Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බුෆ්ෆොන් නැවතත් එයි?

සමහර දෑ පරණ වන තරමට එහි වටිනාකම වැඩිය. ඉතාලියේ ජන්ලුයිජි බුෆ්ෆොන් ද එසේ පරණ වන්නට වටිනාකම වැඩිවන ක්‍රීඩකයෙකි. සාමාන්‍යයෙන් ක්‍රීඩාවේ දී ක්‍රීඩකයින් වයසින් වැඩි වන තරමට ඔවුන්ගේ වටිනාකම සහ දක්ෂතා ක්‍රමයෙන් අඩුවේ. එහෙත් වයසින් වැඩිවන විට දක්ෂතා ද ඒකාකාරයෙන් පවත්වාගනිමින් තමුන් වටා සිටින ක්‍රීඩා ලෝලීන්ගේ සහය ද වර්ධනය කරගනිමින් තමන්ගේ වටිනාකම ද වර්ධනය කරගත් ක්‍රීඩකයින් අතලොස්සක් පමණක් වර්තමානයේ ක්‍රීඩා කරන අතර ජන්ලුයිජි බුෆ්ෆොන් (Gianluigi Buffon) ද එයින් එක් ක්‍රීඩකයෙකි.

“මැයි 19 වැනිදා බුෆ්ෆොන් යුවෙන්ටස් කණ්ඩායම වෙනුවෙන් අවසාන වරට ක්‍රීඩා කල අවස්ථාවේ දී ක්‍රීඩා ලෝලීන් සමඟ” (newspeka.com)

වසර 21 ක කාලයක් ඉතාලි ජාතික කණ්ඩායම සහ වසර 17 ක කාලයක් ඉතාලියේ යුවෙන්ටස් (Juventus) ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කල බුෆ්ෆොන් මෙම මස මුලදී ප්‍රකාශ කරන ලද්දේ මෙවර තරඟ සමය (2017-18) අවසානයේ දී තමා ක්‍රීඩා සමාජ මට්ටමෙන් සහ ජාත්‍යාන්තර මට්ටමෙන් සමුගන්නා බවයි. එසේනමුත් 40 වැනි වියෙහි පසුවන බුෆ්ෆොන්ට තිබෙන ඉල්ලුම නම් අඩුවූයේ නැත. එංගලන්තයේ ලිවර්පූල් සහ ප්‍රංශයේ පැරිස් සේන්ට් ජර්මාන් කණ්ඩායම් දෙකෙන් සහ තවත් කණ්ඩායම් බොහෝ ප්‍රමාණයකින් බුෆ්ෆොන්ට ඇරයුම් ලැබුනේ ඔහුගේ සමුගැනීම පිළිබඳ දෙවරක් සිතන්නට යමක් ඔහුට ඉතිරි කරමිනි. ඒ අනුව මේ වනවිට ප්‍රංශයේ PSG (පැරිස් සේන්ට් ජර්මාන්) කණ්ඩායම බුෆ්ෆොන්ව සිය කණ්ඩායමට එකතුකරගැනීමට උපරිම උත්සාහ දරමින් සිටී.

පසුගිය සතියෙහි පැවති බුෆ්ෆොන්ගේ යුවෙන්ටස් කණ්ඩායමෙන් සමුගැනීමේ මාධ්‍ය හමුවේ දී ඔහු පැවසුවේ,

“මම සමුගන්න තමයි හිටියේ. ඒත් මේ වනවිටත් හොඳ කණ්ඩායම් කිහිපයකින්ම ආරාධනා ලැබිලා තියෙනවා.”

යනුවෙනුයි.

බුෆ්ෆොන් PSG කණ්ඩායම සමඟ එක්වනු ඇති බවට ප්‍රධානම ඉඟිය ලැබුනේ බුෆ්ෆොන්ගේ නියෝජිතයා වන සිල්වානෝ මාර්ටිනෝගෙනි. මාර්ටිනෝ විසින් Le parisien වෙත ප්‍රකාශ කරන ලද්දේ “ ඔහු පැරීසියට යනවානම් සතුටුයි” යනුවෙනුයි.

ඒ අනුව මීළඟ වසර දෙක සඳහා බුෆ්ෆොන් PSG කණ්ඩායම සමඟින් එකතුවනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරති. බුෆ්ෆොන්ට යුවෙන්ටස් කණ්ඩායමෙන් ලැබුණ මුදල මෙන් දෙගුණයක මුදලක් පැරිස් කණ්ඩායම විසින් ගෙවන්නට සූදානමින් සිටින බවද වාර්තා වේ. ඒ අනුව බුෆ්ෆොන් පැරිස් කණ්ඩායම සමඟින් එකතු වූවහොත් ඔහුව වාර්ෂිකව ඩොලර් මිලියන 8 ක මුදලක් ලැබෙනු ඇත.

