Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 පාපන්දු ලෝක කුසලානයට එන හොඳම දැල රකින්නෝ

පාපන්දු කණ්ඩායමක සිටින ක්‍රීඩකයින් 11 දෙනා අතුරින් වැදගත්ම ක්‍රීඩකයෙකි දැල රකින්නා. දැල රකින්නාගෙන් සිදුවන සුළු අතපසුවීමක් නිසා ඔහු නියෝජනය කරන කණ්ඩායමට පරාජය වීමට සිදුවූ වාර අතීතයෙන් ඕනෑතරම් සොයාගත හැක. එමෙන්ම දැල රකින්නාගේ විශිෂ්ට දක්ෂතා නිසා තරඟයෙහි ප්‍රතිඵලය​ සම්පූර්ණයෙන්ම වෙනස් වූ අවස්ථාද අපට ඕනෑතරම් සිහිපත් කල හැක. එසේනම් ජූනි මස 14 වැනිදා රුසියාවේ දී ආරම්භ වන 2018 පාපන්දු ලෝක කුසලානය නියෝජනය කරන හොඳම දැල රකින්නන් 10 දෙනා පිළිබඳව අද අපි “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගයෙන් කතා කරමු.

  1. ඇලිසන් (Alisson)

Filip Singer/EFP

බ්‍රසීල කණ්ඩායමේ දැල රකින්නා වන ඇලිසන් බෙකර් මේ වනවිට 25 වැනි වියෙහි පසුවෙයි. 2015 වසරේ සිට මේ දක්වා බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරන ඇලිසන් තරඟ 24 කදී බ්‍රසීලයේ දැල රකින්නා වශයෙන් කටයුතු කර තිබේ. අඩි 6′ 3” ක් උස ඇලිසන් නියෝජනය කරන්නේ ඉතාලියේ රෝමා ක්‍රීඩා සමාජයයි. මෙවර චැම්පියන්ස් ලීග් තරඟාවලියෙහි අවසන් පූර්ව වටය දක්වාම රෝමා කණ්ඩායම පැමිණි අතර ඒ සඳහා ඇලිසන්ගෙන් ලැබුන දායකත්වය සුළුපටු එකක් නොවේ. මෙවර බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් විශාල වගකීමක් දැරීමට ඇලිසන්ට සිදුවනු ඇත.

  1. තිබූ කෝටුවා (Thibaut Courtois)

squawka.com

බෙල්ජියමේ දැල රකින්නා වන තිබූ කෝටුවා 26 හැවිරිදි වියෙහි පසුවෙයි. 2011 වසරේ සිට බෙල්ජියම් ජාතික කණ්ඩායම නියෝජනය කරන කෝටුවා බෙල්ජියම් ජාතික කණ්ඩායම නියෝජනය කල ලාබාලතම ක්‍රීඩකයා ද වේ. අඩි 6′ 6” ක් උසැති මෙම ක්‍රීඩකයා 2014 පාපන්දු ලෝක කුසලානයේ දී හා 2016 යුරෝ කුසලානයේ දී  බෙල්ජියම් කණ්ඩායමේ දැල රකින ක්‍රීඩකයා වශයෙන් කටයුතු කරනු ලැබීය.

එංගලන්තයේ චෙල්සි කණ්ඩායම නියෝජනය කරන කෝටුවා පසුගිය තරඟ සමයේ දී එංගලන්තයේ ප්‍රිමියර් ලීගයෙහි රන් අස්වැසුම හිමිකරගැනීමට ද සමත්විය. (වැඩිම තරඟ සංඛ්‍යාවක දී ප්‍රතිවාදීන්ට ගෝල ලබානොදුන් දැල රකින්නාට මෙය හිමිවේ.) අනෙකුත් දැල රකින්නන්ට සාපේක්ෂව ඉතාම නිහඬ ක්‍රීඩකයෙක් වන කෝටුවාට බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය හිමිවී තිබේ.

