Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1984 වසරේ යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශ වීරයා ප්ලැටිනි

1960 වසරේ ආරම්භ වූ යුරෝ කුසලාන පාපන්දු තරගාවලිය මුල්ම වරට ප්‍රංශයේ දී පැවැත්වීමෙන් අනතුරුව නැවතත් වසර 24කට පසු එම තරගාවලිය ප්‍රංශයේ දී ම   පැවැත්වීම තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ ව බලාපොරොත්තුවක් ප්‍රංශ පාපන්දු ලෝලීන්ගේ සිතෙහි ඇති කරන්නට වුණා. එලෙස ප්‍රංශ පාපන්දු ලෝලීන් ජයග්‍රහණය පිළිබඳ ව බලාපොරොත්තු තැබීමට, එම අවදියේ මයිකල් ප්ලැටිනිගේ නායකත්වයෙන් යුත් ප්‍රංශ කණ්ඩායම ජාත්‍යන්තර පාපන්දු පිටියේ දැක්වූ දස්කම් හේතුවක් වුණා. එම නිසා ම තරගාවලිය පුරාවට ම ප්‍රංශ කණ්ඩායමට යම් පීඩනයක් එල්ලවුවත්, අවසානයේ දී ඔවුන් මුල්මවරට යුරෝ කුසලානය දිනාගත්තේ, තරගාවලිය පුරා ම ප්‍රංශ නායක මයිකල් ප්ලැටිනි දැක්වූ සුපිරි දස්කම් නිසා යි. එසේ නම්, එදා ප්‍රංශ පාපන්දු ලෝලීන් ව එලෙස ප්‍රීතියෙන් මුසපත් කළ ප්ලැටිනි තරගාවලිය පුරා දැක්වූ දස්කම් පිළිබඳ ව අපි මෙම ලිපියෙන් කතා කරමු.

පළමු වටයේ තරගවල දී ප්ලැටිනිගෙන් සුපිරි දස්කම්

තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ ප්‍රංශ කණ්ඩායමට පළමු වටයේ තරගවල දී ඩෙන්මාර්කය, යුගෝස්ලාවියාව, සහ බෙල්ජියම යන කණ්ඩායම් සමග තරග කරන්නට සිදු වූ අතර, එහි දී ප්ලැටිනි ගෝල 7ක් ලබා ගත්තේ සුපිරිම දස්කම් දක්වමින්.

ප්‍රබල ඩෙන්මාර්ක් පිලට එරෙහිව ජයග්‍රාහී ගෝලය ප්ලැටිනිගෙන්

මෙම කාණ්ඩය යටතේ පැවති තියුණු ම තරගය වූයේ, මෙම ප්‍රංශ-ඩෙන්මාර්ක් තරගය යි. එම නිසා ම  කණ්ඩායම් 2 ම මුල සිට ම ඉතාමත් ම හොඳින් තරගයට අවතීර්ණ වූ නිසා පළමුභාගය අවසන් වන විට කණ්ඩායම් දෙකට ම ගෝල ලබා ගැනීමට හැකි වුණේ නැහැ. නමුත්, දෙවනභාගයේ මුලසිට ම ඉතාමත් ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ ප්‍රංශ ක්‍රීඩකයන්, අවස්ථාවන් කිහිපයක දී ම ඩෙන්මාර්ක් දැල ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 78 වන විනාඩියේ දී ප්‍රංශය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමට මයිකල් ප්ලැටිනි සමත් වූයේ, ප්‍රංශ කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබාදෙමිනුයි.

ඩෙන්මාර්කයට එරෙහිව තරගයේ දී ප්ලැටිනි පහරක් එල්ල කරමින් (gettyimages)

