Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජර්මනියේ මංගල පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ සාර්ථකත්වයට පත්වුණු රටවල් අතුරින් ජර්මනියට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. 1934 වසරේ සිට මේ දක්වා පාපන්දු ලෝක කුසලාන තරගාවලි 19කට සහභාගි වුණු ජර්මනිය ඉන් අවස්ථා 4ක දී ශූරතාවය දිනාගැනීමට සමත් වුණා. එසේම සිව් වාරය බැගින් අනුශූරතාවය සහ තෙවන ස්ථානය දිනාගැනීමටත් ඔවුන්ට හැකිවුණා. එලෙස ජර්මානුවන් සාර්ථකත්වයට පත්වුණු තරගාවලි අතරින් 1954 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අමතක කරන්නට බැහැ. ඒ, ප්‍රබල හංගේරියානු  කණ්ඩායම පරාජය කරමින් මුල්මවරට පාපන්දු ලෝක කුසලානයක් දිනාගැනීමට ජර්මනියට හැකිවුණු නිසා යි. 

තරගාවලියේ සත්කාරකත්වය ස්විට්සර්ලන්තයට හිමිවෙයි 

දෙවන ලෝක යුද්ධයේ බලපෑම හේතුවෙන් 1942 සහ 1946 පාපන්දු ලෝක කුසලාන තරගාවලි ද්විත්වයම අවලංගු කිරීමට සිදුවුණා. 1945 වසරේ අග භාගය වන විට, ලෝකය පුරා පැවති කලබලකාරි වාතාවරණය සමනය වෙමින් තිබුණා. එම නිසා ලෝක පාපන්දු සම්මේලනය නැවත වරක් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1946 ජූලි 26 වැනිදා ලක්සම්බර්ග්හි දී පාපන්දු සම්මේලන නිලධාරින්ගේ සමුළුවක් පැවැත්වුණා. එම සමුළුවේ දී 1950 සහ 1954 පාපන්දු ලෝක කුසලාන තරගාවලි සඳහා සත්කාරක රටවල් තෝරාගත්තා. ඒ වන විට ලෝක යුද්ධය නිසා බොහෝ රටවල් ආර්ථික වශයෙන් අඩපණ වී සිටීම හේතුවෙන් ලන්සු ඉදිරිපත් කළේ බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය යන රටවල් දෙක පමණ යි. එම නිසා 1950 ලෝක කුසලානයේ සත්කාරකත්වය බ්‍රසීලයට හිමිවන විට 1954 ලෝක කුසලානයේ සත්කාරකත්වය ස්විට්සර්ලන්තයට හිමි වුණා.  

තරගාවලියට රටවල් 16ක් එක්වෙයි 

1954 වසරේ දී ස්විට්සර්ලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලිය මුල්මවරට රූපවාහිනිය මඟින් සජීවීව විකාශය කළා. එය ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ට ද නවතම අත්දැකීමක් වුණා. එම අවධිය වන විට ලෝක පාපන්දු පිටිය තුළ සිටි සෑම ප්‍රබල කණ්ඩායමක්ම මෙම තරගාවලිය සඳහා සහභාගී වුණා. ඒ අතරින්  හිටපු ලෝක ශූරයන් වුණු උරුගුවේ කණ්ඩායමත්, ප්‍රබල හංගේරියානු කණ්ඩායමත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටියා. එදා ස්විට්සර්ලන්ත බිමේ දී ලෝක පාපන්දු කිරුළ දිනාගැනීම සඳහා සටන් වැදුණු කණ්ඩායම් 16 මෙසේ දැක්විය හැකියි.  

1) උරුගුවේ        2) බ්‍රසීලය           3) ස්විට්සර්ලන්තය        4) බටහිර ජර්මනිය 

5) බෙල්ජියම      6) ප්‍රංශය             7) ස්කොට්ලන්තය         8) චෙකොස්ලෝවැකියාව 

