ලෝක ශූර ජර්මනිය මෙවරත් කිරුළ හිමිකරගනී ද?

මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින රටවල් පිළිබඳ ලිපි මාලාවක් “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් ගෙන එන්නෙමු. ප්‍රථමයෙන් බ්‍රසීල කණ්ඩායම පිළිබඳව ද ඉන්පසු ප්‍රංශ සහ ස්පාඤ්ඤ කණ්ඩායම් පිළිබඳව ද ලිපි ඉදිරිපත් කළෙමු. මෙම ලිපි මඟින් එම රට මීට පෙර පැවති ලෝක කුසලාන වලදී දැක්වූ දක්ෂතා, මෙවර පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් ආකාරය, මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී ක්‍රීඩා කරන කණ්ඩායම (අවසාන xi) සහ මෙවර එම කණ්ඩායමේ ශක්තිය පිළිබඳව කෙටියෙන් විමසා බලනු ඇත. අද අපි මෙම විශේෂාංගය මඟින් ගෙන එන්නේ ලෝක ශූර ජර්මනිය පිළිබඳවයි.

අතීතයේ දැක්වූ දක්ෂතා

“මිරස්ලෝව් ක්ලෝස” (Reuters/Marcos Brindicci)

ජර්මනිය මීට පෙර පැවති ලෝක කුසලාන වල දී දැක්වූ දක්ෂතා දෙසට ප්‍රථමයෙන් අවධානය යොමු කරමු.

ජර්මනිය පළමු වරට ජාත්‍යාන්තර තරඟයකට ක්‍රීඩා කර තිබෙන්නේ 1908 වසරේ දී ය. ඒ ස්විට්සර්ලන්තයට එරෙහිවයි. එම තරඟයෙන් 5-3 ක් ලෙසින් ජය ලැබී ඇත්තේ ස්විට්සර්ලන්තයට යි.

1974 සහ 2006 පාපන්දු ලෝක කුසලාන දෙකෙහි සත්කාරකත්වය දරන ලද්දේ ජර්මනියයි. (1974 දී බටහිර ජර්මනිය​)

මේ දක්වා පැවත්වී තිබෙන ලෝක කුසලාන 20 අතුරින් 18 ක් සඳහා සුදුසුකම් ලබාගැනීමට ජර්මනිය සමත් වී තිබෙනවා.

මේ වනවිට සිව් වරක් ලෝක පාපන්දු කිරුළ හිමිකරගැනීමට ජර්මනියට හැකිවී තිබේ. ඒ 1954,1974,1990 සහ 2014 යන ලෝක කුසලාන වලදී ය.

එයට අමතරව 1966,1982,1986 සහ 2002 වර්ෂ වලදී අනුශූරතාවය හිමිකරගැනීමටත් ජර්මනියට හැකි වී තිබෙනවා.

මේ වනවිට වැඩිම ලෝක කුසලාන තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබෙන රට වන්නේ ජර්මනියයි. ඒ තරඟ 106 කි. එයින් තරඟ 66 ක අත්පත්කරගැනීමට ජර්මනියට හැකියාව ලැබී තිබෙනවා.

මේ වනවිට පාපන්දු ලෝක කුසලාන තරඟ වලදී එක් කණ්ඩායමක් විසින් වාර්තා කර තිබෙන වැඩිම ගෝල සංඛ්‍යාව වන ගෝල 224, වාර්තා කර තිබෙන්නේ ද ජර්මනියයි.

ලෝක කුසලාන තරඟාවලියේ හොඳම ක්‍රීඩකයාට පිරිනමන රන් පන්දුව (Golden Ball) හිමිකරගැනීමට ජර්මනියේ දැල් රකින ක්‍රීඩක ඔලිවර් කාන් ට හැකිවී තිබේ.

ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි රන් පාවහන (Golden Boot) හිමිකරගැනීමට ජර්මානු ක්‍රීඩකයින් තිදෙනෙකුට හැකිවී තිබෙනවා. 1970 ලෝක කුසලානයේ දී ගර්ඩ් මුලර්, 2006 වසරේ දී මිරස්ලෝව් ක්ලෝස සහ 2010 වසරේ දී තෝමස් මුලර් එලෙස රන් පාවහන දිනා තිබෙනවා.