අහම්බයෙන් පටන්ගත් දැල් රැකීම​

“බුෆ්ෆොන් පාර්මා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්” (raisport.rai.it)

1978 ජනවාරි මස 28 වැනි දින ඉතාලියේ දී උපත ලැබූ ජින්ලුයිජි බුෆ්ෆොන් කුඩාකල දී ක්‍රීඩාකර තිබෙන්නේ මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙසිනි. නමුත් ඉතාලියේ පාර්මා යොවුන් කණ්ඩායමට මැදපෙළ ක්‍රීඩකයෙකු වශයෙන් බුෆ්ෆොන් ක්‍රීඩා කරමින් සිටිය දී එක් අවස්ථාවක දී ඔහුගේ කණ්ඩායමේ සිටි දැල් රකින ක්‍රීඩකයින් දෙදෙනාම ආබාධ වලට ලක්වූ නිසා ප්‍රථම වරට දැල් රකින්නෙකු ලෙසින් ක්‍රීඩා කිරීමේ අවස්තාව බුෆ්ෆොන්ට ලැබුණි. ඉන්පසු බුෆ්ෆොන් විසින් සිදුකල දෑ ඉතිහාසයේ රන් අකුරින් ලියැවී තිබේ.

කුඩාකල සිටම ඉතාලි ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමේ වරම බුෆ්ෆොන්ට හිමිවූ අතර වයස අවුරුදු 16 පහළ, 17 පහළ, 18 පහළ, 19 පහළ, 21 පහළ සහ 23 පහළ යන සියලුම වයස් කාණ්ඩ වලදී ඉතාලිය නියෝජනය කරන්නට ඒ අනුව බුෆ්ෆොන් සමත්විය. 1996 වසරේ පැවැති 21 පහළ යුරෝපීය ශූරතාවය හිමිකරගත් ඉතාලි කණ්ඩායම නියෝජනය කරන්නට ද බුෆ්ෆොන්ට හැකිවිය.

ක්‍රීඩා සමාජ සහ ජාත්‍යාන්තර ක්‍රීඩා ජීවිතය

“බුෆ්ෆොන් සහ අන්ද්‍රේ පිර්ලෝ යුවෙන්ටස් කණ්ඩායම නියෝජනය කරමින්” (imagephotoagency.it)

වයස 17 දී පාර්මා ප්‍රධාන කණ්ඩායම නියෝජනය කිරීමේ වරම හිමිකරගත් බුෆ්ෆොන් පාර්මා කණ්ඩායමත් සමඟින් 1998-99 UEFA කුසලානය (යුරෝපා ලීගය), 1998-99 කෝපා ඉතාලියා ශූරතාවය සහ 1999 ඉතාලි සුපර් කප් ශූරතාවය හිමිකරගන්නා ලදී. 2001 වසරේ දී පාර්මා කණ්ඩායමේ සිට යුවෙන්ටස් කණ්ඩායම වෙත බුෆ්ෆොන් හුවමාරු වූයේ පවුම් මිලියන 47.6 ක වාර්තාගත මුදලකටයි. එම හුවමාරුව සිදුවී මේ වනවිට වසර 17 ක් ගතවී තිබුනත් අදටත් එම මුදල සටහන් වන්නේ දැල් රකින්නෙකු කණ්ඩායම් දෙකක් අතර හුවමාරු වූ වැඩිම මුදල ලෙසින් ය.

ඒ අනුව 9 වතාවක් යුවෙන්ටස් කණ්ඩායම සමඟින් ඉතාලියේ සීරී ආ ලීගය ජයග්‍රහණය කිරීමට බුෆ්ෆොන්ට හැකියාව ලැබුණි. 2011-12 සිට 2017-18 තරඟ සමය දක්වා පිට පිට 7 වතාවක් සීරී ආ (Serie A) ලීගය ජයග්‍රහණය කිරීමට යුවෙන්ටස් කණ්ඩායමට හැකියාව ලැබුණ අතර එය වාර්තාවක් ද වේ. ඊට අමතරව සිව් වතාවක් කෝපා ඉතාලියා ශූරතාවය ද පස් වතාවක් ඉතාලි සුපර් කප් ශූරතාවය ද ජයග්‍රහණය කිරීමට බුෆ්ෆොන් ඇතුළු යුවෙන්ටස් කණ්ඩායමට හැකිවුණි. 2012 වසරේ සිට යුවෙන්ටස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද බුෆ්ෆොන් ය.