9) ඉතාලිය        10) තුර්කිය          11) එංගලන්තය            12) යුගෝස්ලාවියාව 

13) ඔස්ට්‍රියාව    14) මෙක්සිකෝව  15) හංගේරියාව            16) දකුණු කොරියාව 

ජර්මානුවන්ට පළමු වටයේ දී ප්‍රබල අභියෝගයක් එල්ල වෙයි 

තරගාවලිය සඳහා සහභාගි වුණු කණ්ඩායම් 16, කාණ්ඩ 4කට බෙදා තිබුණා. ඒ අතරින් 2 වන කාණ්ඩයට බටහිර ජර්මනිය, හංගේරියාව, තුර්කිය, සහ දකුණු කොරියාව යන කණ්ඩායම් හතර අයත් වුණා. ජර්මානුවන්ට මූලික වටය යටතේ තුර්කිය සහ හන්ගේරියාව යන කණ්ඩායම් ද්විත්වය සමග තරග වැදීමට සිදුවුණා.

තුර්කියට එරෙහිව පහසු ජයක් හිමිකර ගනියි 

1954 වසරේ ජූනි 17 වැනිදා සවස 6ට ආරම්භ වුණු තරගය නැරඹීම සඳහා 28,000ක පමණ ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් පැමිණ සිටියා. එදා බටහිර ජර්මානු කණ්ඩායමට සහාය දැක්වීම සඳහා පැමිණ සිටි අති විශාල ප්‍රේක්ෂක පිරිස අන්දමන්ද කළ තුර්කි ඉදිරිපෙළ ක්‍රීඩක සුආට්, 2 වන විනාඩියේ දී ගෝලයක් වාර්තා කළා. එහි දී තුර්කි ක්‍රීඩකයා ජර්මන් ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් මුලා කරමින් උපක්‍රමශීලීව ජර්මානු දඬුවම් සීමාව වෙත ගොස් ගෝලය ලබාගැනීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. 

තුර්කිය තරගයේ පෙරමුණට පැමිණීමත් සමග ජර්මානු ක්‍රීඩකයන් ගෝලයක් ලබාගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වුණා. තරගයේ 14 වන විනාඩියේ දී ජර්මානු කණ්ඩායමේ සිටි ප්‍රබලතම ප්‍රහාරයෙකු වුණු මොර්ලක් මනාව පාලනය කරමින් ඉදිරියට ගෙන ගිය පන්දුව දැල ආසන්නයේ සිටි ෂේෆර් වෙත යොමුකළා. එම අවස්ථාවේ දී ෂේෆර් විසින් එය නිවැරදිව දැල වෙතට එල්ල කිරීමත් සමගම තරගයේ ගෝල තත්ත්වය 1-1 ලෙසින් සටහන් වුණා. ඉන්පසුව පළමු භාගය තුළ කණ්ඩායම් දෙක කරට කර සටනක නිරත වුණත් ගෝල ලබාගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. 

තරගයේ දෙවන භාගය ආරම්භ වන මොහොතේ සිට ජර්මානු ක්‍රීඩකයන් වේගවත් තරග රටාවක නිරත වුණා. තරගයේ 52 වන විනාඩියේ දී ජර්මානු ඉදිරිපෙළ ක්‍රීඩක ක්ලූඩ්ස් පහසුවෙන්ම තුර්කි දැල ආක්‍රමණය කළා. එම අවස්ථාවේ ඔහුව නැවැත්වීමට කිසිදු ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකු එහි සිටියේ නැහැ. එම නිසා බටහිර ජර්මන් කණ්ඩායම 2-1ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. තරගයේ තීරණාත්මක අවස්ථාවක ක්ලූඩ්ස් එම ගෝලය වාර්තා කිරීමත් සමගම තුර්කි ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පහළ මට්ටමකට වැටුණා. ඉන් ප්‍රයෝජන ගත් වෝල්ටර් සහ මොර්ලක් පිළිවෙලින් 60 සහ 84 විනාඩිවල දී ලබාගත් ගෝල නිසා ජර්මනියට 4-1ක් ලෙස පහසු ජයක් හිමිවුණා.