ජර්මනිය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන තරඟ සංඛ්‍යාවකට සහභාගී වී තිබෙන්නේ ලෝතර් මත්තායස් ය.ඔහු ලෝක කුසලාන තරඟාවලි 5 කදී තරඟ 25 කට සහභාගී වී තිබෙනවා.

ජර්මනිය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝල ලාභියා වන්නේ මිරස්ලෝව් ක්ලෝස ය. ඒ ගෝල 16 කි. එයට අමතරව ගර්ඩ් මුලර් ගෝල 14 ක් රැස් කරගෙන තිබෙනවා.

සුදුසුකම් ලබාගත් ආකාරය

 “මෙසුට් ඔසිල් (වමේ) සහ තෝමස් මුලර් (දකුණේ) (sport.de)

මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබුවේ යුරෝපා කලාපයෙනි. එහි C කාණ්ඩය යටතේ තරඟ වැදුන ජර්මනිය ඔවුන් මුහුණදුන් තරඟ 10 ම ජයගැනීමට සමත්විය. යුරෝපා කලාපයේ සුදුසුකම් ලැබීමේ වටයේ දී කණ්ඩායමක් මුහුණදුන් සියලුම තරඟ ජයගත්තේ ජර්මනිය පමණයි. යුරෝපා සුදුසුකම් ලැබීමේ තරඟවල දී එක් කණ්ඩායමක් වාර්තා කල වැඩිම ගෝල සංඛ්‍යාව ද වාර්තා කරන ලද්දේ ජර්මනියයි. ඒ ගෝල 43 කි. (බෙල්ජියම ද ගෝල 43 ක් වාර්තා කරන ලදී.) යුරෝපා තේරීම් තරඟ වලදී වැඩිම ගෝල වෙනසට හිමිකම් කියූ රට වන්නේ ද ජර්මනියයි. ඒ +39 කි. වාර්තා කරන ලද ගෝල සංඛ්‍යාවෙන් ප්‍රතිවාදීන් ලබාගත් ගෝල සංඛ්‍යාව අඩු කලවිට ගෝල වෙනස ලැබේ. සුදුසුකම් ලැබී තරඟ වල දී ජර්මනිය වෙනුවෙන් ගෝල 5 බැගින් වාර්තා කිරීමට තෝමස් මුලර් සහ සැන්ඩ්‍රෝ වැග්නර් සමත් වූහ.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කරන ජර්මානු කණ්ඩායම

බොහෝ රටවල් මේ වනවිටත් තමන්ගේ අවසන් සංචිතය (23 දෙනාගේ සංචිතය) නම් කර තිබුනත් ජර්මනිය තවමත් සිය අවසන් සංචිතය නම් කර නැත. මැනුවෙල් නෝයර් ගේ සහ ජෙරොම් බෝටෙන් ගේ ආබාධ එයට හේතුවක් වියහැක. කෙසේවෙතත් ජර්මනිය මේ වනවිට ක්‍රීඩකයින් 27 දෙනෙකුගෙන් යුතු සංචිතයක් නම් කර තිබෙන අතර එම සංචිතයට අනුව මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කරන ජර්මානු කණ්ඩායම පිළිබඳ අදහසක් ලබාගමු. පසුගිය ලෝක කුසලානයේ අවසාන මහා තරඟයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කල මාරියෝ ගොට්සේ සහ එම ගෝලය ලබාගැනීමට සඳහා ගොට්සේ වෙත පන්දුව ලබාදුන් අන්ද්‍රේ ෂ’ලර් යන දෙදෙනාම මෙවර ජර්මානු සංචිතයට ඇතුලත් නොවීම විශේෂත්වයකි. එයට අමතරව සුදුසුකම් ලැබීමේ තරඟ වලදී දස්කම් දැක්වූ සැන් වැග්නර් ද මෙවර ජර්මානු සංචිතයට ඇතුලත්ව නැත.