  1. ජැක් බට්ලන්ඩ් (Jack Butland)

thefa.com

25 වියෙහි පසුවන ජැක් බට්ලන්ඩ් එංගලන්ත කණ්ඩායමේ දැල රකින්නා වේ. 2012 වසරේ සිට එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන බට්ලන්ඩ් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කල ලාබාලතම ක්‍රීඩකයා ද වේ. එංගලන්තයේ ස්ටොක් සිටි කණ්ඩායම නියෝජනය කරන අඩි 6′ 5” ක් උසැති බට්ලන්ඩ් ඉදිරි තරඟ සමයේ දී වඩාත් හොඳ ක්‍රීඩා සමාජයකට එක්වනු ඇති බව බොහෝ දෙනාගේ මතයයි. කෙසේ නමුත් ජෝර්ඩන් පික්ෆර්ඩ් ද එංගලන්තට සිටින දක්ෂ දැල රකින්නෙක් වන අතර මෙවර ලෝක කුසලානයේ දී ඔවුන් දෙදෙනාගෙන් කවරෙක් එංගලන්තයේ දැල රකින්නා වශයෙන් කටයුතු කරනු ලබයිදැයි නිශ්චිතව ප්‍රකාශ කල නොහැක.

  1. රූයි පැට්‍රීෂියෝ (Rui Patricio)

“2016 වසරේ යුරෝ ශූරතාවයේ අර්ධ අවසාන පූර්ව තරඟයේ දී පැට්‍රීෂියෝ විසින් පෝලන්තයට එරෙහිව දඬුවම් පහරක් වැලක්වූ අවස්තාව” (Reuters)

2010 වසරේ සිට පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය කරන රූයි පැට්‍රීෂියෝ නියෝජනය කරන්නේ පෘතුගාලයේ ස්පෝර්ටින් සීපී කණ්ඩායමයි. අඩි 6’ 2” ක් උසැති පැට්‍රීෂියෝ 2014 පාපන්දු ලෝක කුසලානයේ දී ද පෘතුගාල කණ්ඩායම නියෝජනය කලේය. 2016 යුරෝ ශූරතාවය දිනූ පෘතුගාල කණ්ඩායමේ දැල රකින්නා වශයෙන් කටයුතු කලේද 30 හැවිරිදි පැට්‍රීෂියෝ ය. මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී තරමක් තරඟකාරී තරඟ (ස්පාඤ්ඤයට එරෙහිව පැවැත්වෙන තරඟය ඇතුළුව) කිහිපයකටම පෘතුගාලයට මුහුණදීමට සිදුවන නිසා පැට්‍රීෂියෝ හට විශාල කාර්ය භාර්යයක් පැවරී තිබේ.

  1. සර්ජියෝ රොමේරෝ (Sergio Romero)

“2014 පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ දී නෙදර්ලන්තයට එරෙහිව දඬුවම් පහර මඟින් ආජෙන්ටිනාව ජයලැබූ මොහොත” (AFP)

අර්ජෙන්ටිනාව වෙනුවෙන් වැඩිම තරඟ සංඛ්‍යාවකට සහභාගී වූ දැල රකින්නා වන 31 හැවිරිදි සර්හියෝ රොමේරෝ 2010 සහ 2014 ලෝක කුසලාන තරඟාවලි දෙකෙහිම ආර්ජෙන්ටිනා කණ්ඩායමේ දැල රකින්න වශයෙන් කටයුතු කලේය. 2009 වසරේ සිට ආර්ජෙන්ටිනා ජාතික කණ්ඩායම නියෝජනය කරන රොමේරෝ මේ දක්වා තරඟ 94 කට සහභාගී වී ඇත. අඩි 6’ 3” ක් උසැති රොමේරෝ නියෝජනය කරන්නේ එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමයි. (දෙවැනි දැල රකින්නා)

2014 ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟයේ දී රොමේරෝ ට එරෙහිව ජර්මනියේ මාරියෝ ගොට්සේ විසින් ජයග්‍රාහී ගෝලය වාර්තා කල අතර මෙවර ද ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඉදිරියෙන්ම සිටින රටක් වන ආර්ජෙන්ටිනා කණ්ඩායමේ සැලකිව යුතු වගකීමක් රොමේරෝ හට දැරීමට සිදුවනු ඇත.

