේ වෙනසක් කළ හැකි ක්‍රීඩකයෙක්. ඔහු වර්තමානයේ දී ඉතාලියේ බ්‍රෙෂියා ක්‍රීඩා සමාජය සමඟින් ක්‍රීඩා කරනවා. 2021 සිට ඕස්ට්‍රේලියාව නියෝජනය කරනා ෆ්‍රෑන්ක් තීරණාත්මක අවස්ථාවලදී කණ්ඩායමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. තවමත් ඕස්ට්‍රේලියාව සමඟ තරග 9ක් පමණක් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී එක් ගෝලයක් වාර්තා කර ගෙන සිටිනවා.

ඕස්ට්‍රේලියාවේ මූලික වට තරග කාලසටහන

නොවැම්බර් 23 ප්‍රංශයට එරෙහිව – ප්‍රංශ කණ්ඩායමට 4 -1 ජයක්

නොවැම්බර් 26 ටියුනීසියාවට එරෙහිව

නොවැම්බර් 30 ඩෙන්මාර්කයට එරෙහිව

3. ඩෙන්මාර්කය

මෑත කාලීන ව යුරෝපයේ නැගී එන කණ්ඩායම් අතරින් වඩාත් ම ඉදිරියෙන් සිටියේ ඩෙන්මාර්කය බව හැඳින්වීම නිවැරැදි යි. ඔවුන් පසුගිය යුරෝ කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ද සමත් වුණා. නිමාවට පත් වූ නේෂන්ස් ලීග් තරගාවලියේ මූලික වටයේ දී ලෝක ශූර ප්‍රංශය දෙවතාවක් පරාජයට පත් කිරීමට ද ඔවුන් සමත් වුණා. 6 වන වතාවට පාපන්දු ලෝක කුසලානයක් නියෝජනය කරනා ඩෙන්මාර්කය 1998 දී අර්ධ අවසන් පූර්ව වටය තෙක් පැමිණීම ඔවුන්ගේ ඉහළත ම දක්ෂතාව වුණා.

මෑතකාලීන ව සුපිරි දක්ෂතා දක්වන ඩෙන්මාර්කය – www.footballbrief.com

යුරෝපීය සුදුසුකම් ලැබීමේ වටයේ F කාණ්ඩය නියෝජනය කළ ඩෙන්මාර්කය සහභාගී වූ තරග 10න් 9ක් ම ජයග්‍රහණය කරමින් ලෝක කුසලානයේ ස්ථානය වෙන් කර ගත්තා. වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 10 වන ස්ථානය දක්වා ඉදිරියට ඒමට ද ඩෙන්මාර්කය සමත් ව තිබෙනවා. 50 හැවිරිදි ඩෙන්මාර්ක ජාතික කැස්පර් හියුල්මෑන් යටතේ ඔවුන් ලෝක කුසලානයට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

25 හැවිරිදි තරුණ ක්‍රීඩකයෙක් වන කැස්පර් ඩොල්බර්ග් ඩෙන්මාර්කයේ ඉදිරි පෙළ ප්‍රධාන තුරුම්පුව යි. ඔහු නිමාවට පත් වූ සියලු ම තරගාවලිවල ඩෙන්මාර්කය වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූවා. මේ නිසා ඩොල්බර්ග් කටාර් හි දී ද තම දක්ෂතා ප්‍රදර්ශනය කරනු ඇතැයි එරට වැසියන් බලාපොරොත්තු වනවා. ස්පාඤ්ඤයේ සෙවියා සමඟ වෘත්තීයමය වශයෙන් ක්‍රීඩා කරන ඔහු 2016 සිට ඩෙන්මාර්කය වෙනුවෙන් තරග 37 ක දී ලබා සිටින ගෝල සංඛ්‍යාව 11ක්.