බෙල්ජියමට එරෙහිව ප්ලැටිනිගෙන් ත්‍රිත්ව ගෝලයක්

තරගාවලිය තුළ ප්‍රංශ කණ්ඩායම මුහුණදුන් දෙවන තරගය වූ මෙම තරගයේ මුල සිට ම ප්‍රංශ කණ්ඩායම බෙල්ජියම් කණ්ඩායමට එරෙහිව ආක්‍රමණශීලී තරග රටාවක නියැලීමේ ප්‍රතිඵලයක් ලෙස තරගයේ 4 වන විනාඩියේ දී ප්ලැටිනි ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත්තේ ප්‍රංශ කණ්ඩායම 1-0 ලෙස පෙරමුණේ තබමිනුයි. එලෙස ප්ලැටිනි ප්‍රංශයට ලබාදුන් සාර්ථක ආරම්භයෙන් අනතුරුව ප්‍රවේගකාරී තරග රටාවක නිරත වූ ප්‍රංශ පිල වෙනුවෙන් ගිරේසි 33 වන විනාඩියේ දී, සහ ෆර්නැන්ඩස් 43 වන විනාඩියේ දී ලබා ගත් ගෝල නිසා පළමුභාගය අවසන් වන විට ප්‍රංශ පිල 3-0 ලෙස ඉදිරියෙන් සිටියා. එලෙස පළමුභාගය තුළ ගෝල 3ක් ලබාගත් ප්‍රංශ පිල, දෙවන භාගයේ දී ද ඔවුන්ගේ ප්‍රවේගකාරී තරග රටාව නොවෙනස් ව ඉදිරියට ගෙනයාමේ ප්‍රතිඵලයක් ලෙස 74 සහ 89 වන විනාඩියේ දී ප්ලැටිනි ප්‍රංශය වෙනුවෙන් ලබාගත් ගෝල 2ත් සමඟින් ප්‍රංශ පිල බෙල්ජියම 5-0ක් ලෙසින් පරාජය කළ අතර, එහි දී ප්ලැටිනි ලබාගත් ත්‍රිත්ව ගෝලය 1976 වසරේ ජර්මානු ක්‍රීඩක ගර්ඩ් මුලර් යුගෝස්ලෝවියාවට එරෙහිව ලැබූ ත්‍රිත්ව ගෝලයට අමතර ව යුරෝපා කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ එකම ත්‍රිත්ව ගෝලය වුණා.

ප්ලැටිනිගෙන් තවත් ත්‍රිත්ව ගෝලයක්

තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේ දී ප්‍රංශ කණ්ඩායම යුගෝස්ලාවියානු පිල සමග තරග කළ අතර, මෙම කණ්ඩායම් 2ක ඊට පෙර 1960 යුරෝ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී එකිනෙකා මුණගැසුණු අවස්ථාවේ යුගෝස්ලාවියානු පිල 5-4 ලෙසින් ප්‍රංශ පිල පරාජය කරතිබූ නිසා, එහි වාඩුව ගැනීමට ප්‍රංශ පිලට අවශ්‍ය වුණා. එම නිසා ම ප්‍රංශ පිල මුල සිට ම අධිෂ්ඨානශීලී තරග රටාවක නිරත වුව ද, පළමු භාගයේ 32 වන විනාඩියේ දී ප්‍රංශ ක්‍රීඩකයන් පුදුමයට පත්කරමින් යුගෝස්ලාවියානු ක්‍රීඩක සෙස්ටික් ලබාගත් ගෝලය නිසා පළමුභාගය අවසන් වන විට යුගෝස්ලාවියාව 1-0 ලෙස පෙරමුණේ පසුවුණා. පළමුභාගය අවසන් වන විට යුගෝස්ලාවියාව එලෙස පෙරමුණේ පසුවුවත්, දෙවන භාගයේ දී සිය සුපුරුදු රිද්මයට පැමිණි ප්ලැටිනි 59, 62, සහ 77 වන විනාඩිවල ගෝල වාර්තා කළේ තරගාවලිය තුළ ඔහු වාර්තා කළ 2 වන ත්‍රිත්ව ගෝලයත් වාර්තා කරමිනුයි. එදා ප්ලැටිනි එලෙස දැක්වූ දස්කම් නිසා ම අවසානයේ දී එම තරගය ද 3-2 ලෙස ජයග්‍රහණය කළ ප්‍රංශ පිල තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා.

පෘතුගාලයට එරෙහිව තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී ජයග්‍රාහි ගෝලය මයිකල් ප්ලැටිනිගෙන්