තුර්කි-ජර්මන් තරගයේ අවස්ථාවක් (FIFA)

ජර්මන් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි 

1954 පාපන්දු ලෝක කුසලානයේ වැඩිම පිරිසක් නැරඹූ මූලික වටයේ තරගය පැවැත්වුණේ බටහිර ජර්මනිය සහ හංගේරියාව අතර යි. එම රටවල් දෙක ස්විට්සර්ලන්තය සමීපයේ පිහිටා තිබෙන නිසා 56,000කට ආසන්න පිරිසක් තරගය නැරඹීමට පැමිණ සිටියා. ජර්මානු කණ්ඩායම සතුව සිටි ප්‍රබලතම ක්‍රීඩකයෙකු වුණු මැක්ස් මොර්ලොක් මෙම තරගයේ දී අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. තරග ආරම්භයේ සිටම ජර්මානු දැල ආක්‍රමණය කළ කොක්සිස් සහ පුෂ්කාස් ඉක්මනින්ම ගෝල 3ක් වාර්තා කළා. එම නිසා තරගයේ 21 වන විනාඩිය අවසන් වන විට හංගේරියාව ගෝල 3-0ක් ලෙසින් පෙරමුණේ පසුවුණා. ඉන් විනාඩි 4කට පසුව ජර්මානු ක්‍රීඩක ෆැෆ් ගෝලයක් වාර්තා කළ නිසා පළමු භාගය නිමාවන විට ගෝල තත්ත්වය 3-1 ලෙසින් සටහන් වුණා. 

තරගයේ දෙවන භාගයේ දී හංගේරියානු ක්‍රීඩකයන් සිය ග්‍රහණය ලිහිල් කළේ නැහැ. එම නිසා ජර්මානු ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් ප්‍රබල පීඩනයකට හසුව තිබුණා. එහි දී ඔවුන් අතර තිබුණු අන්තර් සම්බන්ධතාවය බිඳ වැටීමෙන් ප්‍රයෝජන ගත් හිඩැග්කුටි සහ කොක්සිස් ගෝල දෙක බැගින් වාර්තා කරන විට ටෝත් ද ගෝලයක් වාර්තා කළා. එසේම ජර්මනිය වෙනුවෙන් රාන් සහ හර්මන් ගෝල වාර්තා කළා. ඒ අනුව තරගයේ අවසන් ප්‍රතිඵලය 8-3ක් ලෙසින් සටහන් වුණා. එහි දී හංගේරියානු ක්‍රීඩක කොක්සිස් 3,21,69, සහ 78 යන විනාඩිවල දී ගෝල වාර්තා කර තිබීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. එය බටහිර ජර්මානු පාපන්දු ඉතිහාසයේ අඳුරුතම දිනයක් ලෙසින් සටහන් වුණා. අදටත් ඔවුන් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ ලබාගත් දරුණුම පරාජය ලෙසින් සටහන් වන්නේ එය යි.

කොක්සිස් දස්කම් දක්වමින් (Pinterest)     

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි 

2 වන කාණ්ඩයෙන් තරග වැදුණු හංගේරියාව තරග 2ම පහසුවෙන් ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තා. නමුත් බටහිර ජර්මනිය සහ තුර්කිය තරගය බැගින් ජයග්‍රහණය කර තිබුණු නිසා ඔවුන් අතර යළි තරගයක් පැවැත්වුණා. ඒ, 2 වන කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන ඉතිරි කණ්ඩායම තෝරාගැනීම සඳහා යි. එම තරගයේ දී යළි කණ්ඩායමට එකතු වුණු මොර්ලොක් ෂේෆර් සමග එක්ව තුර්කි ක්‍රීඩකයන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. එහි දී මොර්ලොක් 30, 60, සහ 77 යන විනාඩිවල දී ගෝල ලබාගන්නා විට ෂේෆර් 12 සහ 79 විනාඩිවල දී ගෝල ලබාගත්තා. ඊට අමතරව ඔට්මර් වෝල්ටර් සහ ප්‍රිට්ස් වෝල්ටර් පිළිවෙලින් 7 සහ 62 යන විනාඩිවල දී ගෝල වාර්තා කළා. එලෙස ජර්මානු ක්‍රීඩකයන් පෙන්නුම් කළ දක්ෂ ක්‍රීඩා විලාශය නිසා ඔවුන් ගෝල 7-0ක් ලෙසින් පහසු ජයක් හිමිකර ගත්තා. ඒ සමගම බටහිර ජර්මනිය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.    

