Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආජන්ටිනා පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ ඇරඹුම

ලෝකයේ ජනප්‍රිය ම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ නියැලෙන රටවල් අතුරින්, ආජන්ටිනාවට ලෝක පාපන්දු පිටියේ හිමිවන්නේ සුවිශේෂී ම ස්ථානයක්. 1930 වසරේ ආරම්භ වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තුළ සියලු දෙනාගේ ම අවධානයට නිරන්තරයෙන් ලක්වන කණ්ඩායමක් වන ආජන්ටිනාව, 1978-1990 කාල සීමාවේ දී පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙහි සුවිශේෂී දස්කම් දැක්වූවා. එම කාල සීමාව තුළ අවස්ථා 2ක දී ලෝක කුසලානය දිනාගත් ආජන්ටිනාව, එක් අවස්ථාවක අනුශූරතාවය දිනාගත්තා. මෙම කාලසීමාවේ දී මාරියෝ කෙම්පස් සහ ඩියාගෝ මැරඩෝනා වඩාත් ම කැපී පෙනුණු ආජන්ටිනා ක්‍රීඩකයන් දෙදෙනා වූ අතර, මෙම ලිපි පෙළෙන් ඔවුන් හා අනිකුත් ආජන්ටිනා ක්‍රීඩකයන් එම යුගයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දැක්වූ දස්කම් පිළිබඳ ව විස්තර ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

දිගු කලක් බලාපොරොත්තුවෙන් සිටි සිහිනයක් සැබෑ වෙයි

ආජන්ටිනාව මුල්ම වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සත්කාරක රට වීමට බලාපොරොත්තු වූයේ 1938 දී. නමුත් එම වසරේ ඔවුන්ට එම සත්කාරකත්වය අහිමි වී ප්‍රංශයට එම අවස්ථාව හිමි වූ නිසා ආජන්ටිනාව 1938 වසරේ ලෝක කුසලානය වර්ජනය කළා. එලෙස සත්කාරකත්වය අහිමි වීම නිසා උරණ වූ ආජන්ටිනා පාපන්දු ලෝලීන්, එරට පාපන්දු මූලස්ථානයට ද ප්‍රහාරයක් එල්ල කළා. එම සිදුවීමෙන් වසර 40කට පසු ආජන්ටිනාවට ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමිවීම, ආජන්ටිනා පාපන්දු ලෝලීන්ට ඉතාමත් ප්‍රීතිජනක අවස්ථාවක් වුණා. එම නිසා ම 1930 වසරේ මුල්ම ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය ලබාගැනීමෙන් පසු පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ කැපී පෙනුණු දස්කමක් නොදැක්වූ ආජන්ටිනා පිල, 1978 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී  විශිෂ්ට දස්කම් දක්වනු ඇතැ යි එරට පාපන්දු ලෝලීන් බලාපොරොත්තු වුණා.

1978 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් නිකුත් වූ නිල පෝස්ටරය (Pinterest)

පළමු වටය ආජන්ටිනාවට තරමක් අසීරු වටයක්  වුණා

1978 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා රටවල් 16ක් සහභාගි වූ අතර, එහි දී ආජන්ටිනාව පළමු කාණ්ඩය යටතේ හංගේරියාව, ප්‍රංශය, හා ඉතාලිය සමග තරග කළා. එම රටවල් තුන ම ඉතාමත් ප්‍රබල රටවල් වූ අතර, එම රටවල් 3 පිළිවෙළින් යුරෝපා සුදුසුකම් ලැබීමේ තරගවල දී 2, 5, හා 9 කාණ්ඩවල ප්‍රථම ස්ථානය දිනා ගත්තා.