මෙම ක්‍රීඩකයින් 27 දෙනා අතුරින් මෙවර ලෝක කුසලානයේ දී ජර්මනිය වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවට උපකල්පනය කළහැකි ක්‍රීඩකයින් ඉහත සටහනෙන් දැක්වෙන අතර මෙවර ජර්මනියේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ යෝකිම් ලෝ (Joachim Low) ය. ලෝ 2006 පාපන්දු ලෝක කුසලානයේ දී ජර්මනියේ සහය පුහුණුකරු වශයෙන් කටයුතු කල අතර 2010 වසරේ දී සහ ජර්මනිය ලෝක ශූරයින් බවට පත්වූ පසුගිය ලෝක කුසලානයේ දී ජර්මනියේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කලේය. මෙවර ජර්මනිය 4-2-3-1 ආකාරය අනුව ක්‍රීඩා කරනු ඇතැයි බොහෝ දෙනා සිතන බැවින් ඒ අනුව අපගේ සාකච්ඡාව ඉදිරියට ගෙනයමු.

ඉදිරිපෙළ සහ මැදපෙළ

“මාර්කෝ රොයිස්” (foxsportsasia.com)

මෙවර ජර්මනියේ ප්‍රහාරක ක්‍රීඩකයා (CF/Centre Forward) වශයෙන් ලෙප්සිග් කණ්ඩායමේ ටීමො වර්නර් ක්‍රීඩා කරනු ඇතැයි සිතිය හැක. මිරස්ලෝව් ක්ලෝසගෙන් පසුව එම ස්ථානයට ක්‍රීඩා කිරීමට වර්තමානයේ ජර්මානු කණ්ඩායමේ සිටින හොඳම සුදුස්සා වර්නර් ය. වර්නර්ට අමතරව මාරියෝ ගෝමස් ද ඉදිරිපෙළ ප්‍රහාරකා වශයෙන් ක්‍රීඩා කිරීමට සුදුසු ක්‍රීඩකයෙකි.

මෙවර ජර්මානු කණ්ඩායමේ LW (Left Wing) ස්ථානය සඳහා දක්ෂ ක්‍රීඩකයෝ රාශියක් සිටිති. මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ ලිරෝයි සනේ, PSG කණ්ඩායමේ යූලියන් ඩ්‍රෑක්ස්ලර් සහ බොරූසියා ඩෝර්ට්මන්ඩ් කණ්ඩායමේ මාර්කෝ රොයිස් (Marco Reus) යන තිදෙනාම LW ස්ථානයේ ක්‍රීඩා කරන අති දක්ෂ ක්‍රීඩකයින් තිදෙනෙකි. අවසාන තීරණය පුහුණුකරු ලෝ සතු වන අතර සිදුවීම් සිදුවන ආකාරය අනුව LW ස්ථානය සඳහා මාර්කෝ රොයිස් යොදාගනු ඇති බවට අපේක්ෂා කල හැක. රොයිස් ජර්මනිය සතුව සිටින අති දක්ෂ ක්‍රීඩකයෙකි. 2014 පාපන්දු ලෝක කුසලානයේ දී බැබලෙන්නට සිටි ක්‍රීඩකයෙකි. නමුත් ආබාධ නිසා 2014 ලෝක කුසලානය මෙන්ම 2016 යුරෝ කුසලාන තරඟාවලිය ද රොයිස්ට මඟහැරුණි. මෙවර හෝ ඔහුගේ අවස්තාව ලැබෙන්නේ නම් ක්‍රීඩා ලෝලීන් ද සතුටු වනු ඇත.

“ටෝනි කෲස්” (101greatgoals.com)

RW (Right Wing) ක්‍රීඩකයා ලෙසින් තෝමස් මුලර් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනු ඇත. AM (Attacking Midfield) ස්ථානය සඳහා ආර්සනල් කණ්ඩායමේ මෙසුට් ඕසීල්ගේ ස්ථානයද බොහෝ දුරට ඔහුට ලැබෙනු ඇත. රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ටෝනි කෲස් සහ යුවෙන්ටස් කණ්ඩායමේ සාමි කදීරා DM (Defensive Midfield) ස්ථානය සඳහා සියලුම සුදුසුකම් සපුරා සිටින ක්‍රීඩකයින් දෙදෙනාය. මෙවර ජර්මනිය සතුව සිටින වටිනාම ක්‍රීඩකයා ටෝනි කෲස් බව කිව හැක​.