මැක්ස් මොර්ලොක් (Twitter)

අපහසුවකින් තොරව අවසන් පූර්ව වටයට පිවිසෙයි 

පළමු වටයේ දී 1 වන කාණ්ඩය යටතේ තරග වැදුණු යුගෝස්ලාවියාව ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සමග පැවති තරගය 1-1 ලෙසින් සමකරගෙන ප්‍රංශයට එරෙහිව ගෝල 1-0ක ජයග්‍රහණයක් ලැබුවා. එලෙස පළමු තරග වටයේ දී දස්කම් දැක්වූ යුගෝස්ලාවියානුවන්ට අවසන් පූර්ව වටයේ දී හමුවුණේ බටහිර ජර්මනිය යි. ඒ වන විට සුපුරුදු රිද්මයට අවතීර්ණ සිටි බටහිර ජර්මානු ක්‍රීඩකයන් දැඩි අධිෂ්ඨානයකින් තරගයට මුහුණ දුන්නා. එදා උණුසුම් තරගයක් නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන්කළ යුගෝස්ලාවියානු ආරක්ෂක පෙළ ක්‍රීඩක ඉවාන් හොවාට් වැරදීමකින් තම දැල වෙතට පන්දුව යොමු කළා. ඒ සමග බටහිර ජර්මනිය 1-0ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. 

ඉන් පසුව කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වුණත් 84 වන විනාඩිය වන තුරුම තරගයේ ලකුණු තත්ත්වය 1-0ක් ලෙසින් සටහන් වුණා. එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ඉදිරිපෙළ ක්‍රීඩක රාන් ජර්මනිය වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළා. ඒ අනුව බටහිර ජර්මනිය ගෝල 2-0ක් ලෙස පහසු ජයක් හිමිකර ගනිමින් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබාගත්තා.

වෝල්ටර් සොයුරන් එක්ව බටහිර ජර්මනිය අවසන් සටනට රැගෙන යයි 

බටහිර ජර්මනියට අවසන් පූර්ව තරගයේ දී මුණගැසුණේ ප්‍රබල ඔස්ට්‍රියානු කණ්ඩායම යි. තරගාවලි ආරම්භයේ සිටම දක්ෂ ලෙස ක්‍රීඩා කළ ඔස්ට්‍රියාව මූලික වටයේ දී ස්කොට්ලන්තය 1-0, චෙකොස්ලෝවැකියාව 5-0 ලෙසින් පරාජය කළා. ඉන් අනතුරුව අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන් සත්කාරක රට වුණු ස්විට්සර්ලන්තය ගෝල 7-5 ලෙසින් පරාජය කළා. එම නිසා මෙම අවසන් පූර්ව තරගය නැරඹීම සඳහා 58,000කට ආසන්න පිරිසක් ක්‍රීඩා පිටිය වෙත පැමිණ සිටියා.

තරග ආරම්භයේ සිටම කරට කර සටනක් පැවතියත් 31 වන විනාඩිය වන තුරු කිසිදු කණ්ඩායමකට ගෝල ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් 31 වන විනාඩියේ දී එම නිහඬතාවය බිඳදැමූ ෂේෆර්, සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. එම නිසා පළමු භාගය අවසන් වන විට බටහිර ජර්මානු කණ්ඩායම ගෝල 1-0 ලෙසින් පෙරමුණේ පසුවුණා. දෙවන භාගය ආරම්භ වී සුළු මොහොතකින් මැක්ස් මොර්ලොක් බටහිර ජර්මනිය වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළා. ඉන්පසුව 54 සහ 64 විනාඩිවල දී ප්‍රිට්ස් වෝල්ටර් දඬුවම් පහර මඟින් ගෝල වාර්තා කරන විට ඔහුගේ සොහොයුරු ඔට්මර් වෝල්ටර් 61 සහ 89 යන විනාඩිවල දී ගෝල වාර්තා කළා. 

එලෙස බටහිර ජර්මානු ක්‍රීඩකයන් ගෝල 6ක් වාර්තා කරන විට ප්‍රොබ්ස්ට් නම් ක්‍රීඩකයා ඔස්ට්‍රියාව වෙනුවෙන් ගෝලයක් ලබාගත්තා. ඒ අනුව අවසන් පූර්ව තරගය ගෝල 6-1ක් ලෙසින් ජයග්‍රහණය කළ බටහිර ජර්මානු කණ්ඩායම පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මුල්ම වරට අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තා. 

අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (Pinterest)

රාන්ගේ සුපිරි ගෝලය ජර්මානුවන්ට පාපන්දු කිරුළ හිමිකර දෙයි 

1950 වසරේ දී පාපන්දු ලෝක ශූරයන් වුණු ප්‍රබල උරුගුවේ කණ්ඩායම ගෝල 4-2 ලෙසින් පරාජය කළ හංගේරියානුවන් අවසන් සටනට පිවිසියා. ඔවුන් මූලික වටයේ තරගයක දී බටහිර ජර්මනිය හමුවේ ගෝල 8-3ක පහසු ජයක් හිමිකරගෙන තිබුණා. පුෂ්කාස්, කොක්සිස්, සීබෝර් වැනි ප්‍රබල ක්‍රීඩකයන් හංගේරියා කණ්ඩායම සතුව සිටි නිසා ඔවුන්ට ශූරතාවය දිනාගැනීම සඳහා වැඩි අවස්ථාවක් තිබුණා.

නරඹන්නන් 62,500ක් ඉදිරියේ ආරම්භ වුණු තරගයේ පළමු විනාඩි 8 තුළ දී හංගේරියානු සුපිරි තරු යුගලයක්  වුණු පුෂ්කාස් සහ සීබෝර් ක්‍රියාත්මක වුණා. ඔවුන් දෙදෙනා ලබාගත් ගෝල නිසා 8 වන විනාඩිය අවසන් වන විට හංගේරියාව ගෝල 2-0ක් ලෙස ඉදිරියෙන් සිටියා. එම තීරණාත්මක අවස්ථාවේ දී නොසැලෙමින් ක්‍රීඩා කළ මොර්ලොක් සහ රාන් බටහිර ජර්මනිය වෙනුවෙන් ගෝල ලබාගත්තා. එම නිසා තරගයේ 18 වන විනාඩිය අවසන් වන විට ගෝල තත්ත්වය 2-2 ලෙසින් සටහන් වුණා. 

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් උද්වේගකර ක්‍රීඩා රටාවක නිරත වුණා. කොක්සිස්, පුෂ්කාස්, සීබෝර්, මොර්ලොක්, රාන් වැනි ක්‍රීඩකයන් අවස්ථාවන් ගණනාවක දී ප්‍රතිවාදී දැල ආක්‍රමණය කළා. නමුත් දැල් රකින්නන් දැක්වූ දක්ෂතාවය නිසා කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට හැකිවුණේ නැහැ. එම නිසා තරගයේ 83 වන විනාඩිය අවසන් වනවිටත් ගෝල තත්ත්වය 2-2 ලෙසින් සටහන් වුණා. ඉන් පසුව උදාවුණු 84 වැනි විනාඩිය ජර්මානු පාපන්දු ඉතිහාසයේ ස්වර්ණමය තත්පර 60ක් බවට පත්වුණා. 

එදා ප්‍රතිවාදී ගෝල සීමාව ආක්‍රමණය රාන් නම් ජර්මානු ප්‍රහාරකයා නිවැරදි එල්ලය බලා පන්දුව දැල වෙත යොමු කළා. එම අවස්ථාවේ දී හංගේරියානු දැල් රකින්නා පසුකර ගිය පන්දුව දැල තුළට ඇතුල්වීමත් සමගම ජර්මානුවන්ගේ ඔල්වරසන් හඬින් ක්‍රීඩාගාරය පිරී ගියා. ඒ සමගම ප්‍රීතියෙන් ඉපිල ගිය ජර්මානු ක්‍රීඩකයන් රාන්ට සුභ පැතුවා. නොසිතූ මොහොතක වාර්තා වුණු ගෝලයත් සමගම හංගේරියානුවන්ගේ බලාපොරොත්තු කඩවී ගියා. අවසානයේ දී බටහිර ජර්මනිය ගෝල 3-2ක් ලෙසින් තරගය ජයග්‍රහණය කරමින් මුල්ම වරට පාපන්දු ලෝක කුසලානයක් දිනාගත්තා. 

රාන් ජයග්‍රාහී ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages) 

කවරයේ ඡායාරූපය- මොර්ලොක් අවසන් තරගයේ පළමු ගෝලය ලබාගත් අවස්ථාව (History Today) 

මූලාශ්‍රයයන්- fifa.com

Related Articles