  1. මාක්-අන්ද්‍රේ ටර් ස්ටෙගන් (Marc-Andre ter Stegen)

mcfcwatch.com

කවදත් ඉහලම මට්ටමේ දැල රකින්නන් බිහිකරන ජර්මනියෙන් බිහිවුණ තවත් එක් සුපිරිම දැල රකින්නෙකි මාක්-අන්ද්‍රේ ටර් ස්ටෙගන්. මේ වනවිට 26 වැනි වියෙහි පසුවන ටර් ස්ටෙගන්, 2012 වසරේ සිට ජර්මානු ජාතික කණ්ඩායම නියෝජනය කරයි. ජර්මනිය විසින් ශූරයින් වූ පසුගිය වසරේ පැවති ෆිෆා කන්ෆෙඩරේෂනස් කුසලානයේ දී ද ජර්මානු කණ්ඩායමේ දැල රකින්නා වශයෙන් කටයුතු කරන ලද ටර් ස්ටෙගන් එහි අවසාන මහා තරඟයේ වීරයා බවට ද පත් වූයේය.

ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායමේ දැල රකින්නා වන අඩි 6’ 2” ක් උසැති ටර් ස්ටෙගන් මුහුණට මුහුණ (1 on 1) අවස්තාවලදී විශේෂඥ දැල රකින්නෙකු ලෙසින් ද හැඳින්විය හැක. බාසිලෝනා කණ්ඩායම සමඟින් 2014/15 චැම්පියන්ස් ලීග් ශූරතාවය ද තෙවරක් ලා ලීගා ශූරතාවය ද ජයග්‍රහණය කර ඇති ටර් ස්ටෙගන් මෙවර පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන හොඳම දැල රකින්නන් තිදෙනා අතර සිටින බව නම් සැකයක් නැත. කෙසේ නමුත් මැනුවෙල් නෝයර් සිටින නිසා ජර්මානු කණ්ඩායම නියෝජනය කරන්නට වැඩි අවස්ථා නොලැබුනත් නෝයර්ගේ ආබාධ තත්වය නිසා බොහෝ දුරට මෙවර ලෝක කුසලානයේ දී වැඩි අවස්ථා ගණනක් ටර් ස්ටෙගන් ට ලැබීමේ අවස්තාව පවතී.

  1. කේලර් නවාස් (Keylor Navas)

eurosport.fr

2014 වසරේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ආරම්භ වීමට පෙර බොහෝ ක්‍රීඩා ලෝලීන් විසින් අවාසනාවන්තම කණ්ඩායම් ලෙසින් කොස්ටරිකා කණ්ඩායම හැඳින්වූහ. එයට හේතුව වූයේ කොස්ටරිකා කණ්ඩායමට මූලික වටයේ දී තරඟ වැදීමට සිදුවී තිබුනේ ඉතාලිය, උරුගුවේ දේශය සහ එංගලන්තය සමඟ වීම නිසාය. අවසානයේ දී සිදුවූයේ කුමක්ද? කොස්ටාරිකා කණ්ඩායම මූලික වටයේ කාණ්ඩයේ පළමු ස්ථානය​ හිමිකරගත්තා පමණක් නොව අර්ධ අවසාන වටය දක්වාම ප්‍රවිෂ්ට වීමට සමත්විය. එම විශිෂ්ට ගමනේ දී කොස්ටරිකා කණ්ඩායමේ සාර්ථකත්වයට මුල් වූ ප්‍රධානම ක්‍රීඩකයෙකි කේලර් නවාස්.

ලෝක කුසලාන තරඟාවලියේ දී නවාස් දැක්වූ විශිෂ්ට දස්කම් නිසාම ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම විසින් 2014 දී නවාස් ව සිය කණ්ඩායමට එක්කරගන්නා ලදී. (ඒ වනවිට නවාස් ක්‍රීඩා කරමින් සිටියේ ස්පාඤ්ඤයේ ලෙවන්ටේ කණ්ඩායමටයි). එතැන් පටන් චැම්පියන්ස් ලීග් ශූරතා දෙකක් ද ලා ලීගා ශූරතාවය එක් වරක් ද රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරමින් ජයග්‍රහණය කිරීමට මෙම අඩි 6’ 1” ක් උස ක්‍රීඩකයාට හැකිවිය.