2021 යුරෝ කුසලානයේ ෆින්ලන්තය සමඟ පැවති තරගය අතරතුර මැද පෙළ ක්‍රීඩක ක්‍රිස්ටියන් එරික්සන් ආඝාත තත්ත්වයකට මුහුණ දුන්නා. නායක සයිමන් කේහර් ගේ දුරදක්නා නුවණ සහ කඩිනමින් ලැබුණ වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන් එදින එරික්සන් ජීවිතය ගලවා ගත්තා.

ඩෙන්මාර්කය සතු හොඳ ම මැදපෙළ ක්‍රීඩකයා වන එරික්සන් එම අමිහිරි සිදුවීමෙන් අනතුරු ව පාපන්දු පිටියට නැවතත් එක් ව සිටිනවා. මැදපෙළ ක්‍රීඩකයන් අතරින් යුරෝපයේ සිටිනා ප්‍රකට ක්‍රීඩකයෙක් වශයෙන් ඔහු හැඳින්වෙනවා. වර්තමානයේ දී එරික්සන් එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟ ක්‍රීඩා කරනවා. ඩෙන්මාර්කය වෙනුවෙන් තරග 117ක් ක්‍රීඩා කොට ඇති ඔහු ගෝල 39ක් ලබා ගැනීමට ද සමත් වුණා.

තම අවසන් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට සූදානම් වන කැස්පර් ස්ෂෙස්මයිකල් – www.marca.com

වසර ගණනාවක් පුරාවට එංගලන්තයේ ලෙයිෂ්චර් සිටි පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අංක 1 දැල් රකින්නෙක් ලෙස වැජඹුණ කැස්පර් ශ්ෂෙස්මයිකල් තම අවසන් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට සූදානමින් පසු වනවා. ඔහුගේ පියා වූ පීටර් ශ්ෂෙස්මයිකල් ද කලක් යුරෝපයේ නම් දැරූ දැල් රකින්නෙක් වුණා. 35 හැවිරිදි ඔහු මේ වන විට ප්‍රංශයේ නයිස් ක්‍රීඩා සමාජයේ දැල් රකින්නා ලෙස කටයුතු කරනවා. ඩෙන්මාර්කය වෙනුවෙන් තරග 83ක් ක්‍රීඩා කොට ඇති මෙම විශිෂ්ට ක්‍රීඩකයා සමු ගැනීමේ තරගාවලියේ දී දක්වන දස්කම් වෙනුවෙන් ඩෙන්මාර්කය සුවිශේෂී බලාපොරොත්තු තබා සිටිනවා.

ඩෙන්මාර්කයේ මූලික වට තරග කාලසටහන

නොවැම්බර් 22 ටියුනීසියාවට එරෙහිව – ඩෙන්මාර්කය 0 – ටියුනීසියාව 0

නොවැම්බර් 26 ප්‍රංශයට එරෙහිව

නොවැම්බර් 30 ඕස්ට්‍රේලියාවට එරෙහිව

4. ටියුනීසියාව

අප්‍රිකානු කලාපයෙන් පාපන්දු ලෝක කුසලාන වරම් දිනා ගැනීමට ටියුනීසියාව සමත් වුණා. 2018 ලෝක කුසලානයට ද එක්වූ ඔවුන් මෙවර පිට පිට ම දෙවන වතාවටයි තරගාවලියට එක් වන්නේ. 1978 දී මුලින් ම ලෝක කුසලානයක් ක්‍රීඩා කළ ඔවුන් 2022 දී 6 වන වතාවට ලෝක කුසලානයකට ක්‍රීඩා කරනු ඇති. පෙර සහභාගී වූ අවස්ථා 5 දී ම ටියුනීසියාවට මූලික වටයෙන් ඉදිරියට යාමට හැකි වූයේ නෑ. මේ නිසා මෙවර අවසන් 16 දෙනාගේ වටයට එක් වීම ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වී තිබෙනවා.