හංගේරියාව හා ආජන්ටිනාව අතර තරගය

මෙම තරගය ආරම්භයේ සිට ම ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර, තරගයේ 9 වන විනාඩියේ දී හංගේරියානු මැදපෙළ ක්‍රීඩකයෙකු වූ චැපෝ, හංගේරියාව වෙනුවෙන් මුල්ම ගෝලය වාර්තා කළා. නමුත් එයට ඉතාමත් ම හොඳ පිළිතුරක් කඩිනමින් ලබාදුන් ආජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක ලුකේ, තරගයේ ලකුණු තත්ත්වය 1-1 බවට පත්කළා. ඉන් අනතුරුව දෙපිල ම ගෝල ලබාගැනීමට උත්සාහ කළ ද, කිසිදු පිලකට ගෝල ලබා ගැනීමට නොහැකිවීම නිසා පළමු භාගය නිමවන විට ලකුණු තත්ත්වය 1-1ක් ලෙස සටහන් වුණා. අනතුරුව දෙවන භාගය ආරම්භ වූ අතර, 67 වන විනාඩියේ දී ආජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක හවුස්මන් වෙනුවට ඩැනියල් බර්ටෝනි ආදේශ කළ අතර, එලෙස ආදේශ කළ බර්ටෝනි 83 වන විනාඩියේ දී ආර්ජන්ටිනාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. අවසානයේ දී ආජන්ටිනාව මෙම තරගයෙන් 2-1ක ජයක් ලැබුවේ සාර්ථක ආරම්භයක් ලබාගනිමිනුයි.

හංගේරියාවට එරෙහිව පළමු ගෝලය ලබාගත් ලුකේ (gettyimages)

ප්‍රංශය හා ආජන්ටිනාව අතර තරගය

පළමු තරගය ඉතාලිය හමුවේ පරාජය වී සිටි ප්‍රංශයට තරගාවලියේ ඉදිරියට යාම සඳහා මෙම තරගයේ ප්‍රතිඵලය ඉතා වැදගත් වුණා. මෙම තරගය පළමු භාගයේ දෙපිල ම කරට කර සටන් කරමින් සිටින අතරතුර, තරගයේ 45 වන විනාඩියේ දී ආජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක ලුකේට ප්‍රංශ නායක ට්‍රෙසර් අනිසි බලපෑමක් කිරීම නිසා ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමි වුණා. එම දඬුවම් පහර ආජන්ටිනා නායක ඩැනියෙල් පසරෙල්ලා සාර්ථක කරගැනීමත් සමග ම පළමු භාගය නිමවන විට ආජන්ටිනාව 1-0 ලෙස තරගයේ පෙරමුණ ගත්තා. ඉන්පසු ව තරගයේ දෙවන භාගයේ 60 වන විනාඩියේ දී ප්‍රංශ ඉදිරිපෙළ ක්‍රීඩක බර්නාඩ් ලාකොම්බ්ගේ පන්දුව සාර්ථක ව ආජන්ටිනා දැල වෙතට යොමු කළ ප්‍රංශ මැදපෙළ ක්‍රීඩක මයිකල් ප්ලැටිනි, ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය ලබාගත්තා. අනතුරුව ආජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක ලුකේ 73 වන විනාඩියේ දී ආජන්ටිනාව වෙනුවෙන් ජයග්‍රාහි ගෝලය වාර්තා කිරීම නිසා ආජන්ටිනාව 2-1ක් ලෙස මෙම තරගය ජයග්‍රහණය කළා.

ප්‍රංශය හා ආජන්ටිනාව අතර තරගයේ අවස්ථාවක් (sportskeeda)

ඉතාලිය හා ප්‍රංශය අතර තරගය

මූලික වටයේ සහභාගි වූ මුල් තරග 2 ම ජයග්‍රහණය කර තිබූ ආජන්ටිනාව හා ඉතාලිය, සිය කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මෙහි දී තරග වැදුණා. තරගය ආරම්භයේ සිට ම ආජන්ටිනා ක්‍රීඩකයන් ඉතාලියට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ද, ඉතාලි දැල් රකින ක්‍රීඩකයා වූ නායක ඩීනෝ සොෆ්ගේ සුපිරි දැල් රැකීම ඉදිරියේ ආජන්ටිනාවට ගෝල ලබා ගැනීමට නොහැකි වුණා. නමුත් තරගයේ 67 වන විනාඩියේ දී ක්‍රියාත්මක වූ ඉතාලි ඉදිරිපෙළ ක්‍රීඩක රොබාර්ටෝ බෙටේගා ඉතාලිය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළ අතර, අවසානයේ දී ඉතාලිය තරගය 1-0 ලෙසින් ජයග්‍රහණය කරමින් කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගත්තා.