මෙවර චැම්පියන්ස් ලීග් අවසාන මහා තරඟය සඳහා ද රියල් මැඩ්රිඩ් කණ්ඩායම තේරී සිටින අතර (අවසාන මහා තරඟය මැයි 26 වැනිදා) අවසන් පූර්ව වටයේ දී ප්‍රබල බයර්න් මියුනික් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට දස්කම් දැක්වීමටද නවාස්ට හැකිවිය. 31 වන වියෙහි පසුවන නවාස් 2016 සහ 2017 යන වසර දෙකෙහිම උතුරු ඇමෙරිකානු දැල රකින්නා වශයෙන් ගෞරවයට පාත්‍ර වූ අතර 2008 සිට මේ දක්වා තරඟ 76 කදී කොස්ටරිකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට ද නවාස් ට හැකිවී තිබේ.

  1. හියුගෝ ලෝරිස් (Hugo Lloris)

Reuters

මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින රටක් වශයෙන් ප්‍රංශය නම් කල හැක. ප්‍රංශ කණ්ඩායමේ නායකත්වය දරන හියුගෝ ලෝරිස් 2008 වසරේ සිට ප්‍රංශ කණ්ඩායම නියෝජනය කරයි. මේ වනවිට ප්‍රංශය වෙනුවෙන් වැඩිම තරඟ සංඛ්‍යාවක් නියෝජනය කරන ලද දැල රකින්නා වන්නේ ද 31 හැවිරිදි ලෝරිස් ය. ලෝරිස් නියෝජනය කරන්නේ එංගලන්තයේ ටොටන්හැම් හොට්ස්පර් කණ්ඩායමයි.

2010 සහ 2014 ලෝක කුසලාන දෙකෙහි ද 2012 සහ 2016 යුරෝ ශූරතා දෙකෙහිද ප්‍රංශයේ දැල රකින්නා වශයෙන් කටයුතු කල ලෝරිස් “ස්වීපර් කීපර්” කෙනෙකු ලෙසින්ද හැඳින්විය හැක. (තම සීමාවෙන් ඉදිරියට පැමිණෙන දැල රකින්නන් ස්වීපර් කීපර් ලෙසින් හැඳින්වේ. එවිට ඕෆ්සයිඩ් නොවී ඉදිරියට පැමිණෙන ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට ගෝල ලබාගැනීමට ඇති ඉඩකඩ ඉතා අවම වේ.) එයට අමතරව මුහුණට මුහුණ අවස්ථා වලදී ද ලෝරිස් විශේෂ හැකියාවක් ඇති ක්‍රීඩකයෙකි. උස අඩි 6’ 1” ක් වන හියුගෝ ලෝරිස්ගේ දක්ෂතා මෙවර ලෝක කුසලානයේ දී ප්‍රංශයේ ගමන තීරණය කරන ප්‍රධාන සාධකයක් වනවාට කිසිඳු සැකයක් නැත.

  1. මැනුවෙල් නෝයර් (Manuel Neuer)

Reuters/ Lee Smith

මැනුවෙල් නෝයර් පිලිබඳ වැඩි විස්තර පැවසීම අවශ්‍ය නොවේ. පසුගිය වසර කිහිපය තුලදීම ලෝකයේ හොඳම දැල රකින්නා වශයෙන් ආධිපත්‍යය තබාගෙන සිටියේ ජර්මනියේ මැනුවෙල් නෝයර් ය. 2009 වසරේ සිට ජර්මානු ජාතික කණ්ඩායම නියෝජනය කරන නෝයර් මේ වනවිට එහි නායකත්වය ද දරයි. මේ වනවිට 32 වියෙහි පසුවන නෝයර් “ස්වීපර් කීපර්” යන්නට හොඳම උදාහරණය වශයෙන් හැඳින්විය හැක. ඔහුට වඩා හොඳ “ස්වීපර් කීපර්” කෙනෙකු හෝ දැල රකින්නෙකු වර්තමානයේ නොමැත.