“2006 පාපන්දු ලෝක කුසලානය සමඟින් බුෆ්ෆොන්” (squawka.com)

වයස අවුරුදු 19 දීම ඉතාලි ජාතික කණ්ඩායමේ දැල් රකින්නා වශයෙන් කටයුතු කල බුෆ්ෆොන් 2006 පාපන්දු ලෝක කුසලානය දිනූ ඉතාලි කණ්ඩායමේ දැල් රකින්නා ලෙසින් මහඟු සේවාවක් ඉතාලිය වෙනුවෙන් සිදුකළේය. එම තරඟාවලියේ හොඳම දැල් රකින්නාට හිමි රන් අත්වැසුම (Golden Glove) හිමිකරගැනීමට ද බුෆ්ෆොන් සමත්විය. 2010 පාපන්දු ලෝක කුසලානයෙන් පසුව ඉතාලි කණ්ඩායමේ නායකත්වය බුෆ්ෆොන්ට හිමිවිය.

2010 සහ 2014 පාපන්දු ලෝක කුසලාන දෙකෙහි දීම මූලික වටයෙන් ඉතාලියට ඉවත් වන්නට සිදුවූ අතර මෙවර 2018 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ද ඉතාලියට නොහැකි විය. එය බුෆ්ෆොන් හට විශාල කනගාටුවට කාරණයක් වූ නමුත් කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් 11 දෙනා අතරින් බුෆ්ෆොන් යනු එක් ක්‍රීඩකයෙක් පමණක් නිසා සහ ජය පැරදුම යනු ක්‍රීඩාවේ ස්වභාවය නිසා එම සිදුවීම් මැදහත් සිතින් යුතුව දරාගැනීමට බුෆ්ෆොන් ට සිදුවනු ඇත. ඊට අමතරව චැම්පියන්ස් ලීගය ජයග්‍රහණය කිරීමට නොහැකි වීමද බුෆ්ෆොන් ගේ විශිෂ්ට ක්‍රීඩා ජීවිතයෙහි අඩුවක් ලෙසින් සඳහන් කලහැක.

වාර්තා

“බුෆ්ෆොන් සහ ස්පාඤ්ඤයේ ඊකර් කැසියස්” (associated press)

එවැනි කනගාටුදායක කාරණා කිහිපයක් තිබුන ද බුෆ්ෆොන්ගේ ක්‍රීඩා ජීවිතය බොහෝ ජයග්‍රහණ වලින් සහ බොහෝ වාර්තා වලින් යුක්තය. බුෆ්ෆොන්ගේ නමින් තිබෙන වාර්තා ප්‍රමාණය අති විශාල වන අතර ඉන් කිහිපයක් පමණක් පහතින් සඳහන් වේ.

Golden Foot සම්මානය දිනූ පළමු දැල් රකින්නා. (2016)

සීරී ආ ලීගයේ වසරේ ක්‍රීඩකයාට හිමි සමානය දිනූ එකම දැල් රකින්නා (2017)

වැඩිම අවස්ථා ගණනක දී සීරී ආ ලීගයේ හොඳම දැල් රකින්නා ලෙසින් සම්මාන ලැබීම (අවස්ථා 12 ක්)

IFFHS මඟින් වැඩිම අවස්ථා ගණනක දී වසරේ දැල් රකින්නා ලෙසින් නම් කිරීම (5 වතාවක්. ස්පාඤ්ඤයේ ඊකර් කැසියස් ද 5 වතාවක් මෙම සම්මානය හිමිකරගෙන තිබේ.)

21 වැනි සියවසේ බිහිවූ හොඳම දැල් රකින්නා ලෙසින් මේ වනවිට ඉදිරියෙන් සිටීම.

21 වැනි සියවසේ පළමු දශකයේ හොඳම දැල් රකින්නා

පසුගිය වසර 25 දී බිහිවූ හොඳම දැල් රකින්නා.