මෙම තරගාවලිය තුළ පෙරළිකාර දස්කම් දක්වමින් අවසන් පූර්ව වටය සඳහා පිවිසි පෘතුගාල පිල මුලසිටම ප්‍රංශ පිලට ප්‍රබල අභියෝගයක් වුවත්, ප්‍රංශ පිලේ ආරක්ෂක පෙළ ක්‍රීඩක ජීන් ඩොමේගෝ 24 වන විනාඩියේ දී ලබාගත් ගෝලය නිසා පළමුභාගය අවසන් වන විට ප්‍රංශ පිල 1-0 ලෙස පෙරමුණ ගත්තා. එලෙස පළමුභාගය අවසන් වන විට ප්‍රංශ පිල පෙරමුණ ගත්ත ද, දෙවන භාගයේ දී පෘතුගාල පිල ආක්‍රමණශීලී තරග රටාවක නිරතවීමේ ප්‍රතිඵලයක් වශයෙන් 74 වන විනාඩියේ දී පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක රුයි ජෝඩා විසින් ලබාගත් ගෝලය නිසා නියමිත කාලය අවසන් වන විට ලකුණු තත්ත්වය සටහන් වූයේ 1-1ක් ලෙස යි. එම නිසා අතිරේක කාලය දක්වා තරගය ඇදී ගිය අතර එහි දී නැවතත් ක්‍රියාත්මක වූ ජෝඩා, තරගයේ 98 වන විනාඩියේ දී පෘතුගාලය වෙනුවෙන් ලබාගත් ගෝලය නිසා පෘතුගාල පිල 2-1 ලෙස පෙරමුණ ගත්තා. බලාපොරොත්තු නොවූ මොහොතක ප්‍රංශ පිලට එරෙහිව පෘතුගාල පිල ලබාගත් එම ගෝලය නිසා ප්‍රංශ ක්‍රීඩකයන් අන්දමන්ද වූ නිසා ම  තරගයේ 113 වන විනාඩිය තෙක් ම පෘතුගාලයට වඩා පසුපසින් සිටීමට ප්‍රංශයට සිදුවුණත්, තරගයේ 114 වන විනාඩියේ දී නැවතත් ක්‍රියාත්මක වූ ප්‍රංශ ආරක්ෂක පෙළ ක්‍රීඩක ඩොමේගෝ ලබාගත් ගෝලය සමග ලකුණු තත්ත්වය 2-2ක් බවට පත් වුණා. එලෙස තීරණාත්මක අවස්ථාවක ලද ගෝලයත් සමග ප්‍රංශය නැවතත් සටනට පිවිසිය ද, දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයන් තේරීමේ අවස්ථාව වෙත ගියහොත් තරගාවලිය තුළ ගෝල 1ක් පමණක් ලබා දී තිබූ පෘතුගාල දැල් රකින්නාගෙන් තර්ජනයක් එල්ල වන බව දැන සිටි ප්‍රංශය ඉතිරි විනාඩි 6 තුළ තවත් ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කළා. එහි දී ප්‍රංශ පිලේ එම උත්සාහය මල්ඵල නංවමින් ප්ලැටිනි 119 වන විනාඩියේ දී ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ යුරෝ කුසලාන ඉතිහාසයේ මුල්මවරට ප්‍රංශය අවසන් තරගයට රැගෙන යමිනුයි.

ප්ලැටිනි ජයග්‍රාහී ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)

ප්‍රංශය මුල්මවරට යුරෝ කුසලාන පාපන්දු ශූරයන් විය

අවසන් තරගයේ දී ප්‍රංශ පිලට ක්‍රීඩා කිරීමට සිදුවූයේ 1980 යුරෝ පාපන්දු කුසලානය දිනූ ප්‍රබල ස්පාඤ්ඤ පිල සමග යි. එහි දී ස්පාඤ්ඤ පිල ද සිය කිරුළ ආරක්ෂා කර ගැනීමට තරගයට පිවිසි නිසා පළමුභාගය අවසන් වන විට දෙපිලට ම ගෝල ලබා ගැනීමට නොහැකි වුණා. එලෙස ඉතා තියුණු සටනක් පැවති පළමු භාගයෙන් අනතුරුව ඇරඹි දෙවන භාගයේ 57 වන විනාඩියේ දී ප්ලැටිනි විසින් ප්‍රංශ පිලට අවශ්‍ය ම වූ එම ගෝලය ලබාගත් පසු වඩාත් ප්‍රවේගකාරී වූ ප්‍රංශ පිල වෙනුවෙන් නැවතත් 90 වන විනාඩියේ දී බෙලෝන් ලබාගත් ගෝලය ස්පාඤ්ඤ පිල පරදවා 2-0ක ජයක් ලැබීමට උපකාරී වුණා.

ප්ලැටිනි අවසන් තරගයේ දී (gettyimages)
ජයග්‍රාහි ප්‍රංශ පිල (gettyimages)
ප්ලැටිනි කුසලානය සමග(gettyimages)

ප්ලැටිනි පිහිට වූ සුපිරි වාර්තාව

මෙම තරගාවලිය තුළ ගෝල 9ක් ලබාගත් ප්ලැටිනි තනි යුරෝ කුසලාන තරගාවලියක වැඩි ම ගෝල ලාභියා  ලෙසින් 1976 තරගාවලියේ බටහිර ජර්මනිය නියෝජනය කළ ගර්ඩ් මුලර් ගෝල 4ක් ලබාගෙන තබා තිබූ වාර්තාව අලුත් කළ අතර, අද වන තුරු ම ප්ලැටිනිගේ එම සුපිරි වාර්තාවට කිසිවෙකුගෙන් අභියෝගයක් එල්ල නොවීම පුදුමයට කරුණක්.

කවරයේ ඡායාරූපය: ප්ලැටිනි (gettyimages)

මූලාශ්‍රය:

FIFA.com

Related Articles