ආරක්ෂක පෙළ

“හමල්ස් සහ බෝටෙන්ග්” (Pinterest)

මෙවර ජර්මනිය සතුව ඉතා ශක්තිමත් ආරක්ෂක පෙලක්ද සිටියි. LB (Left Back) ස්ථානය කොලොන් කණ්ඩායමේ යෝනාස් හෙක්ටෝර්ට සහ RB (Right Back) ස්ථානය බයර්න් මියුනික් කණ්ඩායමේ යොෂුවා කිම්මික්ට (Joshua Kimmich) වෙන්වී ඇති ස්ථාන දෙකකි. කිමික් මෙවර ලෝක කුසලානයේ දී නිසැක වශයෙන්ම දස්කම් දක්වනු ඇත. CB (Centre Back) ස්ථානය සඳහා පසුගිය ලෝක කුසලානයේ දී මෙන්ම බයර්න් මියුනික් කණ්ඩායමේ ජෙරොම් බෝටෙන්ග් සහ මැට්ස් හමෙල්ස් ක්‍රීඩා කරනු ඇති බවට අපේක්ෂා කලහැක. එහෙත් පසුගිය චැම්පියන්ස් ලීග් අවසන් පූර්ව වටයේ දී බෝටෙන්ග් ආබාධයකට ලක්වූ බැවින් යම්හෙයකින් ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වූවහොත් ඔහු වෙනුවට චෙල්සි කණ්ඩායමේ ඇන්ටෝනියෝ රූඩිගර් ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

මෙවර ජර්මනි කණ්ඩායම සතුව තිබෙන එකම ප්‍රශ්නාර්ථ ලකුණ වන්නේ ජර්මානු කණ්ඩායමේ නායක සහ දැල් රකින ක්‍රීඩක මැනුවෙල් නෝයර්ගේ ආබාධ තත්වයයි. පසුගිය සැප්තැම්බර් මාසයේ දී ආබාධයට ලක්වූ බයර්න් මියුනික් කණ්ඩායමේ නෝයර් එයට පසු කිහිප වතාවක් නැවත ක්‍රීඩා පිටියට පැමිණෙනු ඇති බවට වාර්තා වූවත් මේ වනතෙක් නෝයර්ට ක්‍රීඩා කිරීමට නොහැකි විය. අවසාන මොහොත දක්වාම නෝයර්ව මෙවර ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරවීමට ජර්මනිය උත්සාහ දරනු ඇති අතර යම් හෙයකින් නෝයර්ට ක්‍රීඩා කිරීමට නොහැකි වූවහොත් ජර්මනියේ දැල් රකින්නා වශයෙන් බාර්සිලෝනා කණ්ඩායමේ මාර්ක් අන්ද්‍රේ ටර් ස්ටෙගන් ක්‍රීඩා කරනු ඇත.

මෙවර ලෝක කුසලානයේ ජර්මනියේ ගමන් මඟ

“ටර් ස්ටෙගන් (වමේ) සහ නෝයර් (දකුණේ)” (Getty Images)

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා සියලුම සුදුසුකම් වලින් ජර්මනිය සමන්විතය. කවදත් ආක්‍රමණශීලී පාපන්දු රටාවක නිරතවන ජර්මනිය මෙවරත් ඒ ආකාරයටම ආක්‍රමණශීලී ලෙසින් ක්‍රීඩා කරනු ඇත. මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දී ජර්මනිය ක්‍රීඩා කරන්නේ F කාණ්ඩයෙනි. F කාණ්ඩය යටතේ ජර්මනියට අමතරව ස්වීඩනය, මෙක්සිකෝව සහ දකුණු කොරියාව ක්‍රීඩා කරයි. මෙය තරමක් හොඳ කණ්ඩායම් සිටින කාණ්ඩයක් වූවත් ජර්මනියේ F කාණ්ඩයේ පෙරමුණ ගනු ඇත.

ජර්මනිය F කාණ්ඩයේ පෙරමුණ ගතහොත් අවසාන 16 දෙනාගේ වටයේ දී ඉතා පහසු කණ්ඩායමක් ජර්මනියට මුණගැසෙනු ඇත. ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටය තෙක් නිරායාසයෙන්ම ගමන් කිරීමට ජර්මනියට හැකිවනු ඇත. කෙසේවෙතත් මෙවර ජර්මනිය ඉන් ඉදිරියට ද ගමන් කලයුතු අතර අවම වශයෙන් අවසන් පූර්ව වටය දක්වා හෝ ඉන් ඉදිරියට ජර්මනිය ගමන් කරනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරති.

Cover – the42.ie

Related Articles