ප.ලි: රොබාර්ටෝ බෙටේගා යුරෝපා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවල දී ගෝල 9ක් ලබාගනිමින් වැඩි ම ගෝල් ලාභියා වූ අතර, ඩීනෝ සොෆ් 1982 පාපන්දු ලෝක කුසලානය දිනූ ඉතාලි පිලේ නායකයා යි.

ආජන්ටිනාවට එරෙහිව ක්‍රීඩා කරන ඉතාලි ඉදිරිපෙළ ක්‍රීඩක පාවුලෝ රොසි (gettyimages)

ආජන්ටිනාව අවසන් තරගයට සුදුසුකම් ලබයි

පළමු වටයේ ප්‍රතිඵලවලට අනුව බ්‍රසීලය, පෝලන්තය, හා පේරු පිල සමග ආජන්ටිනාවට B කාණ්ඩයෙන් තරග කිරීමට සිදුවුණා.

ආජන්ටිනාව හා පෝලන්තය අතර තරගය

1974 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය දිනාගත් පෝලන්තය, මෙවර තරගාවලියේ දී බටහිර ජර්මනිය, මෙක්සිකෝව, හා ටියුනීසියාව අභිබවමින් 2 වන කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් මෙම වටයට පිවිස තිබුණා. නමුත් එදා ප්‍රබල පෝලන්ත පිලේ බලාපොරොත්තු සුනු විසුනු කළ ආජන්ටිනා පිලේ ඉදිරිපෙළ ක්‍රීඩක මාරියෝ කැම්පස් 16 හා 71 යන විනාඩිවල ලබාගත් ගෝල 2ත් සමගින් ආජන්ටිනා පිලට 2-0ක ජයක් හිමිවුණා.

ආජන්ටිනාව හා බ්‍රසීලය අතර තරගය

1978 ලෝක කුසලාන තරගාවලිය පැවති ආකාරය අනුව පළමු වයටෙන් අනතුරුව කණ්ඩායම් A හා B ලෙස කාණ්ඩ 2කට බෙදූ අතර, එම කාණ්ඩ දෙකෙන් පෙරමුණ ගන්නා රටවල් 2ක අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණා. එවැනි සංකීර්ණ වාතාවරණයක් තුළ මෙම තරගය දෙපිලට ම ඉතාමත් ම තීරණාත්මක වුණා. මෙම තරගය ඉතාමත් ම උණුසුම් මුහුණුවරක් ගත්ත ද අවසානයේ දී දෙපිලට ම ගෝල ලබාගැනීමට නොහැකි වීම නිසා 0-0ක් ලෙස නිමා වුණා.

බ්‍රසීල-ආජන්ටිනා තරගයේ අවස්ථාවක් (goal.com)

ආජන්ටිනාව හා පේරු අතර තරගය

B කාණ්ඩයේ අවසන් තරගය ලෙස පැවති මෙම තරගය පැවැත්වූ අතර, අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ආජන්ටිනාව ගෝල පරතරය 4ක් තබා ගනිමින් මෙම තරගය ජයගත යුතු ව තිබූ නිසා, එය ආජන්ටිනා පිලට විශාල පීඩනයක් වුණා. තරග ආරම්භයේ සිට ම ඉතාමත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයකින් ක්‍රීඩා කළ ආජන්ටිනා පිල වෙනුවෙන් ඉදිරිපෙළ ක්‍රීඩක කෙම්පස් හා ආරක්ෂක පෙළ ක්‍රීඩක ටරන්ටිනී පිළිවෙළින් 21 හා 43 වන විනාඩියන්හි දී ලබාගත් ගෝල නිසා පළමු භාගය නිමාවන විට 2-0ක් ලෙසින් ඉදිරියෙනුයි සිටියේ. ඉන් අනතුරුව දෙවන භාගයේ 49 වන විනාඩියේ දී කෙම්පස් ද, 50 හා 72 වන විනාඩියන්හි දී ඉදිරිපෙළ ක්‍රීඩක ලුකේ ද, 67 වන විනාඩියේ දී ඉදිරිපෙළ ක්‍රීඩක හවුස්මන් ද ලබාගත් ගෝල නිසා ආජන්ටිනා පිල 6-0ක දැවැන්ත ජයග්‍රහණයක් ලබමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