IFFHS (International Federation of Football History and Statistics) මඟින් 2013-16 දක්වා වසර 4 ක් පිට පිටම ලෝකයේ හොඳම දැල රකින්නා වශයෙන් නෝයර් නම් කරනු ලැබීය. උස අඩි 6′ 4” ක් වන නෝයර් 2010, 2014 ලෝක කුසලාන දෙකෙහිම සහ 2012, 2016 යුරෝ කුසලාන දෙකෙහිම ජර්මානු කණ්ඩායමේ දැල රකින්නා වශයෙන් කටයුතු කල නෝයර් 2014 ලෝක කුසලානය හිමිකරගත් ජර්මානු කණ්ඩායමේ ද ප්‍රබල සාමාජිකයෙක් විය. එම ලෝක කුසලානයේ දී හොඳම දැල රකින්නාට හිමි රන් අත්වැසුම හිමිකරගැනීමට ද නෝයර්ට හැකිවිය. 2014 වසරේ දී ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනමන බැලෝන් ඩෝ’ර් හි තුන්වැනි ස්ථානයට පත්වීමට ද නෝයර් ට හැකිවිය.

ජර්මනියී බයර්න් මියුනික් කණ්ඩායම නියෝජනය කරන නෝයර් බයර්න් කණ්ඩායමත් සමඟින් බුන්ඩස්ලීගා ශූරතා 6 ක්ද චැම්පියන්ස් ලීග් ශූරතාවක් ද දිනාගැනීමට සමත්වී තිබේ. නමුත් ආබාධයක් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා එකඳු තරඟයකට හෝ ක්‍රීඩා කර නොමැති නෝයර් මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයේ ය. මූලික වටයේ තරඟ මඟ හැරුනද තරඟාවලියේ අනෙකුත් තරඟ සඳහා හෝ නෝයර් ව යොදාගනු ඇතැයි විවිධ මූලාශ්‍ර වලින් පැවසේ.

  1. දාවිද් ඩි හේ (David de Gea)

fourfourtwo.com

මීට පැවති පාපන්දු ලෝක කුසලාන කිහිපය වෙත නැවත හැරී බැලුවහොත් 2002 ජර්මනියේ ඔලිවර් කාන්, 2006 ඉතාලියේ ජියුන්ලුගී බුෆෝන්, 2010 ස්පාඤ්ඤයේ ඊකර් කැසියස් සහ 2014 ජර්මනියේ මැනුවෙල් නෝයර් එම ලෝක කුසලාන වලදී හොඳම දැල රකින්නා වශයෙන් සම්මාන ලැබීය. මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී හොඳම දැල රකින්නා වශයෙන් සම්මාන ලැබීමට ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා ලෙසින් ස්පාඤ්ඤයේ දාවිද් ඩි හේ හැඳින්වීම වරදක් නැත​.

මේ වනවිට 27 වැනි හැවිරිදි ඩි හේ 2014 වසරේ සිට ස්පාඤ්ඤ ජාතික කණ්ඩායම නියෝජනය කරයි. පසුගියවර ලෝක කුසලාන තරඟාවලියේ ද ස්පාඤ්ඤ කණ්ඩායමට නම් කරනු ලැබුවද එහි එකඳු තරඟයකට හෝ ක්‍රීඩා කිරීමට ඩි හේ හට වරම් නොලැබීය. 2011 වසරේ සිට එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ දැල රකින්නා වශයෙන් කටයුතු කරන ඩි හේ ප්‍රිමියර් ලීග් ශූරතාවක් සහ FA කුසලානයක් ඇතුළුව ශූරතා රාශියක් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සමඟින් ජයග්‍රහණය කිරීමට අඩි 6′ 4” ක් උසැති ඩි හේ ට හැකිවී තිබේ. පසුගිය වසර කිහිපය මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට එතරම් හොඳ කාලයක් නොවූවත් ඩි හේගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් තවමත් කෙලෙසක හෝ ලෝකයේ හොඳම මට්ටමේ කණ්ඩායමක් ලෙසින් වැජඹීමට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට හැකියාව ලැබී තිබේ.

වර්තමානයේ ලෝකයේ සිටින හොඳම දැල රකින්නන් තිදෙනා අතර සිටින ඩි හේ මේ වනවිට පස් වතාවක් වසරේ ප්‍රිමියර් ලීග් කණ්ඩායමට නම් කරනු ලැබ සිටියි. මෙවර ප්‍රිමියර් ලීගයෙහි රන් අස්වැසුම ද හිමිකරගත් ඩි හේ මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී නිසැක වශයෙන්ම දක්ෂකම් දක්වනු ඇතැයි ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂාවයි

Cover – (unitedsverige.se)

Related Articles