අප්‍රිකාවෙන් ලෝක කුසලානයට එක් වන ටියුනීසියා කණ්ඩායම – www.goal.com

අප්‍රිකානු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදී B කාණ්ඩයෙන් පෙරමුණ ගත් ටියුනීසියාව Play Off වටයේ දී මාලි රාජ්‍යය සමඟින් ක්‍රීඩා කළා. එහිදී පැවති තරග දෙකේ අවසන් ප්‍රතිඵලය ලෙස ගෝල 1-0 ක ජයක් සටහන් කර ගනිමින් ටියුනීසියාව අවසන් අප්‍රිකානු කණ්ඩායම් 5 අතරට එක් වුණා. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 30 වන තැන හිමි වන ඔවුන්ගේ පුහුණුකරු වන්නේ 50 හැවිරිදි ටියුනීසියානු ජාතික ජලේල් කද්රි යි.

තීරණාත්මක ක්‍රීඩකයෝ

31 හැවිරිදි අත්දැකීම් බහුල වහ්බි කස්රි ටියුනීසියාවේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් අතරේ ප්‍රමුඛස්ථානය ගන්නවා. ප්‍රංශයේ ප්‍රධාන පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මොන්ට්පෙලියර් සමඟින් ඔහු ක්‍රීඩා කරනවා. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටවලදීත් සාර්ථක දස්කම් දැක්වූ ඔහු මේ දක්වා ටියුනීසියාව වෙනුවෙන් තරග 71 ක් ක්‍රීඩා කොට ගෝල 24 ක් ලබා ගැනීමට සමත් වුණා.

ටියුනීසියාව යනු බොහෝවිට ආරක්ෂාකාරී ව ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන කණ්ඩායමක්. මෙම තරග රටාව තුළ ඉක්මනින් සිදු වන ආක්‍රමණශීලී අවස්ථාවල දී මැදපෙළ ක්‍රීඩා කරන එල්යෙස් ශික්රි විශාල දායකත්වයක් ලබා දෙනවා. ඔහු ටියුනීසියානු ආක්‍රමණයන්ගේ මැදපෙළ හදවත බවට හැඳින්වීම ද නිවැරැදි යි. 27 හැවිරිදි ඔහු මේ වන විට ජර්මනියේ ක්ලොන් සමඟින් ක්‍රීඩා කරනවා. 2018 සිට ටියුනීසියාව නියෝජනය කරන ඔහු තරග 45ක දී ගෝල 3 ක් රැස් කළා.

මැදපෙළ වැඩි වගකීමක් ඇති එල්යෙස් ශික්රි – www.bbc.co.uk

ආරක්ෂක ක්‍රීඩා රටාවකට ප්‍රිය කරන ටියුනීසියා පසුපෙළ සිටිනා වැදගත්, නවක තරුවක් වන්නේ මොන්ටාසාර් ටල්බි යි. ඔහු මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට ටියුනීසියාවට මහඟු දායකත්වයක් ලබා දුන්නා. තවමත් 24 හැවිරිදි වියේ පසුවන ටල්බි මේ වන විට ප්‍රංශයේ ලෝරියෙන්ට් ක්‍රීඩා සමාජය හා එක් ව කටයුතු කරනවා. 2019 සිට ටියුනීසියානු ජාතික කණ්ඩායම ද නියෝජනය කරන ඔහු එරට වෙනුවෙන් ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 20ක්.

ටියුනීසියාවේ මූලික වට තරග කාලසටහන

නොවැම්බර් 22 ඩෙන්මාර්කයට එරෙහිව – ඩෙන්මාර්කය 0 – ටියුනීසියාව 0

නොවැම්බර් 26 ඕස්ට්‍රේලියාවට එරෙහිව

නොවැම්බර් 30 ප්‍රංශයට එරෙහිව

කවරයේ ඡායාරූපය - ප්‍රංශයේ කිලියන් ම්බප්පේ, ඕස්ට්‍රේලියාවේ ආරෝන් මෝයි, ඩෙන්මාර්කයේ ක්‍රිස්ටියන් එරික්සන්, ටියුනීසියාවේ වහ්බි කස්රි- www.skysports.com, www.footballscotland.com, www.manchesterevening.com, www.chroniclelive.com
මූලාශ්‍ර :
www.fifa.com
www.allfootball.com
www.qatar22.com

Related Articles