සීරී ආ ලීග ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක දී ප්‍රතිවාදීන්ට ගෝල ලබා නොදුන් දැල් රකින්නා (Clean Sheet)

සීරී ආ ලීගයෙහි පිට පිට වැඩිම තරඟ සංඛ්‍යාවක දී ප්‍රතිවාදීන්ට ගෝල ලබා නොදුන් දැල් රකින්නා. (2015-16 තරඟ සමයෙහි පිට පිට තරඟ 10 දී)

ඉතාලිය වෙනුවෙන් වැඩිම ජාත්‍යාන්තර තරඟ සංඛ්‍යාවකට සහභාගී වූ දැල් රකින්නා. (තරඟ 176)

ලෝකයේ ජාත්‍යාන්තර සහ ක්‍රීඩා සමාජ මට්ටමෙන් වැඩිම තරඟ සංඛ්‍යාවකට ක්‍රීඩා කල ක්‍රීඩක ලැයිස්තුවේ 9 වැනි ස්ථානය (තරඟ 1076)

“වසරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයා” සම්මානය හිමිකරගත් එකම දැල් රකින්නා (2002-03)

බැලෝන් ඩෝ’ර්, රොනාල්ඩෝ සහ දොන්නරුම්මා

 “රොනාල්ඩෝගේ දඬුවම් පහරක් බුෆ්ෆොන් විසින් වළක්වන ලද අවස්තාවක්” (pinterest)

වසර 20 ට වැඩි කාලයක් ජාත්‍යාන්තර සහ ක්‍රීඩා සමාජ මට්ටමෙන් උපරිම තලයක සිට ක්‍රීඩා කරන ලද බුෆ්ෆොන් යුරෝපයේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය වන බැලෝන් ඩෝර් සම්මානයේ දී ද කැපී පෙනෙන ක්‍රීඩකයෙක් විය. සාමාන්‍යයෙන් දැල් රකින්නන්ට සහ ආරක්ෂක පෙළ ක්‍රීඩකයින්ට මෙම සම්මානයේ දී නිරතුරුවම අසාධාරනකම් සිදුවූවත් බැලෝන් ඩෝර් සම්මානයේ දී 2003 වසරේ දී 9 වැනි ස්ථානයත්, 2006 වසරේ දී දෙවැනි ස්ථානයත්, 2016 වසරේ දී 9 වැනි ස්ථානයත්, 2017 වසරේ දී 4 වැනි ස්ථානයත් හිමිකරගැනීමට බුෆොන්ට හැකිවිය.

බුෆ්ෆොන් හා බැඳී තවත් එක් සුවිශේෂී සිදුවීමක් වන්නේ බ්‍රසීලයේ රොනාල්ඩෝ සහ බුෆ්ෆොන් අතර තිබූ ද්වන්ධ සටනයි. රොනාල්ඩෝ ඉන්ටර් මිලාන් කණ්ඩායමේ ක්‍රීඩා කරන විට බුෆ්ෆොන් පාර්මා කණ්ඩායම නියෝජනය කලේය. එම කණ්ඩායම් දෙක ක්‍රීඩා කරන අතරතුර රොනාල්ඩෝ විසින් එල්ල කරන ලද බොහෝ පහරවල් ප්‍රමාණයක් ආවරණය කිරීමට බුෆ්ෆොන්ට හැකිවිය. රොනාල්ඩෝ ඉතා හොඳ දඬුවම් පහර එල්ල කරන ක්‍රීඩකයෙකු වූවත් රොනාල්ඩෝගේ දඬුවම් පහර දෙකක් වළක්වාලීමට ද බුෆ්ෆොන්ට හැකිවිය. නමුත් රොනාල්ඩෝ ද කෙසේ හෝ බුෆ්ෆොන්ට එරෙහිව ගෝල කිහිපයක් රැස් කිරීමට සමත්විය.

“දොන්නරුම්මා” (talksport.com)

බුෆ්ෆොන්ගෙන් හිස් වන ඉතාලි කණ්ඩායමේ දැල් රකින්නාගේ ස්ථානයේ ඉදිරි කාලයේ දී ජන්ලුයිජි දොන්නරුම්මා (Gianluigi Donnarumma) ක්‍රීඩා කරනු ඇත. තවමත් 19 හැවිරිදි දොන්නරුම්මා ඉදිරියේ දී නිසැක වශයෙන්ම ලෝකයේ බැබලෙන ක්‍රීඩකයෙකි. වරක් එක් ක්‍රීඩා ලෝලියෙකු පැවසුවේ “ඔබට හොඳ දැල් රකින්නෙකු වන්නට අවශ්‍යනම් ඔබගේ නම ඉදිරියෙන් ජන්ලුයිජි යන කොටස එකතු කරගන්න” ලෙසයි.

ලොවක් ආදරය කරන බුෆ්ෆොන්, ලොවක් හඬවමින් සමුගත් බුෆ්ෆොන්, ලොවක් සතුටට පත් කරමින් නැවතත් ක්‍රීඩා පිටියට එනතෙක් අපි මඟ බලා සිටිමු.

Cover – juventus.com

Related Articles