ආජන්ටිනා-පේරු තරගයේ අවස්ථාවක් (FIFA.com)

ආජන්ටිනාව මුල්ම වරට පාපන්දු ලෝක ශූරතාවය දිනාගනියි

1974 පපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය දිනූ නෙදර්ලන්තය මෙවර එහි ශූරතාවය දිනා ගැනීමේ අරමුණ ඇති ව ආජන්ටිනාව සමග අවසන් සටනට පිවිසුණා. 71,483ක අතිවිශාල ජනතාවක් ඉදිරියේ පැවති මෙම තරගයේ මුල්ම ගෝලය 38 වන විනාඩියේ දී ආජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක මාරියෝ කෙම්පස් විසින් වාර්තා කළා. අනතුරුව 58 වන විනාඩියේ දී ආදේශක ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි ඩික් නානිංගා, නෙදර්ලන්තය වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමත් සමග ලකුණු තත්ත්වය 1-1 ලෙස සම වුණා. නියමිත කාලය අවසන් වන විට ද ලකුණු සම වීම නිසා තරගය අතිරේක කාලය දක්වා ගෙනයාමට සිදුවුණා. ඉන්පසු ව ඇරැඹි අතිරේක කාලයේ දී ක්‍රියාත්මක වූ මාරියෝ කෙම්පස්, හා ඩැනියල් බර්ටෝනි පිළිවෙළින් 105 හා 115 වන විනාඩියන්හි දී ලබාගත් ගෝල නිසා ආර්ජන්ටිනා පිල 3-1 ලෙස නෙදර්ලන්තය පරාජයට පත්කරමින් මුල්මවරට ලෝක පාපන්දු කිරුළ දිනා ගත්තා. මෙම තරගාවලිය පුරා ගෝල 6ක් වාර්තා කළ ආජන්ටිනා ක්‍රීඩක මාරියෝ කෙම්පස්ට රන් සපත්තුව හිමි වූ අතර, ආජන්ටිනාව විනීත ම කණ්ඩායමට හිමි සම්මානය ද දිනා ගත්තා. ආජන්ටිනා පාපන්දු ඉතිහාසයේ අමරණීය ජයග්‍රහණයක් වූ මෙය ආජන්ටිනා පාපන්දු ස්වර්ණමය යුගයේ ආරම්භය යි.

අවසන් තරගයේ දී මාරියෝ කෙම්පස්  (gettyimages)
අවසන් තරගයේ අවසන් ප්‍රතිඵලය සටහන්වූ ආකාරය (FIFA.com)
ලෝක කුසලානය දිනූ ඩැනියල් පසරෙල්ලා ප්‍රමුඛ ආජන්ටිනා පිල(gettyimages)
ආජන්ටිනා පාපන්දු ලෝලීන් ජයග්‍රහණය සමරමින් (gettyimages)

 

කවරයේ ඡායාරූපය:

මාරියෝ කෙම්පස් ජයග්‍රාහී ගෝලය ලබාගත් මොහොත (gettyimages)

1986 වසරේ මැරඩෝනා ප්‍රමුඛ ආජන්ටිනා පිල පාපන්දු ලෝක කුසලානය දිනාගත් ආකාරය මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

මූලාශ්‍රයයන්:

1978 FIFA world cup-FIFA.com